හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා
පිටත්ව යාමට ඉඩ දී, ඉන් පසුව FCID ය ඇයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම, බැලූ බැල්මට පෙනෙන්නේ 'අශ්වයා ඉගිල ගිය පසු ඉස්තාලය වසා දැමීමේ' සුපුරුදු දුර්වල රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකලාපයක් ලෙසිනි. එහෙත් වර්තමාන දේශපාලන චෙස් පුවරුව දෙස වඩාත් සූක්ෂ්මව බලන විට පෙනී යන්නේ, මෙය ඊට වඩා බෙහෙවින් ගැඹුරු සහ අතිශය සැලසුම් සහගත උපායමාර්ගික පියවරක් විය හැකි බවයි.
පසුගිය යහපාලන ආණ්ඩුව ඇතුළු කිසිදු රජයකට ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම තබා, ප්‍රශ්න කිරීමක් සඳහා අපරාධ විමර්ශන අංශයක් වෙත ගෙන්වා ගැනීමටවත් හැකියාවක් ලැබුණේ නැත. ඇය වටා තිබූ බලය, මහින්ද ගේ බිරිඳ සහ නාමල්ලාගේ මව ලෙස ගොඩනගාගත් සංකේතීය පලිහ ඊට ප්‍රධාන හේතුව විය. එවන් පසුබිමක් තුළ, මෙවර ඇයව නිවසේදී හෝ පොලිසියට කැඳවා අත්අඩංගුවට ගත්තේ නම්, එය දේශපාලනිකව පොහොට්ටුව පාවිච්චි කිරීමටත්, රජයට 'පළිගැනීමේ' ලේබලය ඇලවීමටත් ඉඩ තිබුණි.
ඇයට සුපුරුදු පරිදි වෛද්‍ය ප්‍රතිකාර මුවාවෙන් රටින් පිටවීමට ඉඩ සලසා දීම පිටුපස ඇත්තේ දුර්වලකමක් නොව, ප්‍රායෝගික මූලෝපායකි. මෙම මූලෝපායේ ප්‍රබලතම තුරුම්පුව වන්නේ ඇයගේ පවුලයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්, නාමල් රාජපක්ෂ ඇතුළු දරුවනුත්, මුණුපුරු මිණිපිරියනුත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී, ශිරන්ති රාජපක්ෂ ට සදාකාලිකව දේශපාලන අනාථයෙකු හෝ සරණාගතයෙකු සේ පිටරටකට වී ජීවත් විය නොහැකිය. පවුල් සබඳතා විසින් ඇයට කවදා හෝ යළිත් මව්බිමට පැමිණීමට අනිවාර්යයෙන්ම බල කරනු ඇත.
අනෙක් අතට, වර්තමාන දේශපාලන සන්දර්භය තුළ නුදුරු අනාගතයේදී හදිසි දේශපාලන බල පෙරළියක් හෝ ආණ්ඩු වෙනසක් සිදුවීමේ කිසිදු සලකුණක් රාජපක්ෂ කඳවුරට දක්නට නොලැබේ. එබැවින් විදෙස්ගතව සිට කාලය ගත කිරීමෙන් පමණක් ඇයට එරෙහිව ඇති චෝදනා යටපත් කර ගැනීමට හෝ නැවත බලය ලබාගෙන ගැලවී යාමට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරී ඇත.
ගුවන් තොටුපළේදී අටවන ලද උගුල
එබැවින් ගුවන් තොටුපළේදී නොතීසි ලබා දී ඇයට රටින් පිටවීමට ඉඩ හැරීම හරහා, බලධාරීන් ඉතා සූක්ෂ්ම ලෙස අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට තිබූ දේශපාලන බාධාවන් ඉවත් කරගෙන තිබේ. නියමිත දිනට පෙනී නොසිටියහොත් ඇය නැවත ලංකාවට පැමිණෙන මොහොතේම ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට දැන් නීතිමය පසුබිම සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත. මෙය ඇය විසින්ම ගෙල සිරකරගන්නා තොණ්ඩුවක් බවට පත්ව තිබේ.
ශක්තිමත් කළ ඉස්තාලය සමස්තයක් ලෙස ගත් කල, බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමක් ලෙස අර්ථ දැක්වීම නිවැරදි නොවේ. ඒ වෙනුවට එය අර්ථ දැක්විය යුත්තේ, අශ්වයාට යළිත් ඉස්තාලයටම පැමිණීමට සිදුවන බව හොඳින්ම දැන, අශ්වයාටම යළි පැමිණීමේ යතුර ගිල්වා යන්නට ඉඩ හැර, අශ්වයා නොමැති අතරතුර ඉස්තාලය කිසිදා බිඳිය නොහැකි ලෙස තවත් ශක්තිමත් කිරීමක් ලෙසිනි.
ශිරන්ති රාජපක්ෂ ට කුමන හෝ දිනෙක තම පවුල වෙත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවනු ඇත. ඇය නැවත ලංකාවට පය තබන ඒ දිනය, අලුතින් ශක්තිමත් කළ ඉස්තාලයේ දොරගුළු දේශපාලන කැලඹීම්වලින් තොරව නීත්‍යානුකූලවම ඇය වෙනුවෙන් වැසෙන දිනය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

