කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සේවාවන් පිළිබඳව සෘජුවම
අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට, යෝජනා ඉදිරිපත් කිරීමට සහ ගැටලු නිරාකරණය කරගැනීමට "Ask Handun" නමින් නවතම වට්ස්ඇප් (WhatsApp) සේවාවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඕනෑම පුරවැසියෙකුට 077 554 1646 යන අංකයට හඬ පණිවිඩයක් (Voice message) යොමු කිරීම හරහා තම ගැටලුව අමාත්‍යවරයාගේ කනටම යොමු කළ හැකිය. බැලූ බැල්මට මෙය අමාත්‍යාංශවල රස්තියාදු වෙමින්, සාම්ප්‍රදායික නිලධාරිවාදයෙන් බැටකන ජනතාවට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන ඩිජිටල් පියවරක් සේ පෙනෙන්නට තිබේ.
එහෙත්, මෙහි ප්‍රායෝගිකත්වය හා විනිවිදභාවය පිළිබඳව විචාරාත්මකව බැලීමේදී ගැටලු කිහිපයක්ම මතුවේ. මෙම ක්‍රමවේදයට අනුව, ජනතාව යොමු කරන ගැටලු අතුරින් "වැදගත්කම මත පදනම්ව" තෝරාගත් ප්‍රශ්න සඳහා පමණක් අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව හරහා පිළිතුරු ලබා දෙන බව නිවේදනය කර ඇත. මෙහිදී "වැදගත් ගැටලු" තීරණය කරන්නේ කවුරුන්ද? සාමාන්‍ය සුළු පරිමාණ ව්‍යවසායකයෙකුගේ බලපත්‍ර ගැටලුවක් හෝ බැංකු ණය ප්‍රමාදයක්, අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවක ප්‍රදර්ශනය කිරීමට තරම් දේශපාලනික වටිනාකමක් නොමැති වුවහොත් ඒ හඬ පණිවිඩය කුණුකූඩයට යාවිද? අනෙක් අතට, දිනපතා ගලා එන දහස් ගණනක් වූ හඬ පණිවිඩවලට සවන් දී, ඒවා වර්ගීකරණය කර කඩිනම් පියවර ගැනීමට තරම් කාර්යක්ෂම යාන්ත්‍රණයක් මේ පිටුපස තිබේද යන්නත් සැක සහිතය.
රටේ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් විවිධ අර්බුද හමුවේ පීඩනයකට ලක්ව සිටින මෙවන් මොහොතක, සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් හා නිලධාරිවාදයෙන් මිදී මෙලෙස තාක්ෂණය ඔස්සේ හෝ ජනතාවට වඩාත් සමීප වීමට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගන්නා මෙම උත්සාහය සැබැවින්ම අගය කළ යුතු ධනාත්මක පියවරකි. මහජන නියෝජිතයෙකු ලෙස ජනතා ප්‍රශ්නවලට සෘජුවම සවන් දීමට ඔහු දක්වන මෙම කැපවීම සහ උනන්දුව, රජයේ අනෙකුත් ප්‍රධානීන්ට ද කදිම ආදර්ශයකි.
මෙම "Ask Handun" ඩිජිටල් මෙහෙයුම හුදු සමාජ මාධ්‍ය ව්‍යාපෘතියකට සීමා නොවී, ව්‍යවසායකයින්ගේ සැබෑ ගැටලුවලට විසඳුම් ගෙනෙන සාර්ථක වැඩසටහනක් බවට පත්වනු දැකීම අපගේද ඒකායන පැතුමය.

