SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ නියාමනයක් ද?

 

 

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින්

මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනාවක් එල්ල කරමින් සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ ඉහළම පාලක මණ්ඩලවල සිටින්නන් වෙනත් දැවැන්ත මූල්‍ය සහ ව්‍යාපාරික සමාගම්වල උපදේශකයින් හා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයින් බවයි.

 

 

 

එනිසාම එම ව්‍යාපාරික සමාගම්වලට වාසිදායක වන ආකාරයට ඔවුන් යම් යම් තීන්දු තීරණ ගන්නා බවටත්, තම වෙළඳපොළ තරඟකරුවන් මර්දනය කිරීමට ඔවුන් කටයුතු කරන බවටත් මෙම චෝදනාව ගොඩනැගී ඇත. නියාමන ආයතනයක ලාභ පරස්පරතාව (Conflict of Interest) පිළිබඳව සමාජය තුළ මතු වන මෙම ප්‍රශ්න කිරීම න්‍යායාත්මකව වලංගු විවේචනයක් වුවද, අදාළ වගා සමාගම් විසින් ගොඩනගන මෙම නිශ්චිත චෝදනාවේ යථාර්ථය පර්යේෂණාත්මක දත්ත ඇසුරින් විමසා බැලිය යුත්තකි.

 

 

2023 අංක 16 දරන නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මහ බැංකුවේ පරිපාලනය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම ප්‍රධාන මණ්ඩල දෙකක් හරහා සිදු වේ. ඒ මහ බැංකුවේ පරිපාලනය සහ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කරන 'පාලක මණ්ඩලය' (Governing Board - GB) සහ පොළී අනුපාත ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණය කරන 'මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය' (Monetary Policy Board - MPB) ය.

 

 

 watermarked_img_15821583950316382041.jpeg

 

 monitoring_board_1.jpeg

 

 

මෙම පාලක මණ්ඩලය (GB) සාමාජිකයින් හත් දෙනෙකුගෙන් (7) සමන්විත වන අතර, එහි රජය නියෝජනය කරන එකම පූර්ණකාලීන නිලධාරියා වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පමණි. ඉතිරි සාමාජිකයින් හය (6) දෙනාම බාහිරින් පත්කළ අය වන අතර, ඔවුන්ගෙන් බහුතරය මෙරට ප්‍රමුඛ බහුජාතික සමාගම්වල අධ්‍යක්ෂවරුන් ය. වඩාත් විශේෂිත කරුණ වන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ (MPB) තීරණ ගැනීමේ ක්‍රියාවලියට ද මෙම පාලක මණ්ඩලයේ බාහිර සාමාජිකයින් ඍජුවම ඇතුළත් වීමයි.

 

 

පහත දැක්වෙන්නේ එම මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ජාලයයි.

 

  • නිහාල් ෆොන්සේකා (GB සහ MPB) - Brandix Lanka Ltd., Phoenix Industries Ltd, Phoenix Ventures Ltd, Mobitel (Pvt) Ltd., සහ Sri Lanka Telecom PLC යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි. (හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඥාති සහෝදරයෙකු ලෙසද වාර්තා වේ).

 

  • ආචාර්ය රවී රත්නායක (GB සහ MPB) - මහ බැංකුව විසින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ ආන්දෝලනාත්මක Kanrich Finance Ltd හි හිටපු අධ්‍‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ය. මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ USAID වැනි ආයතනවල උපදේශකයෙකි.

 

  • අනුෂ්ක විජේසිංහ (GB සහ MPB) - Hayleys Fibre PLC සහ Fairfirst Insurance Ltd යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි.

 

  • විෂ් ගෝවින්දසාමි (GB සහ MPB) - කෘෂි ව්‍යාපාර රැසක් හිමි Sunshine Holdings PLC හි අධ්‍යක්ෂවරයෙකි. ඊට අමතරව Colombo Dockyard PLC, Dialog Axiata, Softlogic Life Insurance, United Motors, TAL Lanka Hotels / Taj වැනි බහුජාතික සමාගම් රැසක සහ ආයෝජන මණ්ඩලයේ (BOI) ද අධ්‍යක්ෂවරයෙකි.

 

  • මෛත්‍රී එවාන් වික්‍රමසිංහ (GB සහ MPB) - Convenience Foods Lanka PLC සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. රජීව් අමරසූරිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු 2025 ඔක්තෝබර් 02 දින සිට පත් කරන ලදී.

 

  • මනිල් ජයසිංහ (MPB පමණි) - John Keells Holdings PLC ඇතුළුව DIMO PLC, C.W. Mackie, Lanka IOC, Vallibel One, Ceylon Hospitals (Durdans), Royal Ceramics, Lanka Milk Foods වැනි සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි.

 

  • (මීට අමතරව ආචාර්ය දුෂ්නි වීරකෝන් සහ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ද MPB නියෝජනය කරති).

 

 

මෙවැනි පසුබිමක් තුළ, පෞද්ගලික අංශයේ දැවැන්ත වාණිජ සහ කෘෂි සමාගම්වල අධ්‍යක්ෂ ධුර දරන පුද්ගලයින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදනයට සෘජුවම දායක වීම හරහා "නියාමන ග්‍රහණය කරගැනීමක්" සහ "ලාභ පරස්පරතාවයක්" නිර්මාණය වීමේ අවදානමක් පවතින බව පැහැදිලිය. විශේෂයෙන්ම, ණය බරින් මිරිකී සිටින මෙම දැවැන්ත සමාගම් වාණිජ බැංකු පද්ධතියෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති ප්‍රධානතම ගනුදෙනුකරුවන් වන බැවින්, තම සමාගම්වල ණය බර අඩුකර ගැනීමට පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාම  වැනි තීරණවලට න්‍යායාත්මකව ඔවුන් පෙළඹිය හැකිය.

 

 

 

එමෙන්ම, ආනයන සීමා කිරීම් හෝ විනිමය අනුපාත පාලනය කිරීමේදී, FMCG සහ මෝටර් රථ කර්මාන්ත නියෝජනය කරන සාමාජිකයින් තමන්ගේ සැපයුම් දාමයන්ට හිතකර වන පරිදි ප්‍රතිපත්ති හැඩගැස්වීමට උත්සාහ කිරීමේ අවදානමක් ද මෙහිදී මතු වේ.

 

 

කෙසේ වෙතත්, නව මහ බැංකු පනත හරහා මෙවැනි බලපෑම් වැළැක්වීමට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට විශේෂ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

 

 

  • දැඩි නුසුදුසුකම් සහ නීති: පනතේ 17 වන වගන්තියට අනුව මණ්ඩලවලට පත් කරනු ලබන බාහිර සාමාජිකයින් කිසිදු වාණිජ බැංකුවක හෝ මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයක තනතුරු දැරීම දැඩිව තහනම් කර ඇත. (ඉහත සාමාජිකයින් බැංකු නොවන වෙනත් බහුජාතික සමාගම් පමණක් නියෝජනය කරන්නේ එබැවිනි).

 

  • ඉවත්වීමේ ප්‍රතිපත්තිය (Mandatory Recusal): 2026 ජනවාරි මස යාවත්කාලීන කළ නව ආචාර ධර්ම පද්ධතියට අනුව, යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේදී තමන් සම්බන්ධ ව්‍යාපාරික ක්ෂේත්‍රයකට අදාළ කරුණක් සාකච්ඡා වේ නම්, අදාළ සාමාජිකයා එය හෙළිදරව් කර එම තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය. මෙය මණ්ඩලයේ ලේකම්වරයා විසින් නිල වාර්තාවල (Minutes) සටහන් කිරීම නෛතික අනිවාර්යතාවයකි.

 

  • වත්කම් ප්‍රකාශ ලබා දීම: 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 82 වන වගන්තියට අනුකූලව, මෙම සාමාජිකයින් වාර්ෂිකව සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටී.

 

 

 

මෙම නෛතික රාමුව එසේ ක්‍රියාත්මක වෙද්දී, ගිණුම් අත්හිටුවූ වගා සමාගම් එල්ල කරන චෝදනාවෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පර්යේෂණාත්මක විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම කෘෂි ව්‍යාපාරිකයන් තර්ක කරන්නේ මණ්ඩලයේ සිටින කෘෂි ව්‍යාපාරිකයින් (උදාහරණයක් ලෙස Sunshine Holdings නියෝජනය කරන විෂ් ගෝවින්දසාමි වැනි අය) තම වෙළඳපොළ තරඟකරුවන් වන මෙම නව සමාගම් විනාශ කිරීම සඳහා නියාමන බලය යොදාගත් බවයි.

 

 

එහෙත් සැබෑ වෙළඳපොළ යථාර්ථය එය නොවේ. Hayleys, Brandix, හෝ Sunshine Holdings වැනි ජාත්‍යන්තර මට්ටමේ සැබෑ නිෂ්පාදන සහ අපනයන සමාගම් සහ මෙම ගිණුම් අත්හිටුවන ලද සමාගම් අතර කිසිදු සෘජු ව්‍යාපාරික හෝ වෙළඳපොළ තරඟකාරීත්වයක් නොමැත.

 

 

 

මහ බැංකුව විසින් Kasagala Green Plantation, Singhe Capital, Ceylon Green Life Plantation වැනි සමාගම්වල ගිණුම් අත්හිටුවනු ලැබ ඇත්තේ, ඔවුන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත (FBA) උල්ලංඝනය කරමින් කෘෂිකර්මාන්තය මුවාවෙන් ජනතාවගෙන් "අනවසර තැන්පතු භාරගැනීමේ" (පිරමිඩ ස්වරූපයේ) නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම්වල නිරත වූ වංචනික ආයතන බව පවසමිනි. මෙහිදී  Ceylon Green Life Plantation සමාගම සෘජුවම කෘෂි කර්මාන්තයේ නිරත ගොවීන් ගෙන් තම සමාගමේ ආයෝජන ඇති බව අධීකරණය හමුවේ සාක්ෂි සහිතව පෙන්වීමට සූදානම්ව ඇත.

 

 

 

මන්ද ඔවුන්ට එරෙහිව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ (FBA) 42 සහ 44 වගන්ති යටතේ කොළඹ මහාධිකරණයේ ද අනුමැතිය සහිතව පියවර ගනු ලැබුවේ, ඔවුන් කෘෂිකර්මාන්තය මුවාවෙන් අනාගතයේ අධික ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් සාමාන්‍ය ජනතාවගෙන් නීති විරෝධී ලෙස තැන්පතු එකතු කිරීමේ ජාවාරම්වල නිරත වීය යන තරුකය මතය.

 

 

 

ඊට සැබෑ ගොවීන්ගේ ආයෝජන නම් පවතින්නේ එවැනි කාර්යයක් තහනමට ලක්කිරීමට මහබැංකු අධිපතිවරයා පියවරක් නොගනු ඇත. ඔහු ඇතුළු මහ බැංකුව විරුද්ධ වන්නේ ගොවීන් ආයෝජනයට එක්වීම නිසා නොව 'තැන්පතු' මාෆියාවට එරෙහිවය. මේ නිසා තම සමාගමේ ක්‍රියාවලිය, මාධ්‍ය මගින් නිරාවරණය කර ඇති තම ව්‍යාපෘතිවල ස්වභාවයන් සෘජුව සහ පිරිසිදුව ලේඛන මගින් ඔප්පු කළ හැකි වන්නේ නම් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයන්ගෙන් සමාගමට එරෙහි චෝදනාවෙන් ගැලවීමට හැකිවේ.

 

 

 

කෙසේ නමුත් මෙම සිදුවීම් හරහා  අත්හළ නොහැකි තර්කයක් ගොඩනැගෙන්නේය. මහ බැංකුවේ මොනිටරින් බෝර්ඩ් එකේ සංයුතිය තුළ බොහෝ පෞද්ගලික ව්‍යාපාරික සූත්තර සිදුවීමේ අවදානමක් පැවතීම ඊට හේතුවය.

 

 

 

මේ අනුව බලනවිට, මහ බැංකු පාලක මණ්ඩලයේ ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳව සාකච්ඡා කිරීම සාධාරණ වුවද, වගා සමාගම් අත්හිටුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් විසින් මහ බැංකුවට එල්ල කරන විවේචනය හුදෙක් තම නීති විරෝධී මූල්‍ය වංචාවන් වසා ගැනීම සඳහා දියත් කළ පදනම් විරහිත උපායමාර්ගික මෙහෙයුමක් විය හැකිය. එහෙත් ඒ බව පැහැදිලිවම තහවුරු උවත් මහ බැංකුවේ නියාමන මණ්ඩලයේ සුජාතභාවය පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි