ඊයේ (19) උදෑසන කටුනායක 18 කණුව මංසන්ධිය අසල ලියනගමුල්ල ප්‍රදේශයේ
මහජනතාව විසින් දැවැන්ත විරෝධතාවක් දියත් කරන ලදී. ඊට මූලික හේතුව වී ඇත්තේ, තරු පන්තියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් "මෙල්වා සිමෙන්ති" (Melwa Cement (Pvt) Ltd) ආයතනය විසින් එම ස්ථානයේ මහා පරිමාණ සිමෙන්ති ඇසුරුම් සහ නිෂ්පාදන කර්මාන්තශාලාවක් නීති විරෝධී ලෙස ඉදිකිරීමට කටයුතු කිරීමයි.
මෙම විරෝධතාවය සඳහා ප්‍රදේශයේ බෞද්ධ සහ කතෝලික ආගමික පූජකවරුන්, ධීවර ජනතාව, පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල සාමාජිකයන්, ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යවසායකයන් සහ අවට ජාත්‍යන්තර පාසල්වල දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.


මෙම ව්‍යාපෘතිය හුදු පාරිසරික ගැටලුවක් පමණක් නොවේ. එය මහා පරිමාණ ප්‍රාග්ධනය හමුවේ රාජ්‍ය ආයතන සහ එහි නිලධාරීන් තම නීතිමය වගකීම් පසෙකලා, ආයෝජකයින්ගේ අභිමතය පරිදි නීතිය නැමීමට කටයුතු කර ඇති ආකාරය මනාව පෙන්නුම් කරන කදිම නිදසුනකි. නීතිය සැමට සමාන විය යුතු වුවත්, ධන බලය හමුවේ පරිසර නීති සහ රෙගුලාසි අත්තනෝමතික ලෙස උල්ලංඝනය වීමට ඉඩ හැරීම බරපතල ඛේදවාචකයකි.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සැක කටයුතු අනුමත කිරීම්
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ හැසිරීම දැඩි මතභේදයට තුඩු දී ඇත. ආරම්භයේදී, එනම් 2025 මැයි 09 දින, අනුමැතිය ලබා දී තිබුණේ වර්ග මීටර 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සඳහා පමණි. එහෙත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ, අක්කර 06 යි රූඩ් 01 ක වපසරියකින් යුතු මෙම ඉඩමේ අදාළ ඉදිකිරීම, වර්ග මීටර 12,925 ක් දක්වා විහිදෙන තට්ටු පහක (G+4) දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයක් දක්වා වෙනස් කර සංවර්ධන බලපත්‍රයක් ලබාගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි. ඒ. ජී. හේ. ගුණතිලක ගේ අත්සනින් යුතුව 2025.12.25 දිනැතිව මෙල්වා ආයතනය වෙත නිකුත් කර ඇති අනුමැති ලිපියට අනුව, අදාළ ඉඩම් කොටස කර්මාන්ත භාවිතය සඳහා අනුමත කර ඇත. මෙම අනුමැතිය ලබා දීම සඳහා පදනම් කරගෙන ඇත්තේ බලයලත් මිනින්දෝරු චමින්ද එන්. සෝමරත්න විසින් සකස් කරන ලද අංක 67 දරණ මිනින්දෝරු සැලැස්මය.

[වයි.ඒ.ජී.කේ.ගුණතිලක - අධ්‍යක්ෂ සැලසුම්]


මේ පිළිබඳව මාධ්‍ය විසින් අදාළ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කළ විට පවසා ඇත්තේ එවැනි අනුමැතියක් ලබාදී නොමැති බවකි. එසේ නම් ඉහත ලිපිය සාවද්‍ය අත්සනක් සහ ලිපි ශීර්ෂයක් සහිත ව්‍යාජ ලිපියක් ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
මහජන විරෝධය නොතකා මෙවැනි දැවැන්ත ව්‍යුහාත්මක වෙනසකට අනුමැතිය දීමෙන් පැහැදිලි වන්නේ නීතියේ හිඩැස් අනිසි ලෙස භාවිතා වී ඇති බවයි.
මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) නීති විරෝධී නිර්දේශ සහ මුතුරාජවෙල ගැසට් නිවේදනය
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ මෙවැනි මහා පරිමාණ කර්මාන්තශාලාවක් සඳහා අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් ඇගයීමක් (EIA) හෝ මූලික පාරිසරික පරීක්ෂණයක් (IEE) සිදු කළ යුතුය. එහෙත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම අනිවාර්ය පියවර මඟහරිමින්, හුදෙක් අභ්‍යන්තර ප්‍රශ්නාවලියක් මත පමණක් පදනම්ව මෙල්වා සමාගමට පාරිසරික නිර්දේශයක් නිකුත් කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2020.12.10 දින අදාළ ගොඩනැගිලි සැලසුම අනුමත කර ඇත්තේ තරු පන්තියේ සංචාරක හෝටලයක් සඳහාය. පසුව එම නිර්දේශය, මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ එන්. එම්. යූ. එස්. කේ. මල්වාන (N. M. U. S. K. Malwana) මහතාගේ අත්සනින් යුතුව තවත් වසරකට දීර්ඝ කර ඇත.

එහිදී මධ්‍යම පරිසර අධිකාරිය විසින්ම පැහැදිලි කොන්දේසියක් පනවා ඇත්තේ මෙලෙසිනි:
"2021.10.07 දිනැති අංක 2248/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව යෝජිත ඉඩම මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපය තුළ පිහිටා ඇත්නම් මෙම නිර්දේශය වලංගු නොවේ."

යෝජිත ව්‍යාපෘති භූමිය අදාළ මුතුරාජවෙල සංවේදී කලාපයට අයත් වන බැවින්, මෙම පාරිසරික නිර්දේශය මුළුමනින්ම නීති විරෝධී සහ බලරහිත එකක් බව නීති විශාරදයන්ගේ මතයයි.

මීගමුව කළපුව සහ කඩොලාන පද්ධතිය ආක්‍රමණය කිරීම
කොළඹ - කටුනායක ප්‍රධාන මහා මාර්ගයේ සිට මීගමුව කළපුව දක්වා විහිදෙන මෙම කර්මාන්තශාලා භූමිය ඍජුවම පරිසර සංවේදී කළපු රක්ෂිතයකට මායිම්ව පිහිටා ඇත. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අංක GM/KAT/2025/368 දරණ අනුරේඛනයට (Tracing) අනුව, මෙල්වා සමාගම විසින් හිමිකම් කියනු ලබන ඉඩම් කොටසේ හෙක්ටයාර 0.1956 ක ප්‍රමාණයක් මීගමුව කළපු රක්ෂිතයට සහ කඩොලාන පද්ධතියට අයත් අනවසර අල්ලා ගැනීමක් බව නිල වශයෙන් තහවුරු වී ඇත.
එසේම, තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර ඇති ලිපිවල පැහැදිලිව සඳහන් වන්නේ මීගමුව කළපුවේ ආරක්ෂාව සඳහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මීටර් 10 ක රක්ෂිත සීමාවක් අනිවාර්යයෙන්ම අත්හැරිය යුතු බවයි. එහෙත් මෙම ආයතනය විසින් එම සංවේදී කලාප තුළ ඉදිකිරීම් සිදු කිරීමට කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත.





පරිසරයට සහ ජන ජීවිතයට එල්ල වී ඇති බරපතල තර්ජනය
අතිශය සංවේදී ජනාවාස සහිත, ව්‍යාපාරික සහ සංචාරක කර්මාන්තයෙහි ප්‍රවර්ධනයක් සහිත මෙම ප්‍රදේශයේ සිමෙන්ති දූවිලි (Cement Dust) වලින් පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය වීම මගින් පහත පාර්ශවයන්ට ඍජු තර්ජන එල්ල වේ.
- ගුවන් ගමන් අවදානම: කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථයට අතිශය සමීපව ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාවෙන් නිකුත් වන සිමෙන්ති කුඩු, ගුවන් යානා ඇංජින් සඳහා ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කරන බව ගුවන් තොටුපොළ ගුවන් යානා ඉංජිනේරුවරුන් විසින් දැඩිව පෙන්වා දී ඇත.
- අධ්‍යාපනය සහ සෞඛ්‍යය: ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් 03 ක දරුවන්ට සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන්ගේ නේවාසිකාගාරවල වෙසෙන පිරිස්වල සෞඛ්‍යයට මෙය දැඩි බලපෑමකි.
- පරිසර පද්ධති: අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන සංරක්ෂිත වනාන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් පවතී.
- ජන ජීවිතය සහ ආර්ථිකය: මීගමුව කළපුවේ රැකියාවෙහි නිරත ධීවර ජනතාවගේ ජීවනෝපායට මෙන්ම, ප්‍රදේශයේ සංචාරක හෝටල් ජාලයට සහ මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරයේ නිරත වූවන්ගේ ආර්ථිකයට මෙය මරු පහරකි.
බලධාරීන්ට එරෙහිව එල්ල වන නීතිමය ක්‍රියාමාර්ග
රාජ්‍ය ආයතන සහ එහි නිලධාරීන් විසින් සිදුකර ඇති මෙම බරපතල අක්‍රමිකතා හේතුවෙන්, මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන් වෙත නීතිඥ මාර්ගයෙන් එන්තරවාසි (Letters of Demand) යොමු කර ඇත.
මෙමඟින්, අදාළ නීති විරෝධී අනුමැතීන් සහ බලපත්‍ර දින 30 ක් ඇතුළත අත්හිටුවන ලෙස දැඩිව ඉල්ලා සිටින අතර, එසේ නොමැති වුවහොත් ඊට එරෙහිව දැඩි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කර ඇත. තවද, මෙම අනුමැතීන් ලබා දීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමටද සැලසුම් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළ, ජාත්‍යන්තර පාසල් ත්‍රිත්වයක්, ධීවර ප්‍රජාව සහ මුතුරාජවෙල වැනි සංවේදී පරිසර පද්ධති රැසකට ආසන්නයේ ඉදිකෙරෙන මෙම සිමෙන්ති කම්හලෙන් නිකුත් වන දූවිලි සහ ශබ්දය මුළු ප්‍රදේශයටම දැඩි තර්ජනයකි. සාමාන්‍ය ජනතාවගේ අයිතීන් සහ සෞඛ්‍යය පසෙකලා, මහා පරිමාණ සමාගම්වල අභිමතය පරිදි රාජ්‍ය ආයතනවල නිලධාරීන් කටයුතු කිරීම තුළින් පාරිසරික නීතියේ එන "පූර්වාරක්ෂණ මූලධර්මය" සහ "මහජන විශ්වාස අමුතු න්‍යාය" මුළුමනින්ම උල්ලංඝනය වී ඇත.
ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට යටවී නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට ඉඩ නොදිය යුතුය. යුක්තිය උදෙසා සහ අනාගත පරපුරේ පාරිසරික උරුමය සුරැකීම වෙනුවෙන්, මෙම සමස්ත ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය වහාම ස්වාධීන නීතිමය සහ පාරිසරික විගණනයකට ලක් කළ යුතුමය.
මේ පිටුපස ඉන්නේ කව්ද?
සෙස්ස පස්සට...
(සටහන: නිරෝමි සුබ්‍රමනියම් විසිනි).

