SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුපියල් මිලියන 250ක් පමණ වටිනා පිළිකා එන්නත් 190,000ක තොගයක් කිසිදු

නිල අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට ගෙන්වා මුදාහැරීමේ පුවත මේ දිනවල දැඩි ආන්දෝලනයක් මවා තිබේ. G-CSF නමැති මෙම එන්නත භාවිත කෙරෙන්නේ විකිරණ ප්‍රතිකාරවලින් පසු කුඩා දරුවන් ඇතුළු පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහාය.

 

 

ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන්ට ලබාදෙන මෙවැනි අතිශය සංවේදී ඖෂධයක්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචිය, තත්ත්ව සහතික හෝ නිසි ලේබල් කිරීමක් පවා නොමැතිව රේගුවෙන් එළියට ආවේ කෙසේද?

 

 

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව නඟන මෙම පැනය, හුදු පරිපාලනමය දුර්වලතාවකට එහා ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය හා රේගුව හරහා ක්‍රියාත්මක ප්‍රබල ඖෂධ මාෆියාවක ඉඟියක් සපයයි.

 

 

ප්‍රමිතිය පිළිබඳ ඇති බරපතළ සැකය හේතුවෙන් වෛද්‍යවරුන් විසින් මෙම එන්නත් භාවිතය මේ වන විටත් ප්‍රතික්ෂේප කර තිබේ. එය රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත් අත්‍යවශ්‍ය පියවරක් වුවද, ඉන් රෝහල් තුළ දැවැන්ත ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇත. රජයේ රෝහලෙන් අත්‍යවශ්‍ය ඖෂධය නොලැබෙන විට, අසරණ රෝගියාට සිදුවන්නේ අධික මිලක් ගෙවා හෝ පෞද්ගලික ඔසුසලකින් එය කෙසේ හෝ සපයා ගැනීමටයි.

 

 

 

මෙම අර්බුදකාරී තත්ත්වය ජාවාරම්කරුවන්ට කදිම තෝතැන්නකි. අද වන විට වෙළෙඳපොළේ පවා ලියාපදිංචි නොකළ සැක සහිත ඖෂධ අලෙවි වන බවට චෝදනා එල්ල වීමෙන් පෙනී යන්නේ, ආර්ථික අර්බුදයෙන් බැටකන සාමාන්‍ය ජනතාව ඖෂධ මාෆියාවේ අයුතු ලාභ ලැබීමේ යන්ත්‍රයට මුළුමනින්ම ගොදුරු වී ඇති බවයි.

 

 

අනෙක් අතින්, සෞඛ්‍ය පද්ධතිය ඇදවැටෙමින් තිබෙන්නේ ඖෂධ හිඟයෙන් හා දූෂණයෙන් පමණක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන් 5,000ක් සහ වෛද්‍ය නිලධාරීන් 30,000ක් අත්‍යවශ්‍ය පද්ධතියක, අද වන විට පවතින්නේ බරපතළ මානව සම්පත් ඛේදවාචකයකි. අසාධාරණ බදු ප්‍රතිපත්ති සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතීන් ප්‍රමාද වීම හේතුවෙන් තරුණ වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් සිටිති. අත්‍යවශ්‍ය ඖෂධයක්වත් නොමැති, දූෂිත නිලධාරීන් පිරුණු වටපිටාවක රැඳී සිටින ලෙසට වෛද්‍යවරුන්ට බල කිරීම ප්‍රායෝගික නොවේ.

 

 

රුපියල් මිලියන 250ක හොර එන්නත් තොගය සම්බන්ධයෙන් NMRA ආයතනය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) මේ වනතුරුත් මුනිවත රැකීම දැඩි සැකයට තුඩු දෙන්නකි. මෙම මහා පරිමාණ ජාවාරමේ මහමොළකරුවන් වහාම නීතිය හමුවට ගෙනවිත් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතුය. එසේ නොවුණහොත්, අහිංසක රෝගීන්ගේ රුධිරයෙන් යැපෙන දූෂිතයින්ගේ පාරාදීසයක් බවට මෙරට නිදහස් සෞඛ්‍ය සේවය පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

 

 

 

#NiromiSubramaniyam

Dailymirror ඇසුරිනි.

නවතම ලිපි