SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උතුරු - නැගෙනහිර ඉලක්ක කිරීමේ අදිසි හස්තය

 

 

ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුම් දාමය මේ වන විට යළිත් වරක් කෘත්‍රිම අර්බුදයකට මුහුණ දී සිටී.

ලංකා අයි.ඕ.සී. (Lanka IOC), සිනොපෙක් (Sinopec) සහ ආර්.එම්. පාර්ක්ස් (RM Parks) යන ප්‍රධාන පුද්ගලික ඉන්ධන සමාගම් තුන විසින් සිය ඩීසල් නිකුත් කිරීම සියයට පනහකින් (50%) පමණ කප්පාදු කිරීමට පියවර ගෙන ඇති අතර, මේ හේතුවෙන් සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

 

 

 

මෙහිදී වඩාත් බරපතළම ගැටලුව වන්නේ මෙම කප්පාදුව සමස්ත රටටම එක හා සමානව ක්‍රියාත්මක නොවීමයි. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් උතුරු, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් විශේෂිතව ඉලක්ක කර ගනිමින් මෙම සැපයුම් සීමා කිරීම ක්‍රියාත්මක කර තිබේ. එම ප්‍රදේශවලට සතියකට එක් වරක් හෝ දෙවරක් පමණක් අදාළ සමාගම් විසින් තොග යැවීම හරහා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය කර ඇත.

 

 

ප්‍රථමයෙන්ම අවධාරණය කළ යුතු සත්‍යය නම්, නිශ්චිත පළාත් කිහිපයකට පමණක් මෙලෙස අඩුවෙන් ඉන්ධන බෙදාහැරීම කිසිසේත්ම රජයේ තීරණයක් හෝ රජයේ උපදෙස් මත සිදුවන්නක් නොවන බවයි. යම් කලාපයකට පමණක් අසමානතාවයකින් යුතුව ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය කිසිදු ස්ථාවරයක් ගෙන නොමැති අතර, දිවයින පුරාම එක හා සමානව ඉන්ධන බෙදා හැරීම රජයේ ඒකායන ප්‍රතිපත්තියයි.

 

 

 

මෙම අත්තනෝමතික ක්‍රියාදාමයේ මූලික වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුත්තේ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයයි. ගොඩබෑමේ පිරිවැයට (Landing Cost) අනුකූලව තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස රජයට බලපෑම් කිරීමේ අරමුණින් ඔවුන් මෙම අර්බුදය නිර්මාණය කර ඇත. මේ වන විට ලංකා අයි.ඕ.සී. පිරවුම්හල් 275 ක්, සිනොපෙක් පිරවුම්හල් 150 ක් සහ ආර්.එම්. පාර්ක්ස් පිරවුම්හල් 100 ක් ආශ්‍රිතව මෙම සීමා කිරීම් බෙදාහරින්නන්ගේ හුදු වුවමනාව මත පමණක් ක්‍රියාත්මක වේ.

 

 

 

උතුරුමැද සහ නැගෙනහිර පළාත් යනු මෙරට කෘෂිකර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයන්ය. ඩීසල් නොමැතිකමෙන් අත් ට්‍රැක්ටර්, ජල පොම්ප සහ ධීවර යාත්‍රා අඩපණ කරමින් අදාළ ජනතාවගේ ජීවනෝපායන් විනාශ කිරීම මගින් ඔවුන්ව රජයට එරෙහිව පාරට බැස්සවීම බෙදුම්කරුවන්ගේ අරමුණ වී ඇති බව පැහැදිලිය. මෙහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස බදුල්ල වැනි ප්‍රදේශවල ද (21 වැනිදා) පෝලිම් නිර්මාණය වී කෘත්‍රිම හිඟයක් ව්‍යාප්ත වෙමින් පවතී.

 

 

 

මෙහිදී මතු වන ප්‍රබලතම දේශපාලනික ප්‍රශ්නාර්ථය වන්නේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන් තම විරෝධය දැක්වීම සඳහා උතුරු සහ නැගෙනහිර වැනි සංවේදී පළාත් පමණක් විශේෂයෙන් ඉලක්ක කර ගත්තේ ඇයිද යන්නයි. මෙවැනි ජාතිවාදී සහ ප්‍රාදේශීයවාදී ක්‍රමවේදයක් ඔස්සේ ඉන්ධන සීමා කිරීම හුදු ව්‍යාපාරික තීරණයක් හෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් යැයි සරලව බැහැර කළ නොහැක.

 

 

 

රජය අපහසුතාවයට පත් කිරීම සඳහා බෙදුම්කරුවන් ලවා මෙවැනි ප්‍රාදේශීයවාදී අර්බුදයක් නිර්මාණය කිරීම, විපක්ෂයේ කිසියම් දේශපාලන උසිගැන්වීමක් මත සිදුවන්නක්ද යන්න බරපතළ ලෙස සැක මතු කරයි. මෙය ඉදිරි දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පාරට බැස්සවීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක ආරම්භයක්ද යන්න බලධාරීන් සහ රාජ්‍ය බුද්ධි අංශ විසින් වහාම පරීක්ෂා කළ යුතුව ඇත.

 

 

 

පෞද්ගලික සමාගම්වල මූල්‍ය අලාභ පියවා ගැනීමේ න්‍යායපත්‍රය මුවාවෙන් ජාතික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සාමය බිල්ලට දීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යුතුය. මෙම සැකකටයුතු හා කඩාකප්පල්කාරී බෙදාහැරීමේ යාන්ත්‍රණය නතර කර, සමස්ත රටටම සාධාරණව ඉන්ධන සැපයුම තහවුරු කිරීමට රජයේ දැඩි හා තීරණාත්මක මැදිහත්වීමක් වහාම අවශ්‍යව පවතී.

 

 

නවතම ලිපි