SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව: නඩු වාර්තාවේ විචාරාත්මක විශ්ලේෂණය

(2026 මැයි 05 දිනැති නඩු විභාගය ඇසුරෙනි)

 

 

සෞඛ්‍ය අංශයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැප්)

මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ දිනවල තීරණාත්මක අදියරකට එළඹ තිබේ. රුපියල් ලක්ෂ 1,444 ක රාජ්‍ය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ ඊට සාපරාධී ලෙස කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනා (Indictments) යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

 

2026 මැයි 05 වන දින පැවති විභාගය, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පැවති බරපතළ පරිපාලනමය දුර්වලතා සහ ලිපිකාරී අඩුපාඩු මැනවින් නිරූපණය කළ අවස්ථාවක් විය.

 

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

 

පැමිණිල්ලේ 150 වැනි සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගේ මූලික සාක්ෂි විමසීම (Examination-in-chief) පසුගිය සතියේ අවසන් වූ අතර, ඇයගෙන් විත්තියේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීම (Cross-examination) මෙදින සිදු කරන ලදි. ප්‍රසම්පාදන ලේඛන සැකසීමේදී තමා අතින් අත්වැරදීම් සිදුවූ බවට ඇය අධිකරණය හමුවේ කළ පිළිගැනීම, විත්තිය විසින් ගොඩනගමින් පවතින තර්කයන් සඳහා ප්‍රබල රුකුලක් සපයන ආකාරයක් මෙහිදී නිරීක්ෂණය විය.

 

 

ලිපිකාරී දෝෂ සහ විත්තියේ තර්කය

(11 වන විත්තිකරුගේ හරස් ප්‍රශ්න විමසීම)

 

මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න ගේ හරස් ප්‍රශ්න විමසීම ප්‍රධාන වශයෙන් යොමු වූයේ සාක්ෂිකාරියගේ ලේඛන සැකසීමේ කාර්යභාරය සහ එහි නිරවද්‍යතාවය කෙරෙහිය.

 

විශේෂයෙන්ම රිටොක්සිමැප් ඖෂධය සැපයීම සඳහා ඉදිරිපත් වූ සමාගමේ නම සංක්ෂිප්ත ලේඛනවලට ඇතුළත් කිරීමේදී "ඒ.ජී" (AG) යන කොටස හැලී යාම අත්වැරදීමක් බව ඇය මෙහිදී පිළිගත්තාය.

 

නීතිඥවරයා: ඔබ විසින් ලකුණු කළ දෙසිය හතලිස් එක (A) 2 ලේඛනය බලන්න. එහි සැපයුම්කරුගේ නම කුමක්ද?

සාක්ෂිකාරිය: අයි සොලිස් බයෝටෙක් පමා ඒ.ජී ලෙස එහි සඳහන් වෙනවා.

නීතිඥවරයා: අදාළ සංක්ෂිප්ත ලේඛණය සකස් කළේ ඔබ. එහි කුමක් හෝ වරදක් තිබෙනවා බව පේනවා ද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි.

නීතිඥවරයා: කෑල්ලක් අඩුයි නේද?

සාක්ෂිකාරිය: අයි සොලෙස් බයෝටෙක් පාමා යනුවෙන් පමණයි එහි සඳහන් වන්නේ. "ඒ ජී" යන්න සඳහන් වන්නේ නෑ.

නීතිඥවරයා: එය අත් වැරදීමක්ද?

සාක්ෂිකාරිය: අත් වැරදීමක්.

නීතිඥවරයා: එවැනි අත්වැරදීම් සිදුවිය හැකිද?

සාක්ෂිකාරිය: මෙවැනි ලේඛන සැකසීමේදී එවැනි අත්වැරදීම් විය හැකියි.

 

විචාරාත්මක සටහන:

මෙම සංවාදය හරහා නීතිඥවරයා අධිකරණයට පෙන්වා දීමට උත්සාහ කරන්නේ, ප්‍රසම්පාදන වාර්තාවල ඇති ඇතැම් දෝෂ සිතාමතා කළ සැලසුම් සහගත වංචාවකට වඩා, කාර්යබහුල පරිසරයකදී පහළ මට්ටමේ නිලධාරීන් අතින් සිදුවූ ලිපිකාරී අත්වැරදීම් (Clerical errors) විය හැකි බවයි. තවද, ඖෂධ තොග ශුන්‍ය මට්ටමේ පැවතීම පිළිබඳ තමාට කිසිදු තාක්ෂණික අවබෝධයක් නොතිබූ බවත්, තමන් හුදෙක් ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් මත අදාළ ලේඛන යතුරුලියනය කිරීම පමණක් සිදු කළ බවත් සාක්ෂිකාරිය අවධාරණය කළාය.

 

 

වගකීම, අනුමත කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ

(2 වන විත්තිකරුගේ හරස් ප්‍රශ්න විමසීම)

 

දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ගේ හරස් ප්‍රශ්න විමසීමේදී, අදාළ කමිටුවල සංයුතිය, ඔවුන්ගේ සාමූහික වගකීම සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරිණි. ප්‍රධාන අභ්‍යන්තර විගණක සී.එච්.ආර්.එම් ප්‍රේමතුංග  ඇගයීම් කමිටුවේ සිටියදීත් මෙම ක්‍රියාවලියේ ඇති දෝෂ පෙන්වා නොදීම මෙහිදී ප්‍රශ්නගත විය.

 

නීතිඥවරයා: අභ්‍යන්තර විගණකවරිය කිසියම් කටයුත්තක් කිරීමේදී ඒ සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි නේද?

සාක්ෂිකාරිය: (ඇය දැනටමත් ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කරන බව පිළිගනී)

නීතිඥවරයා: 6x6 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ 'වෛද්‍ය සැපයුම් අංශයේ එක' කියලා කරන්න කිව්වේ කවුද?

සාක්ෂිකාරිය: ටයිප් කළේ බුත්පිටිය මහතාගේ උපදෙස් මත. නීතිඥවරයා: එය වැරදියි නේද? සාක්ෂිකාරිය: එය හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. මට දුන්න උපදෙස් අනුව මම ටයිප් කලා.

 

 

මෙහිදී අතිශය වැදගත් නීතිමය තර්කයක් මතු වූයේ, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය හෙවත් WOR (Waiver of Registration) සම්බන්ධයෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති වුවද අවම මිල ලබාදෙන සැපයුම්කරුවන්ට අවස්ථාව ලබා දීම මාර්ගෝපදේශයක්දැයි නීතිඥවරයා විමසූ විට, සාක්ෂිකාරිය ඊට සෘජු පිළිතුරක් දීම මගහරිමින් ප්‍රකාශ කළේ තමා "WOR යනු Waiver of Rgistration යන්න පමණක් දන්නා බවත්, ඒ ගැන අදහස් දැක්වීමට තමන්ට නොහැකි බවත්ය."

 

 

නිල තනතුරුවල සීමාවන් සහ නියෝග ක්‍රියාත්මක කිරීම

(9 වන විත්තිකරුගේ හරස් ප්‍රශ්න විමසීම)

 

 

නම වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක විසින් සාක්ෂිකාරියගේ නිල තනතුර සහ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අවස්ථා හතරකදී ලබා දුන් ප්‍රකාශවල පරස්පරතා පිළිබඳව ප්‍රශ්න කරන ලදී.

 

නීතිඥවරයා: ඔබ සංවර්ධන නිලධාරිනියක් නේද?

සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.

නීතිඥවරයා: ඔබ ප්‍රසම්පාදන නිලධාරිනියක්ද?

සාක්ෂිකාරිය: මා ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා.

නීතිඥවරයා: ඔබට ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස පත්වීමක් තිබෙනවාද?

සාක්ෂිකාරිය: එවැනි පත්වීමක් නෑ. නමුත් මම ප්‍රසම්පාදන කටයුතු වලට අදාල කටයුතු කළා. එවැනි අවස්ථාවලදී ප්‍රසම්පාදන නිලධාරිනියක් ලෙස හැඳින්විය හැකියි.

 

ප්‍රසම්පාදන කටයුතු සඳහා තමාට නිල පත්වීමක් නොතිබූ නමුත් ඉහළ නිලධාරීන්ගේ සෘජු උපදෙස් මත තමා එම කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළාය. රාජ්‍ය සේවයේ ධුරාවලියට යටත්ව, ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව නියෝග ක්‍රියාත්මක කිරීම වරදක් ලෙස තමන් නොදකින බව ද ඇය සඳහන් කළාය.

 

 

සමස්ත නීතිමය විශ්ලේෂණය සහ නඩුකරයේ දිශානතිය

 

 

මාධ්‍ය වාර්තාකරණයේ සදාචාරාත්මක සීමාවන් සහ අධිකරණයට අපහාස නොවන පරිදි (Sub Judice) මෙම සාක්ෂි සටහන් විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණක් තිබේ. එනම්, විත්තියේ ප්‍රධාන උපායමාර්ගයක් වන මෙම සම්පූර්ණ ප්‍රසම්පාදන යාන්ත්‍රණය තුළ පැවති පද්ධතිමය දුර්වලතා සහ සන්නිවේදන බිඳවැටීම් (Systemic failures and communication gaps) ඉස්මතු වීම නොවැලැක්විය හැකි බවයි.

 

 

 

පහළ මට්ටමේ ලිපිකාරී නිලධාරීන් (සංවර්ධන නිලධාරීන් වැනි) හුදෙක් යන්ත්‍රානුසාරයෙන් වාචික හෝ ලිඛිත නියෝග ක්‍රියාත්මක කර ඇති බවත්, ඔවුන්ට ඖෂධවල තොග මට්ටම් හෝ NMRA නියාමන රෙගුලාසි පිළිබඳ තාක්ෂණික අවබෝධයක් නොතිබූ බවත් මෙම සාක්ෂි මගින් තහවුරු කිරීමට විත්තිය උත්සාහය සාර්ථකය සහ නිවැරදිය. අනෙක් අතට, කමිටුවල සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අභ්‍යන්තර විගණන යාන්ත්‍රණයන් පවා අදාළ අඩුපාඩු (උදා: සමාගම් නාමවල දෝෂ සහ WOR ක්‍රියාපටිපාටියේ ගැටලු) එකල හඳුනාගෙන නිවැරදි කර නොමැති නම්, එක් පාර්ශ්වයක් මත පමණක් සාපරාධී චේතනාවක් (Mens rea) පැටවීම නීතිමය වශයෙන් අභියෝගයට ලක් කෙරෙමින් පවතී.

 

 

 

සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක් සහ නඩු භාණ්ඩ 300 කට ආසන්න සංඛ්‍යාවක් ඇති, මෙරට රාජ්‍ය පරිපාලනය සහ ප්‍රසම්පාදන නීතිය පිළිබඳ විශාල කියවීමක් ලබාදෙන මෙම දැවැන්ත නඩුවේ හරස් ප්‍රශ්න විමසීම් ඉදිරි දිනවලදී තවදුරටත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

 

 

(මෙම සාක්ෂිකාරියගෙන් තවත් දින දෙකක කාලයක් හරස් ප්‍රශ්න විමසීමට ඇති බැවින්, එය ඉදිරි දිනවලදී සිදු කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත.)

නවතම ලිපි