"මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් ජීවිතේට දැකලා නෑ!"
විත්තියේ විරෝධය මැද පැමිණිල්ලට විනිසුරුගෙන් දැඩි අවවාද!
සාක්ෂි පනත කඩවූ පෙර සාක්ෂියකුත් සම්පූර්ණයෙන්ම ඉවතට!

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව මේ වන විට මෙරට නීති ඉතිහාසයේ සුවිශේෂීම සන්ධිස්ථානයකට එළඹෙමින් තිබේ. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් දැනටමත් චූදිතයින් "වරදකරුවන්" ලෙස නම් කර මහජන අධිකරණයේ තීන්දු ලබා දී අවසන් වුවද, සැබෑ අධිකරණය තුළ දිගහැරෙන සාක්ෂි විභාගය පෙන්නුම් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රයකි.
ඊයේ (27) දින පැවති නඩු විභාගය, විමර්ශකයින්ගේ සහ පැමිණිල්ලේ අඩුපාඩු මෙන්ම විනිසුරු මඩුල්ලේ දැඩි අපක්ෂපාතීත්වය මනාව නිරූපණය කළ ඓතිහාසික දිනයක් ලෙස හැඳින්විය හැකිය.
පද්ධති දත්ත සහ විමර්ශන වාර්තාවල හිඩැස්
නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් හිජාස් ගේ සාක්ෂිය මඟින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නඩුව ගොඩනැගීම සඳහා පදනම් කරගත් දත්ත වාර්තාවල (පැ 293 සහ පැ 294) විශ්වසනීයත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු විය.
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ සාක්ෂිකරු අතර වූ පහත සංවාදය ඊට කදිම නිදසුනකි:
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"පැ 294 ලේඛනය පරිගණකයෙන් ජෙනරේට් කළ එකක් බව කීවා. ක්වරි (Query) එකක් ලියා පැ 293 ට මේ වගේ එකක් හැදුවේ නැත්තේ ඇයි?"
සාක්ෂිකරු:
"තීරු ටික නිසා."
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"පැ 293 2,3,4,5 තීරුවලට තොරතුරු ගත්තේ කොහෙන්ද?"
සාක්ෂිකරු:
"ඒවා ගත්තේ පොරොත්තු ලේඛන බලලා."
මේ අනුව පැහැදිලි වන්නේ, චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති ඇතැම් තීරණාත්මක වාර්තා පද්ධතියෙන් ස්වයංක්‍රීයව ලබාගත් (System Generated) ඒවා නොව, නිලධාරියෙකු විසින් බාහිර ලේඛන බලා අතින් සකස් කළ (Manual) තොරතුරු අඩංගු ඒවා බවයි. එපමණක් නොව, ඊවිස් (Ewis) වැනි බාහිර සමාගමකටද වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්තවලට පිවිසීමේ හැකියාව තිබූ බව සාක්ෂිකරු පිළිගැනීම හරහා පද්ධතියේ ආරක්ෂාව සහ දත්තවල අඛණ්ඩතාව (Data Integrity) පිළිබඳව නෛතිකව විශාල සැකයක් විත්තියට මතු කිරීමට අවස්ථාව උදා වී ඇත.
-739556.jpg)
නීතිඥ විරෝධතා සහ විනිසුරුවරුන්ගේ දැඩි මැදිහත්වීම
අධිකරණය හුදෙක් පැමිණිල්ලේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියාත්මක නොවන බවත්, නෛතික රාමුව සහ සාධාරණත්වය වෙනුවෙන් විනිසුරු මඩුල්ල කෙතරම් සීරුවෙන් සිටිනවාද යන්නත් ඊයේ මනාව තහවුරු විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සාක්ෂිකරුගේ විෂය පථයට අයත් නොවන "බෆර් ස්ටොක්" (Buffer stock) පිළිබඳව දිගින් දිගටම විමසූ අවස්ථාවේදී විත්තියේ නීතිඥ අමිත ආරියරත්න දැඩිව මැදිහත් විය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
"බෆර් ස්ටොක් (Buffer stock) ගැන ඇහුවා නේද?"
සාක්ෂිකරු:
"ඒ ගැන මම මොනවත් දන්නේ නැහැ."
නීතිඥ අමිත ආරියරත්න (විරෝධය පළ කරමින්):
"නැවත ප්‍රශ්න ඇසීමේදී ඔහොම අහන්න එපා. මම ජීවිතේට උසාවියක මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් දැකලා නැහැ."

මෙහිදී සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැඩිව අවවාද කිරීම, පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන්ගෙන් නීති විරෝධී හෝ අදාළ නොවන ආකාරයෙන් බලහත්කාරයෙන් කරුණු උකහා ගැනීමට දරන උත්සාහයන් අධිකරණය විසින් නොඉවසන බවට දෙන ලද ප්‍රබල පණිවිඩයකි.
ඊට අමතරව එදින අධිකරණයේ සිදුවූ තවත් සුවිශේෂී නෛතික මැදිහත්වීමක් වූයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගණකාධිකාරී ඩයනා නිශාන්ති ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ගත් තීරණයයි. ඇයගෙන් පෙර සාක්ෂි ලබාගෙන තිබුණද, ඇය මගින් අධිකරණයට භාරදෙන ලේඛන සාක්ෂි ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ආරම්භ කර නොමැති බැවින් පෙර සාක්ෂිය සම්පූර්ණයෙන් නොසලකා හැර, සාක්ෂිකාරියගෙන් නැවත මුල සිට සාක්ෂි ආරම්භ කිරීමට විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය. මෙම නඩුව කෙතරම් තාක්ෂණික හා නෛතික නිරවද්‍යතාවයකින් යුතුව විභාග වන්නේද යන්න මෙයින් තවදුරටත් සනාථ වෙයි.

විත්තිය මතු කළ සැබෑ යථාර්ථය: දූෂණයක්ද? නැතහොත් ආර්ථික අර්බුදයේ කළමනාකරණයක්ද?
මෙම නඩුව හුදෙක් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් කළ දූෂණයක් යන පටු මාධ්‍ය ආඛ්‍යානයෙන් ඔබ්බට ගෙන යමින්, 2022 වසරේ මුළු රටම මුහුණ දුන් දැවැන්ත ආර්ථික සහ ඩොලර් අර්බුදයේ යථාර්ථය විත්තියේ නීතිඥවරුන් වන නයන්ත විජේසේකර සහ අසේල සේරසිංහ ගේ හරස් ප්‍රශ්න මගින් අධිකරණයට ගෙන ආවේය.
නීතිඥ:
"රටේ පැවති අර්බුදය සංස්ථාවට බලපෑවේ කොහොමද?"
සාක්ෂිකරු:
"ආනයනය කර සපයන සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවිය යුතුයි. බැංකුවල පවා ඩොලර් තිබුණේ නැහැ... අපි ණයවර ලිපි ලියා ඩොලර් ඉල්ලා ගත්තා."
නීතිඥ:
"මහා භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ප්‍රතිපාදන නොලැබෙන බව කියැවෙනවා. එය පැහැදිලි කරන්න."
සාක්ෂිකරු:
"අපට රුපියල් මිලියන 45,000 දීලා තිබුණා. එයට අදාළව මුදල් ලැබිය යුතු නමුත් මේ ලියුම ලියද්දීත් ලැබිලා නැහැ."
නීතිඥ:
"ඔය ලියුමේ දෙවන ඡේදයේ තිබෙන කරුණු අධිකරණයට කෙටියෙන් පැහැදිලි කරන්න."
සාක්ෂිකරු:
"බැංකුවලට රුපියල් බිලියන 40ක් ණයයි... 2023 මාර්තු වෙද්දි සෑම මසක මිලියන 300ක් පොලී ලෙස ගෙවන්න වුණා. මේ නිසා ආයතනය පාඩු ලබන්න ඉඩ තිබෙනවා."
මෙම හරස් ප්‍රශ්න කිරීම් හරහා විත්තිය ගොඩනගන ප්‍රබලතම තර්කය වන්නේ, රෝහල් පද්ධතියට අඛණ්ඩව ඖෂධ සැපයීම ("Smooth supply") වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ මුදල් නොමැති තැන, පවතින නීතිමය හා ප්‍රායෝගික රාමුව තුළ නිලධාරීන්ට දැවැන්ත මූල්‍ය අවදානමක් සහ අර්බුද කළමනාකරණයක් කිරීමට සිදුවූ බවයි.
ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක්
මාධ්‍ය විසින් චූදිතයන් මංකොල්ලකරුවන් ලෙස හංවඩු ගසා තිබුණද, නඩු විභාගයේදී හෙළිවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල පවතින තාක්ෂණික අඩුපාඩු, සාක්ෂි ආඥාපනතේ දැඩි රාමුව තුළ පැමිණිල්ලට එල්ල වන අභියෝග සහ 2022 ආර්ථික අර්බුදයේ සැබෑ සන්දර්භය, මෙම නඩුව සම්පූර්ණයෙන්ම වෙනස්ම දිශාවකට ගෙන යමින් තිබේ.
ප්‍රමාණවත් විමර්ශනයකින් තොරව ගොනු කරන ලද චෝදනා, සාක්ෂි කූඩුව තුළදී බිඳ වැටෙන ආකාරය මෙම නඩුවෙන් අනාගත නීති ඉතිහාසයට කදිම පූර්වාදර්ශයක් සපයනු ඇත. මෙය හුදෙක් ඖෂධ නඩුවක් පමණක් නොව, විමර්ශන ආයතනවල වෘත්තීයභාවය ප්‍රශ්න කෙරෙන සහ මාධ්‍ය ආඛ්‍යාන පරදවා නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ඓතිහාසික නඩු විභාගයක් බවට පත්වීමේ සියලු ලක්ෂණ මේ වන විටත් පහළ වී තිබේ.

නඩු වාර්තාව
2026/05/27
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීම් සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඊයේ (27) ආරම්භ වූ අවස්ථාවේ 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතාගේ උපදෙස් මත නීතිඥ චරිතා මධුවන්ති පෙනී සිටියාය.
නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා දැඩි ලෙස ගිලන්ව සිටින බැවින් තමන් ඔහු වෙනුවෙන් පෙනී සිටින නමුත් විත්තියේ හරස් ප්‍රශ්න නොඅසන බවත්, විත්තිය වෙනුවෙන් අසා ඇති ප්‍රශ්න මත රඳා පවතින බවත්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් හිජාස් අබ්දුල් කාදර් මහතා සාක්ෂි දීමට පැමිණ සිටි අතර, විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් වූ බැවින් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, 4 වන චූදිත වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාවේ 10v44 ලේඛනය පෙන්වා සිටියාය. එහි මිලදී ගත් ඒකක පෙන්වා සිටි අතර අයිසොලෙස් බයෝ ෆාමා එහි ඇතුළත් වී ඇති බව කීවාය. වෛද්‍ය සැපයුම් ඒකකය මේ ලේඛනය හදා ඇති බවත්, මෙහි මොඩියුල් එකේ සීල් තබා ඇති අන්දම පෙර සාක්ෂිවල කී බවත්, මිලදී ගැනීම් ඒකකයේ සැපයුම්කරුවන්ගේ නම ඇතුළත් කරන හැටි පැවසුවාය. පද්ධතියේ ඇතුළත් නම් ඩ්‍රොප් බොක්ස් එකෙන් ගන්න පුළුවන් බව පැවසුවාය.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලියාපදිංචි වී නැති සැපයුම්කරුවෙකු පද්ධතියට ඇතුළත් කළ නොහැකිද?
සාක්ෂිකරු: නොහැකි ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අලුත්ම සැපයුම්කරුවෙකු ඇතුළත් කරන ක්‍රමවේදය කුමක්ද?
සාක්ෂිකරු: ඔහු අලුත් සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි කර ඉන්පසු ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකට ඇතුළත් කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කාටද අලුත් සැපයුම්කරුවෙකු ලියාපදිංචි කළ හැක්කේ?
සාක්ෂිකරු: ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයුම් අංශයට පුළුවන්. සැපයුම්කරුවන් ලැයිස්තුව ගැන මට දැනුමක් නැහැ. කවුද ඉන්නේ? කවුද නැත්තේ කියා මම දන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අලුත් නමක් නම් ලියාපදිංචි කරන්නම ඕනද නැත්නම් ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් පෙන්වන්නේ නැද්ද?
සාක්ෂිකරු: පෙන්වන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුළු විය හැක්කේ කාටද? තත්ත්ව පරීක්ෂාවට පමණක් ද ඔවුන්ට ඇතුළු විය හැක්කේ?
සාක්ෂිකරු: තත්ත්ව පරීක්ෂාවක් කර නුසුදුසු නම් ඉවත් කරලා ඔවුන් බ්ලොක් කළ හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට ඉහළින් සහකාර අධ්‍යක්ෂ කෙනෙක් ඉන්න බවත් ඔහු සන්දරප්පෙරුම මහතා බවත් ඔබ කීවා. දෙවැන්නා කවුද?
සාක්ෂිකරු: අපි 6 දෙනෙක් ඉන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වැඩිම පළපුරුද්ද තියෙන්නේ කාටද?
සාක්ෂිකරු: මට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට වාර්තා හදන්න බලය දුන්නේ කවුද?
සාක්ෂිකරු: මට හදන්න කිව්වා. ඒ කාලේ වාර්තා හදන්න දන්නේ මම විතරයි. දැන් තව කෙනෙක් පුරුදු කරන්න මට කලින් කෙනෙක් හිටියා. මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඔහු දැන් නැහැ. මාරු වෙලා ගියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් අංශයටත් ඔබ වාර්තා හදලා තියෙනවා ද?
සාක්ෂිකරු: ඔව් හදලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒවාට අත්සන් කරනවාද?
සාක්ෂිකරු: ඉල්ලුවොත් මම හදලා අත්සන් කරලා දෙනවා. නැත්නම් පිටපත යවනවා. අල්ලස් කොමිසම වගේ තැනකට යවන්න නම් සන්දරප්පෙරුම මහතා අත්සන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔහුට මේ පද්ධතියට ඇතුළු වී ක්වරි (Query) එකක් ලියා පද්ධතියේ තොරතුරු ලබාගත හැකිද?
සාක්ෂිකරු: බැහැ, මට විතරයි පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 වාර්තාවේ ප්‍රොන්ටෝ පද්ධතියෙන් දත්ත ලබාගත් බව ලියලා නැහැ කිව්වා.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ මේක හැදුවේ 2020 සැප්තැම්බර් දත්ත පදනම් කරගෙන. 2023 මැයි දක්වා වෛද්‍ය සැපයුම් ඒකකයට තිබුණ පද්ධතිය කුමක්ද?
සාක්ෂිකරු: ප්‍රොන්ටෝ පද්ධතිය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඊයේ කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවූ ලියුමේ දිනයක් නැහැ කියලා. නමුත් ලැබුණු බවට අත්සන් කළ තැන දිනයක් තියෙනවා. ඒ ඔබේ අත්සනද?
සාක්ෂිකරු: ඔව්.
(එම කරුණ සම්බන්ධව විත්තියේ නීතිඥවරයාගේ විරෝධය මතුවේ.)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පෙන්වූ ලිපියට අත්සන සහිතව දිනයක් දමා තිබෙනවා.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ සකස් කළ යුත්තේ මොනවාදැයි කියලා තියෙනවා.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඉල්ලූ දේවල් ද හැදුවේ?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලිපිය ලබා දුන්නද? ලිපිය සමඟ ප්‍රකාශයකුත් දුන්නද?
සාක්ෂිකරු: දුන්නා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 294 ලේඛනය පරිගණකයෙන් ජෙනරේට් කළ එකක් බව කීවා. ක්වරි (Query) එකක් ලියා පැ 293 ට මේ වගේ එකක් හැදුවේ නැත්තේ ඇයි?
සාක්ෂිකරු: තීරු ටික නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මොන තීරුද?
සාක්ෂිකරු: සැපයුම්කරුගේ නම, GRN ප්‍රමාණය ආදිය ප්‍රොන්ටෝ එකේ තිබුණේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 2,3,4,5 තීරුවලට තොරතුරු ගත්තේ කොහෙන්ද?
සාක්ෂිකරු: ඒවා ගත්තේ පොරොත්තු ලේඛන බලලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ 182 ක ලැයිස්තුවක් තිබුණද?
සාක්ෂිකරු: ඔව්, ඒ අයිතමවලට අදාළව 2,3,4,5 තීරු මැනුවල් ලයිස්තුවෙනුත් බලාගත හැකි වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 294 ලේඛනයේ පළමු පිටුවේ තිබෙන්නේ දෛනික තොග ලැයිස්තුව. මාසේ පළමු වැනිදා සිට 30 වැනිදා දක්වා ද තියෙන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 7, 8 තීරු වලට තොරතුරු ගන්නේ කොහෙන්ද?
සාක්ෂිකරු: මැනුවල් චෙක් කරලා ගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලැබුණු දිනය ගන්නේ කොහොමද?
සාක්ෂිකරු: ප්‍රොන්ටෝ පද්ධතියෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 294 සම්පූර්ණයෙන්ම ජෙනරේට්මද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 හා පැ 294 ලේඛනවල අත්සන් කාගෙද?
සාක්ෂිකරු: මගේ ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග පාලන නිලධාරීට පද්ධතියට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, ඔහුට බලන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මිලදී ගැනීම් ඇනවුම බැලිය හැකිද?
සාක්ෂිකරු: සියලු තොරතුරු බැලිය හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ අයට අවශ්‍ය අවස්ථාවල ඔබ ගිහින් උදව් කරනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇවෝඩ් ප්‍රයිස් (Award price) වලට ඔබට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු: නැහැ. මම ඒක දැක නැහැ ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කිසිම තැනක මිල ගණන් දැක නැද්ද?
සාක්ෂිකරු: නැත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩිට් ලොග් (Audit log) ගැන ප්‍රශ්න ඇසුවා. ඔබ කිව්වා ඒ මෙම පද්ධතිය ඇතුළේ තියෙන ඇක්ටිව් ලොග් එක කියලා. මේ පද්ධතිය භාවිතා කරන්නන්ට එහි ඇතුළත් කළ දත්ත පරීක්ෂා කරන්න හැකියාවක් තිබේද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වැරදි දත්ත ඇතුළත් වුණොත් නිවැරදි කළ හැකි වෙරිෆිකේෂන් ටීම් එකට ඇතුළු විය හැකිද?
සාක්ෂිකරු: එහෙම එන්න බැහැ. අපි එයාලට කිව්වොත් පමණයි ඔවුන් එන්නේ. එහෙම ලිව්වම එයාලා දිනයක් දෙනවා එන බව කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ හරහා ද ඒ අවසර ගන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩිට් ලොග් එක බැලුවම පද්ධතියේ වෙනස්කම් කර තිබේදැයි බැලිය හැකිද?
සාක්ෂිකරු: පෙර තොරතුරු (History) බලන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඉදිරිපත් කළ වාර්තාවේ නිවැරදි බව ඕඩිට් ලොග් එකෙන් බලන්න බැරිද?
සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊවිස් (Ewis) සමාගමට බැරිද වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්තවලට ඇතුළු වෙන්න?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පොරොත්තු ඇනවුම්වල තොරතුරු ගැන වෛද්‍ය සැපයුම් ඒකකයේ බලන්නේ කවුද?
සාක්ෂිකරු: තොග පාලන නිලධාරී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 ලේඛනයේ 2v28 තීරුවේ 6 හි 2022 සැප්තැම්බර් 30 වෙනිදා වන විට ඖෂධ ඒකක 4500ක් තිබිලා තියෙනවා.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 ඔක්තෝබර් 30 වෙද්දි 9111ක් තිබිලා. මාසෙකට ඕන 7500යි.
සාක්ෂිකරු: ඔව් නොවැම්බර් අන්තිම වෙද්දි 1500ක් තිබිලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 16557 ඉතිරි වෙලා තිබිලා තියෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හැම මාසයකම අවසන් දිනයේදී රටේම තියෙන ප්‍රමාණය පෙන්වා දෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: බෆර් ස්ටොක් (Buffer stock) ගැන ඇහුවා නේද?
සාක්ෂිකරු: ඒ ගැන මම මොනවත් දන්නේ නැහැ.
(විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා එම ප්‍රශ්නය ගැන විරෝධය පළ කරයි)
නීතිඥ: නැවත ප්‍රශ්න ඇසීමේදී ඔහොම අහන්න එපා. මම ජීවිතේට උසාවියක මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් දැකලා නැහැ.
මෙහිදී සභාපති විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට අවවාද කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන් ගන්න පද්ධතියෙන් ඩ්‍රොප් ඩවුන් (Drop down) කරලා විතරද ගන්න පුළුවන්?
සාක්ෂිකරු: නැහැ, සර්ච් කරන්න පුළුවන්. ෆයින්ඩ් (Find) කියලා බොත්තමක් තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕඩර් ලිස්ට් එකේ v අකුර කුමක්ද? කවුද එය ක්‍රියේට් කළේ?
සාක්ෂිකරු: ඊවිස් ආයතනය. අපේ ආයතනයේ 2022 දී පමණ මගේ අනෙක් නිලධාරියාගේ ඉල්ලීමකට.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති දේව සුරේන්ද්‍ර මහත්මිය සාක්ෂි දීම සඳහා කැඳවන ලදී.
සාක්ෂිකාරියගෙන් පෙර සාක්ෂි ලබාගෙන තිබුණද ඇය මගින් අධිකරණයට භාරදෙන ලේඛන සාක්ෂි විධිවිධාන පනත ප්‍රකාරව ආරම්භ කර නොමැති බැවින් පෙර සාක්ෂිය සම්පූර්ණයෙන් නොසලකා සාක්ෂිකාරියගෙන් නැවත සාක්ෂි ආරම්භ කිරීමට විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ මොන වර්ෂයේද පත්වීම ලැබුවේ?
සාක්ෂිකරු: 2000 වසරේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෙනත් ආයතනයකත් සේවය කළාද?
සාක්ෂිකරු: නැහැ, සංස්ථාවටමයි ආවේ. ආදායම් අංශයටයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊට අදාළ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
සාක්ෂිකරු: වරලත් ගණකාධිකාරී, වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඒ සුදුසුකම ලබා ගත්තේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ සංස්ථා ආදායම් අංශය තුළ තවත් අංශ තිබේද?
සාක්ෂිකරු: නැහැ, මම මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ගිණුම් අංශය තුළ ඇති තවත් අංශ මොනවාද?
සාක්ෂිකරු: ගෙවීම් අංශය, ඔසුසල මෙහෙයුම්, වැටුප්, ආදායම් ඇතුළු අංශ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ගෙවීම් අංශයේ ප්‍රධාන කාරණය කුමක්ද?
සාක්ෂිකරු: ඖෂධ සංස්ථාවේ සියලු ගෙවීම් අංශයෙන් කරන්නේ. චෙක්පත් මගින් ගෙවීම් කරන එක. ගෙවීම් චෙක්පත් මඟින් ණයවර ලිපි සඳහා ගෙවීම් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මොන ඔපරේෂන් (Operation) සඳහාද?
සාක්ෂිකරු: රජයට බෙහෙත් සපයන ක්‍රියාවලිය සහ විවෘත වෙළඳපොළ සම්බන්ධ ක්‍රියාවලිය සඳහා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ සඳහා මුදල් කොහෙන්ද?
සාක්ෂිකරු: අයවැයෙන් වෛද්‍ය සැපයුම් සඳහා මුදල් වෙන් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය සෘජුවම මහා භාණ්ඩාගාරයෙන් ඔබට දෙනවාද?
සාක්ෂිකරු: 2014 ට පෙර සෘජුවම දුන්නා. දීලා රේඛීය අමාත්‍යාංශය දැනුවත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එක අවස්ථාවක මහා භාණ්ඩාගාරයෙන් ලැබුණ බව කිව්වා නේද?
සාක්ෂිකරු: මහා භාණ්ඩාගාරයෙන් අපට මුදල් නිකුත් කරනවා. මහා භාණ්ඩාගාරයෙන් 2023 දක්වා අපේ ගිණුමට මාසිකව මුදල් දැම්මා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා මුදල් කොහෙන්ද?
සාක්ෂිකරු: අපි කිසිම අවස්ථාවක විවෘත වෙළඳපොළ මෙහෙයුම් සඳහා රජයේ මුදල් යොදවන්නේ නැහැ. ඒවාට සංස්ථා ඉපැයීම් යොදවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන්ට කරන ගෙවීම් ආරම්භ වෙන්නේ කොහොමද? මම අහන්නේ ආනයන කරන ඒවා නෙමෙයි. චෙක්පත්වලින් කරන දේශීය ගෙවීම්.
සාක්ෂිකරු: ප්‍රසම්පාදන අංශය විසින් ගෙවීම් කළ හැකි ඒවා කරන්න කියනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ සඳහා ලිපිගොනු සකසන්නේ කොහේද?
සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් අංශයට අපි හරපතක් දෙනවා. ඒක ඉන්වොයිසියක් හා සමානයි. පසුව බෙදා හැරීමේ අංශයට යවනවා. ඒ සමගම බඩු බෙදා හැරලද කියලා තහවුරු කරගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත් එකතු කිරීමකදී ගෙවීම් අංශයේ රාජකාරිය කුමක්ද?
සාක්ෂිකරු: අපි ලැබීම් ගිණුම යථාවත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හැම මාසයක් අවසානයේදීම හරපත්වල වටිනාකම ඇතුළත් කරනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත්වලට ගෙවීම් ලැබෙන්නේ වසර අවසානයේද?
සාක්ෂිකරු: නැහැ, වසර පුරාම.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: හරපත්වල සියලු වටිනාකම්වලට අනුව සියල්ල ලැබිලාද කියලා බලනවාද?
සාක්ෂිකරු: හැම වෙලේම ලැබිය යුතු ශේෂය වැඩියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊට හේතුව කුමක්ද? ඌණතාවක් පෙන්වනවාද?
සාක්ෂිකරු: ඔව්, ඒක ඉදිරියට යනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: යම් වසරක අලුත් සැපයීම් කරන්නත් සිද්ධ වෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දෙද්දී ලැබීම් ගැන කරුණු කිව්වාද?
සාක්ෂිකරු: ලැබිය යුතු ශේෂය ආදිය කිව්වා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වාර්තාවට ඉදිරි වර්ෂයේ ගේන ශේෂය හදලා තියෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සංස්ථාව වෛද්‍ය සැපයීම් කරන්නේ ඉල්ලීම්වලටද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අදාළ වර්ෂයේදී වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලන ඖෂධ ඔක්කොම දෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැපයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතුයිනේ. ඒවා කරන්නේ ඔබ ආයතනයෙන්ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මිලදී ගන්න මුදල් නැත්නම් මොකද කරන්නේ?
සාක්ෂිකරු: බැංකු අයිරා පහසුකම් ලබාගන්නවා. එයට රේඛීය අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබලා එය දැනුම් දෙන්නේ කාටද?
සාක්ෂිකරු: අමාත්‍යාංශ ලේකම්වරයාට, ඒ හරහා අමාත්‍යවරයාට. මුලදී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අයිරා පහසුකම් වැඩි කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. තීරණය අරන් ඇමතිතුමාට යවනවා. ඒ අනුමැතිය මහා භාණ්ඩාගාරයට යවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකය ඉල්ලුවම අයිරා පහසුකම් මත හෝ ඔබ එය කරනවා.
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 වසරේ ආරම්භක ශේෂය වශයෙන් රුපියල් මිලියන 52639ක් තිබිලා. ඒ වසරේ රුපියල් මිලියන 40627ක් සැපයුම් කරලා. එම හරපත් සඳහා රුපියල් මිලියන 41886ක් ඔබට ලැබී තිබෙනවා.
සාක්ෂිකරු: මෙහි ණය ගැති මුදල 52639ක් සමුච්චිත අගය දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු අගයකි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ ලේඛනයේ යටින් ඇති කොටුවේ සඳහන් අගයන් මොනවාද?
සාක්ෂිකරු: ටර්ම් ලෝන් (Term loan) (2017-2018 දී ඇති වූ ඩිපෝසිට් මත ඇති වූ එකක්). කැබිනට් මණ්ඩල තීරණයක් මත ණය මුදලක් බවට පත් කළා. එය වාරිකව ලැබුණේ කොටස් ලෙස ගෙවාගෙන ගියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලෝක බැංකු ආධාරත් ලැබිලා තිබෙනවා. ඒවා අඩු කර තිබෙන්නේ ඇයි?
සාක්ෂිකරු: ලෝක බැංකුවෙන් අපේ සැපයුම්කරුවන්ට ගෙවනවා. ඒ නිසා ඒවාත් ලැබීම් සේ සලකනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022-2023 වසරවලට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකය ඇනවුම්වලට අමතරව සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම් ගැන ගැටලුවක් තිබුණාද?
සාක්ෂිකරු: ගෙවීම් කරන්නේ ලැබෙන මුදල්වලින්. දෙසැම්බර් බැංකු අයිරාව වැඩි කරගෙන තිබුණා. ලැබුණු මුදල වැය කළා.
(8 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසේකර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)
නීතිඥ: රටේ පැවති අර්බුදය සංස්ථාවට බලපෑවේ කොහොමද?
සාක්ෂිකරු: ආනයනය කර සපයන සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවිය යුතුයි. බැංකුවල පවා ඩොලර් තිබුණේ නැහැ.
නීතිඥ: ඩොලර් හිඟය කොපමණ කල් බලපෑවාද?
සාක්ෂිකරු: මාස හතරක් පහක්. අපි විසඳුම් සොයා ගත්තා. අපි ණයවර ලිපි ලියා ඩොලර් ඉල්ලා ගත්තා.
නීතිඥ: කොයි කාලේද?
සාක්ෂිකරු: 2022 මාර්තු, අප්‍රේල් වගේ.
නීතිඥ: එවකට සභාපතිවරයා සරත් ලියනගේ මහතාද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඔහු කොපමණ කල් වැඩ කළාද?
සාක්ෂිකරු: අවුරුද්දක් පමණ.
නීතිඥ: ඒ කාලයේ ඔහු හා වැඩ කරද්දී රාජකාරිමය ලිපි ගනුදෙනු වුණාද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඔබට ඔහුගේ අත්සන දැකලා පුරුදු ඇති.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 2022 ඔක්තෝබර් 04 දිනැති ලිපියක් තිබෙනවා. එය අත්සන් කර ඇත්තේ කවුද?
සාක්ෂිකරු: එවකට සභාපති සරත් ලියනගේ මහතා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ඇමතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට යැවූ එකක්.
නීතිඥ: ඔය ලියුමේ පළමු ඡේදයේ සඳහන් එය ලියන්නේ සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අපහසුතා ගැන දැනුවත් කිරීමට බව.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: එහි තුන්වන ඡේදයේ සඳහන් ඒ අවස්ථාව වන විට සංස්ථාව මිලියන 16000ක බැංකු අයිරා මත සිටි බව.
සාක්ෂිකරු: ඔව්, ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබා ගත් බැංකු අයිරා දෙකක එකතුව.
නීතිඥ: 2022 අගෝස්තු වන විට බැංකු අයිරාවේ පොලිය පමණක් රුපියල් මිලියන 1668ක් ගෙවිය යුතු බව සඳහන්.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: මෙය ආයතනයට දැරිය නොහැකි වියදමක්.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: මහා භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ප්‍රතිපාදන නොලැබෙන බව කියැවෙනවා. එය පැහැදිලි කරන්න.
සාක්ෂිකරු: අපට රුපියල් මිලියන 45000 දීලා තිබුණා. එයට අදාළව මුදල් ලැබිය යුතු නමුත් මේ ලියුම ලියද්දීත් ලැබිලා නැහැ. මුදල් ලබා ගැනීමේ අරමුණින් ලියුම යැව්වා.
නීතිඥ: 2022 ඔක්තෝබර් 04 වන විටත් එම වසරට ගෙවිය යුතු මුදල ලැබිලා නැහැ.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: රුපියල අවප්‍රමාණය වීමක් ගැන ද එහි සඳහන් වෙන්නේ? ඔබ ඒ ගැන දන්නවාද?
සාක්ෂිකරු: මෙය විදේශ මුදල් හිඟයක් ලෙස අපි දැක්කේ.
නීතිඥ: මේ ලියුමේ 5 වන ඡේදය විස්තර කරන්න.
සාක්ෂිකරු: මෙහි තියෙන්නේ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ප්‍රමාණයයි.
නීතිඥ: සංස්ථාවට තවදුරටත් ස්මූත් සප්ලයි (Smooth supply) කළ නොහැකියි කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු: බාධාවකින් තොරව සැපයුමක් කළ නොහැකි බවයි.
නීතිඥ: දැන් ඔබ ඉදිරියේ 2023 මාර්තු 16 දින එවකට සභාපතිවරයාගේ අත්සනින් යැවූ ලිපියක් තිබෙනවා. SPC ශීර්ෂය යටතේ තියෙන්නේ. 8v7 ලෙස සඳහන් ලිපියේ දකුණුපස ඉහළ කෙළවරේ අංකයක් තිබෙනවාද?
සාක්ෂිකරු: ගොනුගත කළ අංකය.
නීතිඥ: මූල්‍ය ප්‍රතිපාදන හා මූල්‍යමය තත්ත්වය ගැන ද එහි හෙළි කරන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 2022 දෙසැම්බර් 11 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සංස්ථාවට රුපියල් බිලියන 51.3ක හිඟයක් තිබෙනවා.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඔය ලියුමේ දෙවන ඡේදයේ තිබෙන කරුණු අධිකරණයට කෙටියෙන් පැහැදිලි කරන්න.
සාක්ෂිකරු: මේ පවතින තත්ත්වය හේතුවෙන් ආයතනය ලොස් වෙන්න පුළුවන්. බැංකුවලට රුපියල් බිලියන 40ක් ණයයි. බිලියනයක් කියන්නේ ලක්ෂ දස දහසක්. 2023 මාර්තු වෙද්දි සෑම මසක මිලියන 300ක් පොලී ලෙස ගෙවන්න වුණා. මේ නිසා ආයතනය පාඩු ලබන්න ඉඩ තිබෙනවා.
නීතිඥ: ණයවර ලිපි ගන්න සංස්ථාවට බැරිකමක් තිබුණාද?
සාක්ෂිකරු: බැරිකමක් නැහැ.
(දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම අරඹයි)
නීතිඥ: ඉන්දියානු ණය ආධාර ක්‍රමවේදය දන්නවාද?
සාක්ෂිකරු: ඉන්දියාවේ සිට ආනයනය කරන සැපයුම්කරුවන්ට එම ණය ආධාර ක්‍රමය ඔස්සේ කෙළින්ම ගෙවීම් සිදුවෙයි.
නීතිඥ: දේශීය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවනවාද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ප්‍රතිපාදන නැති වුණොත් මොකද කරන්නේ?
සාක්ෂිකරු: මුදල් නැති වුණොත් අමාත්‍යාංශය දැනුවත් කරනවා මුදල් ලබා දෙන්න කියලා. එවිට අමාත්‍යාංශය මැදිහත්ව මුදල් ලබා දෙනවා.
නීතිඥ: මුදල් ගැන ඉහළම තනතුර අමාත්‍යාංශ ලේකම්. සැපයුම්කරුවන්ට ගෙවන්න ඔහුට මැදිහත් විය හැකිද?
සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනි. භාණ්ඩාගාරයෙන් ඉල්ලන්න ලේකම්ට මැදිහත් විය හැකියි.
නීතිඥ: ගෙවන්නේ නැතිව ඉන්න වෙලා තියෙනවාද?
සාක්ෂිකරු: එහෙම කරලා නැහැ.
නඩු විභාගය ජුනි පළමුවැනිදා යළි පැවැත්වේ.

