SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLLEADER පුවත් | ආර්ථිකය

 

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකම්

(EFF) වැඩසටහනේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් විය. ඒ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ අත්සනින් යුතුව IMF කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත යොමු කරන ලද නවතම අභිප්‍රාය ප්‍රකාශය (Letter of Intent) එළිදැක්වීමත් සමඟිනි.

 

 

මෙමඟින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 670ක (SDR මිලියන 508ක) පමණ තවත් ණය වාරිකයක් හිමිවන නමුත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී ගැනීමට නියමිත ආර්ථික සහ දේශපාලනික වශයෙන් තීරණාත්මක පියවර කිහිපයක් පිළිබඳව මෙම නිල ලියවිල්ලේ අන්තර්ගත වන බව වාර්තා වේ.

 

 

සහනාධාරවලට රුපියල් බිලියන 100ක උපරිම සීමාවක්

මෙම එකඟතාවයේ ජනතාවට වඩාත්ම බලපාන කාරණය වන්නේ දැනට රජය විසින් ලබාදෙන සහනාධාර සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයයි. මෑත කාලීන කලාපීය, දේශගුණික බලපෑම් සහ ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දුන් ඉන්ධන, විදුලිය, පොහොර සහ ධීවර සහනාධාර ඇතුළු සමස්ත බලශක්ති සහන සහ අනෙකුත් සහන පියවරයන් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 100ක උපරිම සීමාවකට යටත් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

 

වඩාත් වැදගත්ම කරුණ වන්නේ, රටේ අසීරුවෙන් ළඟා කරගත් මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ආරක්ෂිත පියවරයන් තහවුරු කර ගැනීම උදෙසා මෙම සහනාධාර ක්‍රමවේදයන් 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට ක්‍රමානුකූලව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට (Phase out) රජය IMF වෙත නිල වශයෙන් දන්වා සිටීමයි. මෙම සියලු සහන කටයුතු වෙනත් ක්‍රමවලින් බැහැරව අයවැය මඟින්ම පියවා ගැනීමටද රජය සැලසුම් කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

 

 

සයිබර් ප්‍රහාරයකින් අතපසු වූ ණය ගෙවීම

ශ්‍රී ලංකාව 2025 දෙසැම්බර් අවසානය සඳහා නියමිතව තිබූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක (QPC) සහ දර්ශක ඉලක්ක (IT) සාර්ථකව සපුරා තිබුණද, එක් විශේෂිත සිදුවීමක් මේ අතර කැපී පෙනෙයි. ඒ මහා භාණ්ඩාගාරයට එල්ල වූ සයිබර් අපරාධයක් හේතුවෙන් විදේශීය ණය ගෙවීම් කිහිපයක් ගෙවීමට නොහැකි වී අතපසු වීමයි.

 

මෙය බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීමේ අඛණ්ඩ නිර්ණායකය සුළු වශයෙන් උල්ලංඝනය කිරීමක් වුවද, එය හිතාමතා කළ පැහැර හැරීමක් නොව තාක්ෂණික දෝෂයක් මත සිදුවූවක් බව පිළිගනිමින් ඊට අදාළව නිදහස් කිරීමේ බලපත්‍රයක් (Waiver) ලබා දීමට IMF විධායක මණ්ඩලය කටයුතු කර ඇත. පෙබරවාරි අග වන විට ව්‍යුහාත්මක මිණුම්දඬු 22න් 16ක්ම සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.

 

 

ඉදිරි ආරක්ෂණ පියවර සහ පද්ධති යාවත්කාලීන කිරීම්

ඒ අනුව මෙවැනි තාක්ෂණික හා සයිබර් ආරක්ෂණ ගැටලු අනාගතයේදී වළක්වා ගැනීම සඳහා රජය විසින් කාලසටහනකට අනුව කඩිනම් පියවර ගනිමින් සිටියි:

 
සම්මත මෙහෙයුම් පටිපාටි ශක්තිමත් කිරීම
2026 ජූනි මස අවසන් වන විට

සයිබර් ආරක්ෂණ ගැටලු විසඳීම සඳහා පවතින සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) වඩාත් ශක්තිමත් මට්ටමකට පත් කිරීම.

නව ණය කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම
2026 අගෝස්තු මස අවසන් වන විට

වඩාත් සුරක්ෂිත සහ විනිවිදභාවයකින් යුත් නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Debt Management Information System) රට තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම.

 

 

පිරිවැය ආවරණය වන ගාස්තු ක්‍රමයක්

විදුලි ගාස්තු සහ ඉන්ධන මිල තීරණය කිරීමේදී, රජයට පාඩු සිදු නොවන පරිදි පිරිවැය ආවරණය වන ක්‍රමවේදයන් (Cost-recovery mechanism) මේ වන විටත් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බව රජය මෙම ලිපිය මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යළිත් තහවුරු කර ඇත.

 

ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කරමින් ඩොලර් මිලියන 670ක වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතත්, මෙම ජයග්‍රහණය පසුපස ආර්ථික ප්‍රතිසංස්කරණවල දැඩි කොන්දේසි පවතී. 2026 සැප්තැම්බර් මාසයෙන් පසු සහනාධාර කප්පාදු වීමක් සඳහා වෙළෙඳපොළට සහ ජනතාවට සූදානම් වීමට මෙමඟින් පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත. 

 

ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ තේමාව වූ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන්න ජනතාවට අදාළ වන්නේද නැද්ද යන්න එවිට අවබෝධ වනු ඇති බව සමහර විචාරකයින්ගේ මතය වී තිබේ.

 

නවතම ලිපි