නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank) ගල්කිස්ස ශාඛාවේ පවත්වාගෙන ගිය 'මනි මාර්කට්' (Money Market) ගිණුමකින්
රුපියල් මිලියන 13ක දැවැන්ත මුදලක් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෙනත් ගිණුම් වෙත මාරුවීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වේ. ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) වාර්තා කර ඇති අන්දමට, මේ සම්බන්ධයෙන් අදාළ ගිණුම් හිමියා විසින් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර ඇත.
පැයකටත් අඩු කාලයකින් සිදුවූ අද්භූත ගනුදෙනුව
ඉකුත් මාර්තු 26 වැනිදා දහවල් කාලයේ පැයකටත් අඩු ඉතා කෙටි කාල පරාසයක් තුළ මෙම අසාමාන්‍ය ගනුදෙනුව සිදුවී තිබේ. එහිදී ගිණුම් හිමියාගේ කිසිදු අවසරයකින් හෝ දැනුවත්භාවයකින් තොරව, අන්තර්ජාල ගනුදෙනු (CEFTS) හරහා අදාළ මිලියන 13ක මුදල Dialog Finance සහ LOLC Finance යන මූල්‍ය ආයතන වෙත මාරු කර ඇත.
බැංකුවේ ප්‍රතිචාරය සහ වගකීමෙන් මගහැරීම
මේ සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගල්කිස්ස ශාඛාවේ කළමනාකරු ලක්සිරි ද සිල්වා ගෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි ගැටලුවක් මතු වී ඇති බව සත්‍යයක් වුවද, බැංකු නීතිරීතිවලට අනුව තුන්වැනි පාර්ශවයකට තොරතුරු සැපයිය නොහැකි බවයි.
කෙසේ වෙතත්, පාරිභෝගිකයාගේ පැමිණිල්ලට නිල වශයෙන් ලිඛිතව ප්‍රතිචාර දක්වා ඇති බැංකුව පවසන්නේ;
-
මෙම සියලුම ගනුදෙනු පාරිභෝගිකයාගේ නිවැරදි User ID සහ Password භාවිත කරමින් මොබයිල් බෑන්කින් (Mobile Banking) යෙදුම හරහා සිදුවී ඇති බවයි.
-
එමෙන්ම, ලියාපදිංචි උපාංගයෙන්ම (Device ID) ගනුදෙනුව සිදුවී ඇති බව පද්ධති දත්ත (System logs) මගින් තහවුරු වන බව ද ඔවුහු පෙන්වා දෙති.
තම පද්ධතියේ කිසිදු දෝෂයක් හෝ කඩාවැටීමක් සිදුවී නොමැති බව තරයේ ප්‍රකාශ කරන බැංකුව, මෙය කිසියම් බාහිර පාර්ශවයක් විසින් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට හෝ උපාංගයට අනවසරයෙන් ප්‍රවේශ වීමක් (device takeover) හරහා සිදුවූවක් බවට අනුමාන කරයි. ඒ අනුව, මෙම මූල්‍ය අලාභය සම්බන්ධයෙන් වගකීම භාරගැනීමට තමන්ට නොහැකි බවත් (Bank is not in a position to assume liability), ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කරන ලෙසත් බැංකුව පාරිභෝගිකයාට දැනුම් දී තිබේ.
සීමාව මිලියන 5යි; මිලියන 13ක් ගියේ කොහොමද?
බැංකුව එලෙස වගකීමෙන් මිදීමට උත්සාහ කළද, මෙහි ඇති බරපතලම තාක්ෂණික ගැටලුව වන්නේ ගනුදෙනු සීමාවන් ය. අදාළ ගිණුම හරහා වෙනත් ගිණුමකට අන්තර්ජාලය මගින් මුදල් බැර කළ හැකි උපරිම දෛනික සීමාව රුපියල් මිලියන 5ක් (ලක්ෂ 50ක්) ලෙස සීමා කර තිබියදී, රුපියල් මිලියන 13ක් එකවර වෙනත් ගිණුම්වලට බැරවූයේ කෙසේද යන්න දැඩි ප්‍රශ්නාර්ථයකි. මෙය බැංකුවේ පද්ධති ආරක්ෂාව සහ අභ්‍යන්තර පාලනය පිළිබඳව බරපතල සැක මතුකරන්නකි.
සමාජ මාධ්‍ය සටහන් ඉවත් කරන්නැයි තර්ජන
විශ්වාසකටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ශ්‍රී ලංකා මිරර් වැඩිදුරටත් වාර්තා කරන්නේ, මෙම අසාධාරණය සම්බන්ධයෙන් ගිණුම් හිමියා සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ සටහන වහාම ඉවත් කරගන්නා ලෙස අදාළ බැංකුව විසින් ඔහුට තර්ජනය කර ඇති බවයි. තමන්ගේම පද්ධතියේ සීමාවන් ඉක්මවා ගිය සැක සහිත ගනුදෙනුවක් ගැන විමර්ශනය කරනවා වෙනුවට, ගනුදෙනුකරුවන්ගේ කටහඬ වසා දැමීමට බැංකුවක් මෙලෙස කටයුතු කිරීම විමතියට කරුණකි.

