ලංකා ඉතිහාසය දෙස බැලීමේදී, රට ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසුව සංස්ථාපිත රාජ්‍යය ව්‍යුහයට
අදාලව නීති ක්ෂේත්‍රය සැලකිය හැක්කේ ඉහළතම වෘත්තීය ක්ෂේත්‍රය ලෙසය. පසුව වෛද්‍ය වෘත්තීය යන්නට ද ඉහල ගෞරවයක් හිමිව තිබුන ද කල්යාමේදී ක්‍රමක්‍රමයෙන් විද්‍යා අද්‍යාපනයට ඉහල වටිනාකමක් හිමි වීම තුල ඒ තුලින් බිහි වන වෙනත් වෘත්තීන් හේතුවෙන් එම තත්වය පහව ගොස් තිබේ. විද්‍යා අධ්‍යාපනයේ ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත නව වෘත්තීන් බිහිවීමත් සමඟ වෘත්තීය ගෞරවයේ පැරණි ශ්‍රේණිගත කිරීම ක්‍රමයෙන් වෙනස් විය.

ඉංග්‍රීසි පාලන සමය තුල සහ නිදහසින් පසු කලක් යන තෙක්ම නීතිඥ වෘත්තීය සැමවිටම ප්‍රභූ පන්තියේ ආධිපත්‍ය සහ දේශපාලන බල ආකෘතිය සමඟ බද්ධ වී පැවැතුනි. එහෙත් නීතිඥ වෘත්තිය සතු වූ ගෞරවය එම වෘත්තියේ තාක්ෂණික දැනුමෙන් පමණක් බිහි වූවක් නොවේ. නීතිඥයා යනු යටත්විජිත රාජ්‍යයේ භාෂාව, පාලන ක්‍රමය සහ නීතිමය අධිකාරියට ප්‍රවේශය ඇති පුද්ගලයෙකු විය. එබැවින් “නීතිඥයා” යන නාමයම සමාජ තත්ත්වය, දේශපාලන බලය සහ ප්‍රභූ පිළිගැනීම සංකේතවත් කරන ප්‍රධාන සංකේතකයක් බවට පත් විය. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් පසුව තත්වය වෙනස් වීම ආරම්භ වූ අතර සමාජයේ පහල පන්තීන් වල අයට ද එම වෘත්තීයට ඇතුල් වීමේ භාග්‍යය හිමි විය. මෙය පැරණි ප්‍රභූ ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශ කිරීමක් නොව, එහි සංකේතීය වරප්‍රසාද නව සමාජ කණ්ඩායම් වෙත විවෘත කිරීමක් විය (ප්‍රජාතන්ත්‍රවාදය).

මාටින් වික්‍රමසිංහ ගේ "කරුවල ගෙදර" නව කතාවේ ප්‍රධාන චරිතය වන සිරිමල් නමැති නීතිඥ චරිතය තුලින් නියෝජනය වන්නේ එම තත්වය වුව ද සිරිමල් යනු නිදහස් අධ්‍යාපනය තුලින් එම තත්වය අත්කරගත් කෙනෙකු නොවේ. ඔහු එසේ වූයේ ඔහුගේ පියා වූ තිනන්ට තිබූ ආර්ථික හැකියාව හේතුවෙන් ගාල්ලේ පාසලකට ඔහු ඇතුල් කිරීමට හැකි වූ බැවිනි.
කරුවල ගෙදර" නවකතාවේ මූලික තේමාව ගොඩනැගෙන්නේ ද සිරිමල් නමැති තිනන්ගේ ලොකු පුතා නීතිඥවරයෙකු වී නාගරිකකරණය වීමත් සමඟ, පාරම්පරික ගැමි පියා (තිනන්) සහ බටහිර පන්නයේ ඉහළ පන්තිය නියෝජනය කරන පුතා අතර ඇතිවන පන්තිමය හා සංස්කෘතික ගැටුම වටාය. සිරිමල්ගේ චරිතය මෙම සංක්‍රාන්තිය නිරූපණය කරයි. නීතිඥයෙකු බවට පත්වීමෙන් සිරිමල්ට ආර්ථික හා සමාජ උසස්වීමක් හිමි වන නමුත්, එම උසස්වීම සඳහා ඔහුට තම ගම, පවුල සහ පැරණි ජීවන ලෝකය සමඟ පැවති සම්බන්ධයෙන් දුරස් වීමට සිදුවේ.
ලකානියානු අර්ථයෙන් නම්, නවකතාවේ ගැටුම හුදෙක් පාරම්පරික ගැමි පියා සහ බටහිරකරණය වූ පුතා අතර සංස්කෘතික ගැටුමක් නොවේ. එය “අනෙකාගේ ආශාව” සමඟ තමන්ගේ ජීවිතය හඳුනාගන්නා ආත්මයක ගැටලුවකි. සිරිමල්ට නීතිඥයෙකු වීමට අවශ්‍ය වන්නේ තමන්ගේ සෘජු ආශාවක් නිසා පමණක් නොව, සමාජය විසින් වටිනාකමක් ලබා දෙන පුද්ගලයා බවට පත්වීමටය. වෙනත් වචනවලින් කිවහොත්, ඔහුට අවශ්‍ය වන්නේ 'මහා අනෙකා' විසින් පිළිගනු ලබන නාමයක් ලබාගැනීමටය.
සිරිමල්ගේ අරමුණු මොනවාද, ඔහු එම අරමුණු වෙනුවෙන් ගෙවන ආත්මීය වන්දිය, එවිට ඔහුට ලැබෙන සමාජ තත්වය කෙවනි ද යන්න නවකතාව තුල නිරූපිතය. අවුරුදු 30ක් පමණ ගත වුව ද තම දෙමාපියන් බැහැ දැකීමට ගම වූ කොග්ගල මලල වෙත පැමිණ යාමට හෝ ඔහුට නොහැකි වේ. කෙසේ වෙතත් වික්‍රමසිංහ වෙතින් ගිලිහී යන්නේ සහ ඔහු අසමත් වන්නේ සිරිමල් නීතිඥයෙකු වීම නිසාම ඔහුට එසේ නරුමවාදියෙකු විය හැකි වන්නේ කෙසේද යන්න පැහැදිලිව විදහා දැක්වීමටය. එනම්, තර්ක බුද්ධිය, තාර්කික හේතුව විසින් මනුෂ්‍යයා ඒ තත්වයට පත්කරන ආකාරයයි.

නීතිඥයා නාමය ඔහුට ගෞරවය ලබා දෙන අතරම ඔහුව බෙදා වෙන් කරයි. ඔහු සමාජමය වශයෙන් ජයගන්නා නමුත් ආත්මීය වශයෙන් යමක් අහිමි කරගනී. නීතිඥයා යන සංකේතීය අනන්‍යතාව දිනාගැනීමේදී සිරිමල්ට තම පැරණි ලෝකයෙන් වෙන්වීමට සිදු වේ. සිරිමල්ට ලැබෙන වෘත්තීය නාමය ඔහුගේ 'අඩුව' පුරවන්නේ නැත. ඒ වෙනුවට, එම නාමය වටා ඔහුගේ ආශාව නැවත සංවිධානය කරයි. සමාජ තත්ත්වය දිනාගත් පසු ද ඔහු සම්පූර්ණ නොවන්නේ එබැවිනි.
අද සිටින නීතිඥයින්ගේ ආශාව සංවිධානය වී ඇති ආකාරය කරුවලගෙදර සිරිමල්ට ඒ අකාරයෙන්ම සමාන නොවේ. නමුත් සිරිමල්ට වඩා බොහෝ පහල පවුල් වලින් ඉහලට ගොස් නීතිඥයින් බවට පත්ව ඇති බොහෝ පිරිසක් අද සමාජයේ සිටී.
නීතිඥ වෘත්තියට ගෞරවය හිමි වූයේ සෑම නීතිඥයෙකුම ගෞරවනීය පුද්ගලයෙකු වූ නිසා නොවේ. නීතිය පුද්ගලික කැමැත්තට වඩා ඉහළින් පවතින, සාපේක්ෂව නිර්පක්ෂ පද්ධතියක් බවට සමාජය තුළ පැවති විශ්වාසය නිසාය. නීතිඥයාට ලැබුණේ ඔහුගේ පෞද්ගලික ගුණධර්මවල බලය පමණක් නොව, ඔහු නියෝජනය කරන සංකේතීය ආයතනයේ බලයයි.
නීතියට අදාලව සලකන්නේ නම්, 'මහා අනෙකා' නොපවතී යන ලකානියානු ප්‍රකාශයේ අර්ථය වන්නේ නීතියට අදාල පද්ධතිවල සංගතභාවය අවසාන වශයෙන් සහතික කරන දෝෂ රහිත පරම අධිකාරියක් නොමැති බවයි. එනම්, නීතිය ක්‍රියාත්මක වන නමුත් නීතියට තමන්ගේම අවසාන පදනමක් ලබා දිය නොහැකිය. වර්තමාන ආණ්ඩුව හෝ දේශපාලන වෙනස්කම් හමුවේ සිදුවී ඇත්තේ මෙම තත්වය එළිදරව් වීමයි ('මහ අනෙකා' නොපවතී යන්න). එනම්, දේශපාලන අර්බුද, වංචා, දූෂණ හෙළිදරව් කිරීම් සහ ආයතනික ගැටුම් මගින් සිදු වන්නේ එම 'අඩුව' සමාජයට වඩාත් පැහැදිලිව නිරාවරණය වීමයි (මෙය ජවිපෙ ආණ්ඩු බලය හිමිකරගැනීම තුල සිදු වූ එක් වැදගත් සිදු වීමක් වන අතර වාමාංශිකයින් අතින් සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය කරගසා ගැනීම නොව මේ පිළිබඳව කතිකාවක් ඇති කිරීමය; දේශපාලන දිශානතිය වෙනස් කල හැක්කේ ඒ තුලිනි).

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය, දේශපාලන බලය සහ ව්‍යාපාරික බලය අතර ඇති සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්නය නැවත ඉදිරියට පැමිණ ඇත. එනම්, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවති ආණ්ඩුවක ප්‍රභූ දේශපාලනඥයින් වෙත නඩු පවරන්නේ යහපාලන සමයේදීය. නමුත් ඒ දඬුවම් දීම සඳහා නොව මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සහ එම දේශපාලනඥයින් තම පාලනයට නතු කරගැනීම සඳහාය. 2015 සිට 2025 දක්වාම එම නඩුවලින් ඔවුන් නිදහස් වූවා මිස දඬුවම් නොලැබුනේය. නමුත් වත්මන් මාලිමා ආණ්ඩුව පත්වීමෙන් පසු යහපාලන සමයේ පැවරූ නඩු වල ඉතිරි නඩු විභාග තුලින් දේශපාලනඥයින් හට සහ ව්‍යාපාරිකයින් හට දඬුවම් හිමි වීමට පටන් ගැනීම තුල පැහැදිලිව පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන, අධිකරණ පද්ධතිය සහ දේශපාලන තන්ත්‍රය (ව්‍යාපාරිකයින් ද ඇතුළුව) අතර තිබූ සම්බන්ධයි.
එබැවින් මෙම අලුත් තත්වය තුල සාමාන්‍ය ජනතාව නීතිඥ සංගමය දෙස බලන්නේ "සාධාරණත්වයේ ආරක්ෂකයන්" ලෙස නොවේ.
ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රෙනෝ සිල්වාට සේවය කරන අයෙකු (මාධ්‍යවේදීයෙකු) රෙනෝ විසින් ඇසීමට නියම කරන ලද ප්‍රශ්නයක් කැබිනට් ප්‍රකාශක වෙතින් විමසයි. එය සැකවින් මෙසේය: "හැකි නම් මේ අධිකරණ විනිසුරුවන් සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර් මාසෙන් පසුව කරන්න" යනුවෙනි. ඉන් අදහස් කරනුයේ වත්මන් අගවිනිසුරු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එය සිදු කිරීම ගැටලුවක් නොවන බවය.
පෙරකදෝරු සංගමයට ඇති ප්‍රශ්නය ද එයයි.
වත්මන් අගවිනිසුරු සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින් විනය විරෝධී හැසිරීම් සහ දූෂණ චෝදනා මත අධිකරණ නිලධාරීන් 20 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම, වැඩ තහනම් කිරීම හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සිදු කර ඇත. එම පිරිසට මහාධිකරණ විනිසුරුවරයෙකු, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් මෙන්ම, අධිකරණ පද්ධතියේ සේවය කරන වෙනත් ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් ද ඇතුළත් වේ. එසේම, වෘත්තීය ආචාරධර්ම කඩකිරීම් සහ විවිධ වංචනික ක්‍රියාවලට වැරදිකරුවන් වූ පෙරකදෝරුවන් කිහිපදෙනෙකුගේම වෘත්තීයභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී අහෝසි කර තිබේ.
මින් පෙර කිසිඳු කලක මෙතරම් පිරිසක් සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ග වෙත යොමු වීමක් සිදු වී නොමැත.
අධිකරණය සහ නීතිඥ වෘත්තිය යනු සමාජය තුළ "සාධාරණත්වය" සහ "අතිපූජනීය නීතියේ ආධිපත්‍යය" නමැති සංකේතීය ආධිපත්‍යය පවත්වාගෙන ගිය ප්‍රධාන ආයතනයයි. කෙටි කලක් තුල විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ වෘත්තීයභාවය අහෝසි වීම මගින් සිදුවන්නේ, මෙතෙක් කල් පද්ධතිය විසින් පවත්වාගෙන ගිය 'සංකේතීය මායාව' බිඳ වැටීමයි. පෙරකදෝරු සංගමය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතුන් ද කලබල වී ඇත්තේ එබැවිනි. ඔවුන්ට මෙය දරාගත නොහැක.
කුල හීන පහල පවුලකින් පැමිණ නිදහස් අධ්‍යාපනය තුලින් ඉහලට ගොස් ප්‍රභූවරයෙකු බවට පත්ව, අධිකරණ ඇමතිවරයා ද වූ අයෙකුට බරපතල චෝදනා එල්ල වී තිබීම වැනි කාරනා පෙරකදෝරු සංගමයේ මෙම කුලප්පුවට තවත් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
කතෝලික පල්ලි වල ගෘහ නිර්මාණ ආකෘතියට බෙහෙවින් සමාන පරිදි අධිකරණ ශාලා නිමවා තිබේ. ඒවා විශාල ස්ථම්භ, කැටයම් ආදිය ඇති උස් ගොඩනැගිලිය. විනිසුරු සඳහා සුවිශේෂිව සැකසුන කැටයම් සහිත ස්ථානයක් තිබේ. විනිසුරුගේ ඇඳුම ද සුවිශේෂී වේ. එය ද බොහෝ දුරට සමාන වන්නේ කතෝලික පූජක ඇඳුම් වෙතය. අධිකරණය තුල හැසිරිය යුතු ආකාරයක් තිබේ. පෙරකදෝරුවන් පැමිණිය යුත්තේ ඉහළතම ඇඳුම් ආකෘතිය වන ටයි කෝට් හැඳ පැළඳය. මේ සියල්ල මෙසේ ගොඩනැගී ඇත්තේ සාමාන්‍ය මිනිසුන් බියට පත් කිරීම සඳහාය. එනම්, මහා අනෙකා (නීතිය, සංස්කෘතිය, රාජ්‍යය) යනු භෞතිකව පවතින පුද්ගලයෙකු හෝ වස්තුවක් නොවේ. එය වියරු හෝ වියරු නොවන සංකල්පීය පද්ධතියකි. උස් ගොඩනැගිලි, ස්ථම්භ සහ විනිසුරුගේ ආසනය මගින් නිරූපණය කරන්නේ "නීතිය යනු සාමාන්‍ය මිනිසාට වඩා බොහෝ ඉහළින් පවතින, වෙනස් කළ නොහැකි, පූජනීය යමක්" බවයි.
සාමාන්‍ය මිනිසා එම පරිශ්‍රයට ඇතුළු වන විටම, තමන් එම අධිපත්‍යයට යටත් ආත්මයක් (subject) බව වටහා ගනී.
කතෝලික පූජකවරයා මෙන්ම විනිසුරුවරයා ද සුවිශේෂී ලෝගුවක් (robes) පළඳියි.
සාමාන්‍ය ඇඳුමෙන් සිටින විට ඒ පුද්ගලයා හුදෙක් වැරදි සිදුවිය හැකි, සාමාන්‍ය මිනිසෙකි (ඔහු ශුද්ධ වූ පුද්ගලයෙකු නොවේ). නමුත් ලෝගුව පැළඳි පසු, ඔහුගේ "පුද්ගලිකත්වය" (subjectivity) වැසී ගොස්, ඔහු 'පියාගේ නීතිය' නියෝජනය කරන සංකේතයක් බවට පත්වේ.
ඔහු තවදුරටත් හුදෙක් 'මිනිසෙකු' ලෙස නොසැලකෙන අතර ඔහු නීතියේ සංකේතීය හඬයි. නීතිඥයන්ට ද ටයි කෝට් වැනි දැඩි ඇඳුම් ආකෘතියක් නියම කර ඇත්තේ පද්ධතිය තුළ "පුද්ගල ආශාවන්" පසෙකලා නීතියට සම්පූර්ණයෙන්ම අවනත වී ඇති බව පෙන්වීම සඳහාය.
කතෝලික පල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පය (cathedral architecture) සහ අධිකරණ ශාලා අතර ඇති සමානකම අහම්බයක් නොවේ.
වැඩවසම් යුගයේදී "දෙවියන්ගේ නීතිය" මගින් සමාජය පාලනය කළ බලය, නූතන ලෞකික රාජ්‍යය විසින් අත්පත් කරගන්නා ලදී. ඒ සඳහා පල්ලිය භාවිතා කළ සංකේතීය භාෂාවම (විශාල ස්ථම්භ, උස් සිවිලිම්, සුවිශේෂී ඇඳුම්, චාරිත්‍ර) අධිකරණය විසින් ස්වයංක්‍රීයව අනුකරණය කරන ලදී. සැබවින්ම සිදුවූයේ පල්ලිය සතුව තිබූ පූජනීය බලය වෙනත් පරිපාලනමය ආකෘතියක් තුල ලෞකික රාජ්‍යය විසින් අත්පත් කරගැනීමයි (ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ආගමෙන් ස්වායත්ත විය යුතුය වැනි ගොං කතා පැමිණෙන්නේ නීතිය සහ ආගම අතර ඇති සම්බන්ධය පිළිබඳව අවබෝධයක් නොමැති අමනයින් වෙතිනි).
දෙවියන් වෙනුවට "නීතියේ ආධිපත්‍යය" නමැති නූතන ආගම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉතිහාසයක් තිබේ. නමුත් ඒ තුල දෙවියන් අහෝසි වී නොමැත.
වර්තමාන අගවිනිසුරු වන සූරසේනගේ කිසිඳු වරදක් පෙරකදෝරු සංගමය විසින් පෙන්වා දී නොමැත. දැනට ඔහු ධූරයේ කටයුතු කරනවාට අකමැත්තක් පෙන්වන්නේ ද නැත. ඔවුන්ගේ අකමැත්ත ඇත්තේ සූරසේන තවත් වසර දෙකක් ධූරයේ කටයුතු කරනු දැකීමටය. කිසිඳු පදනමක් නොමැතිව අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන බව පැවසීමට යටින් ඇති සැබෑව සූරසේන තවත් අවුරුදු දෙකක් ධූරයේ රැඳී සිටීම නොඉවසීමයි.
ආණ්ඩුව පාර්ශවයෙන් සැලකීමේදී ප්‍රශ්නය වී ඇත්තේ කෝදාගොඩ ධූරයට පැමිණීමයි (මින් තහවුරු වන්නේ ඉහතින් සඳහන් කල කාරණය වන සුවිශේෂී ඇඳුම් පැළඳුම් හැඳ සුවිශේෂී ස්ථානයක සිටිනුයේ මෙම සත්‍යය වසා දැමීමට බවය). නමුත් ආණ්ඩුව ද පෙරකදෝරු සංගමය සහ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන්ම සැබෑ හේතුව නොදක්වා නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා සිදු කරන සංශෝධනයක් බව පවසමින් සිටී (ඔවුන්ට වෙනත් කිම්මට දෙයක් නොමැත). නමුත් සැබෑව වන්නේ කෝදාගොඩ පැමිණියහොත් වර්තමාන ප්‍රභූ නඩු වල තීරණ සඳහා ඔහුගේ ඇති බලපෑමයි (වර්තමාන නීතිපති ද මීට හොඳම උදාහරණයක් වන 2015 වසරේ නාමල් වෙත පවරා ඇති නඩුවක් සඳහා අද වනතුරු ද නීතිපති උපදෙස් නොමැත; එහෙත් ඔහුව ධූරයෙන් ඉවත් කිරීම ද සිදු කල නොහැක. එසේ කළහොත් ප්‍රජාතන්තරය උල්ලංඝනය වේ). පෙරකදෝරු සංගමයට සහ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදීන්ට වෙනස්ව ආණ්ඩුව විසින් ප්‍රකාශ කොට තිබුනේ වෙන්ගප්පුලි අගවිනිසුරු කල ද කෝදාගොඩට එය ලබා නොදෙන බවය.
ඉන් තහවුරු වන්නේ ඉහතින් සඳහන් කල ආකාරයට ඇඳුම්, පැළඳුම්, ආභරණ, කැටයම් වැනි දේවලින් ආවරණය කල ද ධූරයේ සිටින පුද්ගලයා තීරණාත්මක බවය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණය ස්වාධීන ආයතනයක් බව, නීතියේ ආධිපත්‍ය වැනි දෑ වල අපරිපූර්ණත්වය සහ කිසිදා පරිපූර්ණ විය නොහැකි බව හෙළිදරව් වේ (සිදුවිය යුත්තේ එයයි).
පෙරකදෝරු සංගමය කුලප්පු වී ඇත්තේ මේ තත්වය තුල ඔවුන් සතු අනන්‍යතාවය, බලය, ආධිපත්‍ය සහ මුදල් ඉපයීමේ හැකියාව අඩුවීම වැනි ප්‍රශ්න හේතුවෙනි. පැවති ප්‍රභූ තන්ත්‍රය විනාශ වී යාම අනීවාර්යක් බව පෙනී යන විට ඒ හා බැඳී තිබූ පෙරකදෝරු නායකයින්ගේ බලය ද හීන වීම හෝ අහෝසි වීම සිදු වීමට නියමිත බව ඔවුනට පෙනෙන්නට තිබේ. මාලිමාව තුල සිටින පෙරකදෝරුවන් පවා ජවිපෙ මෙම ක්‍රියාව අනුමත නොකරන්නේ එබැවිනි.
සියල්ල මෙසේ තිබියදී ඔවුන්ගේ ස්ථාවරය සුජාතකරණය කර ගැනීම සඳහා තවමත් ඉතිරිව ඇති කාරණයක් තිබේ. ඒ "අපට වැදගත් වන්නේ පුද්ගලයා නොව, ආණ්ඩුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ග කිරීමට මැදිහත් වීම" බවයි. නමුත් ඔවුනගේ ප්‍රජාතන්තරේට අනුව ද එහි සැලකිය යුතු බරක් නොමැත. ඒ, "අප විනිසුරු විශ්‍රාම වයස දීර්ග කරනුයේ නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා බවත්, එය දේශපාලන තීරණයක් බවත්, ආණ්ඩුව පවසන බැවිනි.

