රජයේ මෙට්‍රෝ බස් සේවාව මේ වසර අවසන් වීමට පෙර යාපනය සහ මහනුවර දක්වා
ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ නව බස් රථ සමූහයක් සේවයට එක්වීමට නියමිත අතර, එය මෙරට පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීමේ වැදගත් පියවරක් වනු ඇත.
"චීනය ඇතුළු තවත් රටවල් කිහිපයකින් අපි මේ වන විටත් මෙට්‍රෝ බස් රථ 121ක් ලබාගෙන තිබෙනවා. ඒවා සේවයට යෙදවීමට පෙර ලියාපදිංචි කිරීම ඇතුළු නීතිමය කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. අදාළ ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු අගෝස්තු මස අවසන් වන විට මෙම බස් රථ මහජන සේවය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා."
තවද, මේ සඳහා නව මාර්ග කිහිපයක් ද මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ විස්තර ඉදිරි දිනවලදී නිවේදනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම සේවාව කොළඹින් පිටතට ව්‍යාප්ත කිරීමේ අරමුණින්, මේ වසර අවසන් වීමට පෙර ජපානයෙන් තවත් මෙට්‍රෝ බස් රථ 50ක් මෙරටට ලබා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා අනාවරණය කළේය. එහිදී සිය ඉදිරි ඉලක්කයන් උපුටා දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
"මේ වසර අවසන් වන විට යාපනය සහ මහනුවර යන ප්‍රදේශවල ද මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එම දිස්ත්‍රික්ක දෙකෙහිම මෙට්‍රෝ ඩිපෝ ද ස්ථාපිත කරනවා.".
රජයේ දිගුකාලීන අරමුණ සහ ඉලක්ක
රථවාහන තදබදය, ඉන්ධන පරිභෝජනය සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා මගීන් පෞද්ගලික වාහනවලින් පොදු ප්‍රවාහනයට යොමු කිරීම රජයේ දිගුකාලීන අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව, මෙට්‍රෝ බස් රථවල මගී තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශනය කෙරෙන බවත්, 2030 වසර වන විට මෙට්‍රෝ බස් රථ ඇණිය 500කට වඩා වැඩි කිරීමට රජය ඉලක්ක කර ඇති බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

