සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් 'හරක් කටා' සම්බන්ධයෙන්
කොළඹ මහාධිකරණය විසින් පසුගියදා (ජූලි 30) ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ පවතින බරපතල අර්බුදයක් සමාජය හමුවේ නිරාවරණය කර තිබේ. එනම්, සාමාන්‍ය සංවිධානාත්මක අපරාධ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කිරීම සහ මෙවැනි අපරාධකරුවන් නඩත්තු කිරීම වෙනුවෙන් මහජන බදු මුදල් කෝටි ගණනින් කාබාසිනියා වීමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පලා යාමට කුමන්ත්‍රණය කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, ඒ සඳහා PTA යටතේ නඩු පැවරිය නොහැකි බවත් මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල සිය තීන්දුවෙන් පැහැදිලි කළේය. මෙය හුදෙක් එක් නීතිමය ජයග්‍රහණයක් පමණක් නොව, විධායකය සහ පොලිසිය විසින් සුවිශේෂී නීති අත්තනෝමතික ලෙස සහ දේශපාලනික අරමුණු මත භාවිතා කිරීමට එරෙහිව අධිකරණය විසින් තබන ලද ප්‍රබල සීමා මායිමකි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති "නීති විරෝධී ක්‍රියාවක්" යන පුළුල් අර්ථකථනය සහ පොලිස් භාරයේදී ලබාගන්නා පාපොච්චාරණ අධිකරණය පිළිගැනීම වැනි සුවිශේෂී ප්‍රතිපාදන, මෙලෙස සාමාන්‍ය අපරාධකරුවන් මර්දනයට යොදාගැනීම බරපතල නීතිමය අර්බුදයකි.
සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පලායාම සහ ඊට කුමන්ත්‍රණය කිරීම වෙනුවෙන් නඩු පැවරීමට සම්පූර්ණ නීතිමය ප්‍රතිපාදන තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙලෙස ත්‍රස්ත මර්දන නීති හරහා කෙටි මාර්ග සෙවීම නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බලවත් තර්ජනයකි. නීතිපතිවරයාගේ අභිචෝදක අභිමතය අසීමිත නොවන බව අධිකරණය මෙහිදී මනාව තහවුරු කර ඇත.
නීතියේ මෙම විකෘතියට සමගාමීව සමාජයේ අවධානයට ලක්විය යුතු අනෙක් බරපතලම කාරණය වන්නේ, මෙම ඉහළ අවදානමක් සහිත රැඳවියන් අත්අඩංගුවේ තබා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා රජයට දැරීමට සිදුවී ඇති දැවැන්ත ආර්ථික පිරිවැයයි.
ආර්ථික අර්බුදයකින් බැටකන රටක, එක් අපරාධකරුවෙකු තංගල්ලේ හුදකලා සිරකුටියක රඳවා තබා ගැනීම වෙනුවෙන් පමණක් මසකට රුපියල් මිලියන 10 කට ආසන්න මහජන බදු මුදලක් වැය කිරීමට සිදුවීම සැබෑම ඛේදවාචකයකි.
ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන් 87 දෙනාගේ වැටුප්, දෛනික ආහාර පාන සහ ප්‍රවාහනය වෙනුවෙන් මෙලෙස වැය වන කෝටි ගණනක මුදල කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. රුපියල් මිලියන 120ක අල්ලස් ලබාගැනීමට උත්සාහ කිරීම්, වගකිවයුතු CID නිලධාරීන්ගේම සහයෙන් පලායාමට සැලසුම් කිරීම් සහ ඉහළ නිලධාරීන්ට එල්ල වන කප්පම් චෝදනා හරහා පැහැදිලි වන්නේ, මෙතරම් මහජන මුදලක් වියදම් කළද සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අපරාධ පාතාලයේ කළු සල්ලි ඉදිරියේ දැඩි ලෙස දූෂණය වී ඇති බවයි.
මෙම බහුමානීය අර්බුදයට ඇති එකම විසඳුම අසාර්ථක නීතිමය කෙටි මාර්ග භාවිත කිරීම නොවේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති යටතේ මොවුන් සතු කෝටි ගණනක් වන නීති විරෝධී වත්කම් කඩිනමින් රාජසන්තක කිරීම අත්‍යවශ්‍ය වේ. රජයට දරන්නට සිදුවන මෙම අතිවිශාල නඩත්තු පිරිවැය පියවා ගත හැක්කේ එමගින් පමණි. පසුගියදා ලබාදුන් මහාධිකරණ තීන්දුව, රාජ්‍ය යාන්ත්‍රණයට සිය දූෂිත සහ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිවැරදි කරගැනීමට ලබාදුන් පැහැදිලි නීතිමය අනතුරු ඇඟවීමක් ලෙස අප තේරුම් ගත යුතුය.

