තුම්මුල්ල ප්‍රදේශයේ ඉදිවීමට නියමිතව තිබූ 'හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' (Homelands Pentara) අධි සුඛෝපභෝගී
නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ලබා දී තිබූ අනුමැතිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අමාත්‍ය බිමල් රත්නායක විසින් පත් කරන ලද විශේෂ විද්වත් කමිටුව විසින් ඒකමතිකව තහවුරු කර තිබේ.
2026 මාර්තු 06 වන දින නීතිපතිවරයා වෙත ද යොමු කර ඇති මෙම කමිටු වාර්තාව මගින්, අදාළ ගොඩනැගිල්ල සඳහා ලබා දී ඇති අනුමැතීන් වහාම සංශෝධනය විය යුතු බවට දැඩි නියෝග නිකුත් කර ඇත.

කමිටු වාර්තාවේ ප්‍රධාන තීරණ සහ නියෝග (කෙටියෙන්)
රෙගුලාසි 50 (1) අවභාවිතය:
අදාළ ඉඩමේ මුහුණත පළල වැඩි කර පෙන්වීම සඳහා UDA නිලධාරීන් විසින් ආදේශ කර ඇති 2021/7/8 දිනැති අංක 2235/54 ගැසට් පත්‍රයේ අංක 50 රෙගුලාසිය මෙම ඉඩම සඳහා ආදේශ කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ නුසුදුසු බව කමිටුව තීරණය කර ඇත.
ක්ලෙසන් පෙදෙස නිදහස් මාර්ගයක් නොවීම:
ක්ලෙසන් ප්ලේස් (Claessen Place) මාර්ගය යනු කැප්පෙටිපොළ මාර්ගයෙන් ආරම්භ වී මීටර් 200ක් පමණ ගොස් අවසන් වන (Dead End) අතුරු මාර්ගයක් මිස ස්වායත්ත (Independent) මාර්ගයක් නොවන බව තහවුරු කර ඇත.
උපරිම ගොඩනැගිලි උස සීමා කිරීම:
ගොඩනැගිල්ලේ උස ගණනය කළ යුත්තේ හයිලෙවල් මාර්ගයට මුහුණලා ඇති පළලට සාපේක්ෂව පමණක් බව කමිටුව නිර්දේශ කර ඇත. ඒ අනුව මෙම ඉඩමට ලබා දිය හැකි උපරිම උස මීටර් 50ත් 75ත් අතර විය යුතුය. එය දළ වශයෙන් තට්ටු 22ක් හෝ 23ක් පමණක් වන අතර, දැනට අනුමත කර ඇති මීටර් 128ක උස (තට්ටු 40+) සම්පූර්ණයෙන්ම නීති විරෝධී වේ.
දූෂිත අනුමැතියේ නෛතික පසුබිම සහ සවිස්තරාත්මක විග්‍රහය
නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසය තුළ සැලසුම් රෙගුලාසි උල්ලංඝනය කරමින් නීති විරෝධී අනුමැතීන් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. අතීතයේ දී ද මෙවැනි අනුමැතීන් හේතුවෙන් UDA අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු නිලධාරීන් සිරගත වූ අවස්ථා අප දැක ඇත. පෙන්ටාරා ව්‍යාපෘතියේ දී ද සිදුව ඇත්තේ අමු අමුවේම නීතිය නැමීමකි.
- කලාපකරණ උල්ලංඝනය: විෂයගත ඉඩම මිශ්‍ර සංවර්ධන කලාප 1 ට (MDZ-02) අයත් වුවද, ඉඩම වටා ඇති ඉඩම් වැඩි කොටසක් මායිම් වන්නේ විශේෂ ප්‍රාථමික නේවාසික සංවර්ධන කලාපයකට (SPRZ) ය. විශේෂ නේවාසික කලාපයක් අධි උස ගොඩනැගිලි සඳහා ප්‍රවර්ධනය නොකෙරේ.
- ව්‍යාජ උස ගණනය කිරීම: හයිලෙවල් මාර්ගයේ ඉඩමේ මුහුණත පළල මීටර් 28.6ක් වන අතර, නීතියට අනුව මීටර් 30ට අඩු මුහුණතක් ඇති ඉඩමකට ලබා දිය හැක්කේ මීටර් 50-75 ක උපරිම උසකි. එහෙත් UDA නිලධාරීන් විසින් නීති විරෝධී ලෙස පිටුපස ඇති ක්ලෙසන් ප්ලේස් හි මීටර් 39.7 ක පළල ද එකතු කර, ඉඩමේ මුහුණත මීටර් 41 ක් ලෙස උපකල්පනය කර මීටර් 128 ක උසක් (තට්ටු 41ක්) ලබා දී ඇත.
- කිසිදු තැනක පළල මීටර් 40ක් නොමැති වීම: රෙගුලාසි වලට අනුව අමතර උසක් ලබා දීමට නම් ඉඩමේ පළල සෑම තැනම මීටර් 40ට වඩා වැඩි විය යුතුය. නමුත් මෙම ඉඩමේ කිසිදු තැනක පළල මීටර් 40.0 ඉක්මවා නොයන බව කමිටුව පැහැදිලිව නිරීක්ෂණය කර ඇත.

දෝෂ සහිත රථවාහන බලපෑම් තක්සේරුව (TIA) සහ බැඳියාවන් අතර ගැටුම (Conflict of Interest)
මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කර ඇති රථවාහන බලපෑම් තක්සේරු වාර්තාව (TIA) ද දැඩි මතභේදයකට තුඩු දී ඇත. වාර්තාවට අනුව:
- නව ව්‍යාපෘතිය හේතුවෙන් ලෝරීස් පාරේ (Lauries Road) රථවාහන තදබදය 116.5% කින් ඉහළ යනු ඇත.
- ක්ලෙසන් ප්ලේස් (Claessen Place) මාර්ගයේ රථවාහන තදබදය අතිශය භයානක ලෙස 1,748.5% කින් ඉහළ යනු ඇත.
මෙසේ දැවැන්ත ලෙස රථවාහන තදබදයක් ඇතිවන බව දත්ත මගින් තහවුරු වන පසුබිමක පවා, "සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බවට" (no significant impact) අදාළ TIA වාර්තාව නිගමනය කර තිබීම හාස්‍යජනකය. තවද, ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වන 'තුම්මුල්ල මංසන්ධිය' මගහැර, ලෝරීස් පාර මංසන්ධිය කෙරෙහි පමණක් අවධානය යොමු කර තිබීම ද බරපතල ගැටලුවකි.
මෙහි ඇති වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, මෙම ව්‍යාපෘතියේ TIA වාර්තාව පුද්ගලික උපදේශකයෙකු ලෙස අත්සන් කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ (CMC) නගර සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉංජිනේරු අනුජ මෙන්ඩිස් මහතා වීමයි (වාර්තාවේ L.A.D. Mendis / Saduja Mendis ලෙස සඳහන් වේ). රාජ්‍ය නිලධාරියෙකු මෙලෙස පුද්ගලික වාර්තා සකස් කිරීම බරපතල බැඳියාවන් අතර ගැටුමක් වන අතර, කොළඹ නගරාධිපතිනිය ද මේ පිළිබඳව දැනුවත් කර තිබේ.
ඉදිරි පියවර සහ අමාත්‍යවරයාට ස්තූතිය
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර, මෙම දූෂිත ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ව අදාළ ඉදිකිරීම සම්බන්ධව විරෝධය පළකල පුරවැසියන් සහ වෘත්තිකයන් ගේ විශේෂ අගය කිරීමටද ලක්ව තිබේ.
කමිටුව විසින් නීති විරෝධී බව තහවුරු කර ඇති මෙම වාර්තාව මේ වනවිට නීතිපතිවරයා වෙත ද යොමු කර ඇත. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේදී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් මහජනතාව සහ වෘත්තිකයන් ඉතා දැඩි අවධානයෙන් පසුවන බව අවධාරණය කරමු. නීතිය සැමට සමාන විය යුතු අතර, නගරයේ තිරසර පැවැත්ම වෙනුවෙන් වූ අරගලය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට යනු ඇත.
සම්පූර්ණ වාර්තාව









#නිරෝමී සුබ්‍රමනියම්

