SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක එන්නත් (Immunoglobulin) ඇතුළු ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන්

දැනට විභාග වෙමින් පවතින නඩුව, හුදෙක් පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව ගොනු වූ අපරාධ නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ, විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතල ව්‍යුහාත්මක ගැටලු නිරාවරණය කරන කැඩපතක් බවට පත්ව ඇත.

 

 

2026 මාර්තු 06 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ සාක්ෂි සහ නීතිඥ තර්ක විතර්ක මගින් මෙම තත්ත්වය මනාව පැහැදිලි වේ.

 Untitled 40

 

 

සාක්ෂි මෙහෙයවීම සහ නීතිමය ප්‍රතිපාදන: අධිකරණය තුළ ගැටුම

 

නඩු විභාගයේදී පැමිණිල්ල සහ විත්තිය අතර ප්‍රධාන නීතිමය තර්ක විතර්ක ගොඩනැගුණේ සාක්ෂි ආඥාපනතේ (Evidence Ordinance) ප්‍රතිපාදන සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ සීමාවන් වටාය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයාගෙන් පැමිණිල්ල නැවත ප්‍රශ්න නැගීමේදී (Re-examination) කටට උත්තර ලබාදීම සම්බන්ධයෙන් 12 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල  දැඩි විරෝධයක් මතු කළේය:

 

"ස්වාමීනි, මෙහෙම නැවත ප්‍රශ්න ඇහැව්වාම සාක්ෂිකරුට තියෙන්නේ ඔව් කියන පිළිතුර ලබාදීම පමණයි."

 

මෙහිදී 11 වන විත්තිකරුගේ නීතිඥ අමිත ආරියරත්න මහතාද පෙන්වා දුන්නේ විශේෂඥයෙකු සාක්ෂි දිය යුත්තේ ඔහුගේ වෘත්තීය දැනුම මිස පෞද්ගලික අනුමාන මත නොවන බවයි. කෙසේ වෙතත්, සාක්ෂි තහවුරු කරගැනීමේ නෛතික ප්‍රතිපාදන පැහැදිලි කරමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙසේ අවධාරණය කළේය:

 

"සාක්ෂිකරුවකු ලබා දුන් සාක්ෂියක් තහවුරු කර ගැනීම සඳහා පැමිණිල්ලට නැවත ප්‍රශ්න අහන්න පුළුවන්. සාක්ෂිකරු කලින් දුන්න සාක්ෂිය පිළිගන්නවාද නැත්නම් පසුව දුන්න උත්තරය භාර ගන්නවාද කියන එක තීරණය කරන්නේ අධිකරණයයි."

 

 

සාක්ෂිවල අදාළත්වය (Relevancy of Evidence)

 

පැමිණිල්ල විසින් කැඳවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන නිලධාරියෙකුගේ සාක්ෂි මෙම නඩුවේ අධිචෝදනාවලට අදාළ වන්නේ කෙසේද යන්න පිළිබඳව 9 වන විත්තිකරුගේ නීතිඥ රහුල් ජයතිලක මහතා ප්‍රබල තර්කයක් ගොඩනැගීය:

 

"මේ සාක්ෂිකරුගේ ප්‍රකාශයක් විමර්ශන වලදී සටහන් කර තිබෙනවා. මොහුගේ සාක්ෂිය විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාවලට අදාළ වන්නේ කෙසේද කියන ගැටළුව මතුවෙනවා. එබැවින් ප්‍රස්තුත කරුණට එහා ගිය සාක්ෂිකරුවකු මෙම නඩුවට ආදේශ කර ගැනීම ගැන විරුද්ධයි."

 

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, "පැමිණිල්ලට අයිතියක් තිබෙනවා සාක්‍ෂිකරුවන් කැඳවීමට... නඩුව අවසානයේදී පෙන්වන්නම් මේ සාක්ෂිය අදාළ වන්නේ කොහොමද කියලා" යනුවෙනි. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ සාක්ෂි ආඥාපනතේ 136(1) වගන්තිය ප්‍රකාරව සාක්ෂිවල අනුකූලතාවය පිළිබඳව අධිකරණය තුළ ඇතිවන සම්භාව්‍ය නෛතික විවාදයකි.

 

 

ප්‍රසම්පාදන අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා

 

මෙම නඩුවේ කේන්ද්‍රීය සාධකයක් වන්නේ ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ (Waiver of Registration - WOR) ක්‍රියාවලිය අවභාවිතා වූයේද යන්නයි. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් රෝහල් සංවර්ධනයට ලබා දුන් ණය මුදල් ඖෂධ මිලදී ගැනීම් සඳහා හැරවීම සම්බන්ධයෙන් 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන සාක්ෂිකරුගෙන් මෙසේ විමසීය:

 

"එහෙම වෙනත් ව්‍යාපෘතියකට වෙන් කර තිබූ මුදලින් එපමණ මුදලක් ඖෂධ ආනයනයට ලබා දුන්නේ එකල පැවැති අත්‍යවශ්‍යතාවය අනුව නේද?"

 

සාක්ෂිකරු එය "රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්" බව පිළිගත්තද, එම හදිසි ක්‍රියාවලියේදී පවා ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ බැංකු මාර්ගෝපදේශ උල්ලංඝනය වී ඇති බව අධිකරණය හමුවේ හෙළි විය. ඇණවුම් කීපයක් අවලංගු කළේ මන්දැයි ජනාධිපති නීතිඥවරයා නැගූ ප්‍රශ්නයට ADB ප්‍රසම්පාදන නිලධාරියා දුන් පිළිතුර වූයේ:

 

"ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශ අනුගමනය කර නොතිබූ නිසා."

 

 

මෙම නීතිඥ තර්ක විතර්ක සහ සාක්ෂි මගින් මනාව තහවුරු වන්නේ, ආර්ථික අර්බුදයක් හෝ හදිසි තත්ත්වයක් යනු පවතින නීති රීති සහ ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන බලපත්‍රයක් නොවන බවයි. ඉදිරි නඩු විභාගයන්හිදී කැඳවීමට නියමිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාක්ෂි හරහා මෙම ඖෂධවල ප්‍රමිතිය සහ සැබෑ සායනික බලපෑම පිළිබඳ තවත් තීරණාත්මක කරුණු රැසක් අනාවරණය වනු ඇත.

 

 

legal Background 2

 

නඩු වාර්තාව

06/03/2026

 

පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැවත ප්‍රශ්න නැගීමේදී කටට උත්තරය ලබා දී තමන්ට අවශ්‍ය පිළිතුර ලබා ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් එන්නත් නඩුවේ දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (06) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී විරෝධතාවක් මතු කළේය.

අනවශ්‍ය ලෙස පැමිණිල්ලට බාධා නොකරන තමන් එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නැගීමේදී මතු කළ කරුණු පිළිබඳව නැවත ප්‍රශ්න ඇසීමේ අයිතිය පැමිණිල්ලට ඇතත් එය ඇසිය යුත්තේ අසන ප්‍රශ්නයට අදාළ උත්තරයත් නැවත ප්‍රශ්නය මගින්ම ලබාගත හැකි වන ආකාරයෙන් නොවන්නේ යැයි ද සිය විරෝධතාවය මගින් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා තමන් විරුද්ධ වනුයේ නැවත ප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් නොව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න විමසන ආකාරය එනම් " ඔව් " යන පිළිතුර සාක්ෂිකරුගෙන් ලබාගත හැකි අයුරින් නැවත ප්‍රශ්න නැගීම් සම්බන්ධයෙන් පමණක් වන්නේ යයි ද පැවසීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; ස්වාමීනි, මෙහෙම නැවත ප්‍රශ්න ඇහැව්වාම සාක්ෂිකරුට තියෙන්නේ ඔව් කියන පිළිතුර ලබාදීම පමණයි.

විශේෂඥ වෛද්‍යවරයකු වන පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙනුයේ ඔහුගේ විශේෂඥ භාවය මත එනම් ඔහුගේ වෘත්තීය දැනුම සහ සේවා පළපුරුද්ද මත වන බැවින් තමන් ඇතුළු විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ ඔහුගේ පෞද්ගලික දැනුමෙන් දැයි පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය එම සාක්ෂිකරුගෙන් විමසීම ඉතා නුසුදුසු කරුණක් වන්නේ යැයි ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ඊයේ (06) එම අධිකරණය හමුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ, නැවත ප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් තවත් විරෝධතාවක් ඉදිරිපත් කරමින් එම අධිකරණයට පෙන්වා දුන්නේය.  සිය විරෝධතාවය නඩු ගොනුවට ඇතුළත් කිරීම සඳහා සටහන් කරගන්නා ලෙසටද නීතිඥ අමිත ආරියරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; සාක්ෂිකරුවකු  ලබා දුන් සාක්ෂියක් තහවුරු කර ගැනීම සඳහා පැමිණිල්ලට නැවත ප්‍රශ්න අහන්න පුළුවන්. සාක්ෂිකරු කලින් දුන්න සාක්ෂිය පිළිගන්නවාද නැත්නම් පසුව දුන්න උත්තරය භාර ගන්නවාද කියන එක තීරණය කරන්නේ අධිකරණයයි. නමුත් සාක්ෂියේ වටිනාකම තහවුරු කරන්න නැවත ප්‍රශ්න අහන්න පැමිණිල්ලට පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ස්වාමීනි, මම නැගූ එම හරස් ප්‍රශ්නය ඉවත් කර ගන්නවා. සාක්ෂිකරු දෙසට හැරී ඔබතුමා ප්‍රසම්පාදන ලන්සු ඇගැයීම් කරලා තිබෙනවාද?

සාක්ෂිකරු ;  එහෙමයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; තාක්ෂණ කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ඔබතුමා ලියාපදිංචිය අත්හැරීමට අදාලව උගත් විත්තියේ නීතිඥ මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔබගේ විෂය දැනුමෙන්ද වෘත්තිය දැනුමෙන් ද?

සාක්ෂිකරු ; වෘත්තීය දැනුමෙන්

එම සාක්ෂිකරුගේ නැවත ප්‍රශ්නනැගීම අවසන් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ 237වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන නිලධාරියකු ලෙස රාජකාරි කරන කළුතර විතානගේ දොන් තනුජ කළුතර විතාන මහතා සාක්ෂි ලබාදීම සඳහා විවෘත අධිකරණයට කැඳවනු ලැබීය. එම සාක්ෂිකරු සත්‍ය ප්‍රකාශ කරන බවට විවෘත අධිකරණය හමුවේ ප්‍රතිඥා ලබා දී සාක්ෂි ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා කරුණු දක්වමින් ස්වාමීනි 2වී 20 ලෙස ලකුණු කර තිබෙන ලේඛනය වෙනත් සාක්ෂිකරුවකු මගින් දැනටමත් ලකුණු කර ඇති බැවින් එම ලේඛණය ඔප්පු වූ ලේඛනයක් ලෙසට සටහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල ඒ බව සටහන් කිරීමට නියෝග කළේය.

නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; මගේ සේවා දායකයා වෙනුවෙන් මම මෙම සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් මම විරුද්ධ වෙනවා. මේ සාක්ෂිකරුගේ ප්‍රකාශයක් විමර්ශන වලදී සටහන් කර තිබෙනවා. මොහුගේ සාක්ෂිය විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනාවලට අදාළ වන්නේ කෙසේද කියන ගැටළුව මතුවෙනවා. එබැවින් ප්‍රස්තුත කරුණට එහා ගිය සාක්ෂිකරුවකු. මෙම නඩුවට ආදේශ කර ගැනීම ගැන විරුද්ධයි.

(එම සාක්ෂිකරුව විවෘත අධිකරණයෙන් පිටතට යැව් විනිසුරු මඩුල්ල විත්තියේ එකී විරෝධතාවය පිළිබඳව කරුණු දැක්වීමට පැමිණිල්ලට ඉඩ සලසා දෙයි)

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැමිණිල්ලට අයිතියක් තිබෙනවා සාක්‍ෂිකරුවන් කැඳවීමට. එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අදාල චෝදනාවලට ආදේශ නොවන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තිබෙන්නේ ගරු අධිකරණයටමයි. මම බැඳී නැහැ ඊට හේතු විත්තියට කියන්න. එහෙම කියන්න ගියොත් මට සිදුවෙනවා විත්තියට නඩු කරන හැටි උගන්වන්න. නඩුව අවසානයේදී පෙන්වන්නම් මේ සාක්ෂිය අදාළ වන්නේ කොහොමද කියලා.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේ සාක්ෂිකරු කැඳවලා තියෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ප්‍රසම්පාදනය කිරීම ගැන නෙවෙයිනේ. ඒක පැහැදිලි කරන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;  ලියාපදිංචිය මුදා හැරීමේ ක්‍රමවේදයේදී ඩබ්ලිව් ඕ ආර්  නිකුත් කිරීම නඩුවට සම්බන්ධ වන්නේ කොහොමද කියලා තහවුරු කරන්නයි ස්වාමීනි, මේ සාක්ෂිකරු කැඳවන්නේ ?

නීතිඥ රහුල් ජයතිලක මහතා ; එම කරුණු සටහන් කර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටිනවා.

සභාපති විනිසුරු ; මේවා කරුණු දැක්වීම් නේ. ඒවා හැම එකක්ම සටහන් කරන්න ඕන නෑ

විත්තියේ නීතිඥවරයා විරෝධය දක්වනුයේ ප්‍රශ්න ගත චෝදනාවලට මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වැදගත්කම පිළිබඳව මිස සාක්ෂිකරු සම්බන්ධයෙන් නොවන බව පෙන්වා දෙමින් විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරයාගේ විරෝධතාවය ප්‍රතික්ෂේප කළේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (RDB) ලෝකයේ තුන්වන රටවල යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා ආධාර ලබාදෙන බැංකුවක් වන්නේ යැයි පෙන්වා දෙමින් සිය සාක්ෂි ලබාදීම ආරම්භ කළ සාක්ෂිකරු ශ්‍රී ලංකාවේ පළාත් හතරක යටිතල පහසුකම් සැපයීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක නයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති බව පෙන්වා දුන්නේය.

2022.07.18 වැනිදා මුදල්  අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආසියානු සංවර්ධන බැංකුව ගිවිසුම් අත්සන් කර එකී ව්‍යාපෘතිය ආරම්භ කළ බවද පැවසූ සාක්ෂිකරු එවකට පැවති රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එකී මුදල ලබා දුන්නත් එය ප්‍රදානයක් නොව පොලිය සමග ආපසු ගෙවිය යුතු ණය මුදලක් වන්නේ යයිද දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අසේල සේරසිංහ මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වූ ඖෂධ හා මෙකී ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම අතර කිසිදු සම්බන්ධයක්  නැතැයි ද නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය.

දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; ඔබ කීවනේ, වෙනත් යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියකට ලබා දී තිබූ මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ඖෂධ ගෙන්වීම සඳහා දුන්නා කියලා. එහෙම වෙනත් ව්‍යාපෘතියකට වෙන් කර තිබූ මුදලින් එපමණ මුදලක් ඖෂධ ආනයනයට ලබා දුන්නේ එකල පැවැති අත්‍යවශ්‍යතාවය  අනුව නේද ?

සාක්ෂිකරු ; ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගත් පියවරක් ඖෂධ ආනයනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6-9 දක්වා ගතවෙනවා.

සෙසු විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න නැගීමක් සිදු නොකිරිනි. එම නඩුවේ 238 වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ ආසියානු සංවර්ධන බැංකුවේ. ප්‍රසම්පාදන නිලධාරී  පිලාන ලියනගේ ඉසුරු මදුරංග ප්‍රේමරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා විවෘත අධිකරණය හමුවට කැඳවනු ලැබීය. ඔහුගෙන් දිවුරුම් ලබාගෙන සාක්ෂි ආරම්භ කිරීමට පෙර නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා පෙර සාක්ෂිකරු සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයම මෙම සාක්‍ෂිකරු සම්බන්ධයෙන් ද ඉදිරිපත් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම සාක්ෂිකරුව අධිකරණ ශාලාවෙන් පිටතට යවා එම කරුණු දැක්වීම සිදුකිරීමට විනිසුරු මඩුල්ල එම නීතිඥවරයාට අවසර ලබා දුන්නේය.

විත්තිය නීතිඥවරයා ; ස්වාමීනි, මේ සාක්ෂිකරුගේ සාක්ෂියත් මේ නඩුවේ තිබෙන අධිචෝදනාවලට කිසිම සම්බන්ධතාවයක් නෑ. සාක්‍ෂිකරුවන් කැඳවන්න ඕනා ගොනුකර තිබෙන අධි චෝදනාවලට අදාළවයි. සාක්ෂි ආඥා පණතේ දෙවන වගන්තිය අනුව සාක්ෂිය ආරම්භ කිරීමට පෙර එම විරෝධතාවය ඉදිරිපත් කළ යුතු නිසයි මම මෙහෙම කරන්නේ. සාක්ෂි ආඥා පනතේ 136 (1) සඳහන් වෙනවා විත්තියෙන් විරෝධතාවයක් ගත්තත් නොගත්තත් ගරු  අධිකරණය එම සාක්ෂිකරුගේ සාක්ෂියේ අදාලත්වය පිළිබඳව විමසිය යුතුයි කියලා ඒ බව ඉහළ අධිකරණ විසින් ලබා දී ඇති නඩු තීන්දු අනුවම පෙන්වා දී තිබෙනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; සාක්‍ෂිකරු සාක්ෂි දෙනවිට විනිසුරු තුමන්ලාට පුළුවන් එම සාක්ෂි කැඳවන්නේ කුමන පදනම ගැනද කියලා විමසන්න.

පැමිණිල්ලේ එම කරුණු දැක්වීම සම්බන්ධයෙන් පිළිතුරු දීමට නීතිඥ රහුල් ජයතිලක මහතා උත්සාහ දැරූ නමුත් සභාපති විනිසුරුවරයා  එය වැළැක්වින.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේක යළි පිළිතුරු දෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. විත්තිය දැන් විරෝධතාවය දක්වලා ඉවරයි. විත්තිය විරෝධතාවය දක්වන්නේ සාක්ෂිකරුට සාක්ෂි දීමට ඇති හැකියාව ගැන නෙමෙයි. අදාළ සාක්ෂියේ අනුකූලතාවය ගැන සොයන්න ඔහුගේ සාක්ෂිය කැඳවිය යුතුයි. විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

ශ්‍රී ලංකාවේ පළාත් හතරක රෝහල්වල ප්‍රාථමික වෛද්‍ය සේවා දියුණු කිරීම සඳහා ආරම්භ කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 183ක ණය මුදලක් 2019 වසරේදී අනුමත කළ බවත් මුල් අවස්ථාවේ එකී මුදලින් කිසිදු ප්‍රමාණයක් ඖෂධ මිලදී ගැනීමට වෙන්කර නොතිබූ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකර ගත් එකඟතාවය මත එම මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කළ බව පෙන්වා දෙමින් එම සාක්ෂිකරු සාක්ෂි දීම ආරම්භ කළේය. ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා ණය ලබාදීම ආසියානු සංවර්ධන බැංකුව සිදු නොකලත් පැවැති ආර්ථික අර්බුදය නිසා ඇතිවී තිබූ ඖෂධ හිඟයට පිළියමක් ලෙස එලෙස ඖෂධ මිලදී ගැනීමට එකී ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක මුදල වෙන් කිරීමට තීරණය කොට තිබූ බවද දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසීය.

ජනාධිපති නීතිඥවරයා ; වෙනත් ක්‍රියාවලියකට වෙන්කර තිබූ මුදලින් කොටසක් ඖෂධ මිලදී ගැනීමට ලබාදීමට තීරණය කර තිබුණේ එකල රටේ පැවැති ආර්ථික අර්බුදය හා දැඩි ඖෂධ හිඟය නිසා නේද මහත්මයා?

සාක්ෂිකරු ; ඒ බව සනාථ කරමින් හිස වනයි.

විත්තියේ නීතිඥවරයා ; හිස වනන්න එපා මහත්මයා කටින් උත්තර දෙන්න.

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥ ; ඔබ කීවා එකී හදිසි ප්‍රසම්පාදන කටයුත්ත දින හැටක් ඇතුළත අවසන් කළ යුතුව තිබුණා කියා. සමහර ප්‍රසම්පාදන කටයුතු අවලංගු කර තිබුණා නේද? ඇයි ආසියානු සංවර්ධන බැංකුව එකී ඇනවුම් කීපයක් අවලංගු කර තිබුණේ?

සාක්ෂිකරු ; ආසියානු සංවර්ධන බැංකුවේ මාර්ගෝපදේශ අනුගමනය කර නොතිබූ නිසා.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; කවුද ඒ සමයේ එකී ව්‍යාපෘති, භාරව සිටියේ?

සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන භාර අතිරේක ලේකම් යුනූස් ලෙබ්බේ මොහොමදු නවාමි මහත්තයා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කොහොමද කීවේ? ඒ සමයේ ඖෂධ හිඟයක් තිබුණා කියලා ඔබට එහෙම ඖෂධ හිඟයක් ඇති බවට පුද්ගලික දැනුමක් තිබුණාද? ඔබ ඒ ගැන පුද්ගලිකව පරීක්ෂා කළාද?

 

 

සාක්ෂිකරු ; එවකට සබරගමුවේ සේවය කරමින් සිටි මාව හදිසියේ කොළඹට කැඳෙව්වේ දැඩි ඖෂධ හිඟයක් තියෙන බව දන්වමින්. පුද්ගලිකව පරීක්ෂා නොකළත් ඒ බව මට යම් දැනුමක් ලැබී තිබුණා. ඖෂධ හිඟය ගැන මම පුද්ගලිකව පරීක්ෂා නොකළ බව ඇත්ත.

වැඩිදුර නඩු විභාගය ලබන ( 9) වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 43 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් බණ්ඩාර දිසානායක මහතාට හා පැමිණිල්ලේ 241වන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ වේදිනී, ඩිල්ෂානි ගුණසේකර මහත්මියට   සිතාසි යැවීමට නියෝග කළේය.

නවතම ලිපි