SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(විශේෂ අධිකරණ වාර්තාකරු විසිනි)

 

රුපියල් කෝටි 14කට අධික රාජ්‍ය මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින්

(IVIG) සහ රිටක්සිමැබ් එන්නත් වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, මේ වන විට හුදු අපරාධ නඩුකරයක් පමණක් නොව මෙරට ඖෂධ මාෆියාව සහ රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ ව්‍යුහාත්මක අර්බුද නිරාවරණය කරන වේදිකාවක් බවට පත්ව තිබේ.

 

 

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මාර්තු 05 වැනිදා පැවති සාක්ෂි විභාගය ඊට කදිම නිදසුනකි. පැමිණිල්ලේ (නීතිපතිවරයාගේ) ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගෙන් විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න හමුවේ, අධි චෝදනා ගොනු වූ මූලික පදනමට දැඩි අභියෝගයක් එල්ල විය.

 

 Untitled 40

 

 

1. අපරාධ පරීක්ෂණයේ ආරම්භය: "සොරාම පොලිසි ගියාද?"

 

නඩුවේ ප්‍රධානතම චෝදනාව වන්නේ විත්තිකරුවන් විසින් සිතාමතාම රජයේ මුදල් වංචා කිරීමේ සාපරාධී චේතනාවෙන් (Mens Rea) කටයුතු කර ඇති බවයි. එහෙත්, 8 වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මතු කළේ නඩුවේ සමස්ත ආඛ්‍යානය උඩුයටිකුරු කළ හැකි තර්කයකි.

 

 

විත්තියේ අනාවරණය:

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මුලින්ම පැමිණිලි කර ඇත්තේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල ගේම උපදෙස් පරිදි, ඔහුගේ උපදේශකයෙකු වූ සංජීව රජීව් ජෙරාඩ් නමැත්තා විසින් බව විත්තිය අධිකරණය හමුවේ යෝජනා කළේය. සාක්ෂිකරු ඊට පිළිතුරු දුන්නේ "තමා ඒ බව නොදන්නා" බවයි.

 

 

නෛතික විශ්ලේෂණය:

වංචාවක් සැලසුම් සහගතව සිදුකළ ප්‍රධාන චූදිතයෙකු, එම වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙස සිය උපදේශකයෙකු ලවා CID යට පැමිණිලි කරන්නේද? මෙම කරුණ ඔප්පු වුවහොත්, පැමිණිල්ල විසින් ගොඩනගා ඇති "සංවිධානාත්මක වංචාව" යන තර්කයට එයින් දැඩි ප්‍රහාරයක් එල්ල වේ. එය හිතාමතා කළ වංචාවකට වඩා, පරිපාලනමය වශයෙන් සිදුවූ ව්‍යසනයක් (Administrative Disaster) අමාත්‍යවරයා විසින් පසුව හඳුනාගැනීමක් ලෙස විත්තියට අර්ථකථනය කළ හැක.

 

 09477d29 323c 45b6 87ed 95c1964553c9 FLSAR 011021 S VACCINE HOSPITALS 28

 

 

2. හදිසි ප්‍රසම්පාදනය සහ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම

 

රටේ පැවති දැඩි ඖෂධ හිඟය හමුවේ අඛණ්ඩ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා 2022/09/26 දිනැතිව කෙහෙළිය රඹුක්වැල්ල  හිටපු සෞඛ්‍ය ඇමතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් (පැ. 163) ඉදිරිපත් කළ බවත්, ඒ හරහා පෞද්ගලික අංශයෙන් ඖෂධ ලබාගැනීමටත්, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය (WOR) භාවිත කිරීමටත් අනුමැතිය ඉල්ලා තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය.

 

මෙහිදී විත්තිය පෙන්වා දෙන්නේ, තීරණ ගෙන ඇත්තේ හුදෙකලාව නොව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ අර්බුදකාරී වාතාවරණයක් මත බවයි.

 

 

3. ඖෂධ මාෆියාව සහ කෘත්‍රිම හිඟය: විත්තියෙන් සැඟවුණු සත්‍යයක් එළියට

 

11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න  නැගූ හරස් ප්‍රශ්න, ලෝකයේ මෙන්ම ලංකාවේද පවතින ඖෂධ ජාවාරමේ (Pharma Mafia) යථාර්ථය අධිකරණයට ගෙන ආවේය.

 

විත්තියේ නීතිඥවරයා:

"ඖෂධ සැපයීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාගෙන තිබියදීත්, ඒ සඳහා කැඳවනු ලබන ටෙන්ඩර්වලට අයදුම් නොකර ඉන්න සැපයුම්කරුවන් පිරිසක් ඉන්න බව කීවොත් ඔබ පිළිගන්නවාද? එහෙම ටෙන්ඩර්වලට ඉදිරිපත් නොවී සිටින විට රටපුරා ඖෂධ හිඟයක් ඇතිවෙනවා, එවිට මිල ඉහළ යනවා නේද?"

 

සාක්ෂිකරු:

"...අපි ඖෂධ නියාමන අධිකාරිය ලෙස එවැනි අනිසි ක්‍රියා වළක්වන්න පියවර ගෙන තිබෙනවා... අපි කොච්චර උත්සාහ කළත් ඒක තාමත් සිදුවෙනවා."

 

 

රටට බලපාන ආකාරය:

ලියාපදිංචි සැපයුම්කරුවන් සිතාමතාම ටෙන්ඩර් මගහැර කෘත්‍රිම ඖෂධ හිඟයක් (Artificial Scarcity) මවා, ඒ හරහා අසාධාරණ ලාභයක් ඉපයීමට උත්සාහ කරන බව නියාමන අධිකාරියේ සභාපතිවරයාම අධිකරණය හමුවේ පිළිගැනීම බරපතළ කාරණයකි. මෙවැනි ආයතනික අර්බුදයක් මධ්‍යයේ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන් වෙත යාමට රජයට සිදුවූ බවට විත්තිය ගොඩනගන තර්කයට මෙය මහඟු පිටිවහලකි.

 

 

4. සාක්ෂිවල නිරවද්‍යතාව සහ ආයතනික වගකීම

 

12 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මතු කළ කරුණුවලින් පැහැදිලි වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසන් තීරණ ගැනීමේ බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට මිස තනි පුද්ගලයින්ට නොවන බවයි. තවද, සාක්ෂිකරු විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන (පැ. 167) ඔහු පුද්ගලිකව සකස් කළ ඒවා නොවන බවත්, තම යටත් නිලධාරීන් සකස් කළ ඒවා බවත් ඔහු පිළිගත්තේය. අපරාධ නඩුවකදී ලේඛනවල අවිවාදිත නිරවද්‍යතාවය (Authenticity of Documents) අතිශය වැදගත් වන බැවින්, මෙම පිළිගැනීම විත්තියට වාසිදායක ලෙස අනාගතයේදී භාවිත කළ හැක.

 

 

5. විනිසුරු මඩුල්ලේ මැදිහත්වීම: සංකූලතා වාර්තා වීම

 

නඩුවේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය විසින් ඖෂධ සංකූලතා (Adverse Drug Reactions - ADRs) වාර්තාවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, මෑත කාලීනව ඖෂධ භාවිතය නිසා ඇතිවන සංකූලතා බහුලව වාර්තා වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මාධ්‍ය මගින් මේ පිළිබඳ නිරතුරුව වාර්තා කිරීම බවයි. නියාමනය පැත්තෙන් එය යහපත් ප්‍රවණතාවක් බවද ඔහු සඳහන් කළේය.

 

 

05 වැනිදා නඩු විභාගය, පැමිණිල්ල විසින් ගොනු කර ඇති අධි චෝදනාවල අත්තිවාරම දෙදරුම් කැවීමට විත්තිය සමත් වූ දිනයක් ලෙස හැඳින්විය හැක. නඩුවේ දිශානතිය දැන් යොමුවෙමින් පවතින්නේ හුදෙක් පුද්ගලයින් කීපදෙනෙකුගේ සාපරාධී වංචාවකින් ඔබ්බට ගොස්, ඖෂධ මාෆියාව විසින් රජයේ යන්ත්‍රණය අපහසුතාවයට පත් කිරීම සහ ඒ හමුවේ ගත් හදිසි පරිපාලන තීරණවල ප්‍රතිවිපාක දෙසටය. විශේෂයෙන්ම, පොලිස් පැමිණිල්ල සිදුකළේ කෙහෙළිය රඹුක්වැල්ල ගේම පාර්ශ්වයෙන් යන්න ඔප්පු වුවහොත්, එය නඩුවේ අවසන් තීන්දුව කෙරෙහි දැඩිව බලපානු නොඅනුමානය.

images 2

නඩු වාර්තාව

03/03/2026

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයූම් අංශයට  සැපයීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ සංජීව රජීව්   ජෙරාඩ් නමැත්තා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත බව තමා නොදන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (05) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ එකී විමර්ශනවලට අදාළව තමාගේ ද ප්‍රකාශ සටහන් කළත් එකී වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා පැමිණිලි කිරීමට උපදෙස් දෙනු ලැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බවට හෝ ඔහුගේ උපදේශකයකු ලෙස ජෙරාඩ් නැමැත්තා කටයුතු කළ බවට හෝ එවැනි කෙනෙකු ගැන තමා නොදන්නේ යැයි ද විත්තිකාර  කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජයසුන්දර මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොභියුලීම් හා රිටක්සිමැබ්  යන ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (05) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

පැමිණිල්ල වෙනුවෙන් දෙවන දිනටත් සාක්ෂි ලබා දුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ඔබතුමා සාක්ෂි ලබා දෙමින් කීවා නේ එවකට පැවැති, ඖෂධ හිඟය මත අඛණ්ඩව වෛද්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමට හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ ලබා ගැනීමට පියවර ගැනීම පිළිබඳව අවබෝධයක් තිබෙනවා කියලා.

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි

විත්තියේ නීතිඥවරයා ; පැ 163 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය 2022/09/26 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අඛන්ඩ වෛද්‍ය සැපයුම් සේවාවක් පවත්වාගෙන යාම යන ශීර්ෂපාඨය යටතේ ඉදිරිපත් කොට තිබූ යෝජිත විසඳුම් වල වෛද්‍ය සැපයුම් පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට හා ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රමවේදය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව අවසර ඉල්ලු කැබිනට් සංදේශය ගැන ඔබ දැක තිබෙනවානේ ?

සාක්ෂිකරු ; එය දැක තිබෙනවා ස්වාමීනී.

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය උපයෝගී කර ගනිමින් නිසි ලෙස ලියාපදිංචියට යටත්ව සැපයුම් කිරීමට අනුමැතිය ලබා තිබූ එකී ඖෂධ ප්‍රසම්පාදනයේදී හියුමන් ඉමියුනෝග්ලොභියුලීම් හා රිටක්සිමැබ් ඖෂධ පිළිබඳ යම් ගැටලුවක් මතුවී තිබූ බව ඔබ දැනුවත්ද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; මෙම විත්තිකරුවන් දොළොස් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා සනාථ කිරීමට කැඳවන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ගේ නාම ලේඛනය අනුව පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම්කොට ඇත්තේ ඔබ බව ඔබ දැනුවත්ද?

සාක්ෂිකරු ; මම ඒ ගැන දන්නේ නෑ

එහිදී එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙලෙස පැවසීය.

සාක්ෂිකරු ; ඖෂධ සැපයීම කියන්නේ තරගකාරී ව්‍යාපාරයක් පුද්ගලික මට්ටමින් ගත්තත් එහෙමයි. ඖෂධ අලවිය ඉතා ලාභදායී ව්‍යාපාරයක් ලෝකය පුරාම එහෙමයි. ආයුධ සැපයීමේ ජාවාරමට පසුව ඖෂධ සැපයීමේ ව්‍යාපාරය තමයි ලෝකයේ තිබෙන ලාභදායකම ව්‍යාපාරය කියන එක ලෝකයේ කවුරුත් පිළිගන්නවා.

විත්තියේ නීතිඥවරයා ; ඒ ඖෂධ ජාවාරම මැඩපවත්වා ජනතාවට ගුණාත්මක භාවයෙන් යුත් ආරක්‍ෂාකාරී ඖෂධ සහන මිලකට සැපයීමට නේද ඔබගේ අධිකාරිය පත්කර තිබෙන්නේ? 

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; ඖෂධ සැපයීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාගෙන තිබියදීත් ඒ සඳහා කැඳවනු ලබන ටෙන්ඩර් වලට අයදුම් නොකර ඉන්න සැපයුම් කරුවන් පිරිසක් ඉන්න බව කීවොත් ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකරු ; එහෙම කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්

විත්තියේ නීතිඥ ; එහෙම සැපයුම්කරුවන් ටෙන්ඩර් කැදවීම්වලට ඉදිරිපත් නොවී සිටින විට රට පුරා ඖෂධ හිඟයක්  ඇතිවෙනවා එවිට මිල ඉහළ යනවා නේද?

සාක්ෂිකරු ; කරුණු දෙකක් වෙන්න පුළුවන්. වෙළඳ පොළට ඖෂධ සැපයීම සීමා වුණාම මිල ඉහළ යනවා කියන එකට මම එකඟ නෑ.

විත්තියේ නීතිඥ ; ඉල්ලුමට අවශ්‍ය සැපයුම නොලැබුණොත් මිල ඉහළ යාමක් සිදුවන්නේ  නෑ කියලද ඔබතුමා කියන්නේ? ලියාපදිංචි සැපයුම්කරුවන් ටෙන්ඩර් කැඳවන විට ඉල්ලුම් කළේ නැතිනම් අවශ්‍ය නීතිමය පියවර ගන්න බලයක් තිබෙනවාද?

සාක්ෂිකරු ; අපි ඖෂධ නියාමන අධිකාරිය ලෙස එවැනි අනිසි ක්‍රියා වළක්වන්න පියවර ගෙන තිබෙනවා. අද ඊයේ ඉඳන් නෙමෙයි. මුල සිටන්ම අපේ රට තුළ එවැනි අධික ලෙසට ඖෂධ විකිණීම සිදුවුණා. අපි කොච්චර උත්සාහ කළත් ඒක තාමත් සිදුවෙනවා.

විත්තියේ නීතිඥ ; රජය මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එවැනි ක්‍රියාවලදී වගකීමකට බැඳී තිබෙනවා නේද? ඒ සඳහා නේද ආරක්ෂිත තොග (Buaffer stock ) පවත්වාගෙන යා යුත්තේ?

සාක්ෂිකරු ;  ඔව් අපිටත් වගකීමක් තිබෙනවා.

දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; ඔබතුමා කීවා 2015 වසරේ සිට 2022 ජුලි මස වනතුරු ඖෂධ නියාමන  අධිකාරියේ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඔබ සිටියා කියලා? එම කාලයේ ඔබ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරලා තිබෙනවාද? ඒ වගේම යම් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වූ විට ඊට සිය නිරීක්ෂණ හා යෝජනා ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මෙන්ම සභාපතිවරයා හා විධායක නිලධාරියාට පුළුවන්නේ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; ඖෂධ නියාමන අධිකාරියේ අවසන් තීරණ ගැනීමේ බලය තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේ? සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ පෙර සඳහන් කළ ඖෂධ ආනයනය කිරීමට යෝජනා කළේ බැංකු ණය යටතේ නේද? සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමේදී ඩබ්ලිව් ඕ ආර්  සහතික ලබා දීමක් සිදු වන්නේ නෑ නේද?

සාක්ෂිකරු ; එය බලන්නේ නැතුව උත්තර දෙන්න බෑ.

විත්තියේ නීතිඥ ; ඔබතුමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ඔබතුමා විසින් සකස් කළ ලේඛන හෝ තොරතුරු නෙමෙයිනේ?ඔබ යටතේ සිටින අය සකස් කළ ඒවා මිස පුද්ගලිකව සකස් කළ ඒවා නෙමෙයි නේ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. උසාවියට ඉදිරිපත් කළ පැ 167 ලේඛන මා පුද්ගලිකව සකස් කළ ඒවා නෙමෙයි.

විත්තියේ නීතිඥ ; එම ඩබ්ලිව් ඕ ආර්  අයදුම් පත්‍ර ඩබ්ලිව් ඕ ආර්  අයදුම් කිරීමේදී එම ලේඛනවලට අමුණා තිබෙනවානේ?

සාක්ෂිකරු ; බලන්නේ නැතුව කියන්න බෑ.

සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබ සාක්ෂි දෙමින් කීවා ඔස්ට්‍රේලියාව වැනි රටක ඖෂධ භාවිතයෙන් වසරකට සංකූලතා 4500ක් පමන ඇතිවුනත් ලංකාවේ සිදු වන්නේ වසරකට 450ක් වැනි ප්‍රතිශතයක් කියලා. එහෙම වුනේ මොන වසර වලද? පසුගිය වසර වල ලංකාවේ එවැනි සංකූලතාවල අඩුවක් සිදුවෙලා තියෙනවාද?

සාක්ෂිකරු ; ස්වාමිනි! මම කීවේ වාර්ෂිකව ප්‍රතිශතයක් ලෙසයි. දැන් ලංකාවේ ඖෂධ භාවිතය නිසා ඇතිවන සංකූලතා වැඩිවෙලා. මාධ්‍ය මගින් එවැනි සංකූලතා නිරතුරුවම වාර්තා කරන නිසා එවැනි සිද්ධීන් පිළිබඳව අපට රෝහල්වලින් පෙරට වඩා වාර්තා වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. මම කියන්නේ සිදුවන සංකූලතා වාර්තා වීම හොඳ ප්‍රවණතාවයක්. අපි කැමතියි නියාමන අධිකාරිය ලෙස එවැනි සංකූලතා වාර්තා වීම ගැන දැනගන්න. පසුගිය 2023, 2024, 2025 වසර වලද එවැනි සංකූලතා ගැන බහුලව වාර්තා වුණා.

විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබට ඒ බව සනාථ කිරීමට දත්ත තිබෙනවාද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

වැඩිදුර නැවත ප්‍රශ්න ඇසීම අද (06) දක්වා කල් තැබිණි.

පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා,  තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන, හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන, හතරවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනුෂ් ජයවර්ධන, නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක යන මහත්වරුන්ද එහිදී එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීය.

නවතම ලිපි