SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ට

දැඩි මානසික සහ ශාරීරික වද හිංසා පමුණුවන බවට අතිශය බරපතළ තොරතුරු අද (07) දිනයේ අනාවරණය වී තිබේ. මානව හිමිකම් සම්මුතීන් සහ මූලික නීති රාමුව මුළුමනින්ම උල්ලංඝනය කරමින් සිදුවන බව කියන මෙම අමානුෂික ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු එළියට පැමිණියේ, යුද බිමේදී ආබාධිත වූ ඔහුගේ සොහොයුරු, හිටපු කමාන්ඩෝ නිලධාරී මේජර් සෙල්වින් සලේ  අද දින CIDය වෙත ගිය අවස්ථාවේදීය.

 

 

 

මෙම අත්අඩංගුවට ගැනීම හුදු නෛතික ක්‍රියාවලියක්ද, නැතහොත් දේශපාලන පළිගැනීමක්ද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කරමින් පහත කරුණු මේ වන විට කරළියට පැමිණ ඇත.

 

 

අමානුෂික රඳවාගැනීම සහ මාරාන්තික සෞඛ්‍ය අවදානම

 

 

සෙල්වින් සලේ කරන හෙළිදරව්වට අනුව, හිටපු බුද්ධි ප්‍රධානියා මේ වන විට සිටින්නේ දැඩි මානසික සහ ශාරීරික කඩාවැටීමකය. කුටියේ මීයන් බහුලව ගැවසෙන බැවින් ඔහුට නිසි නින්දක් අහිමි වී ඇත.

දැනටමත් මිග්‍රේන් (Migraine) තත්ත්වයට දිනපතා ඖෂධ ගන්නා ඔහු, "මෙතන හිටියොත් මට මී උණ (Leptospirosis) හැදෙනවා, මුන් හදන්නෙ මට මී උණ හදවලා මරන්න" යැයි දැඩි පීඩනයකින් යුතුව පවසා ඇතැයි වාර්තා‌ වේ.

තවද, ඔහුගේ අසනීප තත්ත්වය වෙනුවෙන් නිවසින් ආහාර ලබාදීමට බිරිඳ කළ ඉල්ලීම ද බලධාරීන් අමානුෂික ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, මේ හේතුවෙන් ඔහුට නුදුරේදීම ආහාර වර්ජනයකට එළඹීමට සිදුවනු ඇතැයි පවුලේ ඥාතීන් අනතුරු අඟවයි.

 

පවුලේ සාමාජිකයින්ට පැනවූ අසාධාරණ 'පොලිස් රිපෝට්' නීතිය

 

 

CIDය විසින් අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට යන පවුලේ අයට පෙර නොවූ විරූ සීමා පනවා ඇත. සලේ මහතාගේ 21 හැවිරිදි පුත්‍රයාට සිය පියා බැලීමට ද පොලිස් වාර්තාවක් ගෙනෙන ලෙස දන්වා ඇති අතර, දින 7ක් තිස්සේ අයදුම් කර තිබුණද එය මෙතෙක් ලබා දී නොමැත. අද දින සිය පියා බැලීමට ගිය එම තරුණයාව පැය 3ක් පුරා රස්තියාදු කර, වාර්තාව නොමැති බව පවසා පියා බැලීමට ඉඩ නොදී හරවා යවා තිබේ. සෙල්වින් සලේ ට පමණක් මෙම අවස්ථාව හිමිව ඇත්තේ, ඔහු හිටපු කමාන්ඩෝවරයෙකු වීමත්, මාස 6කට පෙර ලබාගත් පොලිස් වාර්තාවක් ඔහු සතුව තිබීමත් නිසාය.

 

නීතියේ ආධිපත්‍යයට එල්ල වූ මරු පහර

 

ශ්‍රී ලංකා නීතිය යටතේ නීතිඥයෙකුට තම සේවාදායකයා හමුවීමට ඇති පූර්ණ නිදහස සහ රහස්‍යභාවය (Privileged Communication) මෙහිදී අමු අමුවේ උල්ලංඝනය වී ඇත. නීතිඥවරුන්ට හිටපු බුද්ධි ප්‍රධානියාව හමුවීමට සිදුව ඇත්තේ CIDයේ සෘජු අධීක්ෂණය යටතේ වන අතර, ඔවුන් කතා කරන දේවල් පොලිසිය විසින් සටහන් කරගැනීම නීතිඥ ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

 

දේශපාලන පළිගැනීමක්ද? පාර්ලිමේන්තුව උණුසුම් කළ හෙළිදරව්ව

 

මෙම සමස්ත ක්‍රියාවලියේ අරමුණ පිළිබඳව බරපතළ සැකයක් මතුකරමින්, ඊයේ (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සභාවට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම මේ වන විට සමාජ මාධ්‍ය පුරා වෛරල් වෙමින් පවතී. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ශානි අබේසේකර දේශපාලනයට සම්බන්ධ නැතැයි ආණ්ඩුව කළ ප්‍රකාශය අභියෝගයට ලක් කළ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය:

 

"මේ දිවුරුම් පෙත්සමේ එතුමාම පිළිගන්නවා, ඒගොල්ලෝ ජාතික ජන බලවේගයේ (NPP) දේශපාලන පක්ෂයේ විශ්‍රාමික එකමුතුවේ වැඩ කරනවා කියලා. එහෙනම් කොහොමද මේ දේශපාලන පක්ෂෙකට සම්බන්ධ අය මේ විමර්ශන කරන්නේ?"

 

 

මේ අනුව, සෘජු දේශපාලන ක්‍රියාකාරිකයින් විමර්ශනවලට සම්බන්ධ වීම හරහා, සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සහ ඔහුට ලබාදෙන කෲර සැලකිලි, සංවිධානාත්මක දේශපාලන පළිගැනීමක් ද යන දැඩි සැකයක් පිළිබඳ සාකච්ඡාවක් මතුව ඇත.

 

නවතම ලිපි