SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • VFS ගණුදෙනුව හරහා ඩුබායි වලට සල්ලි යන ගිණුමේ අයිතිකරුවත් අමාත්‍යංශ නිලධාරීන් දන්නේ නෑ.

 

  • VFS ගණුදෙනුව කීවත් මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ වෙනත් ආයතන දෙකක්.

 

  • මොබිටෙල් ඩොලර් 1 කට කළ කටයුතු මොවුන් කරන්නේ ඩොලර් 25කට.

 

මේ වනවිට ආන්දෝලනයකට තුඩු දී තිබෙන VFS ගණුදෙනුව හරහා ලබාගන්නා මුදල් ඩුබායි වල පවතින ගිණුමකට යන බවත් සතියකට පසුව එම ගිණුම හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළ මුදල් ලැබෙන ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවද එම ඩුබායි ගිණුමේ අයිතිය ඇත්තේ කාටද යන්න පවා සොයා බැලීමට මෙරට අමාත්‍යංශ නිලධාරීන් ක්‍රියාකර නොමැති බවත් අදාළ ආයතන පවතින්නේ කොතැනද යන්න පවා සොයා බලා නොමැති බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

 

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ පාර්ලිමේන්තු මුදල් කාරක සභා සාමාජිකයන් ලෙස ඒ මහතාත්, රාවුෆ් හකීම් හා එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විසින් මෙම VFS ගනුදෙනුවට එරෙහිව ගොනුකරනු ලැබූ පෙත්සම් වල වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

 WhatsApp Image 2024 08 22 at 19.26.05

 

එහිදී පාඨලී චම්පික රණවක දැක්වූ අදහස්:

 

"මේ රටේ දේශ සීමාවේ පළවෙනි සීමා මායිම තමයි ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටරය. එම කවුන්ටරය කිසිම ආකාරයක පිළිගැනීමක් නැති IVS, GBS කියන සමාගමට පවරාදීම තුළින් ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ගේ පනතත් උල්ලංඝනය කරලා වගේම, රටේ ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටළුවක් ඇති කරන බවත් කියන්න ඕනේ. 2011 දී මේ පද්ධතිය රාජපක්ෂ ආණ්ඩුව හඳුන්වාදෙන අවස්ථාවේදී අවධාරණය කරපු දෙයක් තමයි රටේ ජාතික ආරක්ෂාවට විදේශිකයන්ගේ පැමිණීමෙන් පුද්ගලයින් හඳුනා ගැනීමට මේක ඉමහත් ලෙස උපකාරී වෙන බව. නමුත් දැන් එය බරපතල විදිහට උල්ලංඝනයක් සිද්ධ වෙලා. දෙවැනි කාරණය මේ තුළින් රටට අහිමි වෙන විශාල ධනය. අවුරුදු 16 කට මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ඩොලර් බිලියන 1.4 ක්. මේක ලබා දුන්නා නං මොබිටෙල් ආයතනයට හා ටෙලිකොම් ආයතනයට එහි වටිනාකම කිහිප ගුණයකින් ඉහළ යන්න නියමිතව තිබුණු බව අපි උසාවියට දැනුම් දුන්නා. තුන්වැනි කාරණය සංචාරක ව්‍යාපාරයට සිදුවෙන බලපෑම. දැනටම ඒ සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස් සහයක පෙත්සම්කරුවෝ බවට මේ නඩුවට ඉදිරිපත් වෙලා තිබෙනවා.

 

දැනටමත් සංචාරකයින්ට ලංකාවට ඇතුල්වීමේ වීසා ගැනීමේදී ඔවුන් මේ වෙබ් අඩවිය මගින් දෙතුන් පැත්තකට අරන් යනවා. Immigration වෙබ් අඩවියට ගියහම කියනවා IVS වෙබ් අඩවියට යන්න කියලා. IVS වෙබ් අඩවියට ගියාම කියනවා  Immigration වෙබ් අඩවියට යන්න කියලා. ඉතින් මේ තරම් හානියක් සංචාරක ව්‍යාපාරයට රජයක් හැටියට සිදු කරලා නැහැ කිසිම රටක්. ඒ වගේම මේ පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාවේදී, මොබිටෙල් ආයතනයේ ප්‍රධානියා වන අරන්දර මහත්තයා ආපු වෙලාවේ, අපි ප්‍රශ්න කිරීමක් කරා මේක කරගෙන යන්න පුළුවන්ද කියලා, ඔහු බොහොම පැහැදිලිව එම මුදල් කාරක සභාවේදීත් පැහැදිලි කරලා දුන්නා ටෙලිකොම් ආයතනයත් ඒ වගේම මොබිටෙල් ආයතනයටත් මේක කරගෙන යාමට තාක්ෂණික බාධාවක් නෑ පැරණි ක්‍රමයට මේක කරගෙන යාම කියන එක.

 

ඒ වගේම මේ ගැසට් එක ගැහුවේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. එතන ඉදන් අප්‍රේල් මාසේ වෙනකන් ඔය ගැසට් එක තියෙද්දිත් ඔයක්‍රියාමාර්ගයම තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ සඳහා ලබාදීලා තියෙන හේතු සාධක සම්පූර්ණයෙන්ම වැරදියි. එදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපතිවරයා මේ ගැසට් නිවේදනය ගැන පැහැදිලිව දැනුම් දුන්නට පස්සේ එම ගැසට් නිවේදනයේ සඳහන් කරුණුත් සලකා බැලීමෙන් පස්සේ තමයි මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළේ. අද මේ වෛරසය අනෙකුත් ක්ෂේත්‍ර වලටත් පැතිරෙමින් යනවා. මේකේ ඊළඟ ඉලක්කය වරාය. ඒ වගේම මේ විදිහම කුමන්ත්‍රණයක් විසින් පාස්පෝට් ලබා ගැනීම අපිට අහිමි කරලා තියෙනවා. e - Visa එකක් දෙනවා කියලා සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දුන්නට පස්සේ කියනවා අපිට පාස්පෝට් එක දෙන්න නම් ඔවුන්ගේ තාක්ෂණික පද්ධතියත් මිලදී ගන්න කියලා. තේ කොළ විකුණන්න ඇවිල්ලා කියනවා කෝප්පෙත් ගන්න කියලා. ටෙන්ඩර් පටිපාටිය, ප්‍රසම්පාදන පටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමේ තත්වෙට මේ රට පත්වෙලා තියෙනවා.

 

අද රටේ ඩොලර් හිඟයට ආණ්ඩුවේ උපක්‍රම තියෙන්නේ දෙකයි. එකක් සංචාරකයෝ වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීම සහ පුද්ගලයන් විදේශගත වීම. මේ වසර පහක පමණ කාලය තුළ ලක්ෂ දොළහක් පමණ විදේශගත වෙලා තියෙනවා. ඒ සංක්‍රමණික ආදායම ප්‍රධාන කාරණයක් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට. නමුත් අද ඒ අයට රට යන්න විදිහක් නැහැ. ඒකට මොකක්ද ඇමතිවරයාගේ උත්තරේ? 23% පාස්පෝට් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා ඕන අයට විතරයි අපි දෙන්නේ කියලා. ඔහුට අයිතියක් නැහැ පාස්පෝට් එකෙන් යනවද නැද්ද කියලා තීරණය කරන්න. පාස්පෝට් ගන්නේ නිකන් නෙවෙයි. එක මහජනයාගේ අයිතියක්. ඒක ටිරාන් අලස්ට ඕන විදිහට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහජනයාගේ අයිතියක්. මහජනයා කැමතිනම් මහජනයාට රටින් යන්න පුළුවන්. මහජනයාට රටින් එන්න පුළුවන්. ඒ අයිතීන් දෙකම ඉතාම උද්දච්ච විදිහට හානි කරලා තියෙනවා. මේකේ යට තියෙන්නේ අපේ දේශ සීමාව හරහා මේ රටට ඇතුල් වෙන සංක්‍රමණිකයන්ගේ පාලනය යම් කල්ලියක් අතට ළඟා කරගැනීම කියන අනතුර අපි ප්‍රකාශ කරන්න ඕනේ.

 

මේ ආයතනය 2014 ආරම්භ කළාට පස්සේ ලංකාවේ, ඉන්දියාවේ විතරයි ක්‍රියාකාරිත්වය තිබුණේ. දැන් රටවල් ගණනාවක කරනවා. වසර කිහිපයක ඉඳන් ඒකට අර ආයතනයේ මූල්‍ය අනුග්‍රහයත් ලැබිලා යම් ස්ථාවර පිළිගත හැකි ආයතනයක් බවට පත්වෙලයි තියෙන්නේ. මේ සෙල්ලම පටන් ගත්තා මුලින්ම සෞදි අරාබියේ. වීසා ලබා ගැනීම සඳහා සෞදි අරාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේගොල්ලෝ ගෙන්නගෙන ක්‍රමක්ක්‍රමයෙන්  අනිකුත් ක්ෂේත්‍ර වලටත් ඇතුල් වෙමින් තියෙන්නේ. මේකේ චරිත කිහිපයක් ඉන්නවා අඳුරගන්න. මේ VFS ආයතනය උත්තර බැන්දට VFS ආයතනය එක්ක නෙවෙයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. අත්සන් කරලා තියෙන්නේ IVS, GBS කියන ආයතන එක්ක. මේ IVS ආයතනය වෙනුවෙන් අත්සන තබලා තියෙන්නේ කවිරාජ් බණ්දාරි කියන පුද්ගලයා. එතකොට එහි ප්‍රධාන විධායක නිලධාරියා හැටියට ඉන්නේ අජේ නයාර් කියන පුද්ගලයා. ඒ වගේම මේ කලක් IVS එකේ වැඩ කරලා ඊට පස්සේ GBS එකේ උපදේශකවරියක් හැටියට ඉන්න වෙන්කුතුමූර්ති තමයි ඒ ගිවිසුමේ සාක්කි කාරයෙක් හැටියට අත්සන් කරලා තියෙන්නේ. මේ නම් ටික පොඩ්ඩක් මතක තියාගන්න. අනාගතයේදී අවශ්‍ය වෙයි මේ නම් වලින් හඳුන්වන අය කොයි විදිහට මේ රටේ ක්‍රියාවලියට මැදිහත් වුණාද කියන එක ගැන. මේක අධිකරණය ඉදිරියේ තියෙන කාරණයක් නිසා අපි ඉදිරි කාලයේදී මේ ගැන ක්‍රියා කරන්න කැමතියි.

 

ඒ වගේම VFS ආයතනයට කීයක් යනවද මේකෙන්. සෑම සංචාරකයෙක්ගෙන්ම ගන්නා ඩොලර් 25 සත 77 න් කීයක් VFS ආයතනයට යනවද? මොකද වී එෆ් එස් ආයතනය මීට සමාන සේවා සැපයීමක් බ්‍රසීලයේ කරනවා ඩොලර් 4 ට අඩුවෙන්. කාටද මේ ඉතිරි කොටස් යන්නේ? ඒ වගේම මේ සල්ලි යන්නේ ඩුබායි ගිණුමකට. ඒ ගිණුමට ගිහිල්ලා සතියකට පස්සේ තමයි ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයිති ඩොලර් එන්නේ. ඒ සතිය ඇතුළත ඒගොල්ලන්ට ඒක ආයෝජනය කරගන්න පුළුවන්. ඒ ගිණුම කාගේද? ඒ ගිණුමෙන් යන මුදල් කොහාටද යන්නේ? මේ GBS ආයතනය කොහෙද තියෙන්නේ? අපි උසාවියේදීත් කරුණු දැක්වුවා අමාත්‍යංශය මේ ආයතනවල පසුබිම පිළිබඳව නිවැරදි කිසිම හඳුනා ගැනීමක් කරලා නෑ කියලා."

 

ප්‍රශ්නය:

වීසා ක්‍රියාවලියට විශාල මුදලක් අය කිරීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට වන බලපෑම සම්බන්ධ වැඩිදුර පැහැදිලි කිරීමක් කළොත්?

 

පිළිතුර:

එක සංචාරකයෙක්ගෙන් ඩොලර් 100ක් වගේ ලොකු ගාණක් අයකරගැනීම නිසා විශාල අධෛර්යමත් භාවයකට පත්වෙනවා. අද ලෝකයේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය තමයි, වීසාවලට මුදල් අය කරන්නේ නැහැ. නමුත් වෙන පහසුකම් සැපයීමට අවශ්‍ය කරන ඒ කියන්නේ වෙන ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් මගින් ඔවුන්ගේ ප්‍රවාහන තත්ත්වයන්, නවාතැන් තත්ත්වයන්, වෙනත් දත්ත තත්ත්වයන්, ඒවාට යම්කිසි ගණනක් අයකරගෙන තමයි ඒක කරන්නේ. ඉතින් ඒක නිසා මේකේ ඒ කිසිම දෙයක් නැහැ. රටට ඇතුල් වෙන්න විශාල ගාණක් අය කරනවා. අර කිව්වා වගේ නැවත ඒගොල්ලන්ගේ වීසා වලට දිගුවීමක් ලබා දෙන්න අය කරනවා. ඉතින් මේක මගින් ඇත්තටම ලංකාවට සංචාරකයින් එන එක සම්පූර්ණ අදාළ යි. මොකද අපි විතරක් නෙවෙයිනේ මේ සංචාරක ව්‍යාපාරය තියෙන්නේ. වටේ තියෙන සියලු රටවල් අපි එක්ක තරග කරනවා. මාලදිවයින, ඉන්දියාව, මේ හැම රටක්ම තරග කරනවා. දැන් අක්ෂදීප් කියලා ඉන්දියාවෙන් වෙනම මේ අවට කලාපයේ ස්ථානයක් කරලා විශාල ප්‍රමෝෂන් එකක් දෙනවා ඒකට. දැන් මේගොල්ලොත් එක්ක තර්ක කරන්න නම් අපි ඒගොල්ලොත් එක්ක තරගකාරී ගණන් හිලව් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව මේ යුරෝපේ ගැන පෙන්නලා හරියන්නේ නෑ මෙතන. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම අර දෙපැත්තම වෙනවා. දැන් අද දේශ සීමාවෙන් යන්නත් බෑ. දේශ සීමාවෙන් එන්නත් බෑ. ඇත්ත වශයෙන්ම මේ වංචාකාරී, දූෂිත විතරක් නෙවෙයි. අධිකරණ තීරණ නොතකා කටයුතු කරන පිරිස් නිසා.

 

ප්‍රශ්නය:

අමාත්‍යවරයෙක්ගෙ පැත්තෙන් ආපු ප්‍රකාශය තමයි මේ වීසා ක්‍රියාවලිය නිසා සංචාරකයන් පැමිණීම වැඩිවෙලා කියලා.

 

පිළිතුර:

නෑ දැන් අපි ඒක උසාවියේදීත් පෙන්නුවා. අනෙකුත් කාරණා වලදීත් පෙන්නුවා. ඇත්ත වශයෙන්ම සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය අඩු වෙලා කියලා. මොකද දැන් සංචාරකයින්ගේ පැමිණීම මේ 2022 එක්ක හරි, 2020 එක්ක හරි සංසන්දනය කරන්න බැහැ. විශේෂයෙම කොවිඩ් තිබුණා 2021, 2022 ආර්ථික අර්බුදය තිබුණා. අපි හරි නම් මේ සංචාරක තත්ත්වය සංසන්දනය කරන්න ඕනේ 2028 වගේ හොඳ තත්ත්වයෙන්, සංචාරක ව්‍යාපාරය තිබුණු තත්වයක් එක්ක. මොකෝ 2019 එක තිබුණා. ඉතින් ඒ නිසා 2018 එක්ක සංසන්දනය කරනවට තවම අපි බොහොම පස්සෙන් ඉන්නේ. නමුත් අපි උසාවියටත් පෙන්නලා දුන්නා. අපි එදත් මීට කලින් මාධ්‍ය සාකච්ඡාවේදීත් කිව්වා මේ වර්ධන වේගය අපේ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා බොහොම හොඳට පෙන්නලා දීලා තියෙනවා. අපි උසාවිත් ඒක දුන්නා. සංචාරක වර්ධන වේගය මන්දගාමී වෙලා තියෙනවා මේකෙන් කියලා.

 

ප්‍රශ්නය:

රටේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. නව රජයක් එනවා. දැන් රජයක් ආවොත් ඔබතුමාලා මොනවගේ විදිහක්ද යෝජනා කරන්නේ?

 

පිළිතුර:

නෑ. ඇත්ත වශයෙන්ම දැන් අලුත් ලෝකයේ තත්ත්වයන් ගොඩාක් තියෙනවානේ. සමඟි ජන සන්ධානයෙන් තවම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දැම්මේ නැහැ. නමුත් ඊයේ පාර්ලිමේන්තුවටත් මම ඉදිරිපත් කළා. අපි Public Digital Infrastructure එකක් යෝජනා කරන්න යනවා රටට. ඒ මගින් මේ වීසා විතරක් නෙමෙයි. අනෙකුත් සියලුම රාජ්‍ය සේවාවන් ඩිජිටල් වේදිකාවක් මගින් ඉටු කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපාදනය මහජනයාට සලසලා දෙනවා. ඒ නිසා අපි වීසා විතරක් නෙමෙයි උප්පැන්න සහතික, මරණ සහතික, එහෙම නැත්නම් ග්‍රාම සේවක සහතික, දඩ මුදල් මේ ඔක්කොම ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක්.

සංචාරක ක්‍රියාවලිය උද්දීපනය කරන්න නම් ඒ විදිහේ ක්‍රියාවලියක් හරහා තමයි සංචාරකයින් වැඩියෙන් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකට වෙනත් පහසුකම් සැපයීමත් ඒ වේදිකාව තුළ වෙන්න ඕනේ.

 

ප්‍රශ්නය:

ඔබතුමාලා දැන් මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ දේශපාලන වාසියක් ගන්න කියලා චෝදනා කරනවා?

 

පිළිතුර:

ඕන කෙනෙකුට කියන්න පුළුවන් දේශපාලන වාසියක් ගන්න කියලා. මොකද අපි තුන්දෙනාම දේශපාලකයෝ නිසා. නමුත් අපි රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ විශාල අරගලයක් කරලා ඒක මූල්‍ය කාරක සභාවේ  සභාපති හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ සියල්ල දැකලා තමයි තියෙන්නේ. අනිත් එක මේ දේශපාලනමය වශයෙන් මේ ප්‍රශ්නේ ගැන විතරක් නෙවෙයි. ඔබ දකින්න ඇති වෙනත් කාරණා වලදී අපි මේ රටේ සීනි වංචාවක් වුණා. ඒ සීනි වංචාවට මුකුත් කළේ නැහැ. දැන් අපේ කාරක සභාවෙන් දැන් මෙතුමා පෙනී ඉන්නවා සීනි වංචාවේ දාලා තියෙන මූලික අයිතිවාසිකම් නඩුවක නීතිඥයෙක් හැටියට. අපි පාර්ලිමේන්තු කාරක සභාවේ දී සමථයකට පත්වෙන්න යෝජනාවකුත් ගෙනාවා නීතිපතිට මේක අය කරගන්න කියලා. අය කරගන්නවා නම් නඩුව ආපහු ගන්නම් කියලා. හැබැයි කිසිම දෙයක් කළේ නැහැ. අවසානයේ මට සිද්ධ වුණා කාරක සභාවේ සභාපති හැටියට ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකතු වෙලා බදු අයකර ගැනීම සඳහා අදාළ සීනි සමාගම් හතෙන් ක්‍රියා කරන්න කියලා. දැන් 2021 සිදුවෙච්ච සිදුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේ නියෝගය මත ඒක අය කරගෙන තියෙනවා. ඉතින් ඒක දේශපාලන ප්‍රශ්නයක්. මේ සල්ලි යන්නේ අපිට ද? ආ. එතකොට මේ අපි අර මත්පැන් බෝතල් පිළිබඳ ඒ කාරණාවල බදු අයකරගෙන දීලා තියෙනවා. ඒ දේශපාලන හේතු මත ද? රටේ මිනිස්සු දැනන් හිටියේ නෑ බදු පොලුකාරයෝ කී දෙනෙක් ඉන්නවා ද කියලා. අපි තමයි කිව්වේ කෝටියට වඩා බදු පොලුකාරයෝ හාරදාස් දෙසිය හැත්තෑ පහක් ඉන්නවා කියලා. දැන් ඒකෙන් නමසීයකට නඩු දාලා තියෙනවා. ඒක දේශපාලන වාසියක් ද? ඒක මේ අපට ද මෙහේ එන්නේ? අපේ නියෝග නිසා නේද ඒක කරලා තියෙන්නේ? ඒක රජයට නේ දෙන්නේ. රජය කියන්නේ කවුද? මේ රටේ මහජනයා නේද? ඉතින් ඒක නිසා අපි මේ කරන කාරණා නිකන් දේශපාලන කතාවක් නෙමෙයි. මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ අයිතිය වෙනුවෙන් කරන දෙයක්. ඒ වගේ උදාහරණ අපිට ඕන තරම් අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඒ කටයුත්ත කරනවා.

 

දැන් අපි උසාවියට ගියේ මොකද පාර්ලිමේන්තුවට තියෙනවා වගකීමක්. වාර්තාවක් ඉදිරිපත් කළාම කතානායකතුමාගේ භාරයේ තමයි ඒ වාර්තාව තියෙන්නේ. එතුමාට වගකීමක් තියෙනවා ඒකෙ තියෙන දේවල් පිළිබඳව වහාම කටයුතු කිරීම පිළිබඳව එක්කෝ නීතිපති දෙපාර්තමේන්තුවට යවලා, නැත්නම් CID එකට යවලා, ඒ කටයුතු කරන්න. නමුත්, මේ වෙලා තියෙන වැඩේ, පාර්ලිමේන්තු බහුතරයක් තියාගෙන, නීත්‍යානුකූලව කළ යුතු දේ කරන්නේ නැහැ. ඒක හැම දෙයක්ම බහුතරය පිටිපස ඒක පලිහක් හැටියට තියාගෙන ඕනෑම විමර්ශනයක් පාර්ලිමේන්තු කමිටුවට කළාට, ඒකේ කිසි පලක් නෑ. ඒක නිකන් ෆයිල් ගොඩ දාලා තියෙනවා. ඒකේ තේරුමක් නැහැ. ඒ හින්දා අපිට එකම පිහිට උසාවියට ගිහිල්ලා එතනින් යම් දැඩි ක්‍රියාදාමයකට යෑම විතරයි. ඒකයි අපි කරන්නේ. ඒක දේශපාලනික වැඩක් නෙමෙයි.

 

ප්‍රශ්නය:

ඔබ තිදෙනාම යන්නේ එකම දේශපාලන ගමනකද?

 

පිළිතුර:

නැහැ නැහැ තිදෙනාගේ ගමනක් නැහැ. අපි දෙන්නා සමගි ජන සන්ධානයේ. මෙතුමා තාම තීරණය කරලා නැහැ. ඒ ගැන කලබල වෙන්න එපා.

 

WhatsApp Image 2024 08 22 at 19.26.041WhatsApp Image 2024 08 22 at 19.26.06WhatsApp Image 2024 08 22 at 19.26.07

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි