SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමහර ජාවාරම්කාරයන් අද ව්‍යවසායකයන් ලෙස පෙනී සිටින බවත්, නියම ව්‍යවසායක පන්තියක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම සඳහා කැපවන බවත්,

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය මගින් කොළඹ වලව්වත්ත  ප්‍රදේශයේ  සංවිධානය කර තිබුන ජන හමුව අමතමිනි.

 

WhatsApp Image 2024 06 16 at 16.30.13

 

“අපි මේ කොළඹ නගර සභාවේ ඔබ අමතන්න ඇවිල්ලා තියෙන්නේ කිසිම ආකාරයක මේ ප්‍රදේශවලට මොකුත් වැඩක් නොකර ජාතිය, ආගම පෙන්නලා හරි එහෙම නැත්නම් දක්ෂ කතාවක් කරලා හරි අධික පොරොන්දු ප්‍රමාණයක් දීලා හරි ඔබේ ඡන්දය බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ කොළඹ නගර සභාවේ ප්‍රශ්න ගණනාවක් අපට පුළුවන් වුණා 2015 - 2019 කාලය ඇතුළත විසඳන්න. එදා මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණා. කොළඹ කුණු කඳු ගණනාවක් ඇති වුණා. මුලින්ම මට්ටක්කුලිය ඊළඟට බ්ලූමැන්ඩල් වල ඊළඟට මීතොටමුල්ලේ ඊළඟට වේරහැර තිස් තුන් දෙනෙක් මිය ගියා. වගකීම බාරගන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. සති තුනක් කොළඹ කුණු ගෙනියන්න හම්බුන්නෑ කොහෙවත්. කොළඹ ඩෙංගු වැළඳිලා මුළු කලාපෙම හාරසීයකට අධික පිරිසක් මිය ගියා. කෝවිඩ් එකෙන්වත් එච්චර මේ නගර සභා ප්‍රදේශයේ මිනිස්සු මිය ගියේ නෑ. අපි ඒ වගකීම භාරගත්තා. මේකේ තවත් මේකේ හිටියා ගොඩක් දෙනෙක්. මේ කොළඹ විශේෂයෙන්ම මැද කොළඹ, උතුරු කොළඹ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය මැති ඇමතිකම් කරපු, බලගතු ඇමතිධූර දරපු අය. අපි ඒ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙලා, තාවකාලිකව ඒ ප්‍රශ්නය විසඳුවා. සති තුනක් ඇතුලත. සදාකාලිකව ඒ ප්‍රශ්නය විසඳන්න අපි පියවර ගත්තා.

 

එදා කොළඹින් ඇරඹු කැලි කසල වැඩසපිළිවෙල..

 

කොළඹ දිස්ත්‍රික්කයේ 100% ක් විදුලිය දුන්නේ එදා අපි ‘විදුලමු ලංකා’ වැඩපිළිවෙළ යටතේ 2013 දී. ඒ වගේම මේ කසළ ප්‍රශ්නය අද ඒ කසළවලින් විදුලිය නිපදවලා මේ කොළඹ නගරයටම එනවා. ඒ විතරක් නෙවෙයි එදා මහ විරෝධතා මැද ආරම්භ කරපු ඒ පුත්තලමේ විද්‍යාත්මක කසළ රඳවනය අවුරුදු හතරක් ගිහිල්ලත් තාම ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වැඩේ කරගත්තොත් මේ සියවස ඉවර වෙනකන් මේ කොළඹ මහ නගර සභාවේ නෙවෙයි බස්නාහිර පළාතෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. කොළඹ තිබුණා පිටාර ප්‍රශ්නයක්. මේ කොළඹ තිබුණා කැළණි ගඟ ගලලා තොටළඟ ඇතුළු ප්‍රදේශ යට වෙන ප්‍රශ්නයක්. ඒකට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අමාරු වැඩ පොළොව යටින් උමං හදන ඒවා, පොම්පාගාර හදන ඒවා, ඒ නාගලංවීදිය, ඒ වගේම මෙතන මේ උසාවිය ගාව, මරදාන එක පිටිපස්සේ මේවට කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. බය වෙලා තිබුණේ මේ රටේ මිනිස්සු උමා ඔය ඒ හදන වෙලාවේ උමග හදලා ඇති වෙච්ච ප්‍රශ්න එක්ක කොළඹ නගරයේ උමං හැදුවොත් මොනවා වෙයිද කියලා. එක ගෙදරකට කැට කැබිලිත්තක හානියක් නොවෙන්න අද ප්‍රධාන උමං මාර්ග දෙකකුයි, අර්ධ උමං මාර්ග දෙකකුයි අපි හදලා තියෙනවා. ඒ හදලා ඒ ජලය, ඇළ මාර්ග වලට නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා. අසූ දෙදෙනෙක් ඇළ මාර්ගවල හිටපු අයට අපි නවීන නිවාස ලබා දුන්නා. අද ඒ නිසා තොටළඟ පොළ ගංවතුරට අහුවෙන් නෑ. සමහරු මේවට හිනා වෙනවා. හැබැයි ඒ අපි හදපු ඒ පොම්පාගාරයට ඒ පොම්පාගාර නඩත්තු කරන්න මේ අවුරුදු හතරේදී කරපු දෙයක් නැහැ. පසුගිය ජූනි දෙවෙනිදා අපි ජූනි පළවෙනිදා අපේ සමුළුව තිබ්බේ. එක වැහි බිඳක් වැටුණේ නැහැ. ජූනි දෙවෙනිදා මහ වැහි වැටුණා. මහ වැහි ඒ අඹතලේ පොම්පාගාරය, මෙතන ඉන්න අපි කීපදෙනෙක්ම අපි ගියා බලන්න. පොම්ප පහයි. විදුලිය කපලා තිබුණේ. පොම්ප වැඩ කළේ නෑ. නාගලම් වීදියේ පොම්ප වැඩ කරලා දෙකක් විතරක්. ඒකෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් ලැබුණා. නමුත් කොලොන්නාවේ පොම්ප හයි කරලා තිබුනේ නැහැ. ඒ කොළොන්නාවේ කළු පාලමේ. ඒ වගේම ඔලියමුල්ලේ, අපි හදලා තිබුණා ගේට්ටුව. පොම්ප ගෙනාවා දෙදහස් දහනමයේ. අවුරුදු පහක්. ඒ පොම්ප හයි කරලා නැහැ. කාගේද වැරැද්ද? අපි මේ සියල්ල කරලා ගියේ. අපි හිටියා නම් ඔය කැළණියේ, ඒ වගේම කිරිබත්ගොඩ ප්‍රදේශයේ ගංවතුර පාලනය කරගන්න තිබුණා. ඔලියමුල්ලේ ඒ පොම්පාගාරයේ වැඩ කරන්න. තව ස්ථාන දාහතක් මේ කොළඹ නගරයේ තියෙනවා කාණු පද්ධතිය, ඇළ මාර්ග පිළිසකර කරන්න. ඒ එක ව්‍යාපෘතියක්වත් සිද්ධවෙලා නැහැ. කොටින්ම අපි බලයෙන් ඉවත් වුණාට පස්සේ එක ගඩොලක් අලුත් ව්‍යාපෘතියකට කොළඹ නගර සභාවේ පවත්වලා නෑ. කොළඹ නගර සභාවේ මේ නාගරික දුගී ජනතාව වෙනුවෙන් නිවාස වැඩපිළිවෙලක් දියත් කරලා තිබුණා. ඒක ණය වෙලා කරලා තිබුණේ. අපි ඒ නිවාස වැඩපිළිවෙළ විධිමත් කළා. විධිමත් කරලා අපට පුළුවන් වුණා නිවාස 20000ක් ලබා දෙන්න. දේශපාලන වශයෙන් අපි කල්පනා කළා නම්, අපේ අපටත් ඒ නිවාසවලින් අපිට ඡන්ද ලබාගන්න තිබුණා. අපි ඒ නිවාස ලබා දුන්නේ සුදුසුම අයට නිවාස ලැබිය යුත්තන්ටම පමණයි. ඒ නිසා අද මනුස්ස ජීවිත ලැබිලා තියෙනවා ඒ පවුල් වලට. අපි හිතන්නේ ඊට පස්සේ එක ම නිවාසයක්වත් අලුතෙන් නිර්මාණය කරන්නේ මේ අවුරුදු පහට බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපිට තව කෙටි කලක් ලැබුණා නම් මේ කොළඹ නගරයේ තියෙන ඊළඟ ප්‍රශ්නය. මේ විශාල මාර්ග තදබදය. ඒ මාර්ග තදබදය විසඳන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපිට චීන සමූහාණ්ඩුවෙන් ගෙවල් දෙදාහක් හදන්න. ඒ ගැන අපේ හිටපු කතානායක කරූ ජයසූරිය මහත්තයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ චීන මිත්‍රත්ව සංගමයෙන් අපට ගෙවල් දෙදාහක් නොමිලේ හදන්න. අවස්ථාව ලබා දුන්නා. කෝට්ටේ, ඒ වගේම තව ස්ථාන හත මේ කොළඹත් ඇතුළුව ඒ නිවාස දෙදාහේ වැඩ එදා අපි ආරම්භ කළා. හැබැයි එක ගෙයක් හදාගන්න අද මේ වෙනකන්වත් බැරි වෙලා තියෙනවා. ඒක නිසා මේ රටට අපි ඇවිල්ලා තියෙන්නේ, මේ නගරෙට අපි ඇවිල්ලා තියෙන්නේ ඔබට සේවයක් කරලා මිසක්, කිසිම සේවයක් නොකර කතා පවත්වන්න නෙවෙයි.

 

WhatsApp Image 2024 06 16 at 16.30.10

 

විදුලිබල මණෟඩලය කෑලි 12කට කඩලා විකුණන්න යනවා..

 

ජනාධිපතිවරණයක් ජූලි 17 වෙනිදයින් පස්සේ මැතිවරණ කොමිසම අතරට යනවා. සැප්තැම්බර් දාහතයි, ඔක්තෝබර් දාහතයි අතරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. බොහෝ දෙනෙක් ඇවිල්ලා ඔබට පොරොන්දු දෙනවා. හොරු අල්ලන්න පොරොන්දු දෙනවා. දුගියන්ට සහන සලසන්න පොරොන්දු දෙනවා. ඒ වගේම බඩු බෙදන්න, හාල් බෙදන්න, ගෙවල් නොමිලේ දෙන්න, ඔප්පු ලබා දෙන්න, මේවා වැඩපිළිවෙල ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි එකක් මතක තබා ගත යුතුයි. අද මෙතන තියෙනවා මේ නෙළුම් කුළුණ. මේවට වියදම් කරපු සල්ලි ආපහු ලැබිලා නැහැ. මේ නෙළුම් කුළුණට වියදම් කරපු සල්ලි ජනතාව තාම පාන් පිටි වලින්, කිරිපිටි වලින් බදු හැටියට ගෙවනවා. හැබැයි අපි කරපු සංවර්ධන ව්‍යාපෘති එකක්වත් මහජනයාට බරක් වෙන්න නෙවෙයි කළේ. මහජනයා ශක්තිමත් වෙන්න කළේ. රටේ ජනතාව ශක්තිමත් වෙන්න කළේ. අපි කෝටි 2300 ක් නාගරික සංවර්ධන අධිකාරිය ඉතුරු කරලා ආවේ. ඒ වගේම ඔබට මතකයි අද ඩීසල් මිල මේ ත්‍රීවිල්වලට මෝටර් සයිකල්වලට බලපාන පෙට්‍රල් මිල අද රුපියල් 350 ට උඩින් තියෙන්නේ. අපි මේ ධුරය දරන කාලේ පෝලිම් නෙමෙයි රුපියල් 95 ට ඔබට ඩීසල් ලබා දුන්නා. රුපියල් 117 ට පෙට්‍රල් ලබා දුන්නා. මේවා බැරි වැඩ නෙවෙයි. මහා ලොකු කතා කියලා බලයට පත්වෙච්ච අය විශාල මාධ්‍ය ප්‍රචාරයන් නගලා ආපු අය ආර්ථිකය වැට්ටුවා. මිනිස්සුන්ගේ ජීවිත වැට්ටුවා. ඒ වෙනුවට අපි විදුලි බිල අඩු කරලා ඔබට සහනය ලබා දීලා විදුලිබල මණ්ඩලේත් ලාභ කළා. අද කෑලි දොළහකට කඩලා විකුණන්න යනවා. අපි දන්නෑ මොනවා වෙයි ද කියලා ඉදිරි කාලයේදී. හැබැයි මේ මණ්ඩලය අපි හදලා පෙන්නුවා. තෙල් සංස්ථාව හදලා පෙන්නුවා.

 

ඔක්තෝම්බර් අලුත් ජනාධිපති කෙනෙක් රටට ඉන්න ඕන..

 

අද ඉදිරිපත් කරලා තියෙනවා මේ රටට අලුත් වැඩපිළිවෙලක් ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියේ අවුරුදු හයක් ඉන්න පුළුවන් ජනාධිපතිතුමාට කියලා. පාර්ලිමේන්තුවේ 150  පෙන්නලා. මේ කිසිසේත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ ව්‍යවස්ථාව ගැන මෛත් රීපාල සිරිසේන මහත්තයත් ගත්ත විවරණයක්. දෙදාස් දහඅටේදී. කිසිම විදියකට ජනාධිපති ධූරය කල් දාන්න බෑ අවුරුද්දකින් පාර්ලිමේන්තු මතයකට. ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි. මේකම තමයි 2005 දී චන්ද්‍රිකා මැතිණියත් තව අවුරුද්දක් පුළුවන්ද කියලා බැලුවා. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා බෑයි කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් කිව්වා බෑයි කියලා. ඒ නිසා මේ නිකන් ම මාධ්‍ය හරහා යවන මේ ප්‍රචාරයන්වලට අහුවෙන්න එපා. ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාට ඔක්තෝබර් දාහතෙන් පස්සේ එක දවසක්වත් බලයේ ඉන්න හැකියාවක් නැහැ. ඔක්තෝම්බර් අලුත් ජනාධිපති කෙනෙක් රටට ඉන්න ඕනේ. ඒක තමයි ව්‍යවස්ථාව.

 

එක්කෙනෙක් කතාකාරයෙක්..

අනෙක් කෙනා බඩු බෙදන  කෙනෙක්..

 

හැබැයි ඒ අලුත් ජනාධිපති තවත් කතාකාරයෙක් තවත් ජනතාවට නත්තල් සීයා වගේ බඩු බෙදන කෙනෙක්. ජාතිය ආගම විකුණලා එන කෙනෙක් වෙන්න බෑ. අපේ රට අපේ දරුවෝ මේ අර්බුදයෙන් මුදාගන්න පුළුවන් අපේ ජනතාවට මග පෙන්වන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. ඒ වගේම එළඹෙන පාර්ලිමේන්තුව, පළාත් සභාව කොළඹ මහ නගර සභාවටත් මේ රට ගොඩනගන වැඩපිළිවෙලක් එක්ක ඉදිරිපත් වෙන්න ඕනේ.

 

ජූලි 14 කොළඹ දිස්ත්‍රික් සමුළුව පවත්වනවා..

 

එක්සත් ජනරජ පෙරමුණේ කාන්තාවක් හැටියට, ජාති, ආගම්, කුල භේදයෙන් තොරව ඕනම වැඩ කරන කාන්තාවකට ඉදිරියට එන්න පුළුවන්. ඥාති සංග්‍රහයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අපේ තරුණයින්ට ඕනම කෙනෙකුට ජාති, ආගම්, කුල භේදයකින් තොරව ඉදිරියට එන්න හැකියාවට අනුව මුල් තැන දෙන පක්ෂයක් අපි මේ මහපොළොවේ අද ගොඩනගලා තියෙනවා. ඒක තමයි මේ රටට ඕනේ ආදර්ශය. අපි වැඩපිළිවෙලක් පසුගිය පෙබරවාරි 14 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂවල නායකයින්ට ඉදිරිපත් කළා. ඒ වගේම පසුගිය දා ඒ කියන්නේ මැයි 11 අපි ඒක මේ රටේ මහා සංඝරත්නයට ඉදිරිපත් කළා. පසුගිය ජූනි 1 වෙනිදා මේ රටේ සියලු ආගමික නායකයින් ඇතුළු අපගේ පක්ෂයේ දිස්ත්‍රික් විස්සක නියෝජිත පිරිස 5000 කට අධික පිරිසක් ගෙනල්ලා අපි ඉදිරිපත් කළා. හුඟක් දෙනෙක් කිව්වා මේ පක්ෂයට ප්‍රතිපත්ති තිබුනට මේ පක්ෂයට වැඩපිළිවෙළවල් තිබුණට වෘත්තීයවේදීන් මේ පක්ෂයේ හිටියට මේ පක්ෂෙට දිස්ත්‍රික් ජාලයක්, සංවිධාන ව්‍යුහයක් නැහැ කියලා. අන්න ඒක බොරු ඒ වෙනුවට සෑම දිස්ත්‍රික්කයකම විසිරිච්ච සංවිධාන බලයක් එක්සත් ජනරජ පෙරමුණ තියෙන බව අපි ඔප්පු කළා. ලබන ජූලි දාහතර වෙනිදට අපි නැවත වතාවක් අපගේ කොළඹ දිස්ත්‍රික් සමුළුව පවත්වනවා. ඒකත් දහස් ගානකගේ සහභාගිත්වයෙන් මේ පංචිකාවත්ත, මේ වලව්වත්ත විතරක් නෙවෙයි. මේ කොළඹ මහනගර බල ප්‍රදේශයේ සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වෙන විදිහට, මේ කොළඹ දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාශයක්ම මැතිවරණ බල ප්‍රදේශයක් ආවරණය වෙන විදියට, සංවිධානාත්මකව, සියලු ජන කණ්ඩායම නියෝජනය වෙන ආකාරයට පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

අපි ඉදිරිපත් කළා ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපේ පවුලට අද ප්‍රශ්නයක් තියෙනවා. පවුලේ ආදායම අඩුයි. පවුලේ වියදම තුන් ගුණයකින් වැඩියි. පවුලේ වියදම අඩු කරගන්නේ කොහොමද? ආහාර මිල අඩු කරගන්නේ කොහොමද? ඔබ දැක්කා පහුගිය දවස්වල, ලොකු ළූණු වලින්, අර්තාපල් වලින්, සීනි වලින්, කිරිපිටි වලින්, හාල්මැස්සන්ගෙන්, පරිප්පු වලින් මහා දැවැන්ත ලාභ ඉපයෙව්වා ඇතැම් ව්‍යාපාරිකයන්. මේ වල තියෙන කොමිටි වලට හුඟක් දෙනෙක් කිව්වේ මේවා මාධ්‍ය සංදර්ශන කියලා. අපිට පුළුවන් වුණා මේක හෙළිදරව් කරන්න. ඒ විතරක් නෙවෙයි, රුපියල් අටසීයට තිබිච්ච ලොකු ළූණු, රුපියල් එකසිය පනහට බස්සන්න අපට පුළුවන් වුණා. ඒ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඉතින් හිතන්න අපට බලයක් ලැබුණොත් අපි පෙන්නලා දීලා තියෙනවා මේ රටේ අල, ළූණු කිරිපිටි, සීනි, මේ හරහා අයථා ලාභ උපයන සෑම කෙනෙක් මේ අයථා ලාභ වෙනුවට යුක්තිසහගත වෙළඳාමක් කරලා පාරිභෝගිකයින්ට ඒ ශක්තිය ලබා දෙන්න. මෙතන ඉන්න අය දන්නවා අපි අප්‍රේල් මාසේ ගියා 212 යි ලොකු ළූණු ආවා අර තොග වෙළෙන්දෝ ඉන්න බසාර් එකේ වීදි වලට, හරස් වීදිවලට. දෙසිය පනහයි ලොකු ළූණු. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගියා ම අටසීයයි ලොකු ළූණු. දෙසිය පනහයි පිටකොටුවේ. අටසීයයි නාරාහේන්පිට. මේ තත්වය අපි වෙනස් කළා. අද මගේ ෆේස්බුක් පිටුවට ගියා ම ඕගොල්ලෝ හැමෝටම බලාගන්න පුළුවන් හැම සතියෙම ආහාරවල මිල ගණන් ටික අපි දාලා තියෙනවා අත්‍යවශ්‍ය ආහාර දොළහක. ඒකෙන් පිට විකුණනවා නම් අපට දැනුම් දෙන්න. අපි ඒකට මැදිහත් වෙන්න සූදානම්. මේක අපි ආණ්ඩු බලයක් නැතුව අපි මේක කරන්නේ. අපි ආණ්ඩු බලයක් ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා සියලුම දෙනාට තමන්ගේ ජංගම දුරකථනයෙන් යුක්ති සහගත විදිහට හාල්, පරිප්පු, සීනි, කිරිපිටි ටික මිල ගණන් බලාගෙන කටයුතු කරන්න. අයථා ලාභ උපයන එක නතර කරන්න.

 

අද මේ රටේ තෙල් මිල අධික තෙල් මිලක් පවත්වාගෙන යන්නේ. රුපියල් දෙසීයට, දෙසිය විස්සට ගේන පෙට්‍රල්, ඩීසල් තුන්සිය හැටට, තුන්සිය හැත්තෑවට විකුණන්නේ. යුක්තිසහගත තෙල් මිලක් ඇති කරන ක්‍රමයක් ඒ ආයතනත් බේරගෙන කරන්න අපි ඉඩ දීලා තියෙනවා. අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒක අපි නිකන් කට කතාවට නෙමෙයි කියන්නේ. අපි 2015 දීත් කරලා පෙන්නලයි කියන්නේ. ඒ වගේම විදුලි අධික විදුලි බිලක් ඔබට පටවලා තියෙන්නේ. පසුගිය මාස පහට විතරක් කෝටි නමදාහක අධික ලාභයක් සෑම පවුලකින්ම රුපියල් දොළොස් දාහක් වැඩිපුර ලංකා විදුලිබල මණ්ඩලය සහ ඒ විදුලිබල අමාත්‍යාංශය අරන් තියෙනවා. මේක මෙහෙම කරන්න එපා කියලා අපි තමයි එදා මැදිහත් වුණේ මාර්තු මාසෙදි. මේ විදුලිබල මණ්ඩලයේ බොරු සංඛ්‍යා ලේඛන දාලා අපේ ජනතාව හූරන් කනවා කියලා. ඒ නිසා තමයි 4% ක් විතරක් අඩු කරන්න ගිය එක 22.5% ක් අඩු කරන්න වුණේ. ඇත්තම කිව්වොත් අද 35% කින් විදුලි බිල ඔබේ අඩු කරන්න පුළුවන්. ඒකට අපි හැමෝම කටයුතු කරන්න ඕනේ. ඒක මේ දේශපාලන පොරොන්දුවක් හැටියට නෙවෙයි. යුක්ති ධර්මය අනුව ඒක කරන්න ඕන දෙයක් හැටියටයි අපි දකින්නේ. මේ විදියට අපේ ආහාර මිල, මේ විදියට අපේ විදුලි බිල, මේ විදිහට අපේ තෙල් බිල අඩු කර ගත්තොත් අපේ ජීවන බර ඉබේම අඩු වෙනවා නේද? අන්න ඒකටත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෘත්තීය නායකත්වයක් අපි ඇති කරලා තියෙනවා.

 

ණය ගෙවන්න වෙනවා..

ණය ගෙවන දවසට ප්‍රශ්නෙ ආයෙත් මතුවෙනවා..

 

අද රටේ ආදායම් වැඩිකරගන්න කියලා මූල්‍ය අරමුදල කියලා තියෙනවයි කියනවා. මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකයත් ලැබුණා. ඒ ලැබුණට පස්සේ යම් ස්ථාවරත්වයක් ඇතිවෙයි කියලා මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන බව කියලා තියෙනවා. හැබැයි ඒ ගමන්ම මූල්‍ය අරමුදල කියලා තියෙනවා තාමත් දැලි පිහිය උඩ කොයි වෙලේ කකුල් පැටලිලා බිමට වැටෙයිද කියන්න බෑ. ඒක නිසා ප්‍රවේශමෙන් ඉදිරියට යන්න කියලා. මොකද මේ ස්ථාවරත්වය අද මේ තියෙන අපි අයිති කරගත්තේ මේ ඩොලර් එක මේ ගානට බැස්සේ අපි එක පැත්තකින් විදේශ ණය ගෙව්වේ නෑ. අනිත් පැත්තෙන් අපේ පිටරටින් වාහන ගෙන්නන එක නතර කරලා තියෙන්නේ. තෙල් ගෙන එන එක සීමා වෙලා තියෙන්නේ මේ වැස්සත් එක්ක. සංචාරක විදේශ ශ්‍රමිකයන්ගෙන් මුදල් ලැබිලා නිසයි යන්තම් මේ තත්වේ තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ණය ගෙවන්න වෙනවා ණය ගෙවන්න වෙන දවසට මේ ප්‍රශ්න නැවත මතු නොවෙන්න නම් රටේ ආර්ථිකය ශක්තිමත් පදනමකට අපි ගේන්න ඕනේ.

 

පසුගිය ජනවාරි පළවෙනිදා වැට් බද්ද වැඩි කළා. 15% න් 18% කළා. වැට් බදු ගහපු නැති විදුලි බලයට තෙල් වලට ඇතුළු තවත් භාණ්ඩ ගණනාවකට වැට් බදු ගැහුවා. එහෙම බදු ගහන ආණ්ඩුව පසුගිය අවුරුද්දේ මේ රටේ ව්‍යාපාරිකයො කියන ධන කුවේරයින්ට බදු සහන දීලා තියෙනවා. ඔය වැට් බදු වලින් අපෙන් එක්කහු කරපු ගානටත් වඩා වැඩි ගාණක. ඒ විතරක් නෙවෙයි බදු පොලු කාරයින් ගේ බදු එකතු කරන්න කිසිම වැඩ පිළිවෙලක් දියත් කරලා නැහැ. අන්න ඒකට අපි වැඩ පිළිවෙලක් දීලා තියෙනවා. බදු සහන නැහැ. ඒ විතරක් නෙවෙයි, යුක්ති සහගත ව්‍යාපාර කරන අයට ඒකට ඉඩ දෙන්නත්, හැබැයි හැමදාම බදු ජාවාරම් ඉන්න ව්‍යාපාරිකයන්ට දඬුවම් දෙන්නත්, බදු වැඩිපුර එකතු කරගැනීම සඳහා, බදු නොගෙවා ඉන්න පිරිස් බදු දැලට ගන්නත් නවීන ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

 

රටේ සම්පත් විකුණලා කැටේ පුරවාගන්නා න්‍යාය..

 

අද ඉන්දියාවේ බුලත් විටක් ගන්න ගියත්, තැඹිලි ගෙඩියක් බොන්න ගියත්, කිව් ආර් එකෙන් ගෙවන්න ඕනේ. කිසිම කෙනෙකුට හොර කරන්න බැහැ. සල්ලි ගෙදර පොදි  ගහගෙන ඉන්න බැහැ. ඉන්දියාව ආදායම තුන් ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. ලංකාවට ඊට වඩා ලේසියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්.

 

රජයේ වියදම් අතනින් පෙට්‍රෝලියම් එක විකුණලා, මෙතනින් රක්ෂණය විකුණලා, ටෙලිකොම් එක විකුණලා, කැටේ පුරවන ක්‍රමය නෙවෙයි. රාජ්‍ය ආයතන ප්‍රමාණය 1200 යි. ඒ රාජ්‍ය ආයතන ටික කාර්යක්ෂම කරන්න විතරක් නෙවෙයි, ඒ රාජ්‍ය ආයතන ප්‍රමාණය තුනෙන් එකකින් අඩු කරලා, ඒ රාජ්‍ය ආයතනවල බර අඩු කරන්න අපි වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයෝ දාහතර ලක්ෂයක් ඉන්නවා. මහින්ද මහත්තයා එන කොට ලක්ෂ හයයි තිබුණේ දෙදාස් පහේ. දැන් ඒක දාහතර ලක්ෂයක්. මේ රාජ්‍ය සේවකයෝ ගෙදර යවන්න බෑ. හැබැයි මේ රාජ්‍ය සේවකයින්ට කාර්ය සාධනයක් දීලා, ඇගයීම් ක්‍රමයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි යෝජනා කරලා තියෙනවා. අද මරණ සහතිකේ ගන්න ගියත්, එක ගන්න ගියත්, එක ගන්න ගියත්, ඒ වගේම ඉඩම් කච්චේරියට ගිහිල්ලා ඔප්පුව ගන්න ගියත්, වතුර මණ්ඩලයට බිල ගෙවන්න ගියත්, විදුලිබල මණ්ඩලයේ එක ගන්න ගියත් මේ එකෙන් අවසරයක් ගන්න ගියත්, නගර සභාවට ගියත් හැම තැනකින්ම අපට සිද්ධ වෙලා තියෙනවා අපට හැම එකාටම ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා අතට යටින්. මේ වෙනුවට අපි යෝජනා කරලා තියෙනවා මේ අතට යටින් කෙරෙන ගනුදෙනුව වෙනුවට මේවා ඕනම කෙනෙකුට මාර්ගයෙන් ලබාගන්න ‍රාජ්‍ය ආයතනවල ඕනම සහතිකයක් ඔන්ලයින් මාර්ගයෙන් ලබාගන්න. අපි එදා නාගරික සංවර්ධන අධිකාරියේ මේ වැඩපිළිවෙල දියත් කළා. හැබැයි අපිට පස්සේ ඒක අහෝසි කළා. මේ රටේ රාජ්‍ය සේවය, ග්‍රාම සේවකගේ ඉඳන් අර අස්වැසුම ලබා ගැනීමේ මරණ සහතිකයේ උප්පැන්න සහතිකයේ ඉඳන් මේ සෑම දෙයක්ම ඔබට කාටවත් කප්පම් ගෙවන්නේ නැතුව ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා.

 

ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න මාවතක් වෙනුවෙන්. එහෙම නැතුව ඔය නොකෙරෙන විවාද වලට අභියෝග කර කර ඉන්න නෙවෙයි. අපි ආරාධනා කරනවා මේ සියලුම දේශපාලන පක්ෂ වලට. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයට. අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල සාකච්ඡා කරන්න. සංවාද කරන්න. ඕගොල්ලෝ හරි විවෘතයි නම් කැඳවන්න. ඔය ප්‍රධාන කියන දේශපාලන පක්ෂ සියල්ලම කැඳවන්න. එක වේදිකාවකට. කැඳවලා අපි බලමු කාටද මේ රටේ පවුලේ වියදම අඩු කරන වැඩපිළිවෙළක් තියෙන්නේ? පවුලේ ආදායම වැඩි කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. දරුවන්ට අලුත් රැකියා ලබාදෙන ක්‍රමවේදයක් තියෙන්නේ. රටට ඩොලර් ගේන වැඩ පිළිවෙලක් තියෙන්නේ. කාටද, කොහොමද? ඒ වගේම විශේෂයෙන්ම රටේ ආදායම වැඩි කරන, රටේ වියදම අඩු කරන, රටේ ආහාර මිල පාලනය කරන, රටේ ඉන්ධන මිල, ලයිට් බිල, වතුර බිල පාලනය කරන, ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්නේ කාටද කියලා අපි ඒකෙදි සාකච්ඡා කරමු. ඒ අභියෝගය අපි කරනවා. ඒ අභියෝගය අපි පැන හැංගෙන්නෑ. වාද විවාද කර කර ඉන් නෑ. ඕන කෙනෙක් එක්ක ඕනම තැනකදී ඒ අපේ වැඩ පිළිවෙල සංවාද කරන්න අපි ලෑස්තියි ඔය අනිත් රූපවාහිනී නාලිකා වලටත් අපි කියන්නේ ඇවිල්ලා ඒක කරන්න. අපට ඒ වේදිකාව පුළුවන් නම් හදන්න කියලා අපි මේ අවස්ථාවේ අභියෝගයක් කරනවා. එක එක්කෙනාට පාළු ගෙදර වළං බිඳිනවා වගේ කතා පවත්වන්න නෙවෙයි. පුළුවන් නම් ඒ විවෘත වේදිකාව හදන්න කියලා ස්වාධීන හා වෙනත් ඕනෑම රූපවාහිනියකට අපි ඒ අභියෝගය මේ අවස්ථාවේ කරන්න කැමතියි.

 

අපේ ඡන්දය නිසා තමයි අපට මේ දේවල් වෙන්නේ හොඳ නරක දෙකම. ඒක නිසා අපේ ඡන්දය ගැන, රැල්ලට සද්දෙට සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාවලියට ඔය පවත්වනවයි කියන සමීක්ෂණ වලට ඒවට නම් අහුවෙන්න එපා. අපි නයින්ට අහුවුණා. ගර්භාෂ යුද්ධය කියලා එකක් කළා. ඒකට අහුවුණා. නොයෙක් ජාතියේ අපි අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඔය සමීක්ෂණ බහුතරයක තියෙන්නේ මොකක්ද? ඔය සමීක්ෂණ බහුතරයක තියෙන්නේ තාමත් මේ රටේ ජනතාවගෙන් සීයට හතළිහක් නිහඬ බහුතරයක් ඒ නිහඬ බහුතරය තීරණ අරගෙන නෑ කියන එක තමයි තාම තියෙන්නේ."

 

මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, උප සභාපති තික්ෂණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික  නීතීඥ රජික කොඩිතුවක්කු, වෛද්‍ය සංකල්ප මාරසිංහ, මධ්‍යම කාරක සභිකයන් වන සිත්ති  අශීසා, කිංස්ලි පෙරේරා යන අය  ද එක්ව සිටියහ.  හමුව සංවිධානය මොහොමඩ් ඉන්ෆාස් විසිනි.

 WhatsApp Image 2024 06 16 at 16.30.09WhatsApp Image 2024 06 16 at 16.30.11WhatsApp Image 2024 06 16 at 16.30.12WhatsApp Image 2024 06 16 at 16.30.14WhatsApp Image 2024 06 16 at 16.30.15WhatsApp Image 2024 06 16 at 16.30.121

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ඒකකය