දිසානායක මුදියන්සෙලගෙ තරුෂි දිල්සරා කරුණාරත්න. 2023 ආසියානු මළල ක්‍රීඩා තරගවල දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනලා.
ඇය අවුරුදු විසිඑකක් පැරණි එම ඉසව්වේ ආසියානු වාර්තාව ද බිඳ හෙලලා. ඒ කියන්නෙ ඇය ඉපදෙන්න අවුරුදු දෙකකට පෙර තැබූ වාර්තාවක්. මා දන්නේ නැහැ ලෝක මට්ටමෙන් ඇය කොයි හරියෙ ඉන්නවා ද කියා. ලෝක මට්ටමෙන් ද ඇය ජයග්‍රහණය කරනු දැකීමට මා කැමතියි.
මට මීටර් 800ක් තියා මීටර් 80ක් දුවන්න බැහැ. ඒත් මා දැන් අවුරුදු 80ට නම් කිට්ටු කරලා. කලබල වෙන්න එපා අද හෙට නො වෙයි. මා එ අතර විමසිල්ලෙන් ඉන්නවා මෙරටට නොබෙල් තෑග්ගක් ලැබේවි ද කියලා. 2023 වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය, සාම ත්‍යාගලාභීන් නිවේදනය කරලා. ලංකාවෙ කිසිවකුටවත් තෑග්ගක් ලැබිලා නැහැ. තව එක තෑග්ගක් තියෙනවා. ඒ ආර්ථික විද්‍යා ත්‍යාගය. ලබන සතියේ ඒ දැන ගැනීමට හැකි වේවි. මෙරට ආර්ථික විද්‍යාඥයන් දසදහස් ගණනක් ඉන්නවා.
නොබෙල් තෑගි දෙන්නෙත් ක්‍රීඩා තරග පවත්වන්නෙත් බටහිර නිර්ණායක අනුව. එය ආධිපත්‍යයක්. අපට එල්ලේ තරග පවත්වන්න බැහැ. ඒත් හැකි නම් බේස් බෝල් තරගවලට සහභාගි වෙන්න පුළුවන්. තාම ලංකාවේ බේස් බෝල් ජනප්‍රිය නැහැ. ඔය පාසලකට බැරි ද බේස් බෝල් තරග සඳහා ජාතික පාසල් කුසලානයක් පිරිනමන්න. ක්‍රීඩා ඇමතිතුමා එක්ක කතා කරන්න. එතුමා පොළොන්නරුවෙ ක්‍රීඩකයකු වෙන්න ඇති.
බොහෝ කලකට පෙර ඩන්කන් වයිට් ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තා. අපට ඉන්පසු සුසන්තිකා ජයසිංහ දුවනකම් බලා ඉන්න වුණා. ඔය අතර දමයන්ති දර්ශා දිවුවා. එයට අමතර ව නාගලින්ගම් එදිර්වීරසිංහම් උස පැනීමෙන් පදක්කම් දිනා ගත්තා. පළමු වරට ලංකාව වෙනුවෙන් ආසියානු තරගවල දී රන් පදක්කමක් දිනා ගත්තේ එදිර්වීරසිංහම්. ඒ 1958 දී. ඔහු එක් රැයෙන් කුඩා අපේ වීරයකු වුණා. ඩන්කන් වයිට් ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රභූ පාසලක ආදි ශිෂ්‍යයෙක්. අනෙක් අය එතරම් ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් අය නොවෙයි. මට මතක හැටියට දමයන්ති දර්ශා පාණදුරේ බාලිකා විද්‍යාලයේ. ඇයට පසුව කොළඹ කාන්තා විද්‍යාලයේ ඉගෙනීමට අවස්ථාවක් ලැබූ බවයි මගේ මතකය.
තරුෂි මහනුවර දිස්ත්‍රික්කයේ වලල මධ්‍යම මහා විද්‍යාලයේ තවමත් ඉගෙන ගන්නවා. මෙහි නම් සඳහන් සියල්ලන්ට ම සහජ හැකියාවන් තියෙන්න ඕන. ඒ අතර ඔවුන්ට පුහුණුකරුවන්ගේ ආධාරයත් ලැබී තියෙනවා. මේ දිනවල තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ගැන කියැවෙනවා. ඔහුත් දක්‍ෂයකු වෙන්න ඕන. වලල මධ්‍යම මහා විද්‍යාලයේ එතරම් පහසුකම් තියෙන්න බැහැ.
ඒ කොහොම වෙතත් ක්‍රීඩකයන් බිහි කිරීම අද ප්‍රභූ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු වී තියෙනවා. අප පාසල් යන සමයේ ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මුළුමනින් ම මෙන් රාජකීය ශාන්ත තෝමස් ආදි සිසුන්ගෙන් සමන්විත වුණා. පසුව ශාන්ත ජෝසෆ් ශාන්ත පීටර් ශාන්ත බෙනඩික්ට් ආනන්ද නාලන්ද ක්‍රීඩකයන් එතකු වුණා. අද වන විට තත්වය සම්පූර්ණයෙන් ම මෙන් වෙනස් වෙලා.
මෙරට ක්‍රීඩා ක්‍ෂෙත්‍රයෙහි සහජ දක්‍ෂයන් ඉන්නවා. එහෙත් සහජ හැකියාව පමණක් ප්‍රමාණවත් නැහැ. පුහුණුකරුවන් පහසුකම් ආදි කරුණු බලපානවා. අපට විධිමත් වැඩ පිළිවෙළක් නැහැ. ඒ නිසා තරුෂි කෙනකු එන තුරු අපි තරු ගනිමින් බලා ඉන්නවා. අපට ඉඳහිට හරි ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ අතිදක්‍ෂයන් දැක ගන්න පුළුවන්. එහෙත් අධ්‍යයන ක්‍ෂෙත්‍රයෙහි එවැන්නන් ප්‍රභූ පාසල්වලින්වත් අනෙක් පාසල්වලින්වත් බිහි වන්නේ නැහැ.
ක්‍රීඩා ක්‍ෂෙත්‍රයෙහි බටහිර නිර්ණායක අනුව වැඩ කරන්න පුළුවන්. ඊනියා ශාස්ත්‍රීය ක්‍ෂෙත්‍රයෙහිත් ඒ නිර්ණායක අනුව වැඩ කරන්න පුළුවන්. අපට අර ආයතනයෙහි මේ ආයතනයෙහි රැකියා ලබා ගන්න පුළුවන්. බටහිර විශ්වවිද්‍යාලවල මහාචාර්යකම් ලබා ගන්න පුළුවන්. එවැනි දක්‍ෂයන් මෙරටින් බිහි වෙලා තියෙනවා. මට නම් එ දක්‍ෂකම නැහැ. බටහිර නොවෙයි ලංකාවෙ විශ්වවිද්‍යාලයක මහාචාර්යකමක් ලැබුණෙත් හැට පැන්නට පස්සෙ. වික්ටර් අයිවන් ප්‍රඥාංකුරයා ඇහුවෙ නලින් ද සිල්වා කියන්නෙ කවුද කියා. මා කර ඇති ඉටිගෙඩියක් නැති බව ජාතිකවාදීන් ද දන්නවා.
අපට දක්‍ෂයන් හිටියත් විශිෂ්ටයන් නැහැ. බටහිර දැනුමේ අලුත් සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) සංස්කරණය කරන්න පුළුවන් ඒ චින්තනයෙ අයට. අප ඒ චින්තනයෙ නො වෙයි. ව්‍යාපාර ක්‍ෂෙත්‍රයෙහිත් තත්වය එහෙමයි. අපට ධන කුවේරයන් කියන අය ඉන්න පුළුවන්. ඒත් ඒ සීගිරියෙ ඉන්න කුවේරයන් නො වෙයි. කොළඹ ඉන්න කුවේරයන්. ඔවුන්ට අදානිල එක්ක තරග කරන්න බැහැ. දේශපාලනයෙත් කතාව එහෙමයි.
තරු ගණන් කර කර හිටියත් ලබන සතියෙ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග අපට ලැබෙන්නෙ නැහැ. අපේ ආර්ථිකය නම් මහා බැංකු වාර්තාවලට අනුව එන්න එන්න වර්ධනය වෙනවා.