සාක්ෂිකරුවන්ගේ 'මතක නැතිවීම්' සහ පැමිණිල්ලේ මැදිහත්වීම් මැද විත්තිය හෑරූ ආයතනික සිදුරු
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල
මහාධිකරණයේ විභාග වන නඩුවේ ඊයේ (11) දින වාර්තාව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, එය හුදෙක් පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහි චෝදනා පත්‍රයකට එහා ගිය, සමස්ත රාජ්‍ය සෞඛ්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණයේම ව්‍යුහාත්මක බිඳවැටීම නිරාවරණය කරන කැඩපතක් බවට පත්ව ඇති බවයි.
පළමු සහ දෙවන චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල සහ නීතිඥ අසේල සේරසිංහ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර වෙත එල්ල කළ හරස් ප්‍රශ්න කිරීම්, රාජ්‍ය ආයතනවල වගවීම් සහ විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථ මතු කරයි. විශේෂයෙන්ම, තීරණාත්මක අවස්ථාවලදී පැමිණිල්ල (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය) විසින් දක්වන ලද විරෝධතා මඟින් නඩුවේ ඇති සංකීර්ණ සහ උණුසුම් ස්වභාවය තවදුරටත් තීව්‍ර විය. මුල් නඩු වාර්තාවට සමගාමීව, නඩු විභාගයේ දිශානතිය සහ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් පහත දැක්වේ.

නියාමන ආයතන අතර වගකීම මඟහැරීම සහ "නිහඬතාවය"
විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගලගේ ප්‍රශ්න කිරීම් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බව මනාව පෙන්නුම් කළේය. වගකීම එකිනෙකා වෙත පවරා නිදහස් වීමේ ආයතනික ක්‍රමවේදය මෙහිදී විත්තියේ ප්‍රබල තර්කයක් විය.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
ඔබ මේ සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශයක් ලබා දුන්නාද?
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
නැහැ ස්වාමීනී.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
මේ නඩුකරය හැරුණු විට තවත් ඒවා වාර්තා වී තිබෙනවාද?
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
තත්ත්ව පාලන අංශය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වාර්තා වෙනවා.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
ඔබ පිළිගන්නවා NMRA හරහා වාර්තා ලැබෙන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් බව? (සාක්ෂිකරුගෙන් පැහැදිලි පිළිතුරක් සටහන් වී නැත)
සාක්ෂිකරුගේ මෙම නිහඬතාවය නඩු විභාගයේ ප්‍රබල දුර්වලතාවකි. අක්‍රමිකතාවයක් වාර්තා වූ විට එය අපරාධමය වරදක් ලෙස විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර නොගෙන, හුදෙක් අභ්‍යන්තර නියාමන වාර්තාකරණයකට පමණක් සීමා වීම ආයතනික වගකීම් පැහැර හැරීමකි.
පාරිභාෂික වචන හරහා නීතියෙන් රිංගා යාමේ ප්‍රයත්නය
වඩාත් තීරණාත්මක තර්කයක් ගොඩනැගුණේ ආනයනය කළ ද්‍රව්‍ය "ඖෂධයක්ද" නැතහොත් "අමුද්‍රව්‍යයක්ද" යන්න අර්ථ දැක්වීමේදීය.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
...මේ හයිඩ්‍රේට් වර්ගය අමුද්‍රව්‍යයක් ලෙස නම් කර ඇත්තේ ඇයි?
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
බාහිරව රෝගීන් වෙත ලබාදෙන්න අමුද්‍රව්‍ය කීපයක් එක් කර හදන සංයෝගයක්. එයින් සකසන්නේ දියරයක්. එය බාහිර මෙඩිකේෂන් එකක්.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
ඒ කියන්නේ මේ අයිතම දෙක භාවිතා කර හදන්නේ ඖෂධයක්.
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
බාහිරව ගන්න සංයෝග බෙහෙත් ලෙස සලකන්නේ නැහැ.
නීතිඥ හරේන්ද්‍ර බානගල:
ඔබ මේ රෝ මැටීරියල් කියලා ලඝු කර පෙන්වනවා.
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
මේක ඖෂධයක් නෙවෙයි. සම්මත ක්‍රියාවලියක්.
'අමුද්‍රව්‍ය' යන නාමය යටතේ ඇතැම් අයිතම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ දැඩි ක්‍රියාවලියෙන් (Formulary Review) මඟහැර යාමට ඇති හැකියාව විත්තිය මෙහිදී මතු කරයි. මෙය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතළ සිදුරකි.
රසායනාගාර පහසුකම් නොමැතිව තත්ත්ව පාලනය කිරීමේ ඛේදවාචකය
දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ විසින් මතු කළ කරුණු තුළින්, රාජ්‍ය සෞඛ්‍ය අංශයේ තාක්ෂණික සහ භෞතික දුර්වලතා අධිකරණය හමුවේ තහවුරු විය.
නීතිඥ අසේල සේරසිංහ:
අංග සම්පූර්ණ රසායනාගාරයක් සියලු පහසුකම් සහිතව 2023 වෙද්දිත් තිබුණෙ නැහැ.
තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර:
ඔව් ස්වාමීනී, 2023 වෙද්දිත් සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න තැනක් නෑ.
මෙම එකඟතාවය පැමිණිල්ලේ නඩුවට දැඩි බලපෑමක් එල්ල කරයි. "පරීක්ෂණයක් කිරීමට පහසුකම් නොතිබූ පසුබිමක, ඖෂධවල ප්‍රමිතිය ගැන සහතික වූයේ කෙසේද?" යන ප්‍රබල තර්කය ගොඩනැගීමට විත්තියට මෙයින් අවකාශ ලැබේ.
පැමිණිල්ලේ දැඩි මැදිහත්වීම් සහ අධිකරණමය පාලනය
විත්තිය විසින් ප්‍රසම්පාදන කමිටුවල තීරණ සහ ලේඛන පිළිබඳව සාක්ෂිකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන අවස්ථාවලදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම දැඩි විරෝධතා මතු කිරීම මෙම නඩු විභාගයේ සුවිශේෂී ලක්ෂණයක් විය.
සිදුවීම 1:
නීතිඥ අසේල සේරසිංහ:
ඖෂධ 180 ගණනක් ඒකට යොමු කළා නේද? ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශය NMRA යටතේ ප්‍රසම්පාදනය වෙලා තියෙන බව දන්නවද? (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විරෝධය පළ කරයි. ඒ අවස්ථාවේ නීතිඥ අසේල සේරසිංහට සහාය පිණිස තවත් නීතිඥවරු කිහිප දෙනෙක් නැගී සිටිති.)
සභාපති විනිසුරු:
දෙවැනි චූදිත වෙනුවෙන් නීතිඥවරු කීදෙනෙක් පෙනී සිටිනවාද?
සිදුවීම 2:
නීතිඥ අසේල සේරසිංහ:
මෙම ප්‍රසම්පාදනයට අදාල යොමු අංකය බලන්න. මෙම ප්‍රසම්පාදනයෙන් පසු පර්චස් ඕඩර් ලබා දී තිබෙනවා නේද? (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි)
පැමිණිල්ලේ මෙම අඛණ්ඩ විරෝධතා (Objections) මඟින් පෙන්නුම් කරන්නේ, සාක්ෂිකරු තමන් නොදන්නා හෝ වගකීමෙන් බැඳී නැති ප්‍රසම්පාදන තීරණ පිළිබඳව ප්‍රකාශ ලබාදීම වළක්වාලීමට පැමිණිල්ල දරන උත්සාහයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳව විත්තිය මතු කරන ප්‍රශ්නවලදී, නඩුවේ සීමාවන් ඉක්මවා යාම පාලනය කිරීමට අධිකරණයට සහ පැමිණිල්ලට සිදු වී ඇත.
නඩු විභාගයේ පෙනෙන අඩුපාඩු සහ දුර්වලතා සමාලෝචනය
මාධ්‍ය නිදහසේ අධිකරණ වාර්තාකරණ සීමාවන් තුළ සිට නිරීක්ෂණය කිරීමේදී, සමස්තයක් ලෙස මෙම නඩු දිනයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුගේ දුර්වලතා කිහිපයක් මනාව ඉස්මතු විය.
සාක්ෂිකරුගේ ස්මරණ දුර්වලතාවය-
ඖෂධ සංකූලතා, මරණ, හෝ භාරගත් නිලධාරීන්ගේ නම් ඇසූ විට නිරන්තරයෙන් "මතක නෑ", "මම දන්නේ නෑ" යනුවෙන් පිළිතුරු දීම, විත්තියට විශාල වාසියක් අත්කර දෙයි. එය ආයතනික නොසැලකිලිමත්කම සනාථ කරන්නකි.
ලේඛන සහ භෞතික ක්‍රියාවලිය අතර පරතරය -
ඉන්වොයිස් පත්‍රවල මුද්‍රා තැබීම් (YES මුද්‍රාව, බොක්ස් සීල්) සහ ප්‍රායෝගිකව ගබඩාවට භාණ්ඩ භාරගැනීම අතර පවතින ලිහිල් ක්‍රමවේදය විත්තිය විසින් මැනවින් ප්‍රශ්න කරනු ලැබීය.
ප්‍රසම්පාදන වගකීම විමධ්‍යගත වීම -
හදිසි ප්‍රසම්පාදන කමිටුව, NMRA, NMQAL සහ MSD යන ආයතන හතරක් අතර වගකීම දෝලනය වන අතර, එකදු ආයතනයක් හෝ තීරණාත්මක වගකීමක් භාරගැනීමට සූදානම් නැති බව මෙම සාක්ෂියෙන් පැහැදිලි වේ.
අවසාන වශයෙන්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී ආයතනික ක්‍රමවේදවල සිදුරු පෙන්වා චූදිතයන් නිදහස් වීමට දරන උත්සාහය බිඳ හෙළිය හැකි ශක්තිමත්, ලේඛනගත සහ විද්‍යාත්මක සාක්ෂි ගොඩනැගීමේ අභියෝගය පැමිණිල්ල හමුවේ පවතී. හුදෙක් නිලධාරීන්ගේ වාචික මතකය මත පදනම් වීම මෙම බරපතළ ඛේදවාචකයට සාධාරණයක් ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන බව මෙදින නඩු විභාගය මනාව තහවුරු කළේය.

නඩු වාර්තාව
2026/06/11
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (11) කැඳවනු ලැබූ අවස්ථාවේ පළමු වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් සාක්ෂිකාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එම්. එච්. ඩී. එන්. බණ්ඩාර මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ: ඖෂධයක තත්ත්වය පිළිබඳව ඔබ සතුව පොදු සටහනක් තියෙනවා. එහි යම් සමාගමක් ලබා දුන් ඖෂධ ගැන ප්‍රශ්න මතුව ඇතැයි සඳහන් වෙනවා.
සාක්ෂිකරු: සෙලජන් ලයිෆ් සයන්ස් (Selegent Life Sciences) කියලා සමාගමක් ගැන ස්වාමීනී. සැපයුම්කරුවකු ලබා දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) ගැන Quality issue (තත්ත්වයේ ගැටලුවක්) එකක් තියෙනවා කියලයි කිව්වේ.
නීතිඥ: මේ සමාගම දන්නවද?
සාක්ෂිකරු: ඖෂධ සමාගමක් කියලා අහල තියෙනවා.
නීතිඥ: මතක නැද්ද ඒකෙන් ගෙනා ඖෂධ ගැන ප්‍රශ්න ඇති වුණා?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.
නීතිඥ: ඔබ කියන විදිහට ඖෂධ ගැන ප්‍රශ්න දෛනිකව වාර්තා වන නිසා එය සාමාන්‍ය දෙයක්.
සාක්ෂිකරු: ඔව්, එවැනි සිද්ධි වාර්තා වෙනවා.
නීතිඥ: කෙසේ නමුත් එවැනි දේ වාර්තා වීම සාමාන්‍යයි ද?
සාක්ෂිකරු: අපි ක්‍රමයක් හදලා තියෙනවා. ඒ ඔස්සේ වාර්තා ගන්නවා.
නීතිඥ: ඔබ මේ සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශයක් ලබා දුන්නාද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.
නීතිඥ: තියෙන ක්‍රමවේදය තුළ ගැටලු මතු වුණත් වාර්තා කිරීමේ ක්‍රමවේදයක් තිබේ. මේ නඩුකරය හැරුණු විට තවත් ඒවා වාර්තා වී තිබෙනවාද?
සාක්ෂිකරු: තත්ත්ව පාලන අංශය ඔස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වාර්තා වෙනවා.
නීතිඥ: ඔබ පිළිගන්නවා NMRA හරහා වාර්තා ලැබෙන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් බව?
(සාක්ෂිකරුගෙන් පැහැදිලි පිළිතුරක් සටහන් වී නැත)
නීතිඥ: MSD එකේ පද්ධතියට ඖෂධ නිකුත් කරලා තියෙනවා. ඒ ගැන දැනුම් දීමක් කර තියෙනවා. ඔබට මතක නැද්ද?
සාක්ෂිකරු: නැහැ මම කලේ නැහැ ස්වාමීනි. මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒ අය හොයලා බලලා ඖෂධයට අදාල ක්‍රියාමාර්ගයක් ගන්න ඇති.
නීතිඥ: ඔබ වගකීම් විරහිත රාජ්‍ය නිලධාරියෙක් බව මම කියනවා.
සාක්ෂිකරු: මම ඒක ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ: මම අසනු ලබන ප්‍රශ්නය මග අරිමින් පිළිතුරු දෙන රාජ්‍ය නිලධාරියෙක්.
සාක්ෂිකරු: එහෙම නැහැ ස්වාමීනී.
නීතිඥ: භාණ්ඩ භාර ගැනීමේදී සලකා බලන ලේඛන ඇහුවා. මේ 307 ලේඛනයේ අංක 1 යටතේ ඇත්තේ කුමක්ද?
සාක්ෂිකරු: proper certificate (නිසි සහතිකය).
නීතිඥ: YES යනුවෙන් ලියා මුද්‍රා තබන්නේ කොතනද?
සාක්ෂිකරු: ඉන්වොයිස් පත්‍රය මත.
නීතිඥ: අදාළ මුද්‍රාව තබා YES කියා තිබුණොත්?
සාක්ෂිකරු: ඒ කියන්නේ බෙහෙත් ලබාදී තිබෙනවා.
නීතිඥ: ඔබ ආයතනයට ඖෂධ භාර ගන්න කවුන්ටර කීයක් තියෙනවද?
සාක්ෂිකරු: අදාළ තොග පාලන අංශය දැනුවත් කළ යුතුයි. ඉන්පසු ඉන්වොයිස් පත්‍රය රැගෙන විත් තොග පාලක නිලධාරීන්ට භාරදිය යුතුයි.
නීතිඥ: තොගය පරීක්ෂා කර කාගේ භාරයටද ගන්නේ?
සාක්ෂිකරු: ගබඩාවට ස්වාමීනී.
නීතිඥ: ගබඩාවට භාර ගන්නේ තොග පාලන නිලධාරීන් ඉදිරිපිටද?
සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාව තුළට ගෙන යනවා.
නීතිඥ: සැපයුම්කරුට ගබඩාවට යා හැකිද?
සාක්ෂිකරු: සැපයුම්කරු තමයි ස්වාමීනී ගබඩාවට ගෙනත් භාර දෙන්නේ.
නීතිඥ: භාණ්ඩ භාරගන්න නිලධාරීන් ඉන්වොයිසිය ඇතුළු අදාල ලේඛන පරීක්ෂා කර සෑහීමකට පත්වුණාම නම් භාර ගන්නවා.
සාක්ෂිකරු: එය එකවර සිදුවන ක්‍රියාදාමයක් ස්වාමීනි.
නීතිඥ: තොග පාලන නිලධාරීන් භාරගත්ත සිද්ධිය ඉවරයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ඔබේ වෛද්‍ය සැපයීම් අංශය තොග භාර ගැනීම, ඖෂධ නිකුත් කිරීම ආදී කරුණු ඉටු කරනවා. ඖෂධ කොපමණ ප්‍රමාණයක් ගන්නවද? ශල්‍ය අයිතම (Surgical Items) ගන්නවද?
සාක්ෂිකරු: ඖෂධ 300 ගණනක්, ශල්‍ය අයිතම 4,000 ක් පමණ.
නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකය ඒවා නිපදවනවද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.
නීතිඥ: පැ 210 I හි පිටු අංක 250 හි 1 වශයෙන් ලකුණු කළ ඖෂධ ලැයිස්තුවක් තියෙනවද? ඖෂධ 104 ක් ගැන ප්‍රශ්න කළා නේද ඔබගෙන්?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: Raw Materials (අමුද්‍රව්‍ය) ගැනත් ප්‍රශ්න කළා නේද? ඔබ දුන් පිළිතුර රෝ මැටීරියල් ගන්නේ නැහැ කියන එක. ඖෂධ නිෂ්පාදනයට නේද රෝ මැටීරියල් ගන්නේ. මේ හයිඩ්‍රේට් වර්ගය අමුද්‍රව්‍යයක් ලෙස නම් කර ඇත්තේ ඇයි?
සාක්ෂිකරු: බාහිරව රෝගීන් වෙත ලබාදෙන්න අමුද්‍රව්‍ය කීපයක් එක් කර හදන සංයෝගයක්. එයින් සකසන්නේ දියරයක්. එය බාහිර මෙඩිකේෂන් (Medication) එකක්.
නීතිඥ: ඒ කියන්නේ මේ අයිතම දෙක භාවිතා කර හදන්නේ ඖෂධයක්.
සාක්ෂිකරු: බාහිරව ගන්න සංයෝග බෙහෙත් ලෙස සලකන්නේ නැහැ.
නීතිඥ: එය කුමක් සමගද මුසු කරන්නේ?
සාක්ෂිකරු: මැනුෆැක්චරින් (Manufacturing) නෙමෙයි. රෝහල තුළදී ඩිස්පෙන්සර් මුසු කරගන්න එකක්.
නීතිඥ: ඔබ මේ රෝ මැටීරියල් කියලා ලඝු කර පෙන්වනවා.
සාක්ෂිකරු: මේක ඖෂධයක් නෙවෙයි. සම්මත ක්‍රියාවලියක්.
නීතිඥ: ඒක කොහෙද තියෙන්නේ?
සාක්ෂිකරු: ඒක ලෝකය පිළිගත් සම්මතයක්.
නීතිඥ: ඔය කියන අයිතම පිළිගත්ත එකක් සේ සලකනවද?
සාක්ෂිකරු: ඖෂධ සමාලෝචන කමිටුව (Formulary Review Committee) තුළ පිළිගන්නවා.
නීතිඥ: මම යෝජනා කරනවා, එහෙම එකක් නෑ කියලා.
සාක්ෂිකරු: තියෙනවා ස්වාමීනී.
නීතිඥ: ඔබ කියන්නේ ඖෂධයක් ගැන.
සාක්ෂිකරු: සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේක රෝ මැටීරියල් එකක්.
නීතිඥ: සෝඩියම් සිට්‍රේට් (Sodium Citrate) කියලා ඖෂධයක් තියෙනවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඔබේ තියරිය අනුව ඒකත් රෝ මැටීරියල්.
සාක්ෂිකරු: ඒක සෘජුව ලබාදෙන දෙයක්.
නීතිඥ: ඔබ සාක්ෂි දෙද්දි රිටක්සිමැබ් (Rituximab) භාර නොගත් බව කීවා.
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.
නීතිඥ: අදාල විෂය භාර නිලධාරියා භාර ගන්නවද?
සාක්ෂිකරු: භාරගන්නවා ස්වාමීනී.
නීතිඥ: කවුද භාරගන්නේ?
සාක්ෂිකරු: ප්‍රියන්ත කස්තුරි.
නීතිඥ: ඖෂධය භාර ගැනීමේදී තැබූ මිනිට් (Minutes) ඔබට පෙන්වා ප්‍රශ්න කළේ නැහැ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: රිටක්සිමැබ් භාරදීම ගැන ලේඛන ලැබුණේ නැහැ කිව්වේ?
සාක්ෂිකරු: MSD එකට දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් රෝහල් පද්ධතිය වෙත ලබා දී තිබුණා. MSD එක තුළ යම් ප්‍රමාණයක් තිබුණා.
නීතිඥ: හොඳටම විශ්වාසයි?
සාක්ෂිකරු: ඔව්, කීයක් තිබුණද කියලා විශ්වාස නැහැ.
නීතිඥ: මතක නැද්ද? තිබුණද? නැද්ද?
සාක්ෂිකරු: මම හොයලා බලලා නැහැ.
නීතිඥ: ඔක්කොම දැම්මද නැද්ද කියල මතකක නැද්ද?
සාක්ෂිකරු: මතක නෑ.
නීතිඥ: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාරගත්තෙ කවුද?
සාක්ෂිකරු: කණ්ඩායමක් ගියා.
නීතිඥ: නම් වශයෙන් කියන්න බැරිද?
සාක්ෂිකරු: මාත් එක්ක වැඩ කළ අය, සහකාර අධ්‍යක්ෂ තුමා මතකයි. අනෙක් අයගේ නම් මතක නෑ.
නීතිඥ: ඖෂධ මුද්‍රා කරන්න භාරගන්නේ නිලධාරීන්ද? තොග භාරගන්නේ කොහොමද මුද්‍රා පිටින්?
සාක්ෂිකරු: තොග මුද්‍රා තියන්නේ එකම අය.
නීතිඥ: ...... ගෙදර ප්‍රදීප මධුසංක කියලා කෙනෙක් දන්නවද?
සාක්ෂිකරු: 500 ක් විතර ඉන්නවා. මට නමින් කියන්න දන්නේ නැහැ. අපි නිලධාරීන්.
නීතිඥ: යම් ඖෂධයක් Withdraw කරද්දී රඳවා ගන්නා ආකාරය කුමක්ද?
සාක්ෂිකරු: පුද්ගලිකව එහෙම අවශ්‍ය වී නැහැ.
නීතිඥ: ඖෂධ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආයතනික ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවද?
සාක්ෂිකරු: ඔව්. ඖෂධ අපහරණ ක්‍රියාවලිය drug manual එකේ තියෙනවා.
නීතිඥ: ඉවත් කළ ඖෂධ රඳවා තැබිය යුතු කොතනද කියලාත් කියලා තියෙනවද?
සාක්ෂිකරු: Expiry stock (කල් ඉකුත් වූ තොග) ගැන එහි සඳහන් වෙනවා. මොකක් හරි හේතුවක් නිසා භාවිතයෙන් ඉවත් කළ ඖෂධ ගැන වැඩ කළ යුතු ආකාරය Drug manual එකෙන් සඳහන් වෙනවා.
නීතිඥ: වෙනත් ස්ථානයක තැන්පත් කරලා තියන්න කියලා ඒකෙ තියෙනවද?
සාක්ෂිකරු: බලලා කියන්න පුළුවන්.
නීතිඥ: 95 ගොනුවේ 1 v 30 ලෙස ලේඛනයක් යොදා තිබුණා. 1 v 30 හි 103 - 105 මේ ගොනුවේ එම ලේඛනය දැකිය හැකිද?
සාක්ෂිකරු: නැහැ.
නීතිඥ: අමුද්‍රව්‍ය ලෙස සෝඩියම් ඩ්‍රයි හයිඩ්‍රජන් ගැන මම සඳහන් කළා. අයිසොලෙස් බයෝ ෆාමා (Isolez Bio Pharma) මගින් එය ලබා දුන් බව ඔබ දන්නවද?
සාක්ෂිකරු: මම ඒක දන්නේ නැහැ. ඒක පරිගණක පද්ධතිය තුළ සටහන් වෙන කාරණයක්.
නීතිඥ: එහෙම තැන්පත් වෙන්නේ සපයන ලැයිස්තුව බව දන්නවද? මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලින් කිසිදු මරණයක් සිදුව නැති බව දන්නවද?
සාක්ෂිකරු: තත්ත්ව පාලන අංශය දන්නවා ඇති.
නීතිඥ: ඔබ දන්නවද?
සාක්ෂිකරු: නැහැ මම දන්නේ නැහැ.
නීතිඥ: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලින් අත කැසීම, බඩ දැවිල්ල වගේ සංකූලතා ඇතිවුණා කියලා දන්නවද?
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.
නීතිඥ: මේ රිටක්සිමැබ් වලින් කිසිදු සංකූලතාවක් ඇති වෙලා නැහැ කියලා දන්නවද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.
නීතිඥ: රිටක්සිමැබ් වලින් කිසිදු මරණයක් සිදුව නැතැයි දන්නවද?
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.
(දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.)
නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයේ DDG (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්) කවුද?
සාක්ෂිකරු: කවුරුවත් හිටියේ නැහැ.
නීතිඥ: අධ්‍යක්ෂවරුන් හිටියා නේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නීතිඥ: ඔබ වෛද්‍ය කපිල වික්‍රමනායක එක්ක වැඩ කරලා තියෙනවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඔහු ආවේ 2022 දි. ජනවාරි 3න් පසු ඔහු එහි අධ්‍යක්ෂ ලෙස රාජකාරී නොකළ බව දන්නවද?
සාක්ෂිකරු: විදේශගත වුණා.
නීතිඥ: එක්සත් රාජධානියේ ස්කොට්ලන්ඩ් හි වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව සඳහා ඔහුට අමාත්‍යාංශයෙන් අවසර ලැබුණ නිසා ඔහු එහි ගියා.
සාක්ෂිකරු: 2022 ජනවාරි මුල සිට වෙනත් නිලධාරීන් වැඩ බැලුවේ.
නීතිඥ: මෙම නඩුවට අදාලව මහත්මයාගෙන් ප්‍රශ්න කළා. ඖෂධ ලැයිස්තු ගැන ඔබ දන්නවද? ඒ භාණ්ඩ සැප්තැම්බර් ඔක්තෝම්බර් ප්‍රසම්පාදනයන් සිදු කර තිබෙනවා කියලා.
සාක්ෂිකරු: ඖෂධ 180 ගණනක් ඒකට යොමු කළා නේද? ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශය NMRA යටතේ ප්‍රසම්පාදනය වෙලා තියෙන බව දන්නවද?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විරෝධය පළ කරයි. ඒ අවස්ථාවේ නීතිඥ අසේල සේරසිංහට සහාය පිණිස තවත් නීතිඥවරු කිහිප දෙනෙක් නැගී සිටිති.)
සභාපති විනිසුරු: දෙවැනි චූදිත වෙනුවෙන් නීතිඥවරු කීදෙනෙක් පෙනී සිටිනවාද?
(යළි හරස් ප්‍රශ්න ආරම්භ වේ) නීතිඥ: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් ගැන යම් ප්‍රසම්පාදනයක් තෝරාගෙන තිබුණා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයෙන් කරලා තියෙන්නේ. එහිදී හදිසි ප්‍රසම්පාදන කමිටුවක් තමයි මේ ඖෂධය සඳහා ටෙන්ඩර් පිරිනැමුවේ.
සාක්ෂිකරු: ඒකට කමිටුවක් පවත්වාගෙන ගියා.
නීතිඥ: SPC (රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව) සභාපති නීතිඥ සරත් ලියනගේ එහි සාමාජිකයෙක් බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු: ඒ ගැන දන්නෙත් නැහැ.
නීතිඥ: ඔබේ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දීමක් ලැබෙන්න ඕන ඉදිරි කටයුතු සඳහා.
සාක්ෂිකරු: දැනුම් දුන්නා.
නීතිඥ: ඒ දැනුම් දීම ලේකම්වරයාගේ 2022 ඔක්තෝම්බරයේදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මහතාට දැනුම් දුන්නා කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: එහෙම ලිපියක් පෙන්නුවොත් තමයි කියන්න පුළුවන්.
නීතිඥ: ඕඩර් ලිස්ට් සහ පර්චස් ඕඩර් දාන්න ඕන MSD එකෙන්.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: එම දැනුම් දීම හඳුනාගත හැකිද බලන්න.
(පැ 264 ලේඛනය ඉදිරිපත් කරයි)
නීතිඥ: මේ ගොනුව 72.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: මෙම ප්‍රසම්පාදනයට අදාල යොමු අංකය බලන්න. මෙම ප්‍රසම්පාදනයෙන් පසු පර්චස් ඕඩර් ලබා දී තිබෙනවා නේද?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි)
නීතිඥ: ඔබ සී අයි ඩී (CID) යට තුන් වරක් කට උත්තර දීලා තියෙනවා. රිටක්සිමැබ් භාර ගැනීමට අදාළ කස්තුරි සිංහ යන අය 163 සාක්ෂිකරු කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.
නීතිඥ: ඔබ ඒ ගැන නොදන්නේ ඇයිද?
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.
නීතිඥ: රිටක්සිමැබ් ඖෂධය අයත් සහකාර අධ්‍යක්ෂවරිය චාන්දනී වන්නිආරච්චිද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: එම තැනැත්තිය මෙම පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරියයි.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 1 V 28 සහ 1 V 29 යන ලේඛන පරීක්ෂා කර මේ ලේඛන නිකුත් කළේ වෛද්‍ය කපිල වික්‍රමනායක කියලා දන්නවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ජනවාරි තුන දින NMRA එකෙන් කළ දැනුම් දීම අනුව දෙවැනි චූදිත ක්‍රියාත්මක වුණා. ඔහු සියලු රෝහල්වලට දැනුම් දුන්නා.
සාක්ෂිකරු: කළ යුතු දේ කළා.
නීතිඥ: වෛද්‍ය කපිල වික්‍රමනායක එම ඖෂධ භාවිතයෙන් ඉවත්කිරීමට NMRA දැනුම් දීම මත කටයුතු කළා. එය දන්වා 2023/10/16 දිනැතිව ලිපියක් යැව්වා. ඒකත් ඔබට පිටපත් කර තිබෙනවා.
සාක්ෂිකරු: එහි අංකය MSD / 9 / special / 2023/1 ලෙස දැනුම් දී තිබෙනවා.
නීතිඥ: මෙහි සියලු නිෂ්පාදන ලැබී තිබුණා. 2 V 32 ලෙස එම ලේඛන ලකුණු කරේ.
විනිසුරු: ඒ මොකක්ද ඒ?
සාක්ෂිකරු: ඒ විදියටම තොග තිබුණට ඒවා භාවිතා කළේ නෑ ස්වාමීනි. ඒවා Withdraw කරලා තිබුණේ. දැන් Withhold කරලා තියෙනවා.
නීතිඥ: අයිසොලෙස් බයෝ ෆාමා සියලු සැපයුම් withhold කරලා තියෙන්නේ. ඒවා භෞතිකව පරීක්ෂා කළාද?
(සාක්ෂිකරුගෙන් පිළිතුරක් සටහන් වී නැත)
නීතිඥ: ඖෂධ තත්ත්ව පරීක්ෂාව පනත යටතේ ඇත්තේ NMQAL එකට. එහි ඕනෑම ඖෂධයක් බැලිය හැකිද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: අංග සම්පූර්ණ රසායනාගාරයක් සියලු පහසුකම් සහිතව 2023 වෙද්දිත් තිබුණෙ නැහැ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, 2023 වෙද්දිත් සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න තැනක් නෑ.
නීතිඥ: MSD එකට දිනපතා ඖෂධ, ශල්‍ය උපකරණ ලැබෙනවා. විශාල කාර්ය මණ්ඩලයක් එහි කාර්යක්ෂමව කාර්යබහුලව කටයුතු කරනවා.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: කාටද පුළුවන් රසායනාගාරයෙන් මෙහි පැමිණ සාක්ෂි දෙන්න?
සාක්ෂිකරු: කෞශල්‍යා විජේසිංහ මහත්මිය.
නීතිඥ: ඇය ඒ පර්යේෂණාගාරයේ 2023 වැඩ කළාද?
සාක්ෂිකරු: මට මතක ඇය ඒ වන විට තොග පාලන අංශයේ සිටියේ.
නීතිඥ: මෙම නඩුවට අදාළ ඖෂධය MSD එකට ලැබුණු බව මැයි 25 දින ඊමේල් පණිවුඩයකින් යොමු කර තිබුණා.
සාක්ෂිකරු: ඒ ගැන තොග පාලන අංශය පරීක්ෂාවක් කර තිබුණා.
නීතිඥ: නමුත් මහත්මයා දන්නවද නඩුවට අදාල ඖෂධ දෙකේ තත්ත්වය? තොග පාලන ඩියුටි ලැයිස්තුව දැක්කා නේද? පැ 71 ලේඛනයේ කොටු මුද්‍රා හඳුනාගත්තා නේද? 2 V 34 එහි A කියන අදාල තොගය පාලක හා සහකාර අධ්‍යක්ෂකගේ සටහන පෙන්නුවා. මේ ඉන්වොයිස් පත්‍රය දෙපැත්තේ මුද්‍රා කීපයක් තබා තිබුණා. එහි භාණ්ඩ භාර ගන්නා බවට තබන මුද්‍රාත් තබා තිබුණා. එහි ඇති බොක්ස් සීල් පේළිය කුමක්ද කියා විස්තර කරන්න.
සාක්ෂිකරු: පළමුව තියෙන්නේ තොග පාලන අංශයේ මුද්‍රාව. එය තබන්නේ තොග අංශයේ නිලධාරී හා සහකාර අධ්‍යක්ෂකවරයා.
නීතිඥ: මේ වෙලාවේ භාණ්ඩ තොගය තිබුණේ කොහෙද?
සාක්ෂිකරු: ඒවන විටත් ගබඩාවට ඇවිත් නැහැ.
නීතිඥ: කන්සයින්මන්ට් ඉන්ස්පෙක්ෂන් (Consignment Inspection) කෙරෙන්නේ කොතැනද?
සාක්ෂිකරු: MSD එකේ පහළ තියෙන කාමරයක.
නීතිඥ: කවුද එතන ඉන්නේ?
සාක්ෂිකරු: MSD එකේ සෞඛ්‍ය සැපයුම් සහකාරවරයෙකු, ඔවුන් භාණ්ඩ තොගය පරිගණකගත කරනවා.
නීතිඥ: එහි මුද්‍රාව තමයි ඒ තිබෙන්නේ.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඒ වැඩේට පලපුරුදු අයද එතැන ඉන්නේ?
සාක්ෂිකරු: ඔව්.
සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අද (12) දක්වා කල් තැබිණි.

