(ජුනි 20 දිනට යෙදෙන හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙනි.)
රුඳුරු දිය රළ මැද පිහිටි නිසංසල කොදෙව්වක් සේ තම සුපුරුදු නිහඩ රිද්මයෙන් යුතුව නිල් පැහැති කමිසයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී තම කාර්යාලයේ අසුනට බරවී සිටි ඒ සරල මිනිසා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ය.
මාත් තවත් කිහිප දෙනෙකුත් ඒ මොහොතේ ජනපති මැදුර වටලමින් සිටි අරගලකරුවන්ගේ කලබලකාරී හැසිරීම පිළිබඳව මොහොතින් මොහොත තොරතුරු විමසමින් බලා සිටියේ ජනපතිතුමන්ගේ මී ළඟ ක්‍රියාමාර්ගය කුමක් වේදැයි යන නොඉවසිලිමත් හැඟීමෙනි.
මේ තීරණාත්මක දිනයට පෙරදින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ජනපති මැදුර ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් ද සිදු කර තිබුණි.
ජුලි 09 වන දින උදෑසන හරියටම 6.32 ට මා හට ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. පෙරදින මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක්ම ජනපති මැදුරේම රැඳී සිටීමෙන් පසු මා නිවස බලා පිටත්ව ගිය මුත් පසු දින උදෑසන පෙ.ව. 6.00 ට පෙර නැවතත් මා ජනපති මැදුර වෙත ගොස් සිටියෙමි. ජනාධිපතිතුමන් මට මෙසේ දුරකථන ඇමතුමක් ලබා දුන්නේ මා කොහෝ සිටිදැයි එතුමා නිශ්චිතව දැන නොසිටි බැවිනි.
“සුගීෂ්වර ඔයා කොහේ ද? ” ඒ ජනපතිතුමාගේ හඬය.
“සර් මම ඉන්නේ ජනාධිපති මන්දිරයේ” මගේ පිළිතුර විය.
කෙසේ වුවත්, ලෝක දේශපාලන ඉතිහාසය දෙන බලන විට ජූලි 09 වන දිනය ඉතිහාසයේ සුවිශේෂී දිනයක් යැයි මට හැඟේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාරම්භකයා වන ජෝර්ජ් වොෂින්ටන් ජනාධිපතිවරයා විසින් “ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශය” ජනපද එකමුතුවේ හමුදාවට (Army of the United Colonies) ඇසෙන ලෙස කියවන ලෙස සිය සගයන්ට නියෝග කරන ලද්දේ 1976 ජූලි 09 වන දාකය.
මහද්වීපික හමුදාව වශයෙන් ද හැඳින්වූ ජනපද එකමුතුවේ හමුදා සේනාංකය ඇති කරනු ලැබුවේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති වු ඇමරිකානු නිදහස් සටන ඇති වූ වකවානුවේදීය.
1963 සිට පැවතුණු අප්‍රිකානු එකමුතුව නැමති සංවිධානය වෙනුවට අප්‍රිකාවේ අන්තර් පාලන ආයතනය ලෙස අප්‍රිකානු සංගමය ඇති කරන ලද්දේ 2002 ජුලි 09 වන දා ය.
ශ්‍රී ලංකාවේ ද, 2022 ජූලි 09 වන දා මෙරට ජන මනස තුළ සුවිශේෂී දිනයක් ලෙස සටහන් වූයේ ප්‍රචණ්ඩත්වයේ දිනයක් ලෙසට ය. එය එසේ වූයේ අනෛතිකව රැසවුණු පිරිසක් ජනපති මැදුර වටලා ජනපති ගෝඨාභය රාජපක්ෂට තනතුරෙන් ඉවත්ව යන ලෙසට බල කිරීම නිසාය. පසුව එකී කණ්ඩායම ජනපති මැදුරේ ආරක්ෂක මුරකාවල් බිඳ දමා ජනපති මැදුරට ඇතුල් වුයේ ජනපති මන්දිරයටත් පොදු දේපළවලටත් විශාල හානියක් සිදු කරමිනි.
පොදු දේපළ වනසන්නන්ගේ විනාශකාරී සංස්කෘතිය පිළිබඳව පුවත් එතෙරත්, මෙතෙරත් ඉතිහාසය පිටු අතරට කළු අකුරින් එක් වී හමාරය. එහෙත් විනාශකාර රුදුරු හැසිරීම් හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියා කළ අන්දම තවමත් පිටු අතර නොගොස් අප්‍රකාශිතව පවතී.
නොකියූ කතාව
ස්වභාවයෙන්ම නිහඩ චරිතයක් වූ ජනපති ගෝඨාභය රාපපක්ෂ සිය තනතුරෙන් නික්ම යන තෙක් සිදු වුණ සිද්ධි දාමය පිළිබඳ මෙතෙක් කිසිවක් පවසා නොමැති හෙයින් එම සමස්ත සිදුවීම් පෙළම තවමත් ඇත්තේ නොකිවූ කථාවක් ලෙසටය.
අවසන් මොහොත දක්වාම එතුමා සමඟ සිටි ඉතාම සුළු පිරිස අතර සිටි අයකු ලෙස මගේ මනස තුළ ඒ දින සිදු වූ සිද්ධි දාමය රූප පෙළක් සේ සටහන්ව ඇත.
ජූලි 09 වන දින හරියටම පෙරවරු 11 පසුවී මිනිත්තු 21 ක් ගත වූවා පමණි.ජනපති මැදුරෙන් පිටත රැඳී සිටි උද්ඝෝෂකකරුවන්ගේ ඝෝෂාව කන් බිහිරි කරවන තරම් විය.
ජනපති මැදුර තුළ කොටු වී සිටි අප කිහිපදෙනා කල්පනාවේ නිමග්නව සිටියේ ඊ ළඟ මොහොතේ කුමක් කරම්දැයි කියා ය. අරගලකරුවන්ගේ ඝෝෂාව දිගින් දිගටම තීව්‍ර වෙමින් පැවති පසුබිම තුළ ජනාධිපතිවරයාගේ නිහඩතාව අපට සිතාගත නොහැක්කක් නොවීය.
මෙම බිහිසුණු තත්ත්වයෙන් බේරී සිටීමට අප සතුව තිබූ විකල්ප එන්න එන්නම අවම වෙමින් තිබුණි. ඒ වන විට එම ස්ථානයේ රැඳී සිටි හමුදාවේ ඉහළම නිලධාරීන් පවා සිටියේ දැඩි නොසන්සුන් බවකිනි.
“සර්, කරුණාකරල අපට මේ කැරලිකරුවන්ට වෙඩි තියන්න අවසර දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙක්ට මේ විදියට හිංසා කිරීමට, හිර කර තබා ගැනීමට දෙන්න බෑ ” යයි ආරක්ෂක නිලධාරීහු ජනාධිපතිතුමාගෙන් අයැද සිටියහ.
මෙතෙක් සන්සුන්ව සිටි ජනාධිපතිවරාගේ සන්සුන්භාවය පළමුවරට ගිලිහී ගියේ මේ අවස්ථාවේදීය.
“ඔයාලට පිස්සුද මේ මිනිස්සු තමයි මට ජන්දෙ දීලා මාව බලයට පත් කළේ. කොහොමද ඒ මිනිස්සුන්ට වෙඩි තියන්නේ ?” යැයි ජනපති කෝපයෙන් පෙරළා ඇසුවේය.
විරෝධතාකරුවන් දහස් ගණනින් ජනපති මැදුර වටකර එහි දිගටම රැඳී සිටීමට තීරණය ගෙන තිබුණේ ජනාධිපතිවරයා හමුදාව යොදවා ඔවුන්ට වෙඩි තැබීමට කටයුතු නොකරන බව ඔවුන් දන්නා හෙයිනි. දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන හමුදා නිලධාරියෙක් ලෙසට කීර්තියක් ඉසිලූ පුද්ගලයකු වුව ද මිරිහානේ සිය පෞද්ගලික නිවසට සිය ගණනක් අරගලකරුවන් පැමිණ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් ප්‍රහාර එල්ල කරන විටත් එය මැඩ පැවැත්වීමට අවම බලය පමණක් භාවිත කළ ජනාධිපතිවරයා වූයේ ඔහුය.
ජනපතිගේ මෙම ඉවසීමේ ස්වභාවයේ ප්‍රථිපලය වූයේ ජනපතිව කොතරම් ප්‍රකෝප ගැන්වීමට උත්සාහ දැරුවත් ඔහු තමන්ට දඩුවම් කිරීමට කටයුතු නොකරනවායයි යන නිගමනයට විරෝධතාකරුවන් එළඹීමයි.
විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට තම හමුදාවන්ට නියෝග දෙනවා වෙනුවට කිසිවෙකුටත් හිංසාවක් නොකරම සිය පරිශ්‍රයෙන් ඉවත්ව යෑමට ජනාධිපති තීන්දු කළේ මේ පසුබිම තුළය. සිදුවීම් මෙසේ පෙළගැස්සෙද්දිත් දෙස් විදෙස් මාධ්‍යය ජනපතිවරයාට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් පවසා සිටියේ ඔහු ඒකාධිපති ආඥාදායකයෙකු බවයි.
තමන්ට බොහෝ දෑ අහිමි වී ඇතැයි යන පොදු හැඟීම හේතුවෙන් දිගින් දිගටම ජනයා තුළ පවතින අසහනකාරීත්වය නිසාම ඔවුහු ප්‍රචණ්ඩත්වය කරා යොමු වෙති. මෙම මනෝභාවය ඔවුන් තුළ ඇති වන්නේ තමන්ට ලැබිය යුතු දේ තමන්ට නොලැබෙනවායැයි යන මතය ඔවුන් තුළ කවුරුන් විසින් හෝ කාවද්දා ඇති හෙයිනි.
සැතපුම් ගණන් දිගට ඇදී ගිය ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් සහ ඉහළ යන ජීවන වියදම නැමැති සාධක විසින් සැබෑ ලෙසම පීඩාවට පත් වූ ජන කොටසට පමණක් නොව පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්න දරන සහ තම කූඨ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට ප්‍රයත්න දරන පාර්ශවවලටත් වඩාත් හොඳ අවස්ථාවක් එම තත්ත්වය විසින් උදාකර දී තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නික්ම යෑමත් සමඟම පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ පාර්ශව විසින් අරගලයේ පාලනය තමන් සතු කරගන්නා ලදී.
සත්‍ය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගන්නා විටත් රටේ ආර්ථිකය කඩාවැටීමට ඉතාම ආසන්න තත්ත්වයක පැවතීමයි. කොවිඩ් වසංගතය විසින් සිදු කළේ එහි වේගය තව තවත් තීව්‍ර කිරීම පමණි.
විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලඥයකු විසින් රචිත 2014 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථයක අනිවාර්යෙන්ම සිදු වීමට නියමිතව තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව සටහන බොහෝ දෙනෙකුගේ මතකයේ ඇත. එම ග්‍රන්ථයේ කතුවරයා පවසා ඇත්තේ එළඹීමට නියමිත ආර්ථික අර්බුදවලට හේතුව වන්නේ රටේ මූල්‍ය විනයක් නොමැති වීමයි.
එහිදී විශේෂයෙන්ම ඔහු අවධාරණය කර ඇත්තේ කලින් රට පාලනය කළ ආණ්ඩු විසින් ලබා ගෙන ඇති දරාගත නොහැකි විසල් ණය ප්‍රමාණයක් සහ ඔවුන් විසින් සිදු කරන ලද දුෂණයත් මෙයට හේතු වූ බවයි. පසුව යහපාලන සමයේදී එකී ග්‍රන්ථය රචිත දේශපාලඥයා විසින්ම දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ යහපාලන ආණ්ඩුව විසින් ද අමනෝඥ ආර්ථික පිළිවෙත් අනුගමනය කළ බවත් ඒ නිසා එළඹීමට නියමිතව තිබූ ආර්ථික අර්බුදය කරා රට ගමන් කිරීමේ වේගය තව තවත් තීව්‍ර කළ බවත්ය.
යථාර්ථය මෙසේ තිබියදීත්, ආර්ථික අර්බුදයට වගකිව යුත්තා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට ඇඟිල්ල දිගු කිරීමට බොහෝ පාර්ශව කටයුතු කළහ. දීර්ඝ කාලයක් අක්‍රීයව පැවති ඉන්දු ලංකා සබඳතා යළි ශක්තිමත් කිරීමට කටයුතු කරන ලද්දේ ගෝඨාභය ජනපතිවරයා බව මෙරට ජනයාට මතක ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස තානාපති සබඳතාවල තිබූ අසමතුලිතතාවය නැති කර ගැනීමට හැකිවු හෙයින් ආර්ථික අර්බුදයේ බිහිසුණුම අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රි ලංකාවේ පිහිටට ඉදිරිපත් විය.
සිය නිල මන්දිරයෙන් ඉවත්වයාමේ අවසන් තීරණයට එළඹීමෙන් අනතුරුව ඒ අවස්ථාවේ නිල මැඳුර තුළ රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරීන් හට ජනපති ගෝඨාභය රාජපක්ෂ දුන් අවවාදය තවමත් මා මතකයේ රුඳී පවතී.
"කරුණාකරලා මා ඉවත්ව ගියාට පසුත් මෙහිම රැදී ඉන්න මේක මගේ පුද්ගලික දේපලක් නෙවෙයි. මේක රාජ්‍ය දේපලක්. මේ දේපලවලට අලාභ හානියක් නොවීමට ඔබලා වගබලා ගන්න ඕන ’’යයි ජනපති හැඟීම්බරව ප්‍රකාශ කළේය.
ඔහුගේ ජනප්‍රියභාවය හෝ ජන අප්‍රියභාවය මැණිය හැකිවූයේ මැතිවරණයකින්ම පමණි. එසේ මැතිවරණයක් නොමැති වටපිටාවක ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූ නරුම න්‍යාය පත්‍ර ජයග්‍රාහී ලෙස තව තවත් මතුවන්නට පටන් ගත්තේය.
එසේ වූවත්, රටේ වාසනාවකට මෙන් රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වී රටට අත් වීමට තිබූ හානිය අවම කර බොහෝ දුරකට රට ස්ථාවරත්වයට පත් කළේය.
හිටපු ජනපති සමඟ ඉතා සමීපව කටයුතු කළ පුදගලයෙක් ලෙසට මාගේ එකම පැතුම වන්නේ සැබෑ සත්‍ය හෙළිදරව්වී ගෝඨාභය ජනපතිවරයාට එල්ල කරන ලද අභූත චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන දිනය උදාවනු දැකීමයි. මෙරට ඉතිහාසයේ පිටු අතර ඔබට හිමි විය යුතු ප්‍රශංසනීය ස්ථානය ඔබට හිමි විය යුත්තේමැයි යන්න හෘද සාක්ෂියක් ඇති ඕනෑම අයකුගේ විශ්වාසයයි.
ඉතින්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි ඔබට සුබ උපන් දිනයක්.
@සුගීෂ්වර බණ්ඩාර
උපුටාගැනීම - Theleader.lk