SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් පසුගිය මැයි 09 වැනිදා හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි

යකඩ කම්බි (Steel Bars) කර්මාන්තශාලාවකට මුද්‍රා තැබීම මාධ්‍ය හරහා මහත් ඉහළින් ප්‍රචාරය විය. අනිවාර්ය SLS 375 ප්‍රමිති සහතිකය නොමැතිව, ප්‍රමිතියෙන් තොර මිලිමීටර් 6 (6mm) යකඩ කම්බි වසර තුනක පමණ කාලයක් තිස්සේ වෙළෙඳපොළට නිකුත් කිරීම මෙම වැටලීමට සහ මුද්‍රා තැබීමට හේතුව බව නිලධාරීන් පවසයි.

 

 

නීතිය කඩකරන, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳපොළට මුදාහරින ජාවාරම්කරුවන් වැටලීම සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම අගය කළ යුතුය. එහෙත්, මෙම සමස්ත ක්‍රියාදාමය පිටුපස පවතින්නේ මහජනතාව රැවටීමේ ව්‍යාජ 'වෙස්මුහුණක්ද' යන බරපතල ප්‍රශ්නය මෙහිදී මතු වේ. මන්දයත්, වසර තුනක් තිස්සේ ජනතාවගේ ජීවිත සහ දේපළ අනතුරේ හෙළමින් ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි විකිණූ මෙම මහා පරිමාණ ආයතනයේ "නම" පාරිභෝගික සේවා අධිකාරිය විසින් දැඩි සේ රහසිගතව තබා ගැනීමයි.

 

 

බලධාරීන් රකින්නේ පාරිභෝගිකයාද? ව්‍යාපාරිකයාද?

මෙහිදී ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයේ විනිවිදභාවයක්ද? නීතිය කඩකළ ආයතනයක් සීල් තැබූ බව පවසමින් මාධ්‍ය සංදර්ශන පෙන්වන බලධාරීන්, ඒ කුමන ආයතනයද, කුමන සන්නාමයෙන් (Brand) මේ ප්‍රමිතියෙන් තොර කම්බි වෙළෙඳපොළට ආවාද යන්න හෙළි නොකරන්නේ ඇයි?

 

යකඩ කම්බි සඳහා වන අනිවාර්ය ශ්‍රී ලංකා ප්‍රමිතිය වන්නේ SLS 375 (Specification for Ribbed Steel Bars for the Reinforcement of Concrete) ය. කිසිදු නීතිමය ප්‍රමිතියකට අනුකූල නොවන, අනිවාර්ය SLS ලාංඡනය නොමැති කම්බි යොදාගෙන ඉදිකිරීම් සිදු කළ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව මේ වන විටත් ඇත්තේ දැඩි අවදානමකය. එසේ තිබියදීත්, ජනතාවට තමන් මේතාක් මිලදී ගත්තේ කුමන සමාගමේ යකඩදැයි දැනගැනීමට ඇති අයිතිය උදුරා ගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේද?

 

  • මෙය හරියටම පද්ධතිය තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන බවට පෙන්වන මායාවක් පමණක් නොවේද?

  • අදාළ සමාගමේ නම වසන් කිරීම හරහා පාරිභෝගික සේවා අධිකාරිය වක්‍රව කරන්නේම එම කූට ව්‍යාපාරිකයන්ගේ කීර්ති නාමය සහ ඔවුන්ගේ අනාගත වෙළෙඳපොළ සුරක්ෂිත කර දීමක් නොවේද?

  • වැරදිකරුවන්ගේ නම් හෙළි නොකිරීම පිටුපස ඇති 'ඩීල්' එක කුමක්ද?

 

 

පාරිභෝගික ඔබට අනතුරු ඇඟවීමක්!

මේ වන විට කර්මාන්තශාලාවට මුද්‍රා තබා ඇති බවත්, නීතිමය පියවර ගන්නා බවත් අධිකාරිය පවසයි. එහෙත් වසර තුනක් තිස්සේ ඔවුන් වෙළෙඳපොළට මුදාහළ යකඩ කම්බි මේ වන විටත් දිවයින පුරා හාඩ්වෙයාර් වෙළෙඳසැල්වල තිබිය හැකිය. ඒවාගෙන් ඉදිවූ ගොඩනැගිලි මේ වන විටත් අනතුරක විය හැකිය.

 

නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී යකඩ කම්බි මිලදී ගැනීමේදී එහි අනිවාර්ය SLS ලාංඡනය (SLS 375) තිබේදැයි දැඩිව පරීක්ෂා කරන්න. ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ද්‍රව්‍ය යනු ඔබේ ජීවිතයටත් දේපළටත් ඇති දැවැන්ත තර්ජනයකි.

 

 

ඊටත් වඩා විශාල තර්ජනයක් වන්නේ, පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසමින්, හොර රහසේම ව්‍යාපාරික ජාවාරම්කරුවන්ගේ නම් වසන් කරන රාජ්‍ය ආයතනවල මෙම ක්‍රියාකලාපයයි. පාරිභෝගික සේවා අධිකාරිය සැබවින්ම පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, වහාම මෙම 'නම නැති ස්ටීල් කොම්පැනියේ' නම රටට හෙළි කළ යුතුය. එසේ නොමැති නම්, මෙම වැටලීම හුදෙක් යම් අභ්‍යන්තර ගනුදෙනුවක් පියවා ගැනීම සඳහා කළ තවත් එක් නිලධාරිවාදී නාඩගමක් පමණක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

 

 

# Consumer Affairs Authorityමුහුණු පොතේ පෝස්ටුව ඇසුරිනි.

නවතම ලිපි