ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලනඥයින් සහ මහජන නියෝජිතයින් නිරන්තරයෙන්ම මහජන විමර්ශනයට
(Public Scrutiny) ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී තම කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට නීතියේ පිහිට පැතීමට ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතියට සමගාමීව, ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව ප්‍රශ්න කිරීමට මාධ්‍යයට සහ මහජනතාවටද අයිතියක් ඇත. හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අතර නිර්මාණය වී ඇති නීතිමය තත්ත්වය, මෙම 'ප්‍රතිරූපය සහ වගවීම' පිළිබඳ පුළුල් සංවාදයකට මග පාදා තිබේ.
කීර්තිනාමය වෙනුවෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විසින් මාධ්‍ය හමුවකදී තමන්ට එල්ල කළ මූල්‍ය විෂමාචාර චෝදනා හේතුවෙන් සිය ගෞරවයට හා ප්‍රතිරූපයට හානි වූ බව පවසමින් කුමාර ජයකොඩි, රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් (Letter of Demand) යවා ඇතැයි අද සිලෝන්වයර් වෙබ් අඩවිය හෙළි කර තිබේ. මෙහිදී අප ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ තමාට තවමත් එවැනි එන්තරවාසියක් ලැබී නොමැති බවත්, ඒ පිළිබඳව තමාද දැනගත්තේ මාධ්‍ය මගින් බවත් ය.
කෙසේ වුවද අදාළ පුද්ගලයාට එන්තරවාසිය යෑමට ප්‍රථමයෙන් මාධ්‍යයට යැවීම මෙහිදී ප්‍රමුඛතාව වී ඇති බව පෙනේ.
එම එන්තරවාසියේ ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් අවධාරණය කර තිබේ:
-
තමන් වසර 30 කට වැඩි විධායක පළපුරුද්දක් ඇති සුදුසුකම් ලත් ඉංජිනේරුවෙකු බව.
-
මෙතෙක් නිකැළැල් වෘත්තීය සහ දේශපාලන වාර්තාවක් පවත්වා ගෙන ගොස් ඇති බව.
-
ආන්දෝලනාත්මක ගල්අඟුරු ආනයනය සම්බන්ධ විමර්ශන සඳහා ඉඩ සැලසීමට තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව.
ප්‍රසාද් සිරිවර්ධන: දූෂණයට එරෙහි නව දේශපාලන හඬ
මෙම එන්තරවාසියට මුහුණ දී සිටින ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා, මෙරට දේශපාලනයට නව ප්‍රවේශයක් ලබාගත් තරුණ නියෝජිතයෙකි. වෘත්තියෙන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකුව සිටි ඔහු, මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ දූෂණයෙන් තොර පාලනයක් පිළිබඳ බලාපොරොත්තු සහිතවය.
සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට එල්ල වන මූල්‍ය වංචා හෝ දූෂණ චෝදනා වලින් තොරව 'පිරිසිදු දෑතින්' යුතුව වංචාවන්ට එරෙහිව හඬ නැගීමේ හැකියාව තවමත් ආධුනිකයෙකු ලෙස ඔහු සතු වීම ඔහුගේ දේශපාලන අනන්‍යතාවයේ විශේෂත්වයකි. ඔහු විසින් යම් මූල්‍ය විෂමාචාරයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්නේ නම්, ඒ සඳහා පදනම් සහිත තොරතුරු හෝ කරුණු ඔහු සතුව පැවතිය හැකි බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් තාර්කික පිළිගැනීමක් පවතී. එමෙන්ම, මහජන නියෝජිතයෙකු ලෙස රාජ්‍ය මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්න කිරීම ඔහුගේ වගකීමක් ද වේ.
අල්ලස් කොමිසමේ නඩුව සහ පූර්ව නඩු විභාගයේ යථාර්ථය
එන්තරවාසියේ "නිකැළැල් වාර්තාවක්" පිළිබඳව සඳහන් වුවද, හිටපු අමාත්‍යවරයාට මේ වන විටත් රාජ්‍ය දේපළ අවභාවිතයක් සම්බන්ධයෙන් අධිචෝදනා යටතේ මහාධිකරණය හමුවේ නඩුවකට මුහුණ දීමට සිදුව ඇත.
සන්ඩේ ටයිම්ස් (Sunday Times) පුවත්පත වාර්තා කළ පරිදි, 2016 වසරේ ලංකා පොහොර සමාගමේ සිදුවූ බව කියන රුපියල් මිලියන 8.8ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙම නඩුව පවරා තිබේ. එහි පූර්ව නඩු විභාගයේදී (Pre-trial conference) විත්තිය විසින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු 31කින් 3ක් අධිකරණය හමුවේ පිළිගෙන ඇත.
එම පිළිගත් කරුණු අතර ප්‍රධාන වන්නේ, අදාළ ගනුදෙනුව සිදුවූ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළ බවයි. මෙහිදී කරුණු පිළිගැනීම යනු "වරද පිළිගැනීමක්" නොවන නමුත්, ප්‍රශ්නගත මූල්‍ය ක්‍රියාවලිය සිදුවූ කමිටුව තුළ ඔහු සෘජුවම සිටි බව එමගින් තහවුරු වේ.
මහජන විමර්ශනය සහ මාධ්‍ය වගවීම
එන්තරවාසියේ තමාගේ ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීම හුදෙක් පරීක්ෂණ සඳහා ඉඩදීමක් ලෙස අර්ථකථනය කළද, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හරහා රජයට සිදුවූ බව කියන බිලියන ගණනක අලාභය සම්බන්ධයෙන් එකල දැඩි මහජන පීඩනයක් ගොඩනැගී තිබුණි.ආණ්ඩු පෙරළෙන තත්වයටම එම විරෝධය බලවත් වන අතරතුරදී ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවිය. එසේම ඔහුගේ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීම බොහෝ ප්‍රමාද වී සිදුවූවක් බවට වන හෙළිදරව් කිරීම් ද ඔහුගේ වෘත්තීය පසුබිම පිළිබඳව සමාජය ප්‍රශ්න කිරීමට හේතු වී ඇත.
නිගමනය
දේශපාලකයෙකුගේ සැබෑ කීර්තිනාමය රඳා පවතින්නේ නීතිඥ ලිපි මගින් ඉල්ලා සිටින වන්දි මුදල් මත පමණක් නොවේ. ප්‍රසාද් සිරිවර්ධන වැනි තරුණ මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන චෝදනා වල ඇති සත්‍යතාවය සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග වල අවසන් ප්‍රතිඵලය හරහා සැබෑ කීර්තිනාමයේ වටිනාකම තීරණය වනු ඇත. දේශපාලන බලය සහ වෘත්තීය ප්‍රතිරූපය ඉදිරියට දමමින් මහජන විවේචන යටපත් කිරීමට උත්සාහ කිරීම වෙනුවට, විවෘත අධිකරණ ක්‍රියාවලියක් තුළින් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම ඕනෑම දේශපාලනඥයෙකු සතු සැබෑ වගකීමයි.

