පවතින අර්බුදය විසඳන්න හොඳ දේශපාලන බිල්ලක් දෙන්න ඕනෙ වෙලා තියෙනවා.
රාජපක්ෂලා ලංකාව දාපු අමාරුවෙන් ගොඩ ගන්න ලේසි නෑ. මොන මිනිහට ද මේක අරන් කරන්න පුළුවන්. ණය,බොල් ණය,සහන, අනුකම්පාවට දෙන දේවල් වගේ මොන මොනවා හරි වැඩි වැඩියෙන් ලැබෙනවා නම් රට කරගෙන යන්න පුළුවන්. ඊළඟට ණය නොගෙවීම නිසා රටට නඩු වැටෙනවා. රටේ ජනතාවට මොන දේශපාලකයා ගැනවත්, මොන පක්ෂය ගැනවත් විශ්වාසයක් නෑ. එහෙම තියෙද්දී තමයි රනිල් අගමැති කම බාර ගත්තෙ.
ඇත්තටම ඒක බිලි වීමක්. ගෝඨාභය විධායකයේ ඉන්නකොට අගමැතිකම අරන් බිලි වෙන්න බැරි නිසයි සජිත් වුණත් මුලින් බැහැ කිව්වෙ. ඒත් රනිල් මේ වෙලාවෙ රටේ ප්‍රශ්න ටික විසඳගන්න දෙන්න පුළුවන් සාර්ථකම බිල්ල බව පේනවා. අනික මේ බිල්ලට ඕනේ real ධනපති නායකයෙක්. ඊළඟට ගත්තොත් බිලි වීම ගැන රනිල්ට ලොකු අවුලකුත් නෑ.හරියට නිකං කැලණිතිස්සගෙ දූ කුමාරි වගේ. එයාගේ දේශපාලන ජීවිතේ අවසන් අරගලය මේක වෙන්න පුළුවන්.
හැබැයි මහජන අරගලේ කරපු තරුණ කොල්ලන්ගෙ පැත්තෙන් ගත්තොත් මේක උන්ගේ කුළුඳුල් අරගලේ. උන් තව දුරටත් මේ වගේ අරගල කරන්න ඉන්න ඕනෙ. මොකද තව මහජන අරගල රටට ඕනෑවෙයි. ඒ නිසා අපි මේ පැත්තෙන් රනිල් වෙනුවට අරගලය පැත්තෙන් ඒකට දායක වුණු ජනප්‍රිය චරිතයක් වෙච්ච රැට්ටා ගනිමු. මේ පැත්තෙන් රනිල් බිළිදුන්නට අනික් පැත්තෙන් රැට්ටාව දැන්ම බිලි දීලා බැහැ. අරගලය කරපු අයගෙන් ජනාධිපතිධුරයට කෙනෙක් නම් කරන්න කිව්වොත් කවුරුහරි කියන්න පුළුවන් අපි රැට්ටාව ඒකට දාමු කියලා. රැට්ටා රට බාර ගත්තොත් මොකද වෙන්නේ? රනිල්ට එන ණය නොගෙවීමෙන් නඩු වැටීම, තෙල් ප්‍රශ්නෙ, ආහාර අහේනිය, ඖෂධ ප්‍රශ්නෙ, පොහොර ප්‍රශ්නෙ, ඩොලර් හිඟය, ඒවාට පිළිතුරු සපයන්න බැරිවුනොත් එල්ල වන මහජන කෝපය ආදී සියල්ල ජනාධිපති රැට්ටා පිටට එනවා. එහෙම වුනොත් මොකද වෙන්නේ. කුළුඳුල් අරගලයකට දායක වෙච්ච කොල්ලා අනාථයි. සංකේතාත්මකව රැට්ටා අනාථ වෙනවා කියන්නේ ආයෙ අරගල කරන්න කට්ටියක් නැති වෙනවා කියන එක. ඒ නිසයි රනිල් මේ ප්‍රශ්න වලට හේත්තු කරලා රැට්ටා බේරගන්න වෙන්නේ.
ඇත්තටම ඔය රැට්ටලා,බට්ටලා තවදුරටත් දේශපාලනය ඉගෙන ගන්න ඕනෙද? ඔව් කියලා ඕනෙම කෙනෙක් කියයි. ඒත් ඒක එහෙම වෙන්නේ නෑ. රැට්ටගේ පරපුරේ අලුත් ඡන්ද වලින් සියයට අසූවක්ම ලැබුනෙ ගෝඨාභයට. ගෝඨා දිනුවට පස්සේ චිත්‍ර ඇන්දෙත් රැට්ටලගෙ පරපුර. දේශපාලනය දන්න එවුන් පුළුවන් තරම් එපා කිව්වා. මේගොල්ලෝ ගැහුවේ නෑ. හැබැයි රැට්ටලගෙ පරපුර, වෙච්ච අවුල පස්සෙන් පහු තේරුම් අරන් ගෝල්ෆේස් අරගලය පටන් ගත්තා. ඒ ආරම්භය ගැනීම වැඩිහිටි පරපුරට තියා හැත්තෑ එකේ, අසූ නමේ කැරලි ගහපු පක්ෂයටවත් බැරුව හිටිය එකක්. හැබැයි රැට්ටලා කළා. ඒක සින්දු කියලා චිත්‍ර ඇඳලා කරන ආදර අරගලයක් කියලයි උන් කිව්වෙ.
උන් දැන්, අල්ලගත්තු සිමෙන්ති මාලිගාවලින් විත්ඩ්‍රො වෙන එක හරි. ඒවයෙ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක් විතරයි.
හැබැයි අරගලය කරපු මේ පරම්පරාවේ එවුන්ගේ අනුප්‍රාප්තිකයෝ යම් දවසක මීට වඩා බරසාර අරගලයක් කරන්න පුළුවන්.තව අවුරුදු විස්සකින් විසි පහකින් විතර. උන් රැට්ටලා වගේ අරගලය කරලා පාර්ලිමේන්තුවෙන් විසඳුම් දෙනතුරු බලාගෙන ඉන්න එකක් නැහැ. උන් අරගලයත් කරලා විසඳුමත් දෙයි. අන්න ඒ පරම්පරාව බිහි කරන වැඩේටයි රැට්ටලා රැකගන්න ඕනෙ.
@LEADER TV