SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්ෂ 1979 අප්‍රේල් මස පළමු වැනිදා “ඉරානයේ ඉස්ලාමීය ජනරජය” බිහිවෙනවා. එහි උත්තරීතර නායකයා වන්නේ ෂියා ඉස්ලාමීය ආගමික නායක ඉමාම් අයතුල්ලාහ් කොහ්මෙයිනි.

 ඉස්ලාමීය විප්ලවය ලෙස විරුදාවලි ලත් ලෝකයම තිගැස්සූ ඉරාන විප්ලවයට ෂරීයා නීතිය මත පදනම් වන තියෝක්‍රැටික හෙවත් දේවවාදී දේශපාලන අයිඩියෝලොජිය නිර්මාණය කරන්නේ මහා ශාස්ත්‍රඥය ඉමාම් කොහ්මෙයිනි විසින්.  

ටෙහ්රාන් අගනුවර සිට විහිදෙන පෞරාණික පර්සියාවේ නූතන ඉරාන මංමාවත් පුරා ජනතාව වසර දෙකක් තිස්සේ ලේ කඳුළු වගුරවමින් සමස්ත දේශපාලන වෙනසක් ඉල්ලා සිදුකළ දැවැන්ත අරගලය අවසාන වන්නේ බටහිර සහ පෙරදිග සියලු දේශපාලන අධිකාරයන්ට අභියෝග කරන සුවිශේෂී ඉස්ලාමීය ජනරාජ්‍යය බිහිවීමෙනි.

Ayatollah1

Ayatollah Khomeini


එම මහා අරගලය සිදු කළ මාක්ස්වාදීන්, කොමියුනිස්ට්වාදීන්, වාමාංශිකයන්, ප්‍රජාතාන්ත්‍රිකයන්, විමුක්තිකාමී තරුණ ශිෂ්‍යයන්, මධ්‍යමපාන්තික වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ඇදුරන්, නිදහස්කාමී කලාකරුවන්, දරුවන් වඩාගත් අභීත කාන්තාවන් මෙන්ම මධ්‍යස්ත ආගමික පූජකවරුන් සියලු දෙනාම එක හඬින් ඉල්ලුවේ සමස්ත දේශපාලන වෙනසකි. නූතන වදනෙන් කියන්නේ නම් කම්ප්ලීට් සිස්ටම් චේන්ජ් එකකි.

නමුත් ඒ දේශපාලන පරිවර්තනයේ ඵලය කුමක්දැයි ඔවුන් කිසිවෙකුටවත් නිශ්චිත අදහසක් නොතිබිණි. ඔවුන්ට අවශ්‍ය වුණේ කෙසේ හෝ ඉරානයේ ව්‍යවස්ථාපිත රජුව සිටි මොහම්මද් රෙසා පැහ්ලවී හෙවත් රෙසා ෂාහ් සහ ඔහුගේ රාජකීය පවුල බලයෙන් පහ කිරීම පමණී. එයින් පසු සිදුකරන දෙය හරියටම දැන සිටියා නම් දැන සිටියේ ඉමාම් කොහ්මෙයිනි පමණී.

රෙසා ෂාහ් යනු ඇමරිකානු පන්නයේ ලිබරල් ධනවාදී ඉරානයක් ගැන සිහින දුටුවෙකි. සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමික තන්ත්‍රයට අභියෝග කළ ඔහු විසින් නූතන කාර්මික නාගරික බටහිර පන්නයේ නවීන ජීවන රටාවක් සහිත ඉරානයක් නිර්මාණය කරමින් තිබිණි.

Ayatollah 7

Reza Shah Pahlavi



කළු රත්තරන් ඇති පදමට කණිමින් බෙල්ල කැඩෙන වේගයෙන් ඉරානය දියුණු වෙමින් තිබිණි. අධිවේගී මාර්ගවලින් පැමිණ අහස් කුළුණු තුළ රැකියා කරන උගත් මධ්‍යමපන්තියකුත් ගමේ කෘෂිකර්මය හැරදමා නගරයට සංක්‍රමණය වූ නාගරික වතු ආශ්‍රිතව ජීවත්වන දිළිඳු ශ්‍රමිකයන්ගෙනුත් සමන්විත නව සමාජයක් ඉරානයේ නිර්මාණය වී තිබිණි.

ඇමරිකානු ආධිපත්‍යය පිළිකෙව් කළ ඉමාම් කොහ්මෙයිනි ඇමරිකානු ගැති රෙසා ෂාහ්ට විරුද්ධව ලිවීම හේතුවෙන් අසල්වැසි ඉරාකයට පිටුවහල් කෙරිණි. ඉරාකයේ පල්ලිවල සිට ඉමාම් කොහ්මෙයිනි දිගින් දිගටම ෂාහ් පාලනයට විරුද්ධව කතා කරන්නටත් ලියන්නටත් විය. ඔහුගේ හඬපට සහ ලියවිලි ඉරානයේ පල්ලි හරහා ජනතාව අතට පත් වී ජනප්‍රිය විය. ඉමාම් කොහ්මෙයිනිගේ ඇමරිකානු විරෝධයේ සංකේත සතුරා වූයේ රෙසා ෂාහ් ය.

ෂාහ් හිතුවේ තම රටවැසියන්ට උසස් අධ්‍යාපනය ලබා දී කාර්යාල තුළ කරන්නට රැකියා ලබා දී අත්විඳින්නට නවීන විලාසිතානු ජීවිතයක් ලබා දී තෙල් සල්ලි මත ඉරාන ආර්ථිකය දියුණු කළ විට සියල්ල හරි කියාය. රජු සහ රජ පවුල ජීවත් වූයේ රජ මැදුරු තුළ රාජකීයයන් මෙනි. වැසියන් සිටියේ සිහින මාළිගා තුළය.

Ayatollah 6

නමුත් සියල්ල කණපිට හැරෙන්නේ ගෝලීය තෙල් අර්බුදයකින් ඇරඹෙන දරුණු ආර්ථික බිඳවැටීමකිනි. ජීවන වියදම වැඩි වී රැකියා අහිමිව සිය සිහින බොඳවන දහස් ගණන් මධ්‍යමපාන්තිකයන් සහ තරුණයන් ෂාහ්ට විරුද්ධව පාරට බසින්නේ එලෙසිණි.

සිය ජනතාවට දියුණු නවීන රාජ්‍යයක් හැදූ රෙසා ෂාහ්ට මේ එන ජනතා විරෝධය තේරුම් ගැනීමට නොහැකි වේ. ඔහු සිතන්නේ එය විදේශ කුමන්ත්‍රණයක් කියාය. මුල් අවස්ථාවේ පැමිණි විරෝධතා එතරම් සැලකිල්ලට නොගත් ෂාහ් දිගටම උත්සාහ කරන්නේ ආගමික සංස්ථාව ඉල්ලන ඇතැම් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමටයි. නමුත් විරෝධතා නවතින්නේ නැත.

යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉරාන හමුදාව සහ විරෝධතාකරුවන් විටින් විට ගැටෙන්නට විය. ඒ සෑම මාරක ගැටුමක් විසින්ම විරෝධතාවය දෙගුණ තෙගුණ වූවා පමණී. මරණ සිය ගණනක් සහ විශාල දේපල හානියකින් අවසානයේ මධ්‍යස්ත අගමැතිවරයෙකුට රට බාරදී රෙසා ෂාහ් සහ පවුල ඉරානයෙන් පිටමං වේ. විප්ලවයේ සටන්පාඨය ජය ගනී.

Ayatollah 8

වසර දෙකක් තිස්සේ මහමග අරගලය කළ වාමාංශික පක්ෂ නායකයන්, ශිෂ්‍ය නායකයන් සහ ප්‍රජාතාන්ත්‍රික මධ්‍යමපාන්තිකයන් සියලු දෙනා සීසී කඩ විසුරුවා පැත්තකට කරමින් විප්ලවයේ සැබෑ නායක ඉමාම් අයතුල්ලාහ් කොහ්මෙයිනි ටෙහ්රානයේ අතුරුසිදුරු නැතිව රැස්කකා සිටින මිලියනයක් ජනතාව මැදට හෙලිකොප්ටරයෙන් ගොඩබසින්නේ දෙවියන්ගේ දූතයා මෙනි.

“ඉස්ලාම්! ඉස්ලාම්! කොහ්මෙයිනි රජුට!” යැයි වැසියන් මොරදෙයි. එතැන සිටි මාධ්‍යවේදියෙකු ඔහුගෙන් අසන්නේ “පිටුවහල් කර සිට නැවත ඔබේ රටට පා තබන මේ මොහොතේ ඔබට දැනෙන්නේ කුමක්ද?” කියාය. ඔහුගේ ප්‍රේහෙලිකාර පිළිතුර වන්නේ “කිසිවක් නැහැ” (නතිංග්) යන්න පමණී.

Ayatollah 4

ඉන් පසුව ඇරඹෙන්නේ දේශපාලන සමූලඝාතනයකි. තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන ඉමාම් කොහ්මෙයිනි කඩිනම් ජනමත විචාරණයක් පවත්වා “ඉරානයේ ඉස්ලාම් ජනරජය” අතිබහුතර ජනතා ඡන්දයෙන් සම්මත කර පිහිටුවා තබයි. “ඉස්ලාමීය විප්ලවීය හමුදාව” නමින් කොහ්මෙයිනි යටතේ හමුදාවක් පිහිටුවාගෙන පැරණි රාජ්‍යයේ උසස් හමුදා නිලධාරීන් සහ ෂාහ් ආණ්ඩු පාක්ෂිකයන් අත්අඩංගුවට ගෙන ක්ෂණික නඩු අසා මරණයට පත් කරයි. ප්‍රජාතාන්ත්‍රික නිදහස ඉල්ලූ අරගලකරුවන් බිරන්තට්ටු වේ.

Ayatollah 10


“ජාතික ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ” වැනි ප්‍රජාතාන්ත්‍රික සහ වාමාංශික  පක්ෂ අහෝසි කර දමයි. “හෙස්බොල්ලා” හෙවත් දෙවියන්ගේ පක්ෂය නමින් සන්නද්ධ සිවිල් සංවිධානයක් විසින් ඉමාම් කොහ්මෙයිනිට විරුද්ධ මාධ්‍යකරුවන් සහ සිවිල් වැසියන් මර්ධනය කරයි. කාන්තා අයිතීන් ඇතුළත් ව්‍යවස්ථා පනත් අහෝසි කර දමයි. අරගලයේ පෙරගමන් කළ පෙරටුගාමී මධ්‍යමපාන්තික උගත් වෘත්තිකයන් පණ බේරාගැනීමට රටින් පැන යයි. පාර්ලිමේන්තුවට සහ ජනපතිට උඩින් සිටින උත්තරීතර ආගමික නායකයෙකුගෙන් සමන්විත ඉස්ලාම් දේවවාදී නව ව්‍යවස්ථාවක් සම්මත වේ.

Ayatollah 9
රෙසා ෂාහ් ඇමරිකාවට ගොඩබැසීමත් සමග කෝපයට පත්වෙන කොහ්මෙයිනිවාදීන් ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය අත්පත් කරගෙන ඇමරිකානු ජාතිකයන් පනස්දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගනී. ජාත්‍යන්තරය ගිනි ගනිමින් තිබියදී ඉමාම් කොහ්මෙයිනි එම ක්‍රියාව අනුමත කරන්නේ ඉරානය සහ ඇමරිකාව සදාකාලික සතුරන් කරමිනි.

වසර ගණනාවක් යනතෙක් ඉරානය අස්ථාවර වේ. ආර්ථිකය බිඳ වැටේ. ඉමාම් කොහ්මෙයිනි කියන ආකාරයට හැටදාහක් මිනිසුන් විප්ලවය තුළ මිය ගොස් ඇත.

ඉමාම් කොහ්මෙයිනි හැරෙන්නට අන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ ලෙස ඉරාන විප්ලවය අවසන් වන්නේ එතෙක් පැවති බටහිර ආධිපත්‍යයේ ධනවාදී සිහිනය විසින් නිර්මාණය කර තිබූ විවෘත රාජ්‍යය සුනුවිසුණු කර ඒ වෙනුවට දෘඩ ආගමික කොමිටියක් විසින් පාලනය කෙරෙන සංවෘත රාජ්‍යයක වැසියන් බවට පත්වෙමිනි.

Ayatollah 5

විප්ලව අරඹන්නට පහසුය. නමුත් සෑම විප්ලවයක්ම අවසාන කරන්නේ පෙරට වඩා දරුණු නව ආධිපත්‍යයකිනි. ඉක්මණින් හෝ පමාවී හෝ ඒ අධිපතියා පැමිණේ.

මේවා ලීවාට මේවා ගැන මා තවදුරටත් කිසිසේත්ම වදවෙන්නේ නැහැ.

@Theleader.lk

 

නවතම ලිපි