SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මගේ දික්කසාදය සමග මගේ ඡන්ද බලයද නැතිවි ය. මා අවසන් වතාවට ඡන්දය දුන්නේ 1990 ගණන් වල ය. ඒ කුමන ඡන්දය දැ යි මට මතකයක් නැත.

කෙසේ වුවද, ඊයේ (5) පාර්ලිමේන්තුවේ කතා බහ ඇසූ විට "මේ 225 ම වැඩක් නෑ" කියන කථාව මටත් පිළිගන්නට සිදුවිය. කිසිම මන්ත්‍රීවරයෙකුට, පාර්ලිමේන්තුවෙන් පිට ගොඩ නැගී ඇති හා තවත් වර්ධනය වන ජන විරෝධයේ අභියෝගයට මුහුණ දිමට හැකි කමක් නොතිබිනැ යි මට සිතින.

මා පාර්ලිමේන්තුවේ සිටියේ නම් මා කුමක් කරන්නේ ද? කෙසේ හැසිරෙන්නේ ද? රාජපක්ෂ ආංඩුව විරුද්ධ පක්ෂයට සැබෑ අභියෝගයක් එල්ල කළේ ය. "113 පෙන්වා හැකිනම් ආංඩුව බාර ගනිල්ලා" ඒ ආංඩුවේ අභියෝගය විය. ස ජ බ, ජා ජ බ, සහ නව ස්වාධීන වූවන්ට මේ අභියෝගයට උත්තරයක් නො තිබින.

මා පාර්ලිමේන්තුවේ සිටියේ නම් කුමක් කරන්නේ ද? කෙසේ හැසිරෙන්නේ ද? මා කුමන කථාවක් කරන්නේ ද?

ගරු කථානායක තුමනි, මේ ගරු සභාවේ අප පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිටින්නේ සිව් දෙනෙකු පමණක් වුවද, ඒ නිසාම, ආසන 113 වන සරල බහුතරයක් පෙන්වීම පවා අසමත් වුවද, ආංඩුව විසින් අද ඉදිරිපත් කරන අභියෝගය, -එනම්, ආංඩුවක් පිහිටුවා මෙරට අද වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීම - පිළිගැන්මට මා සහ මගේ පක්ෂය සූදානම් බව ප්‍රකාශ කිරීමට මට පළමුව ඉඩ දෙන්න. මේ අනුව මා පිහිටවන්නේ සුලුතර ආංඩුවක්. ඒත් ඒ පාර්ලිමේන්තුවේ බල සංයුතිය අනුව පමණ ය. මගේ ආංඩුව පදනම් වන්නේ මෙයින් පිටත, මේ ආංඩුවට වහාම ඉවත් වන්නැ යි හඩ නගන ජනතාව මත ය. ඒ ජනතා හඩට සවන් දෙන මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් සමහර විටෙක මගේ ආංඩුවට අවශ්‍ය බහුතරය ලබා දෙන්නටත් බැරි නැත.

මේ ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීමට මගේ ආංඩුව ඉදිරිපත් කරන යෝජනා මා විස්තරාත්මකව හෙට පාර්ලිමේන්තුව හමුවේ තබන්නම්. ඒවා පදනම් වන්නේ මූලධර්ම දෙකක් මතයි. එයින් පළමුවැන්න වන්නේ ආර්ථික අර්බුදයට මගේ ආංඩුව ඉදිරිපත් කරන ප්‍රතිකාර නිසා සමාජයේ පහළ මාලයට කිසිදු බරක් නොපැටවීම ය. දෙවැන්න, ගනුලබන පියවර නිසා අපේ විදේශ ණයකන්ද අගලකින්වත් ඉහළ යාමට ඉඩ නොදීම ය.

වර්තමාන අර්බුදය වසර 44 ක ප්‍රතිඵලයකි. බලයෙහි සිටි හැම පක්ෂයක්ම ඊට වගකිවයුතු වේ. එක්වර සිදු වූ සමාන්තර ක්‍රියාවලියන් දෙකක් මෙහිලා දැක්විය හැක. සෙසු ලෝකය සමග අපේ ආර්ථික ගනුදෙනුවලදී අපි ප්‍රදාන පදනම් කරගත් ආර්ථිකයකින් (assistance based economy) ණය පදනම් කරගත් ආර්ථිකයකට (debt based economy) මාරුවීමු. දෙවනුව, අභ්‍යන්තර රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති වලදී අප බදු රාජ්‍යයකින් (tax state) ණය රාජ්‍යයකට (debt state) මාරුවීමු. මේ ක්‍රියාවලියන් ආපහු හැරවීමට මා පිහිටවන ආංඩුව ඉදිරි වසර මුල වනවිට නිශ්චිත පදනමක් දමනු ඇත.

වර්තමාන දේශපාලන අර්බුදයට විසදුමක් ලෙස මගේ ආංඩුව 18, 19, 20 ව්‍යවස්ථා සංශෝධන ඉරා දැමීමට යෝජනා වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. මාස දෙකක් තුළ 1994 දී බැටී වීරකෝන් පෞද්ගලික මන්ත්‍රීවරයෙකු ලෙස ජනාධිපති ධූරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ආංඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නෙමු.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගේ බහුතර සහාය මේ ක්‍රියාමාර්ගයනට ලැබේයැයි මම විශ්වාස කරමි. කෙසේවුවද පාර්ලිමේන්තුවෙන් පිට ජනතාව අප සමග සිටිනබව ගැන මට ඇත්තේ බලවත් විශ්වාසයකි.

නවතම ලිපි