SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ කතාව නිර්මලා සීතාරාමන් ගැන. ඉන්දියාවේ පළමුවැනි පූර්ණකාලීන මුදල් ඇමතිනිය ගැන.

නිර්මලා උපත ලබන්නේ තමිල්නාඩුවේ මදුරායිවල. පියා රැකියාව කලේ ඉන්දියානු දුම්රිය සේවයේ. මව ගෘහණියක්. නිර්මලා ආර්ථික විද්‍යාව සඳහා ප්‍රථම උපාධිය ලබාගන්නේ තමිල්නාඩුවේ එතරම් ප්‍රකට නොවූ විශ්ව විද්‍යාලයකින්.

ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට නවදිල්ලියේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයට යාම. නවදිල්ලිය ඉන්දියාවේ දේශපාලනික අග නගරය. ඇගේ විෂයය ආර්ථික විද්‍යාව. මේ නිසා දිල්ලියේදී ඇයට ප්‍රකට ආර්ථික විද්‍යාඥයන්ට, අනෙකුත් විද්‍යාර්ථීන්ට සහ දේශපාලනඥයින්ට සවන්දීමට, හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඇය විවාහවෙන්නේ නේරු විශ්ව විද්‍යාලයේදී හමුවූ ශන්කර් සමග. ශන්කර්ට ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්වලට ශිෂ්‍යත්වයක් ලැබීම නිසා ඇය ඔහුත් සමග ලන්ඩනයට යනවා.

අපේ රටකින් මොන උපාධි අරන් සුද්දාගේ රටට ගියත් ගිය ගමන්ම ඒ සුදුසුකම්වලට රැකියා ගන්න අමාරුයි. ලේසියෙන් හොයාගන්න පුළුවන් සුපර් මාර්කට්වල, රෙස්ටෝරන්ට්වල, පෙට්‍රල් ෂෙඩ්වල රස්සා තමයි. ඒවාට අකමැති නම් ඉතින් හීල් හෙවනෙ බේබිලා බලාගන්න පුළුවන්. හැබැයි එහෙම රස්සාවකින් හරි හොඳ රෙකමදාරු තියනවා නම් ඉනිමග නගින්න පුළුවන්.

නිර්මලාගෙ මුල්ම රැකියාව වෙන්නෙ සුපර් මාර්කට් එකක වෙළඳ සේවිකාවක් වීම. ඒ රැකියාව කල ශීත ඍතුවේදී, එම ආයතනය හොඳම වෙළඳ සේවිකාව ලෙස ඇයව තෝරනවා.

නමුත් ඇය ඉනිමග සොයාගන්නවා. එක්සත් රාජධානි කෘෂි ඉංජිනේරු සංසදයේ සහකාර ආර්ථික විද්‍යාඥයෙක් ලෙසත්, සුප්‍රකට බහුජාතික සමාගමක් වූ PricewaterhouseCoopers වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙසත්, කෙටි කාලයක් බීබීසී ලෝක සේවයේත් ඇය රැකියාව කරනවා.

නැවත ඉන්දියාවට එන ඇයට දේශපාලනයට පිවිසෙන්නට අවශ්‍ය වෙනවා. ඇයගේ ස්වාමි පුරුෂයාගේ පවුලට ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය සමග ඉතා කිට්ටු සබඳතා තිබුනත් ඇගේම ගමනක් යන්නට, ඉන්දියාව වෙනස් කරාවියැයි ඇය විශ්වාස කරන කට්ටියක් හා එක්වෙන්නට ඇයට අවශ්‍ය වෙනවා. ඇය තෝරාගන්නේ භාරතීය ජනතා පක්ෂය.

2014දී ඇය ඉන්දීය පාර්ලිමේන්තුවට, ලෝක් සභාවට, තේරෙනවා. අග්‍රාමාත්‍ය මෝදි ඇයට වාණිජ කටයුතු අමාත්‍යාංශය බාරදෙනවා. ඊට හේතුව ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා ගෝලීයකරණය සහ දුප්පත් රටවලට එහි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර තිබීම.

ඇයට මුදල් අමාත්‍යාංශය බාරදෙන්නෙ 2019දි. ඒ ඇගේ විෂය දැනුම සහ කැපවීම යන කරුණු දෙකම සැලකිල්ලට ගෙන. ඇය මුදල් ඇමතිනිය වෙන්නෙ නිදහසින් පසු ඉතාමත් අභාග්‍ය සම්පන්න සමයක. කොරෝනා නිසා ඉන්දියානු ආර්ථිකය ඇකිලෙන, විරැකියාව සහ දුප්පත්කම ඉහළගිය සමයක. ඇයගේ අළුත්ම අය වැය යෝජනාවලින් ඇය පාඩු ලබන ගොඩගත නොහැකි රාජ්‍ය ආයතන තවදුරටත් මහජනයාට බරක් නොකර පෞද්ගලිකකරණයට නිර්දේශ කරනවා. එතෙක් ඉන්දීය ඒකාධිකාරයක් ලෙස පැවති රක්ෂණ සමාගම්වල ආයෝජනයට ඇය විදේශිකයන්ට ඉඩ ලබාදෙනවා. ඇයගේ යෝජනා විෂය ප්‍රවීනයන්ගේ බුහුමනට ලක්වෙනවා.

ෆෝබ්ස් සඟරාව 2021දී ලෝකයේ බලගතුම කාන්තාවන් අතුරින් 37 වැන්නා ලෙස ඇයව සඳහන් කරනවා. එම වසරේදීම ෆෝචූන් ඇයව නම් කරන්නේ ඉන්දියාවේ බලගතුම කාන්තාව වශයෙන්.

දකුණු ඉන්දියාවේ මධ්‍යම පාංතික සාමාන්‍ය පවුලක ඉපිද, තාත්තාට රැකියාවේ මාරුවීම් ලැබෙද්දී ඔහු සමග තමිල්නාඩුවේ එහා මෙහා ගිය නිර්මලා සීතාරාමන් ඉන්දියාවේ බලගතුම කාන්තාව වීම එක්තරා ආකාරයක සුරංගනා කතාවක්. ඒ ගැන ඇය කියන්නෙ මෙහෙමයි. "මගේ ඉරණම මට අවස්ථාවන් දුන්නා. මම ඒ හැම අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජන ගත්තා".

හැබැයි මට නම් මේ කතාවේ නොකියවෙන වීරයා මෝදි. ඔහුට වඩා ඉහළ අධ්‍යාපන සහ වෘත්තීය පසුබිමෙන් යුතු අයව හීනමානයකට ගොදුරු නොවී දේශපාලනයට එන්නට ඔහු අවස්ථා දුන්නා. ගැලපෙන තනතුරු දුන්නා. එයින් හැමෝම ගොඩ යන බව ඔහු වටහාගෙන තිබුනා.

නවතම ලිපි