SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙලා තියෙන කියමනක් තමයි ‘මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි’ යන්න.

මෙය ‘රොබට් නොක්ස්’ කියූ විශේෂ කාරණාවක් විදියට තමයි ‘එදා හෙළ දිව’ කියන පරිවර්තන කෘතියේ සඳහන් වන්නේ. එයින් ගොවියාව උත්කර්ශයට නැංවෙනවා.

එහෙත් ඇත්තවශයෙන්ම ඒ වචන එහෙමම තිබුණත් එවැනි අදහසක් ඒ කෘතියේ නැහැ. නැත්නම් ඒ ප්‍රකාශයේ තිබෙන්නේ එහෙම අදහසක් නෙවෙයි. මහනුවර එක්තරා  ප්‍රදේශයක් සිහිකැඳවමින් නොක්ස් කියනවා, ‘සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ සිටින ජනයාගේ සමාජ තත්ත්වය ඉතාමත් ඉහළයි. නැත්නම් ඔවුන් ඉහළ ප්‍රභූත්වයක් තිබෙන අයයි. සමාජීය විදියට ඒ අය කොයිතරම් ඉහළ ද කියනවා නම් ඒ අය කුඹුරේ මඩ සෝදාගත් පසුව රජකමටත් සුදුසුයි’ කියලා. ඒ පළාතට අයත් ප්‍රදේශයේ ජනයා තත්වයෙන් බොහෝ උසස් බව පෙන්වීමට කියැවුණු කතාවක් තමයි. මේ පැත්තේ කුඹුරක මඩ ගාගෙන ඉන්න කෙනෙක් වුනත් මඩ හෝදල ගත්තම රජකමට උනත් සුදුසුයි කියලා කියන්නේ. නොක්ස්ගේ අර්ථයෙන්, එහි අදහස එහෙමයි.

මෙම ප්‍රකාශය හරියට තේරුම් ගත්තොත්, මෙය ගොවියා පිළිබඳව උසස් අදහසක් ලබා දෙන වැකියක් නොවෙයි. මෙය ඇත්තවශයෙන්ම ගොවියා පහත් කරන අදහසක්. නිදසුනකින් කිව්වොත් සුනිල් ආරියත්න ලියපු ගීිතයක තියෙනව මෙහෙම දෙයක් ‘දෙමළා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු’ කියලා. මෙය හරියට අන්න ඒ වගේ කතාවක්. තිරය පිටුපස තිබෙන අදහස තමයි දෙමළා සාමාන්‍යයෙන් නරකයි, නමුත් සමහර දෙමළ අය ඉන්න පුළුවන් හොඳ අය. එහෙම අයට දෙමළකම නොතකා, සුදනෝ නිසා පුටුව දෙන්නය කියලා එහි කියනවා. මේ ගීතය ලියපු මහාචාර්ය ‘සුනිල් ආරියරත්නගේ’ අරමුණ කුමක් වුවත් ප්‍රකාශයේ කියැවෙන්නේ එවැනි දෙයක්. දෙමළා ගැන සමාජයේ තිබෙන අගතිය එයින් ගම්‍ය වෙනවා.

පොතක කතාවක් තිබෙනවා, ‘හැරියට් දෙමළය, එහෙත් ඇය ලස්සනය…’ කියලා. එයින් කියන්නේ සාමාන්‍යයෙන් දෙමළ අය කැතයි, නමුත් මේ හැරියට් නැමැත්තිය හරිම ලස්සනයි කියලයි.සමාජයේ තිබෙන අගතීන් නිසා තමයි මෙවැනි ප්‍රකාශ සිදුවන්නේ.

දැන් නැවත ගීතය ගැන කල්පනා කළොත්, ගීයේ රචකයා හිතා මතා දෙමළ ජනයාට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි මෙය ලියා තිබෙන්නේ. නමුත් එයා ලියන සමාජ පසුබිමේ දෙමළ අය සම්බන්ධයෙන් සමාජ අගතියක් තිබෙනවා. ඒ සමාජ අගතිය නිසාම එවැනි දේ ලියැවෙනවා. මිනිසෙකුගේ වර්ගය දිහා නොබලා, මිනිසාගේ හොඳ නරක බලන්නය කියන කාරණය තමයි රචකයාට මෙහි කියන්න ඕන වෙලා තිබෙන්නේ. මිනිසෙක් චණ්ඩාලයෙක් වෙන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නෙවෙයි කියලා බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ. ඒ වගේ දෙයක් තමයි ගීත රචකයාත් මෙහි කියන්නේ. නමුත් සමාජ අගතිය සමඟ රචකයා භාෂාව සමඟ පැටළී තිබෙන බව පේනවා.

‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි’ යන්න ඊට සමානයි. මෙහි කියැවෙන්නේ සාමාන්‍යයෙන් ගොවීන් රජකමට සුදුසු නැහැ කියලයි. නමුත් මේ ප්‍රදේශයේ සිටින ජනයා උසස් අයයි කියන කාරණය එහි මතු කරනවා. මේ ප්‍රදේශයේ ජීවත්වන ගොවියෙක් උනත්, එයා උසස් කෙනෙක්. එයින් කියැවෙන්නේ සාමාන්‍යයෙන් ගොවීන් උසස් නැහැ යන්න බව නැවත සිහිපත් කළ යුතු වෙනවා.

සමාජමය වශයෙන් ගත් විට ගොවියා සාමාන්‍යයෙන් රජකමට සුදුසු නැහැ යන්න මෙයින් සනාථ වෙනවා. කෙසේවුවත්, මෙම වැකිය අද අප මේ භාවිත කරන්නේ සම්පූර්ණයෙන්ම විරුද්ධාර්තයක් ලෙස භාරගෙනයි. ‘එදා හෙළදිව’ කෘතියේ පරිවර්තක ඩේවිඩ් කරුණාරත්න මහතා පොතේ මෙම වැකිය තද කළු (බෝල්ඩ්) කර තිබෙනවා. ලංකාවේ දේශපාලනය ගැන සිතා බැලුවොත්, එය මූලික වශයෙන් සැකසෙන්නේ ග්‍රාමීයවයි. සාමාන්‍යයෙන් ග්‍රාමීය මැද පන්තිය තමයි ලංකාවේ දේශපාලනයේ ගාමක බලවේගය වන්නේ. 1956 දේශපාලන කාරණය එය සනාථ කරන තැනක්. ගොවිතැන වර්ධනය කිරීම ලංකාවේ ප්‍රධාන ආර්ථික කටයුත්ත විදියට මතු වෙනවා. එය අදටත් එහෙමයි. එවැනි කාලයක මේ අදහස විරුද්ධාර්ථයෙන් මතු වීම සාමාන්‍යයයි. එහිදී වෙන්නේ කුමක්ද?

‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි’ යන වැකිය මුල් අවස්ථාවේ ලියන ලද සන්දර්භය පැත්තකට විසි වෙනවා. පසුව එයට වෙනම අර්ථයක් උත්පාදනය වෙනවා. එය සම්පූර්ණයෙන්ම පශ්චාත් යටත් විජිත රාජ්‍ය සැකසෙද්දී ගොවීන් පිළිබදව තිබෙන දෘෂ්ඨිවාදය මත සිදුවන්නක්. අද ගොවියෙකුගේ පුතෙක් කියන්නේ වෙනම කතාවක්. ජේ.ආර්. ජයවර්ධන, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අය ගොවිකම සහ ගොයියා යන්න බදා ගත් අවස්ථා තිබෙනවා. ගොවියාගේ පුතායැ යි කීම අද දෘෂ්ටිවාදීව උත්කර්ශවත් වස්තුවක් වෙලා තිබෙනවා. රොබට් නොක්ස්ගේ නිර්වචනය අද විකෘති වෙලා තියෙන්නේ. නැත්නම් විකෘති කරගෙන තිබෙන්නේ. ඒ විකෘතිය තුළ අද වන විට ‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි’ යන්න ගොවියා වෙනුවෙන් අඹරපු දාර ලණුවක් වෙලා තිබෙනවා.

 

@ පවිත්‍රා රූපසිංහ

(මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි‍.)

 Sathiya.lk

නවතම ලිපි