කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත ආසියා කැපිටල් පීඑල්සී (Asia Capital PLC) සමාගම
වෙනත් ආයතනයක් විසින් අත්පත් කරගැනීමට යන බවට පසුගියදා වෙළඳපොළ තුළ කටකතාවක් පැතිරිණි. සමාගම වහාම එම වාර්තා ප්‍රතික්ෂේප කළ අතර, එහිදී වඩාත් අවධානයට ලක්වූයේ සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වන විජය ඊශ්වරන් ප්‍රසිද්ධියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමයි. කොවිඩ් වසංගතයෙන් පසුව තමා ඩොලර් මිලියන 3ක නව ආයෝජනයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.
මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ තුළ මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින විජය ඊශ්වරන් යනු හොංකොං හි මූලස්ථානය පිහිටි QI Group හි විධායක සභාපතිවරයාය. එසේම ඔහු ලොව පුරා දැඩි කතාබහකට ලක්වූ QNet (පෙර නාමය GoldQuest / QuestNet) බහු-මට්ටමේ අලෙවිකරණ ජාලයේ මූලික සංකල්පිත නිර්මාතෘවරයා ලෙසද ජාත්‍යන්තර මාධ්‍යවල හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව, 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ පිරමීඩ ආකාරයේ ව්‍යාපාර මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම හෝ පවත්වාගෙන යාම තහනම් කර ඇත. ඊට සමගාමීව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති තහනම් පිරමීඩ සමාගම් ලැයිස්තුවේ QNet / Questnet නාමයද පැහැදිලිව අන්තර්ගත වේ.

මහ බැංකුවේ තහනම් ලැයිස්තුවේ නම සඳහන් ජාලයක නිර්මාතෘවරයෙකු, කොළඹ කොටස් වෙළඳපොළේ සමාගමක 71.6% ක දැවැන්ත කොටස් හිමිකාරීත්වයක් දරන්නේ කෙසේද යන්න මෙහිදී මතුවන ප්‍රධාන නෛතික සහ නියාමන ගැටලුවයි. ප්‍රසිද්ධ කොටස් වෙළඳපොළ වාර්තාවලට අනුව, මෙම ආයෝජන සිදුකර ඇත්තේ සෘජුවම ඔහුගේ නමින් නොව, මැලේසියාවේ ලියාපදිංචි 'Fast Gain International Limited' වැනි විදේශීය ප්‍රොක්සි සමාගම් හරහාය.
ජාත්‍යන්තර තලයේදී ඉන්දියාවේ මුම්බායි පොලිසියේ ආර්ථික වැරදි විමර්ශන අංශය (EOW) ඇතුළු විමර්ශන ආයතන ගණනාවක් ඔහුට එරෙහිව පරීක්ෂණ නියෝග නිකුත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී ඇත. එහෙත්, නීතිමය වශයෙන් ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයකින් ඔහුට එරෙහිව පෙර වරදකරු කිරීමක් සිදුකර නොමැති වීම, මෙම ආයෝජන පවත්වාගෙන යාමට ඇති ප්‍රධානතම නෛතික ආවරණයයි.

ආයතනික ආවරණය නමැති නීතිමය සංකල්පය යටතේ විදේශීය සමාගම් හරහා ආයෝජනය කිරීම නීතිවිරෝධී නොවේ. එබැවින්, නිල බැංකු මාර්ග හරහා විදේශ විනිමය ලෙස මෙම අරමුදල් ගලා එන විට, ඒවා අත්හිටුවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට හෝ මූල්‍ය බුද්ධි ඒකකයට පවතින්නේ සීමිත තාක්ෂණික බලතල ප්‍රමාණයකි.
කෙසේ වෙතත්, ආසියා කැපිටල් සමාගමේ අභ්‍යන්තර මූල්‍ය ක්‍රියාකාරිත්වයද නියාමකයින්ගේ අවධානයට ලක්විය යුතු මට්ටමක පවතී. මෑතකදී සිංගප්පූරුවේ CC Trust Pte Ltd සමඟ ඇතිවූ ඩොලර් මිලියන 6 ක අධිකරණමය ආරවුල සමාගම විසින් අධිකරණයෙන් පිටතදී විසඳා ගනු ලැබුවද, සමාගමේ 2024 සහ 2025 විගණන වාර්තාවල අඛණ්ඩව 'කොන්දේසි සහිත මත' පළ වී තිබීම ආයෝජකයින්ට අවධානයෙන් සිටීමට ලබාදෙන පැහැදිලි සංඥාවකි.
ප්‍රාග්ධන වෙළඳපොළේ විනිවිදභාවය සුරැකීම සඳහා නියාමන ආයතන සතු නීතිමය ආයුධ තවදුරටත් මුවහත් කළ යුතුව ඇත. මෑතකදී සම්මත වූ 2025 අංක 5 දරන අපරාධවලින් ලබන ආදායම් පනත (POCA) සහ ලැයිස්තුගත සමාගම්වල සැබෑ හිමිකරුවන් හෙළිදරව් කරන අවසාන ප්‍රතිලාභී හිමිකාරීත්ව (UBO) නීති දැඩිව ක්‍රියාත්මක කිරීම ඊට ඇති එකම විසඳුමයි. විදේශීය සමාගම් හරහා ගලා එන මුදල්වල නියම හිමිකරුවා කවුරුන්දැයි සෙවීමට නියාමකයින් අපොහොසත් වන්නේ නම්, දේශීය මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය බරපතල අර්බුදයකට ලක්වීම වළක්වාලිය නොහැක.
පෙර ලිපි සබැඳි -
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් වී ඇති විජය ඊශ්වරන්ගේ දේපළ තවමත් රටතුළ ලාභ උපයන්නේ කෙසේද?
නීතියේ යදම් බිඳින 'සමාගම් ආවරණය'
Shielded by the Veil: How Fugitive Wealth Thrives in Sri Lanka's Capital Markets

