එළැඹෙන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී
පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීම සඳහා රජයේ සහනාධාරයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අකුරැස්සේ පැවති ජන රැලියක් අමතමින් ප්‍රකාශ කළේය.
පෙනෙන තලයේදී මෙය හුදු ජනතා සහනයක් ලෙස අර්ථකථනය කළ හැකි වුවද, මෙම ප්‍රකාශය අභ්‍යන්තරයේ සැඟවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන විදේශීය සමාගම් වෙත නිකුත් කළ දැඩි අනතුරු ඇඟවීමකි; නැතහොත් පැහැදිලි රතු එළියකි.
ජනාධිපතිවරයා සිය කතාවේදී පවතින තත්වය පැහැදිලි කළේ මෙලෙසිනි.
"ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට අනුව ඔක්තෝබර් මාසයේදී ඉන්ධන මිල ඉහළ නැංවිය යුතුයි. ආනයනික ඉන්ධන මිල සහ මිල සූත්‍රය මත පිරිවැය ගණනය කිරීමේදී ලබන මස පළමුවැනිදා සිට මෙම මිල ඉහළ යාම සිදුවෙනවා. නමුත් ජනතාව මත විශාල බරක් වැටෙන විට, එය සම්පූර්ණයෙන්ම ඔවුන් මත පැටවිය නොහැකියි. ඒ බර ලිහිල් කිරීමට රජය යම් සහනයක් ලබා දිය යුතු වෙනවා."
ජනාධිපතිවරයාගේ මෙම කතාවේ "නොකියා කියන" සැබෑ කතාව තේරුම් ගැනීමට නම්, වත්මන් දේශපාලන හා ආර්ථික සන්දර්භය කියවා ගත යුතුය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් දැනට පවතින මිල සූත්‍රයට අනුව අනිවාර්යයෙන්ම තෙල් මිල ඉහළ දැමීමට රජයට සිදුව ඇත. එහෙත්, දිවයින පුරා ජනතාව අමතමින් ඉදිරි දේශපාලන මෙහෙයුම්වල නිරත වන මාලිමා ආණ්ඩුව, මේ මොහොතේ කිසිසේත්ම ජනතා විරෝධයක් ඇවිළෙනු දැකීමට කැමති නැත.
අසීරු අවස්ථාවක කටයුතු කරන ජනතාව මත අමතර බරක් පැටවීම යනු සෘජුවම ආණ්ඩුවට එරෙහිව ජන විරෝධයක් නිර්මාණය වීමකි. ඒ බව මැනවින් දන්නා ආණ්ඩුව, හැකිතරම් ජන විරෝධයන් අවම කිරීමේ සැළසුමකට අනුව යමින්, භාණ්ඩාගාරයට බරක් වුවද සහනාධාරයක් ලබා දෙමින් හෝ මිල පාලනය කර තබා ගැනීමට උපරිම උත්සාහයක් දරමින් සිටී.
මෙම දේශපාලනික හා ආර්ථික සමීකරණය තුළ සෘජුවම ඉලක්ක වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ නිරත වන විදේශීය සමාගම් ත්‍රිත්වයයි.
මෑත කාලයේදී මෙම විදේශීය සමාගම් විසින් සිය අභිමතාර්ථයන් වෙනුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ නංවා සංශෝධනය කළ යුතු බවට විවිධ පාර්ශ්ව හරහා ඉඟි පළ කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟම එම සමාගම්වල අපේක්ෂාවන්ට වැටෙන්නේ දැවැන්ත අගුලකි. ලෝක වෙළඳපොළේ මිල උච්චාවචනයන් හමුවේ පවා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවා රජය සහනාධාර සපයන පසුබිමක, විදෙස් සමාගම් පවසන ආකාරයේ මිල ඉහළ නැංවීමක් හෝ ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමක් වත්මන් රජය කීයටවත් කරන්නේ නැත.
වෙනත් වචනවලින් කිවහොත්, රජය ඉතා අසීරුවෙන් ජාතික අර්බුදයක් කළමනාකරණය කරමින් සිටින මොහොතක, විදෙස් තෙල් සමාගම්වල වුවමනාවන් වෙනුවෙන් ජනතාව බිල්ලට දීමට ආණ්ඩුව සූදානම් නැත. එබැවින්, විදෙස් සමාගම් විසින් ඉල්ලා සිටින කිසිදු අතිරේක මිල සංශෝධනයකට වත්මන් රජය ඉඩ නොතබන බව ජනාධිපතිවරයාගේ කතාවෙන් ඉතා සූක්ෂමව එහෙත් තියුණු ලෙස දන්වා ඇත.
මෙය, ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ සිය අණසක පතුරුවාගෙන සිටින විදේශීය ඛනිජ තෙල් සමාගම්වලට, නව රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය හා තීරණ ගැනීමේ සීමාවන් පිළිබඳව දැල්වූ පැහැදිලි රතු එළියක් මිස අන් කවරක්වත් නොවේ.

