SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අයර්ලන්ත මහ බැංකුව. ඡායාරූපය: Getty

ටිම් හීලි (Tim Healy) විසිනි.

 

"මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය" යනු ලොව පුරා මහ බැංකු සහ මූල්‍ය නියාමන ආයතන විසින් සියලු ප්‍රශ්න කිරීම්

වසා දැමීම සඳහා යොදා ගන්නා අදෘශ්‍යමාන පලිහකි. එය හුදෙක් ආර්ථික සංකල්පයකට වඩා, ඕනෑම අත්තනෝමතික තීරණයක් සාධාරණීකරණය කළ හැකි සර්වබලධාරී මතවාදයක් (Ideology) බවට පත්ව ඇත. මේ මනඃකල්පිත බිල්ලන් මවාපාමින්, ආයතනික අභිමතය (Institutional Discretion) නීතියට සහ යුක්තියට ඉහළින් ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයට එරෙහිව අයර්ලන්ත මහාධිකරණයෙන් පසුගියදා ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව, සමස්ත ගෝලීය මූල්‍ය නියාමන අවකාශයටම කදිම පාඩමකි.

 

 

ආයෝජන අරමුදල් කළමනාකරුවෙකුට වෘත්තීය තහනමක් පැනවීම සම්බන්ධයෙන් අයර්ලන්ත මහ බැංකුවට එරෙහිව ලබා දුන් මෙම තීන්දුව, හුදෙක් පරිපාලනමය දෝෂයක් නිවැරදි කිරීමක් නොවේ; එය "මූල්‍ය ස්ථාවරත්වය" නැමැති කඩතුරාවට මුවා වී නිලධාරිවාදය විසින් සිදු කරන කෲර දඩයම් කිරීම් අධිකරණය ඉදිරියේ නිරුවත් කිරීමකි.

 

 

සැබෑ අර්බුදය ද, නැතහොත් බලය පෙන්වීමේ නාටකය ද?

මහ බැංකුව මෙම කළමනාකරුට වෘත්තීය තහනමක් පනවමින් තර්ක කළේ, එසේ නොකළහොත් එය "මූල්‍ය පද්ධතියට බරපතල හානියක් වළක්වා ගැනීමට අපොහොසත් වීමක්" වනු ඇති බවයි. මෙය ඉතා සූක්ෂම මනෝවිශ්ලේෂණාත්මක යෙදුමකි. අතිශයෝක්තියෙන් මවන ලද එම ‘බරපතල හානිය’ හරහා, මහ බැංකුව උත්සාහ කළේ විමර්ශනයේ පැවති හිස්බව සහ සාධාරණ ක්‍රියාපටිපාටියේ අඩුව වසා ගැනීමටයි. මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතභාවය නම් අතිඋතුම් පරමාර්ථය වෙනුවෙන් පුද්ගලික අයිතිවාසිකම් සහ ස්වාභාවික යුක්තිය බිලිදීම සාධාරණ යැයි ඔවුහු ව්‍යංගයෙන් පැවසූහ.

 

නමුත් මහාධිකරණ සභාපති විනිසුරු ඩේවිඩ් බාර්නිවිල් (David Barniville) එම මනඃකල්පිත තර්කයේ සළුපිළි ගලවා දැමීය. මහ බැංකුවේ විමර්ශනය තුළ තිබුණේ "සැලකිය යුතු සහ බරපතල වැරදි මාලාවක්" බව විනිසුරුවරයා අවධාරණය කළේය.

 

 

සාක්ෂි නැති චෝදනා සහ අත්තනෝමතික අභිමතය

මහ බැංකුවක් තම නියාමන බලය භාවිතා කළ යුත්තේ කරුණු සහ සාක්ෂි මත පදනම්වය. එහෙත් මෙහිදී මහ බැංකුව ක්‍රියා කර ඇත්තේ තමන්ගේ තනි අභිමතය මුළුමනින්ම නීතිය බවට පත් කරගනිමිනි:

 

වාචික විභාගයක් නොමැති වීම:
චෝදනා එල්ල වූ පුද්ගලයාට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවම වශයෙන් වාචිකව කරුණු දැක්වීමට (Oral hearing) අවස්ථාවක් ලබා නොදීම, විනිසුරුවරයා දුටුවේ "සිතාගත නොහැකි" අගතියක් ලෙසිනි.

 

සාක්ෂි වසන් කිරීම:

විමර්ශකයා විසින් අදාළ කළමනාකරුගෙන් හෝ ඔහු නම් කළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කර නොතිබුණි. ඊටත් වඩා හාස්‍යජනක කරුණ නම්, කළමනාකරු විසින් 'නොමඟ යවන ලදැයි' කියන මහ බැංකු නිලධාරීන්ගෙන් පවා කිසිදු සාක්ෂියක් සටහන් කරගෙන නොතිබීමයි.

 

 

මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? මහ බැංකුවට සැබෑ සත්‍යය සෙවීමේ වුවමනාවක් නොතිබූ බවයි. ඔවුන්ට අවශ්‍ය වූයේ කල්තියා තීරණය කළ නිගමනයකට එළඹීම සඳහා විමර්ශනයක් සිදු කරන බවට මවාපෑමක් කිරීම පමණි.

 

 

රාජකාරිය පියවීමේ ප්‍රෝඩාව

2021 සැප්තැම්බරයේදී මහ බැංකු නිලධාරියෙකු අදාළ කළමනාකරු හමුවී ඇති නමුත්, විනිසුරුවරයා එය හැඳින්වූයේ හුදෙක් "රාජකාරියක් පියවීමේ" (box-ticking exercise) හිස් සහ නිෂ්ඵල ක්‍රියාවක් ලෙසිනි. නිලධාරිවාදය තමන්ගේ වැරදි වසා ගැනීමට කොතරම් කෘතිම සහ මතුපිටින් ඔපදැමූ ක්‍රමවේද භාවිතා කරන්නේද යන්න මින් මනාව තහවුරු වේ. එය යුක්තිය ඉටු කිරීමක් නොව, යුක්තිය ඉටු කළා යැයි පෙන්වීමේ කඩදාසි පිරවීමේ ක්‍රියාවලියක් පමණි.

 

 

මූල්‍ය නියාමකයන්ට ලැබුණු අතුල් පහර

අවසානයේදී, පුද්ගලයෙකුගේ කීර්ති නාමය සහ ජීවනෝපාය විනාශ කර දමමින් මහ බැංකුව පැනවූ තහනම මහාධිකරණය විසින් කුණු කූඩයට දමන ලදී. ඒ වෙනුවෙන් කළමනාකරුට දැරීමට සිදුවූ නීතිමය ගාස්තු පවා ගෙවන ලෙස මහ බැංකුවට නියෝග කෙරිණි.

 

 

මෙම නඩු තීන්දුව හුදෙක් එක් ආයෝජන කළමනාකරුවෙකුගේ ජයග්‍රහණයක් පමණක් නොවේ. එයින් ලබා දෙන ප්‍රබලම පණිවිඩය වන්නේ, "මූල්‍ය ස්ථාවරත්වය" නැමැති කඩතුරාවට මුවා වී ආයතනික ආධිපත්‍යය පතුරුවන, විනිවිදභාවයෙන් තොරව තීන්දු තීරණ ගන්නා සියලුම මහ බැංකු සහ නියාමන අධිකාරීන් වෙත එල්ල කළ දැඩි අනතුරු ඇඟවීමකි. නියාමනය යනු අත්තනෝමතික දඩයමක් නොවන බවත්, බලය ක්‍රියාත්මක කිරීමේදී ස්වාභාවික යුක්තිය කිසිසේත්ම බැහැර කළ නොහැකි බවත් මෙම තීන්දුව මගින් යළිත් වරක් තහවුරු කර තිබේ.

 

 

නවතම ලිපි