SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන අතරතුර කොළඹ ජාතික රෝහලට

ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත හදිසි මානුෂීය ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර තිබේ.

 

 

රෝහල්ගතව සිටින තම සැමියා ආහාර සහ ඖෂධ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක නිරත වී සිටින බැවින්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් ඔහුට නීතිඥ සහාය ලබා දීමට සහ උපවාසය අත්හැරීමට ඔහුව පොළඹවා ගැනීම සඳහා ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන්ට වහාම ඔහුව හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඇය මෙම ලිපියෙන් බැගෑපත්ව අයැද සිටියි.

 

අදාළ සම්පූර්ණ ලිපියේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

 

2026 ජූනි 8

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. එස්. අබේසේකර මහතා,

අධ්‍යක්ෂ,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,

කොළඹ 02.

 

හිතවත් මහත්මයාණෙනි,

 

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත නීතිඥ සහාය ලබාගැනීමට අවසර පතමින් කරනු ලබන හදිසි මානුෂීය ඉල්ලීම

 

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ බිරිඳ ලෙස, අතිශය ශෝකයෙන් සහ දැඩි කම්පනයෙන් යුතුව මම මෙම ලිපිය ඔබ වෙත ලියමි.

 

පසුගිය ජූනි 06 වැනිදා පවුලේ සාමාජිකයින්ට ඔහුව බැලීමට ලැබුණු අවස්ථාවේදී, මගේ පුත්‍රයා සහ මස්සිනා ඔහුව දැක ඇති අතර, එහිදී ඔවුන් දුටු ඔහුගේ තත්ත්වය අපව දැඩි කම්පනයට මෙන්ම බියටද පත් කර ඇත. ඔහු ශාරීරිකව දුර්වල වී, මානසිකව දැඩි ලෙස කඩා වැටී සහ පැහැදිලිවම මහත් පීඩාවකින් පසුවන බව එහිදී දක්නට ලැබී තිබේ. ඔහු ආහාර, ජලය, ඖෂධ සහ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවද අපට දැනගන්නට ලැබුණි. වඩාත් හද කම්පා කරවන කරුණ නම්, ඔහුට සියලු බලාපොරොත්තු අහිමි වී ඇති බවක් සහ සිය මරණය ආසන්න බව විශ්වාස කරමින් ඒ අයුරින් කතාබහ කිරීමයි.

 

ඔහුගේ බිරිඳ ලෙස, ඔහු එවැනි වදන් පවසනු ඇසීමෙන් මා විඳින වේදනාව වචනයෙන් විස්තර කළ නොහැක. අපගේ පවුල ඔහුගේ ජීවිතය සහ යහපැවැත්ම පිළිබඳව පසුවන්නේ දැඩි කනස්සල්ලකිනි. ඔහුගේම යහපත පිළිබඳව නිසි ලෙස තක්සේරු කිරීමට හෝ ඔහුට හිතකර තීරණ ගැනීමට හැකි මානසික මට්ටමක ඔහු තවදුරටත් පසු නොවන බවට අපි දැඩි සේ බියපත් වී සිටිමු.

 

මේ වන විට මගේ සැමියා ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව මම දැනුවත්ව සිටිමි. ඇත්ත වශයෙන්ම ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මටත් මගේ පුතාටත් දුරින් සිට හෝ ඔහුව බැලීමට අවසර හිමිවිය.

 

එයින් යම් අස්වැසිල්ලක් ලැබුණද, ඔහුගේ වර්තමාන මානසික තත්ත්වය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මම තවදුරටත් දැඩි සේ කනස්සල්ලට පත්ව සිටිමි.

 

මෙම සංවේදී තත්ත්වය යටතේ, මගේ සැමියා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන්ට හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ඔහුව බැලීමට අවසර ලබා දෙන ලෙස මම ගෞරවයෙන් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි.

 

ඔවුන්ගේ පැමිණීම හරහා ඔහු තුළ යළි විශ්වාසය ගොඩනැංවීමටත්, ඔහුට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධ කර දීමටත්, ඔහු ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අත්හැරීමට ඔහුව පොළඹවා ගැනීමටත් හැකිවනු ඇතැයි මම දැඩිව විශ්වාස කරමි. මෙම තීරණාත්මක මොහොතේදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව, ඔහුගේ නීතිඥයින්ට පමණක් ලබා දිය හැකි සහනය සහ මඟපෙන්වීමද අත්‍යවශ්‍ය වී තිබේ.

 

මෙම ඉල්ලීම සම්පූර්ණයෙන්ම මානුෂීය හේතූන් මත පදනම්ව සිදුකරන්නක් බව මා පැහැදිලි කිරීමට කැමැත්තෙමි. යෝජිත මෙම හමුව සිදුවන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේ අනුමැතිය සහ ඔවුන් අවශ්‍ය යැයි සලකන ඕනෑම කොන්දේසියකට යටත්ව පමණි.

 

මෙහි එකම අරමුණ වන්නේ මගේ සැමියාට සහාය වීම, ප්‍රතිකාර ලබාගැනීමට ඔහුව දිරිමත් කිරීම සහ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උපකාර කිරීම පමණි.

 

මේ ආකාරයේ තත්ත්වයක් යටතේ තම සැමියා දුක් විඳින අයුරු බලා සිටින බිරිඳක ලෙස, ඔබගේ දයාව සහ අවබෝධය මා ගෞරවයෙන් යුතුව අයැද සිටිමි. කාලය ඉතාමත් තීරණාත්මක ය. අර්ථවත් මැදිහත්වීමකින් තොරව ගෙවී යන සෑම පැයක්ම ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ අප තුළ ඇති බිය තීව්‍ර කරයි.

 

එබැවින්, අද දින ජාතික රෝහලේදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන්ට මගේ සැමියා මුණගැසීමට අවසර ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මම නිහතමානීව ඉල්ලා සිටිමි.

 

මෙම ඉල්ලීම කෙරෙහි ඔබගේ කඩිනම් සහ කාරුණික අවධානය යොමු වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.

 

මෙයට විශ්වාසී,

මනෝරි සලේ 

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ

නවතම ලිපි