SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය 2023 වසරේදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත

(ICCPR) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) සිය බලවත් කනගාටුව සහ සමාව ප්‍රකාශ කළේය.

දින 39ක් පුරා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම හරහා ඇගේ කීර්ති නාමයට, ගෞරවයට මෙන්ම ඇයට මුහුණදීමට සිදුවූ මානසික සහ චිත්තවේගීය පීඩාව සම්බන්ධයෙන් ඔහු සිය ලිඛිත සමාව අයදීම මගින් කරුණු දක්වා තිබිණි.

 

 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම සමථයට පත්වීම අගය කළ අතර, ඉදිරියේදී ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් සති දෙකක් ඇතුළත නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බවද මෙහිදී අනාවරණය විය.

 

 

මෙම සිදුවීමේ සැබෑ වැදගත්කම

 

මෙය ශ්‍රී ලංකාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයකි. ශක්තික සත්කුමාරගේ සිට අහ්නාෆ් ජසීම් දක්වාත්, ඉන් අනතුරුව නතාෂා එදිරිසූරිය දක්වාත් අත්තනෝමතික ලෙස විරුද්ධ මත මර්දනය කිරීමට යොදාගත් ICCPR පනත යනු හුදු "අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්" නොවන බවත්, එය අවභාවිත කිරීම නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ හැකි බවත් මෙමගින් තහවුරු වී ඇත. පොලිස්පතිවරයාගේ නව මාර්ගෝපදේශ හරහා ඉදිරියේදී මෙවැනි අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වළක්වා ගැනීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලැබූ ජයග්‍රහණයකි.

 

 

 

අත්අඩංගුවට ගැනීමට වඩා භයානක වූ නීතිපති දෙපාර්තමේන්තුවේ "සදාචාර පොලිස්" භූමිකාව

 

 

CID නිලධාරියා සිය රාජකාරිය ඉක්මවා යාම සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ යටහත් පහත්ව සමාව අයැද සිටියද, මාධ්‍යකරණයේ නිදහස් තීරයේ සිට විමර්ශනාත්මකව බැලීමේදී මීට වඩා බරපතළ ඛේදවාචකයක් නතාෂාගේ නඩු විභාගය අතරතුර කොළඹ මහාධිකරණයේදී සිදුවිය. ඒ, ඇයව ශාරීරිකව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාගේ ක්‍රියාවටත් වඩා, රජයේ නීතිඥවරයා ලෙස පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්  විසින් අධිකරණය හමුවේ ඇයගේ චරිතය සහ මානසික සෞඛ්‍යය ඝාතනය කිරීමට දැරූ උත්සාහයයි.

 

 

2023 ජූලි 05 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  ඉදිරියේ නතාෂාගේ ඇප අයදුම්පත සලකා බැලූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ අදහස් අධිකරණ සහ මාධ්‍ය වාර්තා තුළ පැහැදිලිව සටහන් වී ඇත. ඔහු නීතිමය තර්කවලින් ඔබ්බට ගොස් විත්තිකාරියගේ පෞද්ගලිකත්වයට සහ මානසික සෞඛ්‍යයට පහර දුන්නේය:

 

  1. මානසික සෞඛ්‍යය ආයුධයක් කර ගැනීම: දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ නතාෂා එදිරිසූරිය 2017 වසරේ සිට 'විෂාදය' (Depression) රෝගයට ප්‍රතිකාර ගන්නා බවත්, ඇය තුළ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවන් (suicidal tendencies) ඇති බවට වෛද්‍ය වාර්තා ඇති බවත්ය. එපමණක් නොව, "මෙසේ මානසික රෝගී තත්ත්වයක් ඇති තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් කිරීමට යාම කොතරම් භයානකදැයි තේරුම් ගත යුතු" බව ඔහු ප්‍රකාශ කළේය. නීතිපති දෙපාර්තමේන්තුව වැනි උත්තරීතර ආයතනයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, සායනික මානසික සෞඛ්‍ය තත්ත්වයක් (Clinical Depression) අපරාධයක් හෝ සමාජයට තර්ජනයක් ලෙස අර්ථකථනය කිරීම අතිශය පසුගාමී සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.
  1. ආදායම ප්‍රශ්න කිරීම: ඇය යූටියුබ් නාලිකාව හරහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයන බව පවසමින් එය අපරාධයක් සේ හුවා දැක්වීමට ඔහු උත්සාහ කළේය. එහිදී මහාධිකරණ විනිසුරුවරයාට මැදිහත් වී "එලෙස මුදල් ඉපැයීම නීතිවිරෝධීද?" කියා ඇසීමට පවා සිදුවිය.
  1. සදාචාරාත්මක විනිශ්චයන්: ඇගේ වචන "අසභ්‍ය මෙන්ම අශ්ලීල" යැයි පවසමින් නීතිමය කරුණුවලට වඩා සදාචාරාත්මක පොලිස්කාරයෙකුගේ භූමිකාවකට ඔහු පණ පෙවීය.

 

සමාව දිය යුත්තේ කාටද?

 

අධිකරණයට අපහාස නොවන සීමාවේ සිට විග්‍රහ කරන්නේ නම්, කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එදින ලබා දුන් ඓතිහාසික නියෝගය හරහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මෙම පදනම් විරහිත තර්ක සියල්ල නිෂ්ප්‍රභ කෙරිණි. "යමක් ඉදිරිපත් කළ පමණින් එය වෛරී ප්‍රකාශයක් වන්නේ කෙසේදැයි" විනිසුරුවරයා විවෘත අධිකරණයේදීම ප්‍රශ්න කළේය. එම ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය මෙරට නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය තහවුරු කරයි.

 

 

නමුත් ප්‍රශ්නය ඉතිරිව ඇත. අත්අඩංගුවට ගත් CID නිලධාරියා තමන් අතින් සිදුවූ වැරැද්ද සහ නතාෂාට සිදුවූ "මානසික සහ චිත්තවේගීය පීඩාව" (Mental and emotional distress) වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව සමාව ගත්තේය. එහෙත්, ඇයගේ 'විෂාදය' නැමති රෝගී තත්ත්වය විවෘත අධිකරණයේදී අවඥාවට ලක් කරමින්, ඇයව සමාජය ඉදිරියේ "භයානක" ගැහැනියක් බවට පත්කිරීමට තැත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඒ ප්‍රහාරාත්මක හැසිරීමට වගකියන්නේ කවුද?

 

 

නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවද පුරවැසියන්ගේ ගෞරවය සහ මානව හිමිකම් සුරැකීමට බැඳී සිටී. පොලිස්පතිවරයාගේ නව මාර්ගෝපදේශ මාලාව පමණක් නොව, රාජ්‍ය නීතිඥවරුන් අධිකරණය තුළ හැසිරිය යුතු සහ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු ආකාරය පිළිබඳවද මෙරට නීති පද්ධතිය තුළ බරපතළ කතිකාවතක් නිර්මාණය විය යුතු බව මෙම සිදුවීම මනාව ඔප්පු කරයි.

 

නවතම ලිපි