SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ගාසා තීරය යනු මැද පෙරදිග කලාපයේ ඔරොත්තු දීමේ සහ ඛේදවාචකයේ සංකේතයක් වී ඇති භූමියකි.

දශක ගණනාවක් පැවති වාඩිලාගැනීම්, නැවත නැවතත් එල්ල වූ හමුදා ප්‍රහාර සහ මානුෂීය අර්බුද හේතුවෙන් එහි ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන්, දැඩි ආධාර අවශ්‍යතාවයකින් පෙළෙති. මෑත කාලීන ප්‍රචණ්ඩත්වය නැවත වරක් ගාසා තීරය ජාත්‍යන්තර අවධානයට ලක් කර ඇති අතර, ලොව පුරා සිටින ජනතාවට සහාය දැක්වීමට පෙළඹවීම පසුගිය කාලය පුරාම දැකගත හැකිවිය.

 

 

එසේ ඉදිරියට පැමිණි අය අතර සිටින ශ්‍රී ලාංකික කාන්තාවකි, සමීර මෙහ්බූබ් (Sameera Mehboob). ඇය සායනික මනෝවිද්‍යාඥවරියක්, සහතිකලත් වෛද්‍යවරියක්, ආපදා ප්‍රතිචාර පුහුණුකාරිනියක් මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකි. ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක ගැටුම් කලාපයක් වන ගාසා තීරයේ මානුෂීය සේවාවන් සඳහා ඇය කැප වී සිටින්නීය. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය, Veridian Academy සහ Veridian Consultants හි නිර්මාතෘවරියයි. පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සහ ආධාර සැපයීම අරමුණු කරගත් මානුෂීය මුලපිරීමක් වන ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලාවට (Global Sumud Flotilla) සම්බන්ධ වීමට ඇය සූදානම්ව සිටියාය.

 

ගැඹුරු පෞද්ගලික කැපවීමක්

 

සමීරා මෙහ්බූබ්ගේ පලස්තීනය සමඟ ඇති සම්බන්ධය ගැඹුරු පෞද්ගලික හැඟීම් මත පදනම් වූවකි. පලස්තීනුවන්ගේ අරගලය ගැන ඇය මුලින්ම දැනගත්තේ වයස අවුරුදු 10 දී ඇයට ලැබුණු දෙමළ භාෂා පොතක් මගිනි. පලස්තීන පවුල් අවතැන් වීම සහ ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව කියවීමෙන් ඇය දැඩි ලෙස කම්පාවට පත් වූවාය. තම නිවෙස් සහ දේපළ අහිමි වන දරුවන්ගේ අවදානම පිළිබඳව ඇය දැඩි ලෙස සංවේදී වූවාය.

 

අන්තර්ජාලය නොතිබූ ඒ කාලයේ ඇය දැනුම ලබා ගැනීම සඳහා පොත්පත් සහ කට වහරේ පැවති කතන්දර මත විශ්වාසය තැබුවාය. පර්සියානු මුල් ඇති ඇගේ ආච්චි, පලස්තීනයේ විචිත්‍රවත් සංස්කෘතිය, වර්ණවත් වීදි සහ ආලෝකය පිළිබඳ කතන්දර කීවාය. මෙම කරුණු තුර්කි පසුබිම් පොත්පත්වල නිදර්ශන සමඟ එක්ව, කලාපයේ සුන්දරත්වය සහ එහි වාඩිලාගැනීමේ අසාධාරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීමට මෙහ්බූබ්ට හැකි විය.‍

 

 

ක්‍රියා කිරීමට ඇති නොසැලෙන අධිෂ්ඨානය

 

පලස්තීනුවන් කෙරෙහි ඇයගේ වගකීම් හැඟීම කාලයත් සමඟ තීව්‍ර විය. ඇගේ මුල් කාලීන කියවීම්වල සිට මෑත කාලීන ඔක්තෝබර් 7 සිදුවීම් දක්වා, අර්ථවත් ආකාරයකින් දායක වීමට ඇය තුළ වූ අධිෂ්ඨානය වර්ධනය වී තිබේ. ඇය පැවසුවේ,

 

"ඔක්තෝබර් 7 වන දින මට අදහාගත නොහැකි සිදුවීමක් වුණා. එදා සිට, මම ගාසා වෙත යාමට උත්සාහ කරනවා. මම වෛද්‍යවරියක්, ඒ නිසා ගාසා වෙනුවෙන් මගේ වගකීම මගේම ආරක්ෂාව පිළිබඳ බියට වඩා වැඩියි."

 

 

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මෙහෙයුම් කමිටුව සහ මැලේසියාවේ නූරි විසින් මෙහෙයවනු ලබන ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා කණ්ඩායම සමඟ සහයෝගයෙන් කැම්බල් උද්‍යානයේදී විරෝධතා, පෙළපාලි සහ පා ගමනක් සංවිධානය කිරීමට ඇයට මුලින්ම අවස්ථාව ලැබුණි. ඉන් පසු ඇය කුඩා කණ්ඩායමක් සමඟ තමන්ගේම වියදමින් මැලේසියාවට ගිය අතර, රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් මත යැපෙන බවට වූ උපකල්පන ප්‍රතික්ෂේප කළාය.

 

 

ගාසා ෆ්ලොටිලාවට සම්බන්ධ වීමට සූදානම් වීම වීසා බලපත්‍ර ලබා ගැනීමේ ගැටළු ඇතුළු ලොජිස්ටික් අභියෝගවලින් පිරී තිබුණි. එහෙත් මෙහ්බූබ් නොසැලී සිටි අතර, ගාසා වෙත ළඟා වීමට ඇති විභව මාර්ග ගවේෂණය කිරීම සඳහා ආසියානු ආපදා සූදානම් කිරීමේ මධ්‍යස්ථානය ඇතුළු තම පුළුල් වෘත්තීය ජාලයන් භාවිතා කළාය.

 

 

වෛද්‍යවරියකගේ අත්‍යවශ්‍ය කාර්යභාරය

ඇයගේ මෙම කැපවීම ගැඹුරු ආචාරධර්ම වගකීමකින් පැමිණෙන්නකි. "මම ඔවුන් කෙරෙහි වගකීමක් දැනෙනවා. ඒ මගේ මුස්ලිම් පසුබිම නිසා නෙවෙයි, නමුත් මට කුඩා අවධියේ සිටම තමන්ගේ නිවස සහ පවුල අහිමිවීම කෙබඳු වේදැයි සිතින් මවාගන්නට හැකි වුණා. මගේ සිතින් ඒ තත්ත්වයන් මවාගෙන සිටියා, දැන් මට ක්‍රියා කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා," ඇය පැවසුවාය.

 

වෛද්‍යවරියක ලෙස ඇයගේ භූමිකාව ඇයගේ අභිප්‍රේරණයට කේන්ද්‍රීය වේ. ඇය ජීවිත ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. "යමෙකුට වෛද්‍ය ආධාර අවශ්‍ය නම්, බිම වැටී මිය යමින් සිටිනවා නම්, ඊට වඩා වැදගත් වන්නේ කුමක්ද? මම අනිවාර්යයෙන්ම කෙනෙකුව ජීවත් කරවීමට මගේ උපරිමය කරනවා." පාසල්, රෝහල්, අනාථාගාර සහ සිවිල් වැසියන්ට පහර දීම වැනි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් ඇය තරයේ හෙළා දකිනවාය.

 

 

ලෝකයේ අසාධාරණයට එරෙහිව

මෙහ්බූබ් දශක ගණනාවක් පුරා කළ නිරීක්ෂණ හා පර්යේෂණ තුළින් ගැටුම පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබේ. ඇය යසර් අරෆාට්ගේ කාලයේ සිට වර්තමානය දක්වා ඊශ්‍රායලය සහ පලස්තීනය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර ඇත. ඇය හමාස් සංවිධානය වටා ඇති සංකීර්ණත්වය පිළිගන්නා අතර, "මගේ රාමුව පීඩාවෙන් ජීවත් වූ පලස්තීනුවෙකුගේ රාමුවට වඩා වෙනස්. හමාස් යනු ගාසා තීරයේ තේරී පත් වූ රජය වූ අතර, එය පිහිටුවනු ලැබුවේ ඇයිදැයි තේරුම් ගැනීමට පලස්තීනුවන්ගේ අත්දැකීම් තේරුම් ගැනීම අවශ්‍යයි."

 

බිය සහ ස්වයං-උනන්දුව නිසා බලවත් ජාතීන් අකර්මණ්‍ය වීම පිළිබඳව ඇය විවේචනාත්මකව කරුණු දක්වයි. කොලොම්බියානු ජනාධිපතිවරයාගේ වාම නැඹුරුව සහ මධ්‍යධරණී හා මැද පෙරදිග රටවල සීමිත මැදිහත්වීම් උදාහරණ ලෙස දක්වමින්, භූදේශපාලනික ගණනය කිරීම් බොහෝ විට සදාචාරාත්මක අවශ්‍යතාවන් යටපත් කරන බව ඇය පවසයි.

 

ඇයගේ දර්ශනය ලොව පුරා පවතින පීඩනයට එරෙහි විශ්වීය විරෝධයක් මත පදනම් වී ඇත. පලස්තීනයේ සිට කොංගෝව, සුඩානය, සිරියාව, ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනගහනය සහ එක්සත් ජනපදයේ ආන්තික ප්‍රජාවන් දක්වා වන ගෝලීය අසාධාරණයන් පිළිබඳව ඇය තම දරුවන්ට ක්‍රියාශීලීව උගන්වයි.

 

 

බිය නොසලකා ඉදිරියට

සමීරා මෙහ්බූබ්ට තම පවුලෙන් ලැබෙන සහයෝගය අතිමහත්ය. ඔක්තෝම්බර් මාසයේදී ෆ්ලොටිලාවට සම්බන්ධ වීමට ඇය ප්‍රකාශ කළ විට, ඇගේ පුතා ඇයට මෙසේ කීවේය: "ඔබ හරි යැයි සිතන ඕනෑම දෙයක් කිරීමට ඔබට නිදහස තිබෙනවා. අපි ඔබට ආදරෙයි, අපි ඔබේ පිටුපස සිටිනවා." ඇගේ දියණිය ද ඇගේ මෙම කැපවීම ගැන ආඩම්බර විය. තම ස්වාමිපුරුෂයා ඇයගේ ශක්තිමත්ම ආධාරක පද්ධතිය බව ඇය පවසන අතර, ඔහු නොමැතිව ඇය අද සිටින තැනැත්තිය නොවනු ඇතැයි සඳහන් කරයි.

 

 

බිය ඇයට බාධාවක් නොවේ. "මගේ ජීවිතය ගැන මට කිසිදු බියක් නැහැ. මම එහිදී මිය යෑමට නියමිත නම්, මිය යාවි. මම ආපසු ඒමට නියමිත නම්, මම නැවත එන්නම්. කිසිම දෙයකට මාව නවත්වන්න බැහැ." ඇයගේ ලොකුම බිය වන්නේ මරණය නොව, ධනාත්මක වෙනසක් ඇති කිරීමට උත්සාහ නොකර ජීවිතයෙන් සමුගැනීමයි. ඇය නිගමනය කරන්නේ, "වෙනසක් නොකර මිය යෑමට මම බිය වෙමි. එය තමයි ලොකුම බිය."

 

සමීරා මෙහ්බූබ්ගේ ගමන පෞද්ගලික විශ්වාසය, වෘත්තීය ප්‍රවීණතාවය සහ ආචාරධර්ම වගකීම යන කරුණු එකිනෙක ඡේදනය වන ආකාරය පෙන්නුම් කරයි. පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්ත්වය ගැන කම්පා වූ තරුණියකගේ සිට, ලෝකයේ වඩාත්ම භයානක කලාපයක සේවය කිරීමට සූදානම්ව සිටින සායනික මනෝවිද්‍යාඥවරියක් සහ වෛද්‍යවරියක් දක්වා ඇයගේ කතාව ධෛර්යය, සංවේදනය සහ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

 

 

නවතම ලිපි