SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1944 දී පාක්ෂිකයන් සමඟ සටන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රීමෝ ලෙවි අවුෂ්විට්ස් ගාල් කඳවුරට පිටුවහල් කරන ලදී. 

ඔහු එහි මාස 10 ක් පමණ ගත කළේය, ප්‍රධාන වශයෙන් මොනොවිට්ස් ( අවුෂ්විට්ස් III ) උප කඳවුරේ, බුනා වර්ක් කෘතිම රබර් කම්හලේ වහල් කම්කරුවෙකු ලෙස සේවය කළේය. අවුෂ්විට්ස් හි ඔහුගේ අත්දැකීම් ඔහුගේ මතක සටහන් වන " If This Is a Man " ("අවුෂ්විට්ස් හි පැවැත්ම" ලෙසද හැඳින්වේ) හි ලේඛනගත කර ඇති අතර, එය කඳවුරු ජීවිතයේ භීෂණය සහ ඔහුගේ දිවි ගලවා ගැනීමේ අරගලය විස්තර කරයි. 

 

 

මේ ඔහු පිළිබඳව ඉරිදා මව්බිම සකස් කළ සම්මුඛ සාකච්ඡාවක් සහිත  ලිපියකි.

 

levi 2

 

 

ප්‍රීමෝ ලෙවී ඉතාලි ජාතික ප්‍රවීණ කතාකරුවෙකි. 1919 වසරේ ජූලි 31 වෙනිදා මධ්‍යම පාංතික පවුලකට දාව ඉතාලියේ ටියුරින්හි උපන් ඔහු දෙවන ලෝක යුද සමයේ යුදෙව්වකු වීම කරණකොට ජර්මානු නට්සි හමුදාවන්ට හසු වී පෝලන්තයේ අවුෂ්විට්ස් ඝාතන කඳවුරට යවනු ලැබිණි. එහෙත් එහිදී ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ ඔහුගේ රසායන විද්‍යා ආචාර්ය උපාධියේ පිහිටෙනි. ඔහුගේ පළමු කෘතිය අවුෂ්විට්ස්හි කුරිරු මතක ඇසුරෙන් 1947 වසරේ ලියූ Survival in Auschwitz කෘතියයි. 1977 දී පළ කෙරුණු The Periodic Table (“ආවර්තිතා වගුව”) නම් කෙටිකතා සංග්‍රහය ඔහුගේ රසායන විද්‍යා විඤ්ඤාන ලෝකය ප්‍රබන්ධයට ගෙන ආ කෘතියක් වේ. ඔහුගේ කෘති අතර The Sixth Day and Other, A Tranquil Star, The Magic Paint, The Wrench සහ If Not Now, When? ආදියද වේ. 1987 වසරේ කුමන හෝ නොදන්නා හේතුවක් මත ඔහු සිය දිවි නසා ගත්තේ සිය සිව්වෙනි මහලේ නිවාස කොටසේ පිටත කිරිගරුඬ පඩිපෙළේ එල්ලී ගෙලවැලලා ගෙනය. පැරිස් රිවීව් සාහිත්‍ය සඟරාවට ප්‍රීමෝ ලෙවී සමඟ ගේබ්‍රියෙල් මොටාලා පැවැත්වූ මෙම සම්මුඛ සාකච්ඡාව ඔහුගේ කතා කලාව සේම ජීවිතයද හෙළිදරව් කරයි.  

 

 71Da2KSZ7WL. UF10001000 QL80

 

 

ඔබේ අධ්‍යාපනය ගැන යමක් කියන්න පුළුවන්ද?

 

මම ලැබුවේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක්. එහිදී ලියන්න පුරුදු වීම හරිම බැරෑරුම් දෙයක් වුණා. පුදුමයකට මම ඉතාලි සාහිත්‍ය පටිපාටියට කැමති වුණේ නෑ. මම කැමති වුණේ රසායන විද්‍යාවට. ඉතින් මම සාහිත්‍යයේ මානුෂවාදී ඉගැන්වීම බැහැර කළා. ඒත් ඉන් පස්සෙ කරුණු සිදු වූ විධියට මට නොදැනුවත්වම සාහිත්‍යය මගේ සම හරහා ඇඟට ඇතුල් වුණා. මම මගේ ගුරුවරුන් ගැන එළිපිටම විරුද්ධ අදහස් පළ කළා. මොකද ඔවුන් වාක්‍ය සහ වෙනත් දේ නියම ක්‍රමයට ගොඩනඟන්න කියල අපට බල කළා. මට ඔවුන් එක්ක කේන්තියක් ඇති වුණේ මං බලා සිටියෙ විශ්වීය අරුත් තේරුම් ගන්න නිසා – සඳ, තරු, ක්ෂුද්‍රජීවීන්, සතුන්, ශාක, රසායන විද්‍යාව යනාදිය නිසා – ඉතින් ඔවුන්ගෙන් ඉගෙනීම මට අනුව කාලය කා දැමීමක් වුණා. ඉතිරි සියලු දේ – ඉතිහාසය, දර්ශනය යනාදිය – තරණය කිරීම අපහසු දෙයක් වුණා. ඉතින් මගේ ඩිප්ලෝමාව අරගෙන මට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න හැකි වුණා.

 

 

ඔබේ පොත් ගැඹුරු මෙන්ම ඉතා පුළුල් කියවීමක් – ඇමෙරිකානු, ඉතාලි, ජර්මානු සාහිත්‍යය පිළිබඳ කියවීමක් – මතු කරනවා?  

ඔව්. මගේ තාත්තා කියවන්න ඇලුම් කළා. ඉතිං ගොඩක් පොහොසත් නොවුණත් ඔහු මට පොත් අරන් දෙන්න තරම් කාරුණික වුණා. ඒ කාලෙ අදට වඩා වෙනස්. අද විදේශ පොත් ඕන තැනකින් පහසුවෙන් සොයාගන්න පුළුවන් – පරිවර්තන හෝ පරිවර්තන නොවන පොත් එහි තියෙනවා. ඔබට ඕන කරන්නෙ පොත් සාප්පුවකට යෑම විතරයි. හැම තැනම පොත් තියෙනවා. ඒ කාලෙ ඒක එච්චර පහසු නැහැ. මොකද ෆැසිස්ට්වාදීන් පොත් වර්ග කරන්න හරි දක්ෂයි: “මේ පොත ගන්න, මේක එපා….” වශයෙන් ඔවුන් පොත් වර්ග කරනවා.

 

උදාහරණයකට ඇමෙරිකානු හා ඉංග්‍රීසි සමාජ විවේචනය කරන පරිවර්තන ඉංග්‍රීසි පොත්වලට, ඇමෙරිකානු පොත්වලට ඔවුන් ඉඩකඩ ලබාදුන්නා. ගල්අඟුරු පතල් ජීවිතය ගැන ලියවුණු ඩී.එච්. ලෝරන්ස්ගේ පොත් ඉතාලියේ පළ කෙරුණා විතරක් නෙවෙයි, විශාල වශයෙන් බෙදාහැරියා. මොකද ඒවා එංගලන්තයේ පතල් කම්කරුවන්ගේ තත්ත්වය දරුණු ලෙස විවේචනය කළා. එයින් නොකියා කීවේ ඉතාලි පතල් කම්කරුවන්ගේ තත්ත්වය එච්චර දරුණු නෑ කියන එකයි. ඩී.එච්. ලෝරන්ස් ෆැසිස්ට්වාදය රොමෑන්ටික් වික්‍රමයක් ලෙස ගැනීම ඔහුගේ පොත් වැඩි වැඩියෙන් පරිවර්තනය වෙන්න එක හේතුවක් වුණා. ඔව්. ෆැසිස්ට් වාරණ මණ්ඩල හරිම බුද්ධිමත්. එකක් තෝරා ගන්නවා. අනෙකක් බැහැර කරනවා. හරියට හෙමිංවේ වගේ. හෙමිංවේ ස්පාඤ්ඤයේ අර්ධ ව්‍යාජ කොමියුනිස්ට්කාරයෙක් වුණා. ඔහුගේ පොත්වල පරිවර්තන ඉතාලියට ආවෙ හරියටම යුද්ධය ඉවර වුණාමයි. උදාහරණයකට මගෙ තාත්තා මට අවුරුදු දොළහෙදිම ෆ්‍රොයිඩ්ගෙ පොත් කියවන්න දුන්නා.

 

 

ඇත්තටමද?

 

ඔව්. ඒ දුන්නෙ නීතියට පිටුපාලා කියවන්න. ඒ කාලෙ ෆ්‍රොයිඩ් කියවන්න අනුමත කෙරුණෙ නෑ. ඒත් තාත්තාට ඔහුගේ The Introduction to Psychoanalysis (“මනෝවිශ්ලේෂණයට හැඳින්වීමක්”) කියන පොත සොයාගන්න පුළුවන් වෙලා තිබුණා. ඒත් කියෙව්වාට මට ඒක තේරුණේ නෑ.

 

img 3 small580

 

 

ඔබේ කෘති කියවන විට කෙනෙකුගේ සිතට විද්‍යාවේ සහ ආචාරධර්මවල, එසේ නැත්නම් විද්‍යාවේ සහ සදාචාරයේ ප්‍රශ්නය මතු වෙනවා. අනෙකුත් වෘත්තිකයන්ට වඩා විද්‍යාඥයකු ආචාරධර්ම බලාපොරොත්තු වෙනවාද?

 

හැම කෙනෙකුටම ආචාරධර්ම තිබිය යුතුයි කියල මම හිතනවා. ඒත් ඉතාලියේ හෝ ඇමෙරිකාවෙ ඉගෙන ගත් කෙනෙක් හැටියට මම හිතන්නෙ නෑ විද්‍යාව හැදෑරීම විශේෂ වශයෙන් කෙනෙකුට ආචාරධර්ම මනසක් ලබාදෙනවා කියල. ඒත් විද්‍යාව කෙනෙකුට ආචාරධර්ම මනසක් ලබාදිය යුතුයි. මගේ අදහසේ හැටියට විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨයට ඇතුල් වන මානවකයකුට හෝ මානවිකාවකට “ඔබ ඇතුල් වෙන්නේ සදාචාරය ඉතා වැදගත් වෘත්තියකට කියල මතක තියාගන්න” කියල අවශ්‍ය තරම් බර කරලා කිව යුතුයි. මං වගේ තීන්ත ෆැක්ටරියක වැඩ කරන රසායන ද්‍රව්‍ය විශේෂඥයකුයි, විෂ ගෑස් ෆැක්ටරියක වැඩ කරන රසායන ද්‍රව්‍ය විශේෂඥයකුයි අතර වෙනසක් තියෙනවා. රසායන ද්‍රව්‍ය විශේෂඥයකුට යථාර්ථ ජීවිතයට ඔහු දක්වන බලපෑම ගැන දැනුවත්භාවයක් තිබිය යුතුයි. ඒ බලපෑම මත ඔහුට ඇතැම් රැකියා, ඇතැම් වෘත්තීන් බැහැර කරන්න හැකි විය යුතුයි.

 

  methode times prod web bin 09f590af 6c30 4ec4 9a01 6939181a82f5

 

ඔබ කියන දේ ඔබේ කෘතිවල දක්නට ලැබෙනවා. පාක්ෂිකත්වයට මිතුරු දේ වෙනුවෙන්, මිතුරකුගේ ආදරය වෙනුවෙන් ඔබට යමක් කරන්න වෙනවා. උදාහරණයකට The Periodic Table හි සැන්ඩ්‍රෝ චරිතය කිව හැකියි. ඔබ එහිදී “ඔහුගේ කිසිවක් ඉතිරි වන්නේ නැත – කිසිවක් නෑ, වචන විතරයි ඉතිරි” යනුවෙන් සඳහන් කරද්දී එය පාඨකයාට ඉතා හැඟීම්බරව සංවේදනය වෙනවා. ඔබ වචනවලින් සැන්ඩ්‍රෝ චරිතය යළි ජීවමාන කරනවා.

එහෙම කළේ මං වෙනුවෙන් නෙවෙයි, පාඨකයා වෙනුවෙන්. මුද්‍රිත පිටුවක මට පැමිණිය හැකි කෙටිම ප්‍රකාශනය එයයි (ඔබ කී උපුටනටයයි). ආලේඛ්‍ය චිත්‍රයකුයි ජීවත් වෙන පුද්ගලයකුයි අතර හැම විටම වෙනසක් තිබෙනවා.

ඔබේ බුහුමන ඔහු (සැන්ඩෝ චරිතය) සන්තෝෂයෙන් සලකාවි.

සැන්ඩ්‍රෝ සිනාසේවි. පුදුමයකට මට ඔහුගේ පවුල එක්ක තිබුණෙ ආරවුලක් නෙවෙයි, නොගැළපීම් නිසා ඇති වූ ඝට්ටනයක්. මොකද ඔවුන් ඔහු හඳුනගත්තෙ නෑ. ඒක හැම විටම එහෙම තමයි. කිසියම් ජීවමාන පුද්ගලයකු මුද්‍රිත පිටුවකට ගේන්න හැදුවොත් ඔබ කරන්නෙ ඔහු නොසතුටට පත් කිරීමක්. මුද්‍රිත චරිතය හරහා ඔහුගේ හෝ ඇයගේ හොඳ කීමට ඔබට හොඳටම වුවමනාව තිබුණත් ඒක ලියවුණාම ඒ විධියට වෙන්නෙ නෑ. හැම කෙනෙකුටම තමන් ගැන, තමන් කවුරුද කියල ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපය පිටස්තර ඔබට ඔහු ගැන තියෙන ප්‍රතිරූපය එක්ක සමපාත වෙන්නෙ ඉතාම කලාතුරකින්. පොතේ තියෙන ප්‍රතිරූපය කොච්චර ලස්සන වුණත් ඒක අර සැබෑ ප්‍රතිරූපය නෙවෙයි. ඒක හරියට ඔබ කන්නාඩියක් ඉස්සරහට ගිහින් ඔබේ මුහුණ ලස්සනයි කියල දැකීම වගේ. මුහුණ ලස්සනයි. ඒත් ඒක ඔබේ මුහුණ නෙවෙයි.

 

The Periodic Table කෘතියේ එන පොස්පරස් පිළිබඳ කතාව ඔබට මතකද?

 

 

ඔව්. මතකයි.

එහි එන තරුණිය මගේ මිතුරියක්. ඇය ගැන පරිච්ඡේදය ලියලා ඉවර වුණාම මම ඇය විසූ මිලාන් නගරයට ගිහින් ඇයට අත්පිටපත දුන්නා. මම ඇයට කිව්වා “ටිකක් විතර වෙනස් වුණත් මම ඔයායි මායි අතර කතාවක් ලිව්වා. ඒක පළ කරන්න ඔයාගෙ කැමැත්ත මට ලැබෙනවා නම් මම කැමතියි” කියල. ඇය කැමැත්ත දුන්නා. ඒත් ඇය විවාහ වී සිටි නිසා ඇගේ මුහුණේ කිසියම් නොසතුටක්, අපහසුතාවක් මට පෙනුණා. ඇත්තටම ඇය හඳුනාගන්න බැරි වෙන්න මම කතාවේ ඇගේ පෞද්ගලිකත්වය වෙනස් කරලා තිබුණෙ. කොහොම වුණත් ඇය මට කිව්වා “හරි. මම සතුටුයි. මම සෑහීමකට පත් වෙනවා…” කියල. ඒත් ඇත්තටම ඇය සතුටු නෑ.

 

 

The Periodic Table හි එන පාසල් සාදය සංවිධානය කළ පුද්ගලයා ගැන ඔබ කොහොමද සිතන්නේ?

 

ඔහු නිර්මාණය කළ චරිතයක්. මම කියන්නෙ යම් චරිතයක් ඉහළම පන්නයේ නැත්නම් – මෝඩ හෝ හරියට කිසිවක් නොකරන කෙනෙක් නම් – වඩා හොඳ දේ ඔහුගේ පෞද්ගලික චරිතයේ විවිධ තැන්වලින් කොටස් අරගෙන නිර්මාණය කිරීමයි. මම එහිදී එක් අයකුගෙන් නළල ගත්තා. තව කෙනෙකුගෙන් නිකට ගත්තා. මුහුණේ මස්පිඩු සලිත වීම තවත් කෙනෙකුගෙන් ගත්තා. ඒ විධියට විවිධ තැන්වලින් අරන් ඔහු නිර්මාණය කළේ. ඒ සියල්ල එහෙම තිබුණත්….

ඔවුන් හැමෝම කියන්නෙ “ඒ මම!” කියල.

මට අත් ගැහෙන කෙනෙක් හමු වුණා (එවැනි චරිතයක් පොතෙහි තිබෙනවා). ඔහු මට කිසි දෙයක් කිව්වෙ නෑ. ඒත් ඔහු පොතට ප්‍රශංසා කළේ නෑ. ඔහු මා එක්ක මිත්‍රත්වයක් තිබුණෙ නෑ.

 

 

levi 1

 

 

මම හිතන්නෙ ඒක තමයි කෙනෙක් විඳින දඬුවම. The Periodic Table භාෂාව සහ ශෛලිය අතින් ඔබේ අනෙක් පොත්වලට වඩා වෙනස්. නව ප්‍රබන්ධය, එසේ නැත්නම් නව යථාර්ථවාදය කියල ඇතැමුන් හඳුන්වන ප්‍රබන්ධ කලාව ගැන ඔබේ අවබෝධය කෙබඳුද? ඉතැලෝ කැල්විනෝ ඒ කී කාණ්ඩයට අයත් ලේඛකයෙකු ලෙස සැලකෙනවා.

 

ඒක අමාරු ප්‍රශ්නයක්. කැල්විනෝ ලිවීම ආරම්භ කළේ නව යථාර්ථවාදයට පසුයි. ඒත් ඔහු සොයාගත් ශෛලිය සහ පෞරුෂය කොච්චර පෞද්ගලිකද කීවොත් ඔබට ඔහු කිසිම කාණ්ඩයකට ඇතුල් කරන්න බෑ. මගෙන් නිතර අහනවා “ඔබ අයිති වෙන්නෙ මොන සාහිත්‍ය ප්‍රවාහයටද?” කියල. මම ඒක දන්නෙ නෑ. ඒක මට කොහෙත්ම වැදගත් නෑ. ඇත්තටම කැල්විනෝගේ හෝ – අපි දිගු කාලයක ඉඳන් යාළුවෝ – මගේ හෝ නිර්මාණ කෘතිවල ඔබට පුළුවන් දුසිම් ගණන් ලේඛකයින්ගෙ සලකුණු හඳුනාගන්න: මෑත ලේඛකයින්ගේ, සම්භාව්‍ය ලේඛකයින්ගේ, ඩාන්ටේගේ, වර්ජිල්ගේ, තව තව අයගේ සලකුණු තියෙනවා. ඒ හැම දෙනෙක්ම මේ නිර්මාණවල ඇහිරී තෙරපී සිටිනවා. රසායන විද්‍යා විශේෂඥයකු හැටියට මගේ ඇති පසුබිම මං කියවූ පොත්වලට වඩා මට බලපෑවා. ඇත්ත වශයෙන් බලපෑවා. මොකද එය මට අලුත් අමුද්‍රව්‍යයක් ගෙනාවා. කැල්විනෝට බලපෑවෙ ඔහු කළ සංචාර, ඔහු පැරිසියේ ගත කළ කාලය, වැදගත් ප්‍රංශ බුද්ධිමතුන් එක්ක ඔහු ඇති කරගත් සබඳතා ආදියයි. මේ සියල්ල ඔහුගේ නිර්මාණකායට තදින් බලපෑවා. ඔහු ඒ ගැන දන්නවාද, නැද්ද කියල මම දන්නෙ නෑ.

 

 

ඔහුත් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා තිබුණා නේද?

 

එහෙමම කියන්න බෑ. ඔහුගේ අම්මාත් තාත්තාත් උද්භිද උද්‍යානයක උද්‍යාන පාලකයින් ලෙස වැඩ කළ අය. මුලින් ඔවුන් වැඩ කළේ කියුබාවේ. ඊළඟට ඉතාලියේ සැන් රිමෝවල. ඉතින් ඔහුගේ ළමා කාලය ගෙවුණෙ ශාක, සතුන්, වන සතුන් එක්ක උද්භිද උද්‍යානවල. විද්‍යාවේ, තාරකා විද්‍යාවේ, රසායන විද්‍යාවේ නව විප්ලවයන් ගැන ඔහු ඉතා අවධානය යොමු කළා.

 

 

ඔබේ විද්‍යාඥ වෘත්තිය ඔබේ භාෂා පිළිබඳ දැනුමත් වැඩි කළා. ඔබ ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා ඉගෙන ගත්තෙත් ඒ විධියටද?

 

තීන්ත ෆැක්ටරියෙ රසායන ද්‍රව්‍ය විශේෂඥයකු විධියට වැඩ කරද්දි මම ඉංග්‍රීසියෙන් කථා කළා වගේම ගනුදෙනුකරුවන් එක්කත් ඉංග්‍රීසියෙන් කථා කළා. ඒත් කඩසාප්පු ඉංග්‍රීසිය හරි පහසු එකක්. මම පළවෙනි වතාවට ඇමෙරිකාවට ගිහින් ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පෙනී සිටි අවස්ථාව තමයි මම මුලින්ම ඉංග්‍රීසියෙන් නොනවත්වා විනාඩි දහයකට වඩා කථා කළ අවස්ථාව. ප්‍රේක්ෂකයින් ඉදිරියේ මම කිසිවක් කරකියාගත නොහැකි වුණා. ප්‍රේක්ෂකාගාරය කෙළවරේ පුටුවලින් මිනිස්සු නැඟිටලා ප්‍රශ්න අහන්න ගත්තා. ඒ සමහර විට වෙනස් භාෂා ස්වරයකින්. එහෙම නැත්නම් අපැහැදිලි ස්වරයකින්. මේ නිසා “කවුරුහරි ඒක ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියට පෙරළන්න!” කියල මට අහන්න සිදු වුණා. මට අපහසු වුණේ කථා කරන එක නෙවෙයි, තේරුම් ගැනීමයි. මම ක්‍රමානුකූලව ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ හරිම ටිකයි. ඒත් මම සෑහෙන ඉංග්‍රීසි පොත් කියෙව්වා. මගේ වාක්කෝෂය පොහොසත්. බොහෝ වෙලාවට මම වචන දන්නවා. ඒත් උච්චාරණය දන්නෙ නෑ.

 

 

 110367028 gettyimages 89180430

 

 

ජර්මානු භාෂාව පිළිබඳ ඔබේ දැනීම කොහොමද?

 

මම ජර්මානු භාෂාව ඉගෙන ගත්තෙ නට්සි රැඳවුම් කඳවුරක සිටිද්දි. මගේ ඉංග්‍රීසිය අසම්පූර්ණයි. ඒත් එය ආචාරශීලීයි. විනීතයි. ඒත් මගෙ ජර්මානු භාෂාව එහෙම නෑ. එච්චර විනීත නෑ. ඒක නට්සි බැරැක්කවල භාවිත වුණු ජර්මානු භාෂාවක්. මම එය ඉගෙන ගත්තෙ අවුෂ්විට්ස් කඳවුරේදි. ඒ, ජීවිතය බේරාගන්න. එය, ඒ ජීවිතයෙදි, ජීවිතය ගැටගසාගන්න (නියෝග, අවට වන දේ) තේරුම් ගන්න අත්‍යවශ්‍ය වුණා. ඇත්තටම මගෙ සහෝදරවරුන් විශාල පිරිසක් මියගියේ ඔවුන් කියන දේ තේරුම්ගන්න බැරි වුණු නිසයි. ඔවුන් ජර්මානු හෝ යිදිෂ හෝ පෝලන්ත හෝ කථා කරන ලෝකයකට හදිසියේ උඩින් ගෙනත් අතහැරිය අය. එහි ඉතාලි කථා කරන අය කවුරුවත් නැති තරම් වුණා – ඉතාලි බසින් ජර්මානු බස ඉගෙනීම හරිම නුහුරුයි. පෝලන්න හෝ යිදිෂ භාෂා ඉගෙනීම කරන්නම බෑ. ඉතින් ඒක මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති ලෝකයක්. එය කෙනෙකු කරකවා අතහරිනවා. එය මාව පිස්සු වැට්ටෙව්වා.

 

ඇඟකිළිපොලමින් මට මතක් වෙනවා මං එහි ගත කළ මුල් දවස්. වාසනාවට මේ කාලය වෙද්දි රසායන විද්‍යා දැනුම නිසා මට යන්තමින් ජර්මානු වචන කිහිපයක් තේරුම් ගන්න පුළුවන් වුණා – මොකද ඒ කාලයෙදි රසායන විද්‍යාව ජර්මානු කලාවක් වුණා. රසායන විද්‍යාවට අදාළ දේහි බොහෝ විස්තර තිබුණෙ ජර්මානු භාෂාවෙන්. මම සමහර ජර්මානු වචන ඉගෙන ගත්තෙ ඒ කියන දේ තේරුම් ගන්නයි. ඉතිං මම මුළුමනින් ජර්මානු භාෂාව නොදැන සිටියෙ නෑ. ඒත් කඳවුරේදි අල්සාස් – ලොරේන්වල ඉඳලා ආපු ද්විභාෂික මිතුරන්, සහෝදරවරුන් මුණගැසෙන්න මම ඉක්මන් වුණා. “මේ කෑගහන්නෙ මොනවාද කියල තේරුම් ගන්න මට ටිකක් ඉක්මනට උගන්වන්න” කියල මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ජර්මානුවො නියෝග දෙන්න කෑගැහුවෙ හරිම රළු විධියට…. බල්ලෙක් බුරනවා වගේ.

 

ඒ විධියට මට ටිකක් ජර්මන් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒත් කඳවුරේ භාෂාව පෝලන්ත, යිදිෂ භාෂා මිශ්‍ර, නිවැරදිභාවයක් නැති කෙටි සරල ජර්මානු බසක්. ඒක විනීත ජර්මානු උච්චාරණයක් නෙවෙයි. යුද්දෙන් ටික කාලයකට පස්සෙ 1951 දි මම බිස්නස් වැඩ වගයකට ජර්මනියේ කොලෝන් කිට්ටුව නගරයකට ගියා. යම් යම් කරුණු කාරණා සාකච්ඡා කරලා ඉවර වුණාම එක් ජර්මානුවෙක් මගෙ දිහා හැරිලා මෙහෙම කිව්වා: “ඉතාලි ජාතිකයෙක් ජර්මන් කථා කරද්දි හරි අමුතුයි. ඒත් ඔබේ ජර්මන් භාෂාව මහ අපභ්‍රංසයක්! කොහෙන්ද ඔයා මේ විධියට ජර්මන් කථා කරන්න ඉගෙන ගත්තෙ?” මම ඔහුට හිතාමතාම කෙටියෙන් මෙහෙම කිව්වා: “ඔව් සර්. මම ඉගෙන ගත්තෙ නට්සි රැඳවුම් කඳවුරකින්. අවුෂ්විට්ස්වලින්!” ඉන් පස්සෙ සියල්ල වේදිකා තිරය පහතට වැටුණා වගේ වුණා. මා එක්ක කථා කරන්න ආ අනෙක් ජර්මානුවන්ටත් මම දුන්නෙ ඒ උත්තරය. ජර්මානුවෙක් ඒ ප්‍රශ්නය මගෙන් අහනවාට මට තරහා යන්නෙ නෑ. ඒක මට හරියට ….. කා එක්කද මං මේ කථා කරන්නෙ කියල සොයාගන්න පුළුවන් ලිට්මස් පරීක්ෂාවක් වගේ වුණා. මගෙ පිළිතුරින් ඔහු හෝ ඇය හැසිරෙන විධිය ඒක හඳුනගන්න සලකුණක් – ඔහු හෝ ඇය නට්සියෙක් වෙලා සිටියාද, එහෙම නැත්නම් ඔවුන් රැඳවුම් කඳවුරක වැඩ කළාද කියල එයින් සොයාගන්න පුළුවන්. බොහෝ විට නම් ඔවුන් නට්සියෝ කියලයි මට හෙළිවුණේ.

 

කොහොම වුණත් එයින් පස්සෙ මගේ ජර්මානු බස වඩා ශිෂ්ටසම්පන්න වෙන්න, වඩා පිළිගැන්විය හැකි වෙන්න මම ඒක ඔපමට්ටම් කළා. මට භාෂාව කියන්නෙ කලින් ඉගෙනගෙන කරන ප්‍රතිචාරයක් නෙවෙයි. එය නිසග ප්‍රතිචාරයක්. මම ජර්මානු භාෂාව කථා කරන්න හෝ අහන්න අකමැති නෑ. මට තරහා යන්නෙ නෑ ඒකට. මම හිතන්නෙ ජර්මානු භාෂාව ශ්‍රේෂ්ඨ භාෂාවක් – ඒක ගර්තේගේ භාෂාව. ගොට්හෝල්ඩ්ගේ භාෂාව. නට්සින් එක්ක භාෂාව සසඳන්න බෑ. ඒකට භාෂාව පළි නෑ. නට්සීන් භාෂාව විකෘති කළා. ජර්මානු භාෂාව ගැන ඇති නේද? අද ජර්මනිය තවදුරටත් නට්සි ජර්මනිය නෙවෙයි.

 

 

levi 3

 

 

ඒ කියන්නෙ අද ජර්මනියට යෑම ඔබට අපහසුතාවක් නෑ?

 

සාමාන්‍යයෙන් නෑ. ඒත් පෝලන්තයට සහ රුසියාවට යෑම ඊට වෙනස්. සැමරුම් කාර්ය සඳහා මම දෙවරක් පෝලන්තයේ අවුෂ්විට්ස්වලට ගිහින් තියෙනවා. මම දුටුවෙ සම්පූර්ණයෙන් වගේ වෙනස් පෝලන්තයක්: ඒක මුළුමනින් වෙන් වූ රටක් (ලිබරල් යුරෝපයට සහ සමාජවාදී නැගෙනහිරට). ඉතා සජීවී ලෙස ආතතිය පිරී ගිය, රුචිකත්වයන් පිරුණු තැනක්. රුසියාවන් ගැන ඔවුන්ට තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. ජර්මානුවන් ගැනත් තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්. යුදෙව්වන් ගැනත් එහෙමයි.

 

 

පෝලන්ත ජනතාව තවමත් දැඩි ලෙස යුදෙව් විරෝධීද?

 

නෑ. ඒත් ඔවුන් යුදෙව් විරෝධී නොවන්නෙ එහි අවශ්‍ය තරම් යුදෙව්වො නැති නිසා. එහි ඉන්නෙ යුදෙව්වො පන්දහසක් විතර. එයින් බාගයක් ඉන්නෙ රජයේ – රාජ්‍ය සේවකයන් හැටියට. ඉතිරි අර්ධය ඉන්නෙ සහයෝගීතාවයෙන්.

 

 

ChildrenFerramonti 1050x700

 

 

නට්සි සිරකරුවකුව සිටියදී ඔබ ඔබේ විද්‍යාත්මක පසුබිම හඳුනාගත් විද්‍යාඥයින්ගෙන් වඩා මානුෂික පිළිගැනීමක් අපේක්ෂා කළාද?

 

නෑ. මම එහෙම අපේක්ෂා කළේ නෑ. මගේ කතාව වෙනස් එකක්. මොකද ඔවුන් රසායන විද්‍යාඥයකු හැටියට මාව හඳුනාගත්තෙ මම රසායන ද්‍රව්‍ය විද්‍යාගාරයක වැඩ කරද්දියි. එහි සිරකරුවන් දසදහසකින් අපි (රසායන විද්‍යාඥයින්) හිටියෙ තුන් දෙනයි. සෑම දිවිගලවා ගත්තකුගේ වගේම මගේ තත්ත්වයත් ඉතාම අසාමාන්‍යයි. සාමාන්‍ය සිරකරුවකු නම් අනිවාර්යෙන් මැරෙනවා. ඒත් අසාමාන්‍යකම නිසා මම බේරුණා. කඳවුරේ රසායන විද්‍යා විභාගය සමත් වීමෙන් පස්සෙ මම මගේ ප්‍රධානීන්ගෙන් වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වුණා. ඒත් මනුෂ්‍යත්වයක සලකුණක් හෝ මට පෙන්නූ එකම පුද්ගලයා ඩොක්ටර් මුලර් විතරයි. ඔහු මගේ විද්‍යාගාරයේ සුපර්වයිසර්වරයා. යුද්ධයෙන් පස්සෙ අපි එකිනෙකා ගනුදෙනු කළ ලියුම්වලින් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔහු සාමාන්‍ය මිනිසෙක්. වීරයෙක්වත්, ම්ලේච්ඡයෙක්වත් නෙවෙයි. අපේ තත්ත්වය ගැන ඔහුට අවබෝධයක් තිබුණෙ නෑ.

 

ඔහුව අවුෂ්විට්ස්වලට මාරු කරලා එවලා තිබුණෙ දවස් කීපයකට උඩදි. ඉතිං ඔහු සිටියෙ ව්‍යාකූල වෙලා. ඔවුන් ඔහුට මෙසේ කියා තිබුණා: “අපේ විද්‍යාගාරවල, අපේ ෆැක්ටරිවල අපි සිරකරුවන් වැඩට යොදා ගන්නවා. උන් ක්‍රෑර මිනිස්සු කොටසක්. උන් අපේ ආණ්ඩුවේ සතුරො. අපි උන්ගෙ ශ්‍රමය සූරා කන්න මෙහෙ වැඩට යොදනවා. ඒත් ඔබට බැහැ උන් එක්ක කථා කරන්න. උන් භයානකයි. උන් කොමියුනිස්ට්කාරයන්. මිනීමරුවන්. ඉතින් උන්ට වැඩ බාරදෙන්න. හැබැයි උන් එක්ක ගනුදෙනු එපා!” මුලර් මහතා සියුම්ව යමක් කරන්න බැරි කෙනෙක්. ඔහු එච්චර දක්ෂ නැහැ. ඔහු නට්සිවාදියෙක් නෙවෙයි. ඔහු තුළ මනුෂ්‍යත්වයේ ශේෂ මාත්‍රයක් තිබුණා. මම රැවුල බාලා නැතිව ඉන්නවා දැකලා ඒ ඇයි කියල ඔහු මගෙන් ඇහුවා. “බලන්න,” මම ඔහුට කිව්වා “අපට රැවුල බාන්න රේසර් නෑ. අපට ලේන්සුවක්වත් නෑ. අපි මුළුමනින් නිරුවත්. හැම දේම උදුරාගෙන.” සතියකට මම දෙවරක් රැවුල කැපිය යුතුය කියල ඔහු මට එවෙලාවෙ නිල ඉල්ලීම් පත්‍රයක් ලියා දුන්නා. ඒත් ඒකෙන් මට රේසරයක් ගන්න පුළුවන් වුණේ නෑ. හැබැයි ඒක ඔහුගෙ මනුස්සකම පිළිබඳ සලකුණක් වුණා.

 

ඒවගේම ඔහු දැක්කා මම ලී සෙරෙප්පු (wooden clogs) දාගෙන ඉන්නවා. ඒක දාගෙන යනකොට හයියෙන් සද්දෙ ඇහෙනවා. කකුලට හරි අමාරුයි. ඔහු ඇහුවා “ඇයි ලී සෙරෙප්පු දාන්නෙ?” කියල. මම කිව්වා “අපේ සරෙප්පු, සපත්තු ඔවුන් ගත්තෙ අපි කඳවුරට ආපු පළවෙනි දවසෙමයි. දැන් මේක තමයි අපේ නිලඇඳුම. සම්මත නිල ඇඳුම” කියල. මට ලෙදර් සපත්තු දෙකක් ගන්න ඔහු ඉඩහදා දුන්නා. ලී සෙරෙප්පු දාද්දි කකුල් ඇදුන්කන නිසා කඳවුරු ජීවිතයෙදි සපත්තු දෙකක් කියන්නෙ ලොකු දෙයක්. ලී සෙරෙප්පු දාලා වෙච්ච තුවාල තවම මගෙ කකුලෙ තියෙනවා. ලී සෙරෙප්පුවලට කෙනෙක් හුරු නොවුණොත් හැතැප්ම දෙකක් ඇවිදලා ඉවර වෙනකොට කකුල්වලින් ලේ ගලනවා. ලේ ගිහින් ඒ තුවාලයට දූවිලි, විෂබීජ යනවා. පස්සෙ ඒක වණ වෙනවා. මේ නිසා ලෙදර් සපත්තු දෙකක් කියන්නෙ ලොකු වාසියක්. ඉතින් මේ මිනිසාට මං කෘතඥතාවයෙන් බැඳුණා. ඔහු ගොඩක් ධෛර්යවන්ත

 

මිනිසෙක් නෙවෙයි. මම වගේම ඔහුත් SS භටයන්ට බයයි. ඔහු මගේ වැඩට ආකර්ෂණය වුණේ ඒවා ඔහුට ප්‍රයෝජනවත් වුණු නිසයි. නැතුව මට වධහිංසා පමුණුවන්න නෙවෙයි. ඔහු යුදෙව්වන්ට කිසිම විරෝධයක් පෑවෙ නෑ. සිරකරුවන්ට කිසිම විරෝධයක් පෑවෙ නෑ. ඔහු අපෙන් අපේක්ෂා කළේ කාර්යක්ෂම සේවකයන් වීම විතරයි. The Periodic Table කෘතියේ එන ඔහු පිළිබඳ කතාව සම්පූර්ණ ඇත්ත. යුද්ධයෙන් පස්සෙ මට කවදාවත් ඔහු හමු වෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. අපි හමු වෙන්න යොදාගත් දිනයට දින කීපයකට කලින් ඔහු මියගියා. ඔහු සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කර ගනිමින් සිටි ජර්මනියේ සනීපාරක්ෂක මධ්‍යස්ථානයේ ඉඳලා ඔහු මට ටෙලිෆෝන් කළා. මම දන්න විධියට ඔහුගෙ මරණය ස්වභාවික එකක්. ඒත් මම හරියටම දන්නෙ නෑ. The Periodic Table කෘතියෙදි ඔහුගෙ මරණය මම හිතාමතා අවිනිශ්චිත ලෙස තැබුවා…. මම ඒ ගැන අවිනිශ්චිතව ඉන්නවා වගේ පාඨකයාටත් සැක හිතෙන විධියට තැබුවා.

 

 

@Sunday mawbima

නවතම ලිපි