SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුබිම සහ නඩුවේ වත්මන් තත්ත්වය

 

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 260කට අධික ප්‍රමාණයකට දිවි අහිමි විය. ප්‍රහාරයෙන් පසු සත්‍ය හෙළිදරව් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුණි. එම කොමිෂන් වාර්තාවේදී නිරීක්ෂණය වූයේ ආරක්ෂක අංශවල නොසැලකිලිමත්කම සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණයේ තිබූ ගැටලුකාරී තත්ත්වයයි.

 

 

ප්‍රහාරයට ආධාර කළ බවට සැක කෙරෙන පුද්ගලයින්ට එරෙහිව දීර්ඝ නීතිමය ක්‍රියාවලියක් තවදුරටත් සිදු කෙරෙන අතර, ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළව පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සාලේ රැඳවුම් නියෝග මත දැනට රඳවා සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ඔහුව පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කරන බවයි.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සුරේෂ් සාලේට එල්ල වන චෝදනා, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව සෘජුවම සම්බන්ධ වන කරුණු බවත්, ඒවා හුදු රාජකාරිය පැහැර හැරීම හෝ වෙනත් අවශේෂ කරුණු නොවන බවත් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේය.

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කරුණු දැක්වීම

 

විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, සුරේෂ් සාලේගේ සබඳතා අනාවරණය වන කරුණු කිහිපයක් CID ය විසින් අධිකරණයට වාර්තා කරන ලදී. කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සහරාන්ගේ කණ්ඩායමට ප්‍රහාරයට පෙර තොරතුරු රැස් කිරීමට ඔහු සෘජුව සම්බන්ධ වී ඇති බවත්, ඒ සඳහා තොරතුරුකරුවෙකු යොදවා තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

 

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"මෙම බුද්ධි අංශය පවත්වාගෙන ගියා තවත් තොරතුරුකරුවෙක් පානදුර ප්‍රදේශයේ. ඔහු මේ ප්‍රහාරය සිදුවන බවට පෙර දැනුම් දීමක් කළා. එසේ සිදු කර තිබියදී මෙම ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඔහුගෙන් විමසීමක් කළාම, ස්වාමීනි ඔහු දැනුම් දීමක් කරනවා, මේක අනිවාර්යයෙන්ම යුද හමුදාවේ අවුරුදු 20ක්වත් පළපුරුද්දක් තියෙන නිලධාරියෙක් මෙම ප්‍රහාරයේ පිටුපස ඉන්නවා කියලා. යුද හමුදාවේ උසස් නිලධාරීන් දුරකථනයෙන් දීර්ඝ වශයෙන් මොහුගෙන් ප්‍රශ්න කරලා 2019 අප්‍රේල් මාසේ 26 වෙනිදා මේ තොරතුරුකරු හමුදා බුද්ධි අංශය මගින්ම අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඔහු භාර දෙනවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට (TID). භාර දීලා ඔහුගේ ගෙදර නඩත්තු කටයුතු යුධ හමුදා බුද්ධි අංශය මගින් කරගෙන ගියා. ඒ වගේම ඔහුගේ පුතාට යුද හමුදා බුද්ධි බලකායේ පරිගණක අංශයේ රැකියාවක් දෙන්නත් සැලසුම් කළා ස්වාමීනි."

 

 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, බුද්ධි නිලධාරීවරයෙකුට ඔත්තුකරුවෙක් නඩත්තු කිරීමේ හැකියාවක් නීතිය අනුව තිබුණද, ඔහු අපරාධ සැකකරුවෙකු බවට පත්වීමෙන් පසුවත් එලෙස නඩත්තු කර ඇති බවට තොරතුරු ඇත්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් CID නිලධාරීන් තහවුරු කළේ, සැකකරුවෙකු වූ පසුවත් එලෙස නඩත්තු කිරීම් සිදු කර ඇති බවත්, ඊට සුරේෂ් සාලේ සම්බන්ධ වූ ආකාරයත්ය.

 

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"සැකකරුගේ මෙහෙයවීමෙන් තමයි ඒ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. පසුව මේ සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කළාට පස්සේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාර දීලා, හිටපු සැකකරු ගලදාරී හෝටලයට ගෙනල්ලා ඔහුට ස්තූති කරලා ඔහුට දැනුම් දීමක් කරනවා මේ කටයුත්තෙන් ඉවත් වෙන්න කියලා."

 

 

"ඒ ලෙස ස්තුති කර ඇත්තේ කුමකට දැයි"

මහේස්ත්‍රාත්වරයා විමසූ විට,

 

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"ඔහු ත්‍රස්තවාදී විමර්ශන කණ්ඩායමට යොමු කරලා බුද්ධි අංශ නිලධාරියකු ඔහු වෙත යවලා මේ විමර්ශන සිදුවන ආකාරය පිළිබඳව ඔහුගෙන්ම තොරතුරු ලබාගත්තා. ඇතුළේ කට්ටිය කොහොමද සීඅයිඩී (CID) එකේ විමර්ශනය කරන්න ඕනෙද? ඒක කොහොමද විමර්ශනය කරන්නේ සහ විදේශ රටවල්වලින් ආපු අය කොහොමද ප්‍රශ්න කරන්නේ? ඒ පිළිබඳව තොරතුරු සියල්ල ඒගොල්ලෝ ලබාගත්තා ස්වාමීනි බුද්ධි අංශ නිලධාරියෙක් යවලා."

 

 

DNA පරීක්ෂණ සහ විමර්ශනවලට බලපෑම් කිරීම

 

මීට අමතරව, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් 'සාරා ජෙස්මින්' මියගිය බවට DNA පරීක්ෂණ මගින් තහවුරු කිරීම සඳහා සුරේෂ් සාලේගේ මැදිහත්වීමද අධිකරණය හමුවේ අනාවරණය විය.

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"මෙම ප්‍රහාරයෙන් පස්සේ 2019 අප්‍රේල් 26 වෙනිදා ස්වාමීනි සයින්දමරුදු බෝම්බ පිපිරීමක් සිද්ධ වුණා. එතන ඉන්නවා සාරා ජෙස්මින් කියලා කාන්තාවක්. අද වෙනකම් එම කාන්තාවගේ මෘත දේහයක් සොයාගෙන නැහැ. නමුත් මේ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ ඩීඑන්ඒ වාර්තාවක් තුන්වෙනි අවස්ථාවේදී තමයි සොයාගෙන තියෙන්නේ. එම තුන්වෙනි අවස්ථාවට එම පරීක්ෂණය සිදු කිරීම සඳහා විමර්ශන නිලධාරීන්ට විවිධාකාර බලපෑම් සිදු කර තිබෙන්නේ මේ සැකකරු."

 

 

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ CID හිටපු අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා ඒ පිළිබඳව සාක්ෂි ලබාදී ඇති බවත්, දිගින් දිගටම ආරක්ෂක කවුන්සිලයට නිලධාරීන් කැඳවා සුරේෂ් සලේ බලපෑම් කර ඇති බවත් අනාවරණය විය. බුද්ධි අංශ නිලධාරීවරයෙකු ආරක්ෂක මණ්ඩලයට පොලිස්පතිවරයා කැඳවන්නේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, එය ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු කරුණක් බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය කැඳවන බවත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගේ ඉදිරිපත් කිරීම අනුව එය පවත්වාගෙන ගිය බවත් නිලධාරීන් පැහැදිලි කළේය.

 

 

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"ස්වාමීනි, අවසානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහත්මයා කියනවා මේක දිගින් දිගටම කරන්න කියලා සුරේෂ් සාලේ කියන නිලධාරියා බලපෑම් කරනකොට, ඒක කරන්නේ නැති වුණාම ඔහු ආරක්ෂක කවුන්සිලයට ගෙනල්ලා ජනාධිපති හරහා ඔහුට බලපෑම් කළා. අවසානයේ ඔහුට දුන්න පීඩනය නිසා හෘදයාබාධයක් ඇති වුණා කියලා ඔහු ප්‍රකාශ ලබා දීලා තියෙනවා."

 

 

එවක ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බලපෑම කුමක්දැයි

මහේස්ත්‍රාත්වරයා විමසූ විට,

 

 

විමර්ශන නිලධාරීවරයාගේ ප්‍රකාශය:

 

"ස්වාමීනි තුන්වන වතාවටත් අම්පාර ප්‍රදේශයේ තියෙන මිනී වළවල් හාරලා ඒකේ සාම්පල අරගෙන ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදු කරන්න කියලා කරපු බලපෑම තමයි. සැකකරු දිගින් දිගටම බුද්ධි සමාලෝචන සාකච්ඡාවේදී මේ පිළිබඳව දැනුම් දීලා, මේක ක්‍රියාත්මක කරන්නේ නැති වුණාම තමයි ආරක්ෂක කවුන්සිලයට කැඳවලා ජනාධිපතිතුමාට මේක කියලා තියෙන්නේ, 'මේ සීඅයිඩී එකේ කට්ටිය මේක කරන්නේ නැහැ, මේක ඕනේකමින්ම මඟ අරිනවා' කියලා."

 

 

විත්ති පාර්ශ්වයේ කරුණු දැක්වීම

 

විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සාලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ සිය විරෝධතාවය පළ කළේය. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තම සේවාදායකයා හමුවීමේදී නීතිඥවරුන්ට විවිධ බාධා ඇති වන බවද ඔහු දැනුම් දුන්නේය.

 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ගේ ප්‍රකාශය:

 

"මෙම බෝම්බ ප්‍රහාරය සිදුවන්නේ 2019 වසරේ. දැන් මේ කටුවාපිටිය අරව මේවා කියලා වැඩක් නැහැ. මොකද 2019 මේ තුන්වන සැකකරු ලංකාවේ නෙමෙයි හිටියේ, මැලේසියාවේ. සැකකරු බලපෑම කළා කියන්නේ පොලිසියේ ඩීඅයිජීටයි අයිජීටයි. ඒගොල්ලෝ කෝට් එකක් ඇඳගෙනද ඒ කාලේ හිටියේ? කෝට් එකක් නැතුවද? ඒ කියන්නේ, ලැජ්ජයි. මම කියන මේ කතන්දරය ආරක්ෂක කවුන්සිලයට ගෙනල්ලා ඉවර වෙලා බැන්නලු. අයිජීපීගේ යටතේ තමයි එස්එස් එක තියෙන්නේ. අනිත් එක ආරක්ෂක කවුන්සිලයට කතා කරන්න පුළුවන්ද යුද හමුදා නිලධාරියකුට? ආරක්ෂක කවුන්සිලයේ තියෙන්නේ ජනාධිපතිවරයා විසින් කැඳවන්න. 2019 පාස්කු ප්‍රහාරය සිදු වෙද්දි ආරක්ෂක කවුන්සිලයක් කැඳවලා තිබුණේ නැහැ. ඒ කරුණු සියල්ල අනාවරණය වුණා අර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හත් දෙනෙකු ඉදිරියේ කැඳවූ නඩුවේදී."

 

 

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ නිරීක්ෂණ

 

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන 25 වෙනිදා නැවත කැඳවීමට නියෝග කරමින් පහත නිරීක්ෂණයන් ඉදිරිපත් කළේය.

 

 

මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශය:

 

"තුන්වන සැකකරුට අදාළව ඉදිරිපත් කරන කරුණු පාස්කු ප්‍රහාරයට අදාළව සෘජුව සම්බන්ධ කරුණු. රාජකාරී පැහැර හැරීමේදී අවශේෂ කරුණු නෙවෙයි. ඒ නිසා පෙරදින නියෝගය යම් ක්‍රියාත්මක වීමක් පෙනී යනවා. සාක්ෂි ප්‍රමාණවත්ද නැද්ද කියලා අද දින ඉදිරිපත් කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තා හා ඉදිරියේදී සිදු කරන විමර්ශන අනුව තීරණය කළ යුතුයි. නමුත් නියෝගය ක්‍රියාත්මක වී ඇති බවට අධිකරණය නිරීක්ෂණය වෙනවා. ඒ සාක්ෂිමය කරුණු අවශ්‍ය අවස්ථාවේදී සලකා බලනවා.

 

විමර්ශකයා විසින් තුන්වන සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු තුනේ එක කරුණක් ආරක්ෂක කවුන්සිලයට අදාළ කරුණක්. එහිදී බලන්න ඕනේ ඒ නියෝගය දීලා තියෙන්නේ ජනාධිපතිවරයා නම්, ඒක ආරක්ෂක මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට ස්ථාපිත කරන්න බලයක් තියෙන කාරණයක්ද කියලා. එහෙම තියෙනවා නම් අපරාධ කරුණක් ලෙස සලකන්න බැහැ. අපරාධ වගකීමක් පැවරෙන්නේ විමර්ශනය අඩපණ කිරීමේ චේතනාවෙන් කරා නම් පමණයි. එහෙම නැතුව විමර්ශනයේ යම් යම් පියවර සඳහා ලබා දීපු උපදේශයක් නම්, එනයින්ම අපරාධ වගකීමක් පවරන්න බැහැ. ඒ ගැන තියෙන කරුණු තවදුරටත් විමර්ශනය කරන්න ඕනේ.

 

ආරක්ෂක මණ්ඩලයේදී සිදුවූ සිදුවීම, අපරාධ වගකීමක් පැවරිය හැකි කාරණාවක්ද කියලා පරීක්ෂා කර බලා ඒ ගැන තියෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්න. එහෙමනම් කාටද අපරාධ වගකීම පැවරෙන්නේ, කොහොමද පැවරෙන්නේ කියලත් වාර්තා කරන්න. විමර්ශනවල ප්‍රගතිය මීළඟ දිනයේදී වාර්තා කරන්න. තුන්වන සැකකරු සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කරනවා නම්, අභියාචනාධිකරණයේ පූර්ව නියෝග මත පදනම් වෙලා මොනවද ඉල්ලන්නේ කියලා ලිඛිතව සඳහන් කරන්න, ඉන් පසු සලකා බලනවා. ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිරීක්ෂණය කරනකොට එහි ව්‍යවස්ථාපිත සීමාවන් යටතේ අවශ්‍ය නියෝග නිකුත් කරනවා. පුද්ගලිකව නිරීක්ෂණය කරලා බලලා, ඊට වැඩි යමක් අවශ්‍ය නම් ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි."

 

 

තාර්කික නිගමනය (Logical Conclusion based on the legal parameters)

 

ඉහත අධිකරණ වාර්තාව සහ දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් විශ්ලේෂණය කිරීමේදී, නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය (Presumption of Innocence) මත පදනම්ව අපගේ විශ්ලේෂනයේ  පහත තාර්කික නිගමනයන්ට එළඹිය හැක:

 

  1. චේතනාව ඔප්පු කිරීමේ අවශ්‍යතාව (Mens Rea):

මහේස්ත්‍රාත්වරයා නිවැරදිවම පෙන්වා දෙන පරිදි, හිටපු බුද්ධි ප්‍රධානියාගේ හෝ විධායකයේ මැදිහත්වීම් (උදා: DNA පරීක්ෂණ ඉල්ලීම්, ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා) නීතිය ඉදිරියේ වරදක් බවට පත්වන්නේ ඒවා හුදෙක් සිදු වූ පමණින් නොවේ. එම මැදිහත්වීම් "විමර්ශන අඩපණ කිරීමේ හෝ වෙනත් අපරාධමය චේතනාවකින්" (Criminal Intent / Malice) සිදුකර ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු වේ.

 

  1. විධායක බලය සහ අපරාධ වගකීම අතර සීමාව පරීක්ෂා කිරීම:

ජනාධිපතිවරයා හෝ ආරක්ෂක කවුන්සිලය හරහා විමර්ශන කඩිනම් කිරීමට හෝ යම් පරීක්ෂණයක් (උදා: මිනී වළවල් හෑරීම) නැවත සිදු කිරීමට දෙන උපදෙස්, නීත්‍යනුකූල බලය ක්‍රියාත්මක කිරීමක්ද නැතහොත් අනවශ්‍ය බලපෑමක්ද යන්න තීරණය කිරීම ඉදිරි විමර්ශනවල ප්‍රධාන අභියෝගයයි. එය අපරාධ වගකීමක් දක්වා ගමන් කරන්නේද යන්න පැහැදිලි සාක්ෂි මතම රඳා පවතී.

 

  1. සාක්ෂිවල නෛතික බර (Weight of Evidence):

විත්තිය පෙන්වා දෙන පරිදි සිද්ධිය වූ කාල වකවානුවේ සැකකරුගේ භෞතික ස්ථාපිතය (Alibi - මැලේසියාවේ සිටීම) සහ නියෝග නිකුත් කිරීමේ ධුරාවලිය (Chain of command) පිළිබඳව ඇති නෛතික තර්ක, පැමිණිල්ලේ චෝදනාවලට ප්‍රබල අභියෝගයක් එල්ල කරයි. එබැවින් හුදු ප්‍රකාශ මත පමණක් නොව, එම ප්‍රකාශ තහවුරු කරන ලිඛිත, විද්‍යාත්මක හෝ පරිවේෂණීය සාක්ෂි මත නඩුවේ අවසන් තීරණය තීරණය වනු ඇත.

 

 

සමස්තයක් ලෙස, මෙම නඩු ක්‍රියාවලිය ව්‍යවස්ථාපිත රාජකාරි ක්‍රියාත්මක කිරීම සහ අපරාධමය කුමන්ත්‍රණයක් අතර ඇති සියුම් නෛතික සීමාව නිර්වචනය කරනු ලබන ඉතා තීරණාත්මක විමර්ශනයක් බව නිගමනය කළ හැක. එලෙසම, පැමිණිලි පාර්ශ්වය හෝ ඊට අනුබල දෙන සමාජයේ විවිධ පාර්ශ්වයන් තුළ යම් ආකාරයක පෞද්ගලික හෝ දේශපාලනික අභිමතාර්ථයන් පවතින්නේ නම්, අපක්ෂපාතී සහ යුක්තිසහගත නඩු විභාගයක් හරහා නීතියේ ආධිපත්‍යය තහවුරු වීමෙන්, එම සියලු සැඟවුණු අරමුණු සඳහා ද නිසි නෛතික ප්‍රතිචාරය හිමිවනු ඇත.

 

 

# සමාරා පරණවිතාන

 

නවතම ලිපි