විශ්ලේෂණාත්මක සටහනක්
රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු හුදු ලියවිල්ලක් නොවේ; එය එම රටේ ජනතාවගේ ජීවිතවල වගකීම රජයක් විසින්
කොතෙක් දුරට භාරගන්නේද යන්න මැන බලන ප්‍රධානතම දර්ශකයයි. රජයේ රෝහල් වෙත ප්‍රතිකාර පතා පැමිණෙන්නේ බහුතරයක් සාමාන්‍ය පන්තියේ ජනතාවයි. ඔවුන්ගේ දහදිය මහන්සියෙන් ගෙවන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සෞඛ්‍ය සේවය, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරනු වෙනුවට මරණයේ දොරටුව කරා දක්කන්නේ නම්, එය හුදෙක් මුදල් වංචාවක් පමණක් නොවේ; එය සාහසික මනුෂ්‍ය ඝාතනයකි.
රුපියල් කෝටි 14කට අධික මහජන මුදල් වංචා කරමින් ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ (Human Immunoglobulin) සහ ‘රිටක්සිමැබ්’ (Rituximab) ඖෂධ රජයේ රෝහල්වලට සැපයීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන නඩුව මේ වනවිට රටේ අවධානය දිනාගෙන ඇත. මාර්තු 11 වැනිදා පැවති නඩු විභාගයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේමගේ ලබාදුන් සාක්ෂි සහ ඊට විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න, මෙම ඛේදවාචකයේ ඇතුළාන්තය මැනවින් විවරණය කරයි.
මෙම නඩුවේ මූලික අරමුණ යම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙක් ඉලක්ක කරගෙන වුවත්, අධිකරණ ශාලාව තුළ දිගහැරෙමින් පවතින්නේ සමස්ත රාජ්‍ය සේවයේ කළමනාකරණ බිඳවැටීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම සහ පුරවැසියාගේ ජීවිතය පිළිබඳව පාලකයින් තුළ පවතින අතිශය අවතක්සේරුවයි.

කල් ඉකුත්වූ එන්නත් සහ නීතියේ දෙබිඩි බව
සාක්ෂි විභාගයේදී මතුවූ අතිශය සංවේදී සහ භයානක කරුණක් වූයේ කල් ඉකුත්වූ ජලභීතිකා එන්නත් රෝගීන්ගේ කැමැත්ත මත ලබාදීමට NMRA විසින් ගත් තීරණයයි.
- සාක්ෂිකරුගේ තර්කය: ජලභීතිකා රෝගය වැළඳුණහොත් 99%ක් මියයන බැවින්, එන්නත් හිඟයට පිළියමක් ලෙසත්, මුදල් නාස්තිය වළක්වා ගැනීමටත් විශේෂඥ කමිටු අනුමැතිය මත කල් ඉකුත්වූ එන්නත් භාවිතයට අවසර දුන් බව වෛද්‍ය සේමගේ ප්‍රකාශ කළේය.
- විත්තියේ තර්කය: 6 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන මෙහිදී මතු කළේ ප්‍රබල නීතිමය තර්කයකි. ජාතික ඖෂධ පනත අනුව කල් ඉකුත්වූ ඖෂධ ගබඩා කිරීම හෝ අලෙවිය දඬුවම් ලැබිය හැකි වරදකි.
නීතිය එසේ තිබියදී, රාජ්‍ය ආයතන විසින්ම "තත්ත්වයේ බරපතලකම" මත නීතිය නමා කටයුතු කිරීම මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද? නිසි කළමනාකරණයක් නොමැතිකම හේතුවෙන් සිදුවන ඖෂධ ප්‍රමාදයන්ගේ වන්දිය ගෙවීමට සිදුවී ඇත්තේ, කල් ඉකුත්වූ ඖෂධ තම ශරීරයට එන්නත් කරගැනීමට අකමැත්තෙන් හෝ කැමති වීමට සිදුවන අසරණ රෝගීන්ටය.
විගණන වාර්තා සහ ගුණාත්මකභාවය පිළිබඳ වගකීමෙන් පලායාම

මෙම නඩු විභාගය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ NMRA හි ආයතනික වගකීම් විරහිතභාවය (Institutional Irresponsibility) හොඳින් නිරූපණය වේ. ජාතික තත්ත්ව පරීක්ෂණ අංශයට (NMQAL) පැවරී ඇති ඖෂධ ප්‍රවාහනය හා ගබඩා කිරීමේ රාජකාරි නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව විගණන වාර්තා මගින් පෙන්වා දී තිබියදීත්, ඒ පිළිබඳව ගත් පියවර කුමක්දැයි විනිසුරු මඩුල්ල ප්‍රශ්න කළේය.
ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සාම්පල පරීක්ෂාව සඳහා පෞද්ගලික රෝහලක් (ආසිරි රෝහල) වෙත යැවීමේ ක්‍රියාවලිය ද සැකසහිතය. එම සාම්පල ලබාගන්නා විට ඒවා කුමන තත්ත්වයක තිබුණේද යන්න තමන් නොදන්නා බව ප්‍රධාන විධායක නිලධාරීවරයා අධිකරණයට පැවසීම, සමස්ත පද්ධතියේම පවතින හිඩැස් පෙන්නුම් කරයි. ඖෂධයකින් රෝගියෙකු මියගිය විට ඊට වගකියන්නේ කවුද යන්න විත්තියේ නීතිඥ අසේල සේරසිංහ ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර වූයේ, "මොන අඩුපාඩු තිබුණත් රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් සේවය කිරීමට උත්සාහ කරන" බවයි. එහෙත්, මහජනතාවට අවශ්‍ය වන්නේ නිලධාරීන්ගේ "උත්සාහය" නොව, තමන්ට ලබාදෙන ඖෂධයේ "සුරක්ෂිතභාවයයි".
ආර්ථික අර්බුදය බිල්ලට දීම සහ අදෘශ්‍යමාන හස්තයන්
මෙම නඩුවේ පැමිණිල්ල සහ විත්තිය අතර පවතින ප්‍රධාන මතවාදී ගැටුමක් වන්නේ එකල පැවති ආර්ථික අර්බුදයයි.
- පැමිණිල්ලේ / සාක්ෂිකරුගේ ස්ථාවරය:
2022 වසරේ රටේ විශේෂ ඖෂධ හිඟයක් හෝ බරපතල ආර්ථික අර්බුදයක් තිබූ බවක් තමන් නොදන්නා බවත්, තමන් ආර්ථික විද්‍යාව නොදන්නා බවත් හිටපු NMRA ප්‍රධානියා සාක්ෂි දෙමින් පැවසීය.
- විත්තියේ ස්ථාවරය:
ඩොලර් අර්බුදය නිසා වරායේ ඖෂධ හිරවීම, ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම සහ එම හදිසි තත්ත්වය මත WOR (Waiver of Registration) සහතික නිකුත් කිරීමට සිදුවූ බව විත්තියේ නීතිඥවරු තර්ක කරති.
මෙහිදී පැහැදිලි වන ඛේදවාචකය නම්, දේශපාලන සහ ඉහළ නිලධාරී තන්ත්‍රය විසින් තමන්ගේ අත්තනෝමතික තීරණ (ඖෂධ සමාගම්වලට ලියාපදිංචියකින් තොරව ටෙන්ඩර් ලබාදීම) සාධාරණීකරණය කිරීම සඳහා "රටේ ආර්ථික අර්බුදය සහ ඖෂධ හිඟය" කදිම පලිහක් කරගෙන ඇති බවයි. අනෙක් පසින්, ඖෂධ නියාමන අධිකාරියට අයදුම්පතක් හෝ නොමැතිව ප්‍රධානීන් පත්කිරීමට තරම් දේශපාලන අතපෙවීම් සිදුවී ඇති බවද සාක්ෂි මගින් තහවුරු වේ.
ක්‍රමයේ නරුමත්වය

මහාධිකරණයේ විභාග වන මෙම නඩුවෙන් අවසානයේ නීතිමය වැරදිකරුවන් තීරණය වනු ඇත. එහෙත් සාක්ෂි ගොනුව විසින් සමාජයට ඉදිරිපත් කරන විශාලතම ඇත්ත එය නොවේ. රේගුවෙන් ඖෂධ මුදාහැරීම, තාක්ෂණ කමිටුවල (MEC) නිර්දේශ, WOR සහතික නිකුත් කිරීම යන සියලු ක්‍රියාවලීන් නිලධාරීන් සහ දේශපාලඥයින් විසින් භාවිතා කර ඇත්තේ මහජන ජීවිත සුරැකීමට නොව, ව්‍යාපාරික ගනුදෙනු පහසු කිරීමට බව මෙම සාක්ෂි කියවා බැලීමේදී සාමාන්‍ය පුරවැසියාට හැඟී යයි.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී පවා සත්‍ය ප්‍රකාශ කිරීමට නොහැකිව ඉල්ලා අස්වීමට සිදුවන තරමට සෞඛ්‍ය බලධාරීන් අසරණ වී නම්, වාට්ටුවල ඇඳන් මත මරණය සමග සටන් කරන අසරණ රෝගීන් ගැන කවර කතාද? මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය යන ත්‍රිකෝණය තුළ අතරමං වී ඇත්තේ වෙන කිසිවක් නොව, සාමාන්‍ය පන්තියේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියයි. මෙම නඩුව හුදු කෝටි 14ක මුදල් වංචාවක් නොව, ක්‍රමය තුළ ජනතාවට සලකන නරුම පාලන භාවිතාවේ ජීවමාන සාක්ෂියක් වන්නේ එබැවිනි.
(මෙය අධිකරණ වාර්තාකරණය මත පදනම්ව සකස් කළ ස්වාධීන විශ්ලේෂණයකි.)
නඩු වාර්තාව
11/03/2026
ඒ වන විට රජයේ රෝහල්වල තිබූ ජල භීතිකා රෝගයට භාවිතා කරන එන්නත් භාවිතා කළ හැකි කාලය නිකුත් වී තිබුනත් ඒවා ආනයනය කිරීමට ගතවන කාලය හා ඉතා මිල අධික එන්නතක් වන ඒවා ඉවත දැමීම මගින් රජයේ මුදල් නාස්තියක් වීම යන කරුණු සලකා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ ලබාගෙන රෝගීන්ගේ කැමැත්ත මත කල්ඉකුත් වූ එකී එන්නත් භාවිත කිරීමට අවසර ලබාදීමට තීරණය කළේ යැයි ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරි සවින් නිශාන්ත සේමගේ මහතා ඊයේ (11) කොළඹ ස්ථිර ත්‍රිපුත්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය.
ජාතික ඖෂධ පනතේ ප්‍රතිපාදන අනුව කල්ඉකුත් වූ ඖෂධ භාවිතා කිරීම නීතිමය වරදක් නොවන්නේ දැයි හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එලෙස පැවසූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා කල්ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීම හෝ ගබඩාකොට තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන බවද පැවසීය.
2022.05.24 වැනිදා තමාගේ සහභාගිත්වයෙන් පැවැති, ඖෂධ ඇගයීම් කමිටුවේදී පෙර කී එන්නත් වර්ගය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක අනුමැතියට යටත්ව කල්ඉකුත් වී තිබුනත් තවදුරටත් භාවිතයට ගැනීමට අවසර දීමට තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එකී තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යැවීමටද එහිදී තීරණය කළේ යයිද පැවසීය. ජල භීතිකා රෝගය වැළඳුන රෝගීන්ගෙන් සියයට 99කට වඩා පිරිසක් මිය යාම සිදුවන බැවින් ඉතා සංවේදී එන්නතක් වන එය කල්ඉකුත් වීම නොසලකා පැවැති එන්නත් හිඟයට පිළියමක් ලෙස එකී අනුමැතිය ලබා දුන්නත් ඒවා භාවිතා කළේද නැතිද යන කරුණු තමා නොදන්නේ යයිද පැවසීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍ය අංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේමගේ මහතා දෙවන දිනටත් සාක්ෂි දීම සිදු කළේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු වෙත ලිපියක් ඉදිරිපත් කර සාක්‍ෂි ලබා ගැනීම සිදුකළ අතර 2022.07.13 දිනැති. එම ලිපිය වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්කළ ලිපිය බව සාක්‍ෂිකරු හඳුනා ගත්තේය. ප්‍රශ්න ගත එන්නත් සැපවූයේ යැයි කියන අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා සමාගම විසින් ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට ඉදිරිපත් කළ ලිපියද නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විසින් එම සාක්ෂිකරුට පෙන්වා දුන් අතර සාක්ෂිකරු එම ලිපියද හඳුනා ගත්තේය.
එහිදී නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු ඉන්දියාවේ හෝ එහි ප්‍රාන්ත රාජ්‍යවල ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙනුයේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ එරට ලියාපදිංචි කළ ඖෂධ පමණක් වන්නේ යැයි පැවසීය. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ දකුණු ආසියානු රටවලට හෝ අප්‍රිකානු රටවලට අපනයනය කිරීමට අවසර ලබා ගනුයේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ දැඩි නිර්දේශ මත වන්නේ යැයිද පැවසූ සාක්ෂිකරු පැ 127 (1) ලෙස ලකුණු කර ඇති ලේඛණය අදාළ ආයතන වෙත යවා තිබීම අවශ්‍ය පියවර ගැනීමට පහසුවක් වී ඇති බව තමා පිළිගන්නේ යයිද පැවසීය.
තමා යුද හමුදා සේවයේ යෙදී සිටියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වීමක් ලද නමුත් එකී තනතුර සඳහා තමා අයදුම් පත්‍රයක් හෝ ඉදිරිපත් නොකළ බවත් ජාතික ඖෂධ නියාමන පනත අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බවද එම සාක්ෂිකරු පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. 2021.11.09 වැනිදා පළමු වරට තමාව එම තනතුරට පත්කිරීමට නිර්දේශ කරනු ලැබුවේ කවුදැයි? තමා නොදන්නා බවද පැවසූ සාක්ෂිකරු 2022.05.30 වැනිදා පුද්ගලික හේතූන් මත තමා එම තනතුරින් ඉල්ලා අස්වූ බවත් එකල රට තුළ යම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ බවට තමාට අවබෝධයක් නැතැයි විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. 2024.08.01 වැනිදා තමාව දෙවන වරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නැවත පත්කළ බවත් එකී පත්වීම සිදුකරනු ලැබුවේ තමා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව බවත් සාක්ෂිකරු පැවසීය.
විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කළ වාර්ෂික විගණන වාර්තාවක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවතින ජාතික තත්ත්ව පරීක්ෂණ අංශය වෙත පැවැරී ඇති ඖෂධ ප්‍රවාහනය හා ගබඩා කිරීමට අදාල රාජකාරී වගකීම් නිසි ලෙස ඉටුකර නොමැති බවට නගන චෝදනාව පිළිබඳව කුමන පියවරක් ගත්තේ දැයි සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු ඒ පිළිබඳව සොයා බලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කළ බව පැවසීය. එකී අඩුපාඩු නිසා ඖෂධ වල ගුණාත්මක භාවයට යම් හානියක් සිදුවූ බවට වාර්තා වූයේ දැයි විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු එවැනි අඩුපාඩු ඖෂධ වල ගුණාත්මක භාවයට යම් හානියක් සිදුවිය හැකි කරුණු වන බැවින් වහාම ඒවා සම්පූර්ණ කිරීමට තමාට ගතහැකි සෑම පියවරක්ම ගත් බවද පැවසීය.
එවැනි ගැටලු නිසා ඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳව යම් ගැටලු ඇතිවූ බවට රජයේ රෝහල්වලින් වාර්තා වූයේදැයි සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු තමා රාජකාරි කළ කාලය තුළ එවැනි සිද්ධියක් පිළිබඳව වාර්තා නොවූ බවද පැවසීය. නමුත් පෞද්ගලික ඖෂධ ගබඩාවලින් එවැනි සිද්ධීන් කීපයක් වාර්තා වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය. මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය අනුව ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝ ග්ලොබියුලිම් හා රිටක්සිමැබ් යන ඖෂධ වල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත සාම්පල් යැවීම පිළිබඳව විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකරු එකී සාම්පල ලබාගන්නා විට කුමන තත්ත්වයෙන් තිබුණේ දැයි තමා නොදන්නා බවත් එකී සාම්පල ලබා ගන්නා ලෙසට තමා නියෝග කළත් ඒවා ලබාගෙන අදාළ රෝහල වෙත යවනු ලැබුවේ ජාතික තත්ත්ව පරීක්‍ෂණාගාරයේ අධ්‍යක්ෂවරයාගේ මග පෙන්වීම යටතේ වන්නේ යැයි පැවසීය.
විත්තියේ නීතිඥවරයා ; එම සාම්පල ආසිරි රෝහල වෙත යවන්න අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ ලබා දුන්නාද කවුද එම ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව පැමිණිලි කළේ?
සාක්ෂිකරු ; අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ ගත්තාද කියලා මට මතක නෑ. මම දෙවනි වරට එම තනතුරට පත්වන විට පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබුණේ යයිද සාක්ෂිකරු පැවසීය.
විත්තියේ නීතිඥ වරයා ; ප්‍රශ්නගත එන්නත හා ඖෂධයේ ගුණාත්මක භාවය ගැන යම් පැමිණිල්ලක් ලැබී තිබුණාද ?
සාක්ෂිකරු ; ගුණාත්මක භාවය ගැන නෙමෙයි සංකූලතා ගැන වාර්තා වූ බව දන්නවා. නමුත් ඒවා මොනවාද කියලා අවශ්‍ය ලේඛන නොබලා කියන්න බෑ. එම එන්නත් නිෂ්පාදනය කළ සමාගමේ හිමිකරු විසින් කරන ලද ආරාධනාවක් අනුව මම ඇතුළු නිලධාරීන් පිරිසක් එම කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට නිරීක්ෂණ වාර්තාවක් සිදුකළා. එම නිරීක්ෂණ වාර්තාව සිදුකළ දවසේ එනම් 2022.05.30 වැනිදා තමයි මම පළමුවරට එම තනතුරෙන් ඉල්ලා අස්වුණේ.
හයවන සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
"හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. එයට සහභාගි වූ සමහර නිලධාරීන් කීවා දැඩි ලෙස ඖෂධ හිඟයක් තිබෙන බව. එකී කරුණු සත්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට මා එදින අවස්ථා කීපයකදීම උත්සාහ කළත් ඒ සඳහා මට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා 2022.05.20 වැනිදා පැවැති එම රැස්වීමෙන් අනතුරුව මා ඉල්ලා අස්වීම භාර දුන්නා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගැටලු තියෙන බවට එම රැස්වීමේදී අදහස් ඉදිරිපත් වුණා. අගමැතිවරයා ඇතුළු නිලධාරීන් මට එහිදී අදහස් දක්වන්න ඉඩ දුන්නේ නෑ”.
විත්තියේ නීතිඥ ; මා ඔබට යෝජනා කරනවා සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරුම් දී අධිකරණය හමුවේ ඔබ ප්‍රකාශ කරන්නේ අසත්‍ය කරුණු කියලා?
සාක්ෂිකරු ; මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මා සමග එම රැස්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාත් සහභාගි වුණා.
විත්තියේ නීතිඥ ; එකල ඖෂධ හිඟයක් පැවතියේ ඖෂධ නිෂ්කාරනය කිරීමට බැරිව වරායේ ඖෂධ ඇනවුම් ගොඩ ගැසී තිබූ නිසා නේද ? ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීමට නොහැකි වීම ඇතුළු ගැටලු නිසයි කියා මා ඔබට යෝජනා කරනවා. සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඔබට දැනුමක් තිබෙනවා නේද එකල යම් අර්බුදකාරී තත්ත්වයක් තිබුණ බව. රටේ පැවැති ආර්ථික අර්බුදය ගැන ඔබට දැනීමක් තිබෙන්න ඕනනේ? යම් පාර්ශ්වයක් නීති විරෝධී යෝජනාවක් ඔබගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළොත් ඔබලාට හැකියාව තිබෙනවා නේද එම ඉල්ලීම ඉවත දාන්න?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අසේල සේරසිංහ මහතා ; යම් ඖෂධයක් ආනයනය කලාම ඒවා රේගුවෙන් මුදා හැරීමට ඔබගේ අත්සන සහිත සහතිකය ආනයන අපනයන පාලකවරයා වෙත යැවීම අත්‍යවශ්‍යයි නේද?
සාක්ෂිකරු ; ඔව් ඖෂධ මුදා හැරීම ඒක නැතුව සිදු කරන්නේ නැහැ.
විත්තියේ නීතිඥ ; එවැනි ලිපියක් නිකුත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එකී ඖෂධ තාක්ෂණ කමිටුවේ ඇගයීමට ලක්වී ඇති බව නේ. ඖෂධ සැපයුම්කරුවකු ආනයනය කළත් පරිත්‍යාගයක් ලෙස ඒවා ලැබුණත් එම ක්‍රමයමනේ අනුගමනය කරන්නේ?
සාක්ෂිකරු ;ඔව් ස්වාමීනි
විත්තියේ නීතිඥ ; ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් හා රිටක්සිමැබ් කියන ඖෂධ දෙක ගැන පරීක්ෂණ සිදුකළ බව ඔබ දන්නවනේ . ඒ ගැන සොයා බැලීමක් කළේ නැතිද ?
සාක්ෂිකරු ; මම දෙවනවර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වන විටත් එම විමර්ශන ආරම්භ කොට තිබුණේ. සොයා බැලීමක් කරන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. පොලිසියේ මහත්වරු ඉල්ලපු ලේඛන ඔවුන්ට ලබා දීමට පියවර ගත්තා. එම ලේඛන ගැන මා පුද්ගලිකව සොයා බැලීමක් කළේ නැහැ. විමර්ශන වලට අවශ්‍ය සහය දුන්නා.
විත්තියේ නීතිඥ ; ඔබ කීවනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙක් (MEC) කමිටුවේ සාමාජිකයෙක් කියලා.
සාක්ෂිකරු ; ඔව්
විත්තියේ නීතිඥ ; ඔහුව එම කමිටුවට පත් කරන්නේ කවුද?
සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි
එම පත්වීම් කරන්නේ සෞඛ්‍ය පද්ධතිය ගැන සොයා බැලීමට ඔහුට වගකීමක් තිබෙනවා. එම කමිටුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ දැනුමක් ඇති අය ඉන්නවා.
විත්තියේ නීතිඥ ; ඕනෑම ඖෂධයක් ගෙන්වන්නේ මෙක් කමිටුවේ නිර්දේශය මත නේ. එවැනි ඖෂධයක් සම්බන්ධයෙන් යම් සංකූලතාවයක් වාර්තා වුණාම යම් රෝගියෙක් මිය ගියාම එම තාක්ෂණ කමිටුවේ සාමාජිකයන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට යම් නීතිමය පියවරක් ගත් බවට ඔබට මතකයක් තිබෙනවාද?
සාක්ෂිකරු ; එම ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. මොන අඩුපාඩුකම් තිබුණත් රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන්නේ හැකි උපරිමයෙන් තියෙන සම්පත් යොදාගෙන උපරිම මහජන සේවාවක් කරන්නයි.
විත්තියේ නීතිඥ ;යම් ඖෂධයක් ආනයනය කළ පසු වරායෙන් නිදහස් කළ යුතු කාලය ඉකුත් වී තිබුණොත් ඒ සඳහා සැපයුම්කරු ඉල්ලීමක් කළොත් එම කාලය දීර්ඝ කර දෙනවා නේද? එලෙස කාලය දීර්ඝ කළ පසු ගෙන්වන ඖෂධ වල භාවිතා කළ හැකි කාලය ඉක්ම යනතුරු අලෙවි කිරීමට බාධාවක් නෑනේ?
සාක්ෂිකරු ; නැහැ. එලෙස දීර්ඝ කිරීම් සිදුකර තිබෙනවා. ජීව කාලය ඇතිනම් එය අලෙවි කිරීමට බාධාවක් නෑ.
හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඔබව ඖෂධ නියාම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පළමු වරට පත් කරන විට එම තනතුර පුරප්පාඩුවක් තියෙන බවට හෝ ඒ සඳහා ඔබ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් නොකළ බව කීවානේ? කවුද ඒ සමයේ ඖෂධ නියාමන අධිකාරිය භාරව සිටි අමාත්‍යවරයා?
සාක්ෂිකරු ; මහාචාර්ය චන්න ජයසුමන මහතා තමයි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ.
විත්තියේ නීතිඥ ; ඔබ කීවනේ 2023.05.30 වැනිදා ඔබ ඉල්ලා අස්වන විට රටට ඖෂධ ගෙන්වීමට කිසිම බාධාවක් තිබුණේ නෑ රටේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ කියලා. මා යෝජනා කරනවා ඔබ ඒ ගැන කීවේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා?
සාක්ෂිකරු ; මම ඒක ප්‍රතික්ෂේප කරනවා. හැමදාම ඖෂධ ගැටලු තිබුණා. දැනටත් තිබෙනවා. විශේෂ ඖෂධ හිඟයක් තිබුණේ නෑ.
විත්තියේ නීතිඥ ; ඒ කාලේ ඖෂධ සැපයුම් කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි තරම් ගැටලු තිබුනනේ ? ඒ ගැන ඔබතුමා දන්නවා නේද?
සාක්ෂිකරු ; ඒක මගේ විෂය පථයට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන කියන්න බෑ.
විත්තියේ නීතිඥ ; මුදල් ගැටලු නිසා ආනයනය කළ ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා නැව්වලට ප්‍රමාද ගාස්තු පවා ගෙවන්න සිදුවුන බව ඔබ දන්නවාද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.
සභාපති විනිසුරු ; සිදු වුණා කියලා දැනගන්න ලැබුණාද නෙමෙයි. එහෙම දෙයක් ගැන දැනුවත්ද කියලා අහන්න.
විත්තියේ නීතිඥ ; මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණු ගැන අහන්නද කියලා ඔබතුමා දැනුවත්ද? 2021.09.11 වැනිදා සිට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීම කොපමණද කියලා දැනගන්න ඔබ කැදෙව්වා කීවානේ ? ඔබ ඊට අදාළ ලේඛන ඉදිරිපත් කර නෑ කියලා මා යෝජනා කරනවා.
සාක්ෂිකරු ; මා එය ප්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ ; සාමාන්‍ය පුරවැසියෙක් ලෙස රටේ ආර්ථික ගැටලු තිබුණ බවට ඔබ නොදන්නවා කියන්නෙත් සත්‍යයක් නෙමෙයි.
සාක්ෂිකරු ; මම ආර්ථික විද්‍යාව ගැන දන්නේ නෑ. ඒ නිසා ඒකට උත්තර දෙන්න බැහැ.
වැඩිදුර සාක්ෂි විමසීම අද (12) දක්වා කල් තැබිණි.

