SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

"විමර්ශනයක් කරන්නේම යම් නිශ්චිත අරමුණක්, එනම් යමෙකු වරදකරුවෙකු කිරීමේ පෙර නිගමනයක් සහිතව නම්,

අධිකරණයකින් ඇති පලක් තිබේද?" පිළිතුර ඉතා සරල ය. නිදහස් සහ ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වන්නේම, විමර්ශන ආයතනවල (පොලිසිය/අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) අත්තනෝමතික, සදොස් හෝ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් නීතිය නැමති උරගලෙහි උරගා බැලීමටය. "කිසිවෙකුත් අධිකරණයක් මගින් වරදකරුවෙකු කරන තුරු ඔහු නිවැරදිකරුවෙකු ලෙස සැලකිය යුතුය" (Presumption of Innocence) යන උත්තරීතර නීතිමය මූලධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ අධිකරණය නම් වූ මෙම විවෘත වේදිකාව තුළය.

 

 

 

ඊයේ (2026 මාර්තු 10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ (IVIG) එන්නත් නඩුවේ වාර්තාව, මෙම යථාර්ථය මොනවට පැහැදිලි කරන කදිම කැඩපතකි. නීතිඥ නයන්ත විජේසුන්දර අධිකරණය හමුවේ සෘජුවම කියා සිටියේ එවැන්නකි.

රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංක ලෙස ව්‍යවහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති මෙම නඩුව, හුදු මූල්‍ය වංචාවක් පිළිබඳ විභාගයක් පමණක්ම නොවේ. එය ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලියේ (Criminal Justice System) පවතින ආයතනික දුර්වලතා සහ නීතියේ හිඩැස් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කෙරෙන අධිකරණමය සටන් බිමකි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විනිසුරු විරාජ් වීරසූරිය සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (10) දිගහැරුණු නඩු විභාගය තුළ පැමිණිල්ල සහ විත්තිය අතර ඇතිවූ තාර්කික ගැටුම් පහත පරිදි පෙළගැස්විය හැකිය.

 

Untitled 40

 

  1. විමර්ශන ආයතනවල "සැඟවුණු න්‍යාය පත්‍රය" සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අසරණභාවය

 

අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර අධිකරණය හමුවේ බරපතල බෝම්බයක් පුපුරුවා හැරියේය. එනම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම විමර්ශනය සිදු කර ඇත්තේ පෙර තීරණය කළ නිශ්චිත ඉලක්කයක් (Predetermined Target) සිතැතිව බවට විත්තියට සාධාරණ සැකයක් මතුවන බවයි.

 

මෙම තර්කය හුදු වාගාලාපයක් නොවන්නේ, රාජ්‍යයේ ප්‍රධාන නීති නිලධාරියා වන නීතිපතිවරයා නියෝජනය කරන පැමිණිල්ල (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය) පවා CID ය විසින් සිදුකළ ඇතැම් දෑ සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් නොසිටි බව අධිකරණයේදී අනාවරණය වීම නිසාවෙනි. මෙහිදී අධිකරණය අමතමින් නීතිඥ නයන්ත විජේසුන්දර දැක්වූ අදහස නඩු වාර්තාවේ මෙසේ සටහන් වේ:

 

නීතිඥ නයන්ත විජේසුන්දර:

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර ඇත්තේ විමර්ශන නිලධාරීන් යම් කිසි නිශ්චිත අරමුණක් ඔවුන්ගේ සිත් තුළ තබාගෙන දැයි කියන සැකය ඔවුන් සිදුකළ විමර්ශනවල කරුණු අනුව විත්තියට මතුවනවා. නීතිපතිවරයා පවා ඇතැම් කරුණු ගැන දැනුවත් භාවයකින් නොසිටි බවට අනාවරණය වී ඇති බැවින් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, උගත් නීතිඥවරයා තමාට පෙර අධිකරණය හමුවේ දැක්වූ කරුණු වලට මාද එකඟ වනවා."

විමර්ශන ආයතනයක් තමන්ට උපදෙස් දෙන නීතිපතිවරයාගෙන් පවා කරුණු වසන් කරන්නේ නම්, එහි පාරදෘශ්‍යභාවය පිළිබඳව විත්තිය නගන තර්කය නීතිමය වශයෙන් ඉතා ප්‍රබලය.

 

2. සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සහ මූලික අයිතිවාසිකම්

 

දෙවන සාක්ෂිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේවගේ ලබාදුන් දෙවන කටඋත්තරය විත්තියට ලබා නොදීම මත දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

 

  • විත්තියේ ප්‍රහාරය: නීතිඥ අසේල සේරසිංහ පෙන්වා දුන්නේ මෙය අමු අමුවේ නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

 

නීතිඥ අසේල සේරසිංහ:

"පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතුව තිබූ ලේඛනයක් ලබා නොදීම මගින් සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක්. යම් විත්තිකරුවෙකුට එරෙහි අධි චෝදනා ගොනුකරන විට එය සමඟ පැමිණිල්ලේ සියලු සාක්ෂිකරුවන් විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප්‍රකාශනවල පිටපත් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තියට ලබාදීම පැමිණිල්ලේ වගකීමක්. එලෙස පෙර කී ලේඛන ලබාදිය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 162 (2) ඊ වගන්තිය මගින් පෙන්වා දී තිබෙනවා. එලෙස නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 අනු ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා."

 

  • පැමිණිල්ලේ ප්‍රතිප්‍රහාරය: නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉතා සූක්ෂම ලෙස එම ප්‍රහාරය මැඩපැවැත්වූවාය. ඇය වහාම ක්‍රියාත්මක වී එම ලේඛන අධිකරණයට ගෙන්වා ගත් අතර, එකී 162 වගන්තියම උපුටා දක්වමින් අධිකරණයට මෙසේ කරුණු දැක්වීය:

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය:

"එකී සාක්ෂිකරුගේ සාක්ෂිය කැඳවීමට පැමිණිල්ලට ඇති අයිතියට බාධා කිරීමට විත්තියට අයිතියක් නෑ. විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන් පරිදි එකී ලේඛනය ලබා නොදීම මගින් විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බව අධිකරණයට පෙන්වා දෙනවා. මෙය අතපසුවීමක් මිස චේතනාත්මිකව කළ ක්‍රියාවක් (Mens rea) නොවෙයි."

 

  • විනිසුරු මඩුල්ලේ සමබරතාව: අධිකරණය මෙහිදී ඉතා සාධාරණ සහ සමබර තීන්දුවක් ගත්තේය. පැමිණිල්ලට මූලික සාක්ෂි මෙහෙයවීමට ඉඩ දුන් අතර, හරස් ප්‍රශ්න ඇසීම පසුදින දක්වා කල් තැබුවේ විත්තියට එම අලුත් ලේඛනය අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමිනි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:

"විත්තියට පුළුවන් එම ප්‍රකාශය අධ්‍යයනය කරලා 11 වැනිදා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන්න."

 anaesthetic drug medicine health 727696

 

 

3. රහස් පාපොච්චාරණයේ අභිරහස (127 වගන්තිය)

 

දසවන විත්තිකරු වන හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක විසින් මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ ලබා දී ඇති රහස් ප්‍රකාශය (Confession/Statement) පිළිබඳව මතුවූ සංවාදය නඩුවේ තවත් හැරවුම් ලක්ෂ්‍යයකි. මෙහිදී පැමිණිල්ල (නීතිපති) සහ විමර්ශන ආයතනය (CID) අතර පවතින සන්නිවේදන පරතරය මැනවින් හෙළි විය.

නීතිඥ රහුල් ජයතිලක:

"මෙම නඩුවේ දහවන විත්තිකරු මහේස්ත්‍රාත්වරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ පාපොච්චාරණයක් (රහස් ප්‍රකාශයක්) ලබා දී තිබෙනවා. මට විත්ති වාචකය ගොඩනැගීම සඳහා එහි පිටපතක් ලබා දීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා."

 

නීතිඥ අසේල සේරසිංහ:

"ඒකේ පිටපතක් අපිටත් ඕන."

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන (දස වන විත්තිකරු වෙනුවෙන්):

"මම මෙම අවස්ථාවේ එවැනි ඉල්ලීමක් කරන්නේ නෑ."

ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල:

"එම රහස් ප්‍රකාශය නඩු ගොනුවේ තිබෙනවාද කියලා සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා."

මෙම අවස්ථාවේදී අධිකරණය මැදිහත් වී එහි සිටි CID නිලධාරියෙකුගෙන් කරුණු විමසූ අතර, එහිදී සිදුවූ සංවාදය විමර්ශනවල ස්වභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි:

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"එහෙම බවක් පැමිණිල්ල දන්නේ නෑ."

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා:

"ස්වාමීනි, දස වන සාක්ෂිකරු එහෙම රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්තුමාට දීලා තියෙනවා."

නීතිඥ රහුල් ජයතිලක:

"පැමිණිල්ල දන්නේ නෑ නමුත් සී අයි ඩී ය දන්නවා."

නීතිඥ අසේල සේරසිංහ:

"නීතිපතිවරයා එවැනි ලේඛනයක් තිබුණාද නැතිද කියලත් දැනගත්තේ අද. මේ අනුව පෙනෙන්නේ මේකේ විමර්ශනයට අදාළ සමහර දේවල් නීතිපති නොදන්නවාට සී අයි ඩී නිලධාරීන් දන්නා බවයි. ඒ ගැන අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතිනම් විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ලැබෙන්නේ නෑ."

කෙසේ වෙතත්, මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ තර්කයට ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කළාය:

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:

"දෙවන විත්තිකරුගේ නීතිඥවරයා කිසිම දෙයක් නොදන්න බවට පවසන එක අසත්‍යයක්. එම විත්තිකරු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කලා. එම පෙත්සමේ මේ සියලු කරුණු ඇතුළත් කර තිබෙනවා. ඒ කරුණු වසන් කරලා තමයි දෙවන විත්තිකරුගේ නීතිඥ අසත්‍ය දේශනයක් කළේ."

 

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා විත්තියේ ඇතැම් නීතිඥවරුන්ගේ මෙම උපායමාර්ගික හැසිරීම මැනවින් ග්‍රහණය කර ගනිමින් තීන්දුව ප්‍රකාශ කළේය:

සභාපති විනිසුරුවරයා:

"මෙම රහස් ප්‍රකාශය ගැන එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාවත් ඉල්ලීමක් කර නෑ. දෙවන හා නම වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් දස වන විත්තිකරුගේ එකී රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පදනම් විරහිත බවයි අධිකරණය නිරීක්ෂණය කළේ. එය පදනම් විරහිතව ආරක්ෂාව සඳහා කළ ප්‍රකාශයක් බව පෙනී යනවා."

 

4. ආයතනික වගකීම් සහ බලතල හෙළිදරව්ව

 

දෙවන සාක්ෂිකරු වන විශේෂඥ වෛද්‍ය සවින් සේවගේ ගේ සාක්ෂිය හරහා ඖෂධ ගෙන්වීමේ නීතිමය ක්‍රමවේදය සහ වගකීම් බෙදී යන ආකාරය පැහැදිලි විය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සහ සාක්ෂිකරු අතර ඇතිවූ ප්‍රශ්නෝත්තර මාලාව ඉතා තීරණාත්මකය:

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:

"ඊට අදාලව අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණ වෙනස් වූ අවස්ථා තිබෙනවාද?"

සාක්ෂිකරු:

"මගේ සේවා කාලය තුළදී එහෙම වෙලා නැහැ."

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුළුවන්ද ඖෂධ ඇගයීම් සහතික සඳහා අනුමැතිය ලබාදීමට?"

සාක්ෂිකරු:

"නැහැ ඔහුට එහෙම බලයක් නැහැ."

 

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැ 93 දරන ලේඛනය ඉදිරිපත් කරමින් සාක්ෂිකරුගෙන් කළ විමසීම:

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"ඔය ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද? ඔහුව ඔබ අඳුනනවාද?"

සාක්ෂිකරු:

"ඔව් ස්වාමීනි, ඔහු වෛද්‍ය විජිත් ගුණසේකර මහත්මයා."

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:

"ඔබ ඒක දැක්ක ගමන් එහෙම කියන්න දැනුවත් වුනේ කොහොමද?"

සාක්ෂිකරු:

"එතුමා සමග මම වැඩ කරලා තියෙනවා. අනික එතුමාගේ නම මෙම ලේඛනයේ තියෙනවානේ? එතුමා වෛද්‍ය පරිපාලකයෙක්. (සාක්ෂිකරු විත්තිකාර විජිත් ගුණසේකර මහතාව හඳුනා ගනී)"

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:

"ඔබද පැ 93 ට අදාල ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ?"

සාක්ෂිකරු:

"එම ගොනුවේ මුල් ලේඛන මම නෙවෙයි භාර දුන්නේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයක් අනුව අනෙක් ලේඛන මම භාර දුන්නා."

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඖෂධ ඇගයීම් සහතික සඳහා අනුමැතිය ලබාදීමට කිසිදු බලයක් නොමැති බවට" වූ මෙම සාක්ෂිය, අදාළ වංචාව සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන කාරණය තීරණය කිරීමේදී ඉදිරියේදී ඉතා තීරණාත්මක වනු ඇත.

 

5. අධිකරණය නම් වූ මානුෂීය අවකාශය

 

මෙතරම් බරපතල, නීතිමය තර්ක විතර්ක මැද වුවද අධිකරණය යනු රොබෝවරුන්ගේ භූමියක් නොවේ. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සිය සහයක රජයේ අධිනීතිඥවරයාගේ හිසට සිහින් 'ටොක්කක්' ඇනීමෙන් අධිකරණයේ නැගුණු සිනහව, නීතිගරුක මෙන්ම දැඩි ආතතියකින් යුක්ත පරිසරයක් තුළ මතුවන මානුෂීය ස්වභාවය විදහා දක්වයි.

පසු සටහන -

කෙසේ වුවද යම් හෙයකින් අධිකරණයක් නොතිබුණේ නම්, CID ය විසින් විත්තියෙන් සඟවන ලද සාක්ෂි කිසිදිනෙක එළියට නොඑනු ඇත. නීතිපතිවරයා නොදන්නා කරුණු විමර්ශන නිලධාරීන් විසින් රහසේම හසුරුවනු ඇත. අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ "නිශ්චිත ඉලක්ක" හමුවේ අහිංසකයන් මෙන්ම වැරදිකරුවන්ද එකම කූඩයකට වැටෙනු ඇත. සාක්ෂි කිරා මැන බලා, තර්කයට ඉඩ දී, යුක්තියේ තරාදිය සමබර කරන්නේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැනි අධිකරණ ක්‍රියාවලියක් මගිනි.

 image 07b40f04ca

 

නඩු වාර්තාව

10/03/2026

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර ඇත්තේ විමර්ශන නිලධාරීන් යම් කිසි නිශ්චිත අරමුණක් ඔවුන්ගේ සිත් තුළ තබාගෙන දැයි කියන සැකය ඔවුන් සිදුකළ විමර්ශනවල  කරුණු අනුව විත්තියට මතුවන්නේ යැයි එම නඩුවේ අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  නයන්ත විජේසුන්දර මහතා ඊයේ (10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රකාශ කළේය.

 

විමර්ශන නිලධාරීන් සිදුකළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකළ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පවා දැනුවත් භාවයකින් නොසිටි බවට අනාවරණය වී ඇති බැවින් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, උගත් නීතිඥවරයා තමාට පෙර අධිකරණය හමුවේ දැක්වූ කරුණු වලට තමාද එකඟ වන්නේ යැයිද නීතිඥ නයන්ත විජේසුන්දර මහතා විනිසුරු මඩුල්ලට ප්‍රකාශ කළේය.

 

එකී කරුණු අනුව විමර්ශන සම්බන්ධයෙන් යම් ගැටලු සහගත බවක් ඉස්මතු වී ඇතැයි හෙතෙම ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේවගේ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවවිසින් 2024.05.07 වැනිදා ලබාගෙන තිබූ දෙවන කටඋත්තරයේ පිටපතක් විත්තියට මේ දක්වා ලබා නොදීම සම්බන්ධයෙන් එම සාක්ෂිකරු ඊයේ (10) සාක්‍ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළහ. පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතුව තිබූ ලේඛනයක් ලබා නොදීම මගින් සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් යම් විත්තිකරුවෙකුට එරෙහි අධි චෝදනා ගොනුකරන විට එය  සමඟ පැමිණිල්ලේ සියලු සාක්ෂිකරුවන් විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප්‍රකාශනවල පිටපත් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තියට ලබාදීම පැමිණිල්ලේ වගකීමක් වන්නේ යැයි දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

 

එලෙස පෙර කී ලේඛන ලබාදිය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 162 (2) ඊ වගන්තිය මගින් පෙන්වා දී ඇතැයි ද පැවසූ නීතිඥ අසේල සේරසිංහ මහතා එලෙස නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 අනු ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද පැවසීය. පැමිණිල්ලේ දෙවන සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා විමර්ශන නිලධාරීන්ට පෙර සඳහන් කළ දිනයේ දෙවන වරට ප්‍රකාශයක් ලබා දී ඇති බව තමාද දැනගත්තේ එම සාක්ෂිකරු ඊයේ (10) උදෑසන උපදෙස් ලබාදීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නේ යැයි විත්තියේ නීතිඥවරයා දැක්වූ මූලික විරෝධතාවයට පිළිතුරු දෙමින් පැවසූ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ බව දැනගත් වහාම විමර්ශන භාරව සිටි නිලධාරියා කැඳවා එකී ප්‍රකාශයේ පිටපත් විත්තියට ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව පැවසුවාය.

 

විනිසුරු මඩුල්ල හමුවේදී, අපරාද නඩු විධාන සංග්‍රහය පනතේ 162 වගන්තිය කියවූ නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය  එකී සාක්ෂිකරුගේ සාක්ෂිය කැඳවීමට පැමිණිල්ලට ඇති අයිතියට බාධා කිරීමට විත්තියට අයිතියක් නොමැති බවත් විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන් පරිදි එකී ලේඛනය ලබා නොදීම මගින් විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නාය.

 

මෙය අතපසුවීමක් මිස චේතනාත්මිකව කළ ක්‍රියාවක් නොවන්නේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පෙන්වාා දුන්නාය. ඇය එම කරුණු දැක්වීම සිදුකරන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ සාක්ෂිකරුගේ දෙවන ප්‍රකාශයේ පිටපත් පැමිණිල්ලට භාර දීමෙන් අනතුරුව ඒවා විත්තියට භාරදීම සිදු කළේය.

 

පූර්ව නඩු විභාගය අවසන් කිරීමට හා මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් කිරීමට පෙර විත්තිය සඳහන් කළ සාක්ෂිකරුගේ දෙවන ප්‍රකාශය විත්තියට ලබා නොදීමෙන් අගතියක් සිදුවී නොමැති බවත් මේ වන විටත් එකී ප්‍රකාශයේ පිටපත් විවෘත අධිකරණය  හමුවේදී ලබාදී ඇති බැවින් ඊයේ (10) දිනයේදී පැමිණිල්ලේ මූලික සාක්‍ෂි මෙහෙයවීම අවසන් වූ පසුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම සිදු නොකර  (11) දක්වා හරස් ප්‍රශ්න ඇසීම කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල පෙර කී සාක්ෂිකරුගේ මූලික සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ලට අවසර ලබා දුන්නේය.

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; විත්තියට පුළුවන් එම ප්‍රකාශය අධ්‍යයනය කරලා 11 වැනිදා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන්න.

 

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු ; මම 1990 වසරේදී වෛද්‍ය සිසුවෙක් ලෙස යුද හමුදාවට බැඳුනා. වෛද්‍ය උපාධිය 1997 ලබාගත් පසුව 2023 වසරේදී විශ්‍රාම යනතුරුම එහි සේවය කළා. ජාතික නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගත් මා 2022.05.30 වැනිදා ඉන් ඉල්ලා අස්වුණා.  යලිත් 2024.01.08 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරී භාරගත් මා 2025.05.31 වැනිදා එම තනතුරින් ඉල්ලා අස්වුණා.

 

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ප්‍රජා වෛද්‍ය සේවා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේවගේ මහතා මෙසේද පැවසීය

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට තමයි සියලුම පරිපාලන වගකීම් නිල බලයෙන් පැවරීඇත්තේ. අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු න්‍යාය පත්‍රය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සභාපතිවරයා සමග සාකච්ඡා කොට තමයි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. විෂය භාර අමාත්‍යවරයා පවත්වනු ලබන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරීවරයා හා සභාපතිවරයා සහභාගී වෙනවා. ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ වගකීම තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ හෝ වෛද්‍ය උපකරණ හෝ වේවා අවශ්‍ය දේවල් ප්‍රසම්පාදන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම මත හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මග පෙන්වීම යටතේ සිදුකරනවා. ඒවා ඖෂධ නියාමන අධිකාරියේ නියාමන නිලධාරීන් මගින් හා අදාල විශේෂඥ කමිටුවල නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලා අවසන් නිගමනය දෙනවා.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඊට අදාලව අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණ වෙනස් වූ අවස්ථා තිබෙනවාද?

 

සාක්ෂිකරු ; මගේ සේවා කාලය තුළදී එහෙම වෙලා නැහැ.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුළුවන්ද ඖෂධ ඇගයීම් සහතික සඳහා අනුමැතිය ලබාදීමට?

 

සාක්ෂිකරු ; නැහැ ඔහුට එහෙම බලයක් නැහැ.

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මහාධිකරණ භාෂා පරිවර්තකවරිය මගින් සාක්ෂිකරුට පැ 93 දරන ලේඛනය ඉදිරිපත් කරයි.)

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔය ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද? ඔහුව ඔබ අඳුනනවාද?

 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, ඔහු වෛද්‍ය විජිත් ගුණසේකර මහත්මයා.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඒක දැක්ක ගමන් එහෙම කියන්න දැනුවත් වුනේ කොහොමද?

 

සාක්ෂිකරු ; එතුමා සමග මම වැඩ කරලා තියෙනවා. අනික එතුමාගේ නම මෙම ලේඛනයේ තියෙනවානේ? එතුමා වෛද්‍ය පරිපාලකයෙක්.

(සාක්ෂිකරු විත්තිකාර විජිත් ගුණසේකර මහතාව හඳුනා ගනී)

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබද පැ 93 ට අදාල ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ ?

 

සාක්ෂිකරු ; එම ගොනුවේ මුල් ලේඛන මම නෙවෙයි භාර දුන්නේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයක් අනුව අනෙක් ලේඛන මම භාර දුන්නා.

(මෙම අවස්ථාවේදී එකී ලේඛන පිළිබඳව අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුව අධිකරණ ශාලාවෙන් පිටතට යවා එකිනෙකා සමග සාකච්ඡා කරයි)

 

පසුව යළි කැඳවනු ලැබූ සාක්‍ෂිකරු නැවත දිව්රුම් ලබා දී සාක්ෂි ලබාදීම ආරම්භ කරයි.

 

සාක්ෂිකරු ; මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මම බැඳී සිටිනවා.අදාළ කමිටු නිර්දේශ ලැබුනාට පසුව තමයි ඩබ්ලිව් ඕ ආර්  සහතික වලට ප්‍රධාන විධායක නිලධාරිවරයා අත්සන් කරන්නේ.

 

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; මෙම නඩුවේ දහවන විත්තිකරු මහේස්ත්‍රාත්වරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ පාපොච්චාරණයක් (රහස් ප්‍රකාශයක් ) ලබා දී තිබෙනවා. මට විත්ති වාචකය ගොඩනැගීම සඳහා එහි පිටපතක් ලබා දීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.

 

නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඒකේ පිටපතක් අපිටත් ඕන.

 

දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; මම මෙම අවස්ථාවේ එවැනි ඉල්ලීමක් කරන්නේ නෑ.

 

ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; එම රහස් ප්‍රකාශය නඩු ගොනුවේ තිබෙනවාද කියලා සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.

 

අධිකරණය එම අවස්ථාවේදී අධිකරණයේ සිටි විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඉදිරියට කැඳවා ඒ පිළිබඳව විමසයි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම බවක් පැමිණිල්ල දන්නේ නෑ.

 

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ.නිලධාරියා ; ස්වාමීනි, දස වන සාක්ෂිකරු එහෙම රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්තුමාට දීලා තියෙනවා.

 

නීතිඥ රහුල් ජයතිලක ; පැමිණිල්ල දන්නේ නෑ නමුත් සී අයි ඩී ය දන්නවා.

(එකී රහස් ප්‍රකාශය අධිකරණය භාරයේ ඇත්නම් එය නඩු ගොනුවට ඇතුළත් කරන ලෙසට අධිකරණ රෙජිස්ටර්වරියට නියෝගයක් නිකුත් කරයි. එමෙන්ම එකී පිටපත් ඉල්ලුම් කරන විත්තියට ලබාදෙන ලෙසටද එමඟින් නියෝග කරයි.)

 

නීතිඥ අසේල සේරසිංහ මහතා ; නීතිපතිවරයා එවැනි ලේඛනයක් තිබුණාද නැතිද කියලත් දැනගත්තේ අද. මේ අනුව පෙනෙන්නේ මේකේ විමර්ශනයට අදාළ සමහර දේවල් නීතිපති නොදන්නවාට සී අයි ඩී නිලධාරීන් දන්නා බව මේ අනුව පෙනෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතිනම් විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ලැබෙන්නේ නෑ.

 

නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ; මම මගේ උගත් මිත්‍රයා දක්වන කරුණුවලට එකඟයි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන විත්තිකරුගේ නීතිඥවරයා කිසිම දෙයක් නොදන්න බවට පවසන එක අසත්‍යයක්. එම විත්තිකරු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කලා. එම පෙත්සමේ මේ සියලු කරුණු ඇතුළත් කර තිබෙනවා. ඒ කරුණු වසන් කරලා තමයි දෙවන විත්තිකරුගේ නීතිඥ අසත්‍ය දේශනයක් කළේ

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලේඛන පරීක්ෂා කර සෙසු සාමාජික විනිසුරුවරුන් දෙදෙනා සමගද සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කළේය.

 

සභාපති විනිසුරුවරයා ; මෙම රහස් ප්‍රකාශය ගැන එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාවත් ඉල්ලීමක් කර නෑ. දෙවන හා නම වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් දස වන විත්තිකරුගේ එකී රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පදනම් විරහිත බවයි අධිකරණය නිරීක්ෂණය කළේ. එය පදනම් විරහිතව ආරක්ෂාව සඳහා  කළ ප්‍රකාශයක් බව පෙනී යනවා.

 

එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පැවතෙන අතරතුරදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ සහයකයකු ලෙස කටයුතු කරන ඇය අසල වාඩි වී සිටි රජයේ අධිනීතීඥවරයාගේ හිසට සිහින් ටොක්කක් ඇන යම් තරවටුවක්  කරනු අයුරු දක්නට ලැබිණි. එය අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන්ගේ මුවට සිහින් සිනාවක් මතු කළ කරුණක් විය.

 

දෙවන සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීම අද (11)  දක්වා කල් තැබිණි.

 

නවතම ලිපි