ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක පවතින බවත්, ඉදිරි අයවැයෙන්
බදු වැඩි කිරීම අත්‍යවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ (ජූලි 25) ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ආර්ථිකය සහ IMF උපදෙස්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් පවතින අතර, විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙරට අපනයන සඳහා පනවා ඇති තීරු බද්ද ඊට ප්‍රධාන හේතුවක් බවද සඳහන් කළා.
ඉදිරි අයවැය සඳහා යෝජනා
2026 අයවැය සකස් කිරීමේදී රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත්, ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් ද ඊට ඇතුළත් විය යුතු බවත් පැපජෝජියෝ මෙහිදී පැවසුවා.
මෙහිදී ඔහු අවධාරණය කළ ප්‍රධාන කරුණු කිහිපයකි.
- බදු ප්‍රතිසංස්කරණ: බදු නිදහස් කිරීම් ලබා දීම සඳහා වන නීති රාමුව, බදු වලට අනුකූලවන පිරිස ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතුයි.
- රාජ්‍ය වියදම් පාලනය: රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවරයන් ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත්.
- පනත් කෙටුම්පත් සහ ප්‍රසම්පාදනය: රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතුයි.
- බලශක්ති සහ ජල ගාස්තු: මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවයට සහාය වීමටත්, විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතුයි.
ආර්ථික අවදානම් සහ අනාගත දැක්ම
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක වුවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බද්ද මෙන්ම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වත්මන් භූ දේශපාලනයේ නිරන්තර වෙනස් වීම් ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට ඇති අවදානම ඉහළ දමන බව කොළඹ ප්‍රධානී පැපජෝජියෝ විසින් සඳහන් කළා.
මෙම අවදානම් මඟහරවා ගැනීම සඳහා අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීම සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළා.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි පියවර
මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ආදායම වැඩි කර ගැනීමට තිරසාර උත්සාහයක් ගත යුතු බවත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක මැදිකාලීන ප්‍රාථමික ශේෂ ඉලක්කය සපුරා ගැනීම ණය තිරසාරභාවය ඇති කර ගැනීම සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් බවත් ඔහු පෙන්වා දුන්නා. මේ සියල්ල සිදු කරන අතරතුර දැඩි අවදානමට ලක් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම ද ඉතා වැදගත් බව IMF කොළඹ ප්‍රධානීවරයා පැවසුවා.
ආර්ථික වර්ධනය සඳහා මිල ස්ථායිතාවය සහ මුදල් ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවත්, අයවැය මූල්‍යකරණයෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු සඳහන් කළා.
වත්මන් තත්ත්වය සහ ඉදිරි ප්‍රගතිය
ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව IMF ප්‍රධානී පැපජෝජියෝ පැවසුවා. මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති අතර, එය බලාපොරොත්තු ඉක්මවා යාමක් බවද ඔහු සඳහන් කළා. රජයේ ආදායම අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, එකතු කළ අගය මත බද්ද (VAT) හා ආනයනය කරන වාහන සඳහා පනවා ඇති බදු ඊට සහාය වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය ජූලි 21 සිට 25 දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර, මෑතකාලීන සාර්ව ආර්ථික සංවර්ධනයන් සහ IMF සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ඇති ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ලබාගෙන තිබෙන ප්‍රගතිය සාකච්ඡා කිරීම ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණයි.