අහස කළු කරගත් මොස්කව් නුවර, 1821 වසරේ දෙසැම්බර් මාසේ සීතල දවසක, පුංචි දරුවෙක් ලෝකයට දෑස් පානවා.
එයාගේ නම ෆියෝදර්. එයාගේ තාත්තා දොස්තර මහත්තයෙක්. අපි හැමෝගෙම වගේ එයාගේ ජීවිතේත් සාමාන්‍ය විදියට ගලාගෙන ගියා.
ඒත් ෆියෝදර්ගේ පුංචි හිතට මුලින්ම දුකක් දැනෙන්න ගත්තේ අම්මා ක්ෂය රෝගයෙන් මිය ගිය දවසේ. ඒ මූසල දවස තාමත් එයාට මතකයි.
"අම්මා...!" පුංචි ෆියෝදර්ගේ කටින් පිටවුණේ කෑගැසීමක්. ගෙදර පුරාම තිබුණේ මළගෙදර දුක හා කාලකණ්ණි කම. තාත්තා, දරුවන්ව තුරුල් කරගෙන හඬා වැටුණා...
අම්මා නැති වුණා කියල ජීවිතය නවතුනේ නෑ. කාලය ඔහේ ගෙවිලා ගියා. තරුණ ෆියෝදර් ඉංජිනේරු විද්‍යාව හදාරමින් සිටියා. ඔය අතර දිනක්, ජීවිතය බිඳ හෙලන අකුණක් වගේ ආරංචියක් ආවා..
"ෆියෝ, ඔයාගේ තාත්තා නැතිවෙලා!"
ඒක කිසිවෙකුටත් හිතාගන්න බැරි අබිරහස් මිනීමැරුමක්. නගරේ කටකතා පැතිරුණා, රෝහලේ සේවකයෝම එයාට වෛර කරලා මරන්න ඇති කියලා...
මේ සිදුවීම් ෆියෝදර්ගේ හිත පතුලටම කාවැදුණා. ජීවිතයේ තියෙන අස්ථිර බව එයාට තදින්ම දැනෙන්න ගත්තා. මේ පාළුව නිසාම දෝ ෆියෝදර් මිනිසුන්ව අතහැරලා පොත්පත් අතරටම කිඳා බැස්සා. එයාගේ හිත පුරාම තිබුණේ කතා. ලෝකය කියන්නේ නොලියූ පොතක් කියලා එයාට හිතුණා. ලැබුණ ඉංජිනේරු රැකියාව එයාට හිරගෙයක් වගේ වුණා.
"නෑ... මට මේක කරන්න බැහැ. මගේ ජීවිතේ තියෙන්නේ කතා ලියන්න!" එයා තීරණය කළා. තමන්ගේ මුළු ජීවිතයම ලේඛනයට කැප කරන්න.
බලාපොරොත්තුවක ඇරඹුම..
1846 දී ෆියෝදර් දොස්තොයෙව්ස්කිගේ පළමු නවකතාව "Poor Folk" නමින් එළිදැක්වුණා. සිදුවුණේ පුදුම දෙයක්, ඒ පොත පළවූ දා සිටම මිනිස්සු අතර අතිශයින් ජනප්‍රිය වුණා. විචාරකයෝ එයාව අගය කළා.
"මෙන්න අලුත් ලේඛකයෙක් බිහිවෙලා!" කියන කතාව රුසියාව හැමතැනම පැතිර ගියා. දොස්තොයෙව්ස්කිගේ හිතේ බලාපොරොත්තු දල්වන්න ගත්තා.
"ෂා! මේක නම් මාරයි ෆියෝ.." යාලුවෙක් එයාගේ පිටට තට්ටු කරලා කිව්වා.. ඒත් ඒ සතුට වැඩිකල් තිබුණේ නැහැ. ඊට පස්සේ එයා ලියපු පොත් වලට ඒ තරම් සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. දොස්තොයෙව්ස්කි දැඩි ආර්ථික අමාරුකම් වලට මුහුණ දුන්නා...
"ඇයි මේ හැමදේම මට විතරක් වෙන්නේ? මොකක්ද මගේ ජීවිතේ" එයා හිතුවා..
ඒ හින්දාම දොස්තොයෙව්ස්කි සමාජවාදී අදහස් දැරූ ලේඛකයන් පිරිසක් සමඟ එකතු වුණා. ඒක එයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. 1849 දී, ඒ කැරළිකාර කණ්ඩායමත් එක්ක හිටපු නිසා, එයාටත් මරණීය දණ්ඩනය නියම වුණා!
"අනේ මට මැරෙන්න සිද්ධ වෙයිද?" එයාගේ හිත සීතල වුණා. ඒ දෙසැම්බර් 22 වැනිදා... ඒ මරණයට මුහුණ දෙන දවස. හිමෙන් වැසුණු පිට්ටනියක දොස්තොයෙව්ස්කි ඇතුළු පිරිසව පේළියට තැබුවා. තුවක්කු එයලගේ දිහාවට එල්ල වී තිබුණා.
"තව විනාඩි කිහිපයකින් මගේ ජීවිතය අවසන් වේවි." එයා හිතින් කියාගත්තා. වෙඩි තියන්න මොහොතකට පෙර, අන්තිම මොහොතේ, ආරංචියක් ආවා..
"උඹලව නිදහස් කරනවා!"
ඇත්තටම ඒක හුදෙක් මානසිකව බය කරන්න කරපු දෙයක් විතරයි. ඒ වෙනුවට එයාලව සයිබීරියාවට පිටුවහල් කළා. අවුරුදු හතරක් පුරාවට දරුණු සිර කඳවුරක එයාට වැඩ කරන්න සිද්ධ වුණා. හිම, කුසගින්න, අපහසුතා... එහිදී වින්ද හැමදෙයක්ම දොස්තොයෙව්ස්කිගේ හිත තවත් දැඩි කළා.
"මේ වේදනාව... මේ අඳුර... මේ හැමදේම මගේ ලේ වලට කාවදිනවා වගේ!" ඔහු හිතුවා.
වර්ෂ 1860 දී දොස්තොයෙව්ස්කි සයිබීරියාවෙන් ආපහු ආවා. හැබැයි ඒ ආවේ ගිය කෙනා නෙවෙයි බොහොම වෙනස් කෙනෙක්! එයාගේ ලේඛන වලට දැන් අලුත් ගැඹුරක්, යථාර්ථවාදී බවක් එකතු වුණා. සමාජවාදී පරමාදර්ශී සිහින පස්සේ දුවන එක එයා අතහැරියා. ඒ වෙනුවට එයාගේ අවධානය යොමු වුණේ, මිනිස් සිත ගැන හොයන්න.
ඒ සොයාගත් නිරීක්ෂණ එක්ක ඊළඟ අවුරුදු 20 ඇතුළත, දොස්තොයෙව්ස්කි විශිෂ්ට නවකතා ගණනාවක් ලිව්වා. "Notes from Underground", "Crime and Punishment", "The Idiot", "Demons", සහ "The Brothers Karamazov" ඒ අතරින් කිහිපයක්. මේ පොත් අදටත් ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘති විදිහට සැලකෙනවා.
1864දී පළවුණු "Notes from Underground" නවකතාවේ ප්‍රධාන චරිතය "Underground Man" කියලා හඳුන්වන විශ්‍රාමික සිවිල් සේවකයෙක්. එයා දිනපොතක් ලියනවා, එයා හරිම තරහෙන් සහ අසතුටෙන් ඉන්නේ. අනිත් මිනිස්සු ජීවත් වෙන විදිය ගැන එයාට තියෙන්නේ පුදුම හෙළාදැකීමක්.
දොස්තොයෙව්ස්කි කියන විදිහට 'දුක් විඳීම' කියන්නේ මිනිස් ජීවිතයේ මූලික කොටසක්. ඒක අපේ ලේ වලම තියෙන දෙයක්. ඒ නිසා 'දුක නැති ජීවිතයක්' හෝ 'දුක නැති සමාජයක්' කවදාවත් හදන්න බෑ.. අපි දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ, අපිට දුක දෙන දේවල් වෙනස් වෙන එක විතරයි. කවදාවත් දුක සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ.
දොස්තොයෙව්ස්කි ලියලා තියෙනවා, "මිනිසා කැමති ඔහුගේ කරදර ගණන් කරන්න පමණයි. ඔහුගේ සතුට ඔහු ගණනය කරන්නේ නෑ..."
තව ඔහු මෙහෙමත් කියනවා, දුක නැති කරන පරමාදර්ශී, ස්වර්ගීය සමාජයක් කවදාවත් හදන්න බැරි නිසා, ලෝකය දියුණු කරන්න කරන ඕනෑම උත්සාහයක් අනිවාර්යයෙන් අසාර්ථක වෙන්න නියමිතයි.
"Underground Man" හරහා දොස්තොයෙව්ස්කි අනතුරු අඟවන්නේ, ජිවිතයේ කිසිම අර්ථයක් නැහැ කියන නිහිල්වාදය, පරමාදර්ශී සමාජයක් හදන්න පුළුවන් කියන යුතෝපියානු වාදය, හැමදේම තර්කයෙන් විසඳන තාර්කිකත්වය සහ තමන්ගේ වාසිය විතරක් බලන ආත්මාර්ථකාමිත්වය වගේ ලෝක දෘෂ්ටි වලින් මිනිස්සු ජීවත් වෙන කොට අවසානයේ මොකද වෙන්නේ කියන එක! අපිට සතුට ඕනේ කියලා හිතුවට, ඇත්තටම අපිට සතුට ඕනේ නෑ.. අපි හැම වෙලාවෙම මොනවා හරි ගැන දුක් වෙනවා, නැතිනම් complain කරනවා, නැතිනම් දේවල් කඩාකප්පල් කරනවා.. ඔව්, අපේ හිත අපිට කියනවා අපිට සතුට සහ සාමය ඕනේ කියලා. ඒත් අපේ හැසිරීම්, අපේ ඉතිහාසය පෙන්නන්නේ, අපිට ඕනේ බොහෝ වෙලාවට ඒකේ අනිත් පැත්ත බව! එක්කෝ අපි අපිව හොඳට දන්නේ නෑ, නැත්නම් දන්නවා වුනත් ඇත්ත පිළිගන්න අකමැතියි.
ඔහුගේ ඊළඟ විශිෂ්ට කෘතිය වන "Crime and Punishment" ඒක පළ වුනේ 1866දී. මේ නවකතාවෙන් ඔහු ඉහත අදහස් තවත් ගැඹුරට විග්‍රහ කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය දරිද්‍රතාවයෙන් පෙළෙන හිටපු නීති ශිෂ්‍යයෙක් වන රොඩියොන් රාස්කොල්නිකොව්.
රාස්කොල්නිකොව්ගේ අම්මා සහ නංගි එයාට උදව් කරන්න ගොඩක් කැපකිරීම් කරනවා. නංගි ධනවත් කෙනෙක් එක්ක බඳින්න පවා සූදානම් වෙනවා. ඒත් මේ හැමදේම රාස්කොල්නිකොව්ට ලැජ්ජාවත්, කෝපයත් වැඩි කරනවා. ඊට අමතරව, එයා නිහිල්වාදී, තාර්කිකවාදී, සහ අදේවවාදී ලෝක දෘෂ්ටියකින් දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නේ..
"මම සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි. මට පුළුවන් මේ දුප්පත්කමෙන් මිදෙන්න." රාස්කොල්නිකොව් තමන්ටම කියාගත්තා. කිසිම ආගමික හෝ ආධ්‍යාත්මික සීමාවකට යටත් නොවී, රාස්කොල්නිකොව් තීරණය කරනවා නපුරු, දරුණු හා වයසක පොලීයට දෙන කාන්තාවක් මරලා, එයාගේ සල්ලි හොරකම් කරන්න.
"තර්කයෙන් හිතන්න. මේ මහලු ගැහැනියගෙන් කාටවත් වැඩක් නැහැ. මට මේ සල්ලි වලින් මගේ අම්මයි නංගියි බේරගන්න පුළුවන්. මට නීතිඥයෙක් වෙලා ලෝකයට හොඳක් කරන්න පුළුවන්!" එයා හිතුවා..
එයා තමන්ව හිතුවේ ශ්‍රේෂ්ඨ, බලවත්, නිර්දය මිනිසෙක් විදිහට. එයාගේ හිතේ, අසාමාන්‍ය මිනිසුන්ට පොදු යහපත වෙනුවෙන් අපරාධ කරන්න අවසර තියෙනවා. ඉතින් එයා තර්කයෙන් මිනීමැරීම සාධාරණීකරණය කරලා, පොලී කාර කාන්තාවයි, එයාව මරන කොට අහම්බෙන් එතනට ආපු එයාගේ අර්ධ-සහෝදරියයි මරනවා..
මේ නවකතාවේ ඉතිරි කොටස පුරාම රාස්කොල්නිකොව් තමන් කරපු දේ නිසා, දැඩි වරදකාරී හැඟීමකින් සහ බියකරු සිහින වලින් පීඩා විඳිනවා..
"මම කවුද? අනේ මම හිතපු කෙනා නෙවෙයි මම. මම නිර්දය කෙනෙක් නෙවෙයි. මම සංවේදී, හැඟීම්බර මිනිහෙක්." අන්තිමට එයා එයාට පිස්සු හැදෙන එක වළක්වා ගන්න පොලීසියට භාර වෙනවා..
දොස්තොයෙව්ස්කි පාඨකයාට රාස්කොල්නිකොව්ට ඒ කියන්නේ මිනීමරුවෙක්ට අනුකම්පා කරන්න පුළුවන් කරවනවා. නරක චරිතයක් නරක වෙන්නේ කොහොමද කියලා විතරක් පෙන්නනවා වෙනුවට, දොස්තොයෙව්ස්කි පෙන්නන්නේ නරක චරිතයක් සම්පූර්ණයෙන්ම නරක නැති බව, ඒ අයත් අපි වගේම, තමන්ගේ අභ්‍යන්තර සිතුවිලි සහ ඒවා වැරදියට තේරුම් ගැනීම නිසා දැඩි ලෙස ව්‍යාකූල වෙලා ඉන්න බව. මොකද ඔවුන් තුළ අපෙන් කොටසකුත්, අප තුළ ඔවුන් ගෙන් කොටසකුත් තියෙනවා..
ඇත්තටම අපි අපි ගැන හිතන තරම් අපි තාර්කික නැහැ. අපේ හැම පරම්පරාවකම, පිස්සු කෙළියා ඉස්සරහටත් එහෙමයි. ආගම් සහ පරමාදර්ශී දර්ශනවාද අපිට අසාර්ථක වෙන්න මග පාදනවා. අපිට ඒක තේරෙන් නෑ.. අපි ඒවට ඒ තරම්ම අහුවෙලා. විද්‍යාවටත් අපිට උදව් කරන්න බෑ, තාක්ෂණය කියන්නේ අපේ ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන මාර්ගයක් නෙවෙයි, ඒක ඒවා කාර්යක්ෂමව වෙනස් කරන ක්‍රමයක් විතරයි. සමහරවිට දොස්තොයෙව්ස්කි නිවැරදි වෙන්න ඇති.
ජීවිතයේ සුන්දරත්වය
"Crime and Punishment" නවකතාව අවසානයේදී, රාස්කොල්නිකොව් හිරේ ඉන්නේ අවුරුදු අටක සිර දඬුවමක් විඳිමින්. නවකතාව අවසන් වෙන්නේ රාස්කොල්නිකොව්ගේ කතාව ඉදිරියටත් යන බවට අපට ඉඟි කරමින්..
දොස්තොයෙව්ස්කි විශ්වාස කළේ දුක් විඳීම, විශ්වාසය, පිළිගැනීම, අනුකම්පාව සහ පසුතැවීම තුළින් ජීවිතය විදින එක තවමත් කළ හැකි බව! දොස්තොයෙව්ස්කිගේ කෘති ගොඩක් දුකින් පිරිලා තිබුණත්, ඒවා තුළ යම් ආකාරයක බලාපොරොත්තුවේ "අතිරේක පරිච්ඡේදයකුත්" තියෙනවා...
දොස්තොයෙව්ස්කිගේ අදහස් එක්ක අපි එකඟ වුණත් නැතත්, ඔහුගේ ගැඹුරු දැක්ම සහ ඒ විශිෂ්ට සාහිත්‍ය කෘති අපිට මතක් කරලා දෙනවා, තවමත් වෙලාව තියෙන කොට ජීවිතයේ තියෙන ලස්සන සහ ගැඹුර විඳින්න කියල. හෙට මොනවා වෙනවද කියල අපි දන්නවද! සමහර විට හෙට තමයි මේ ලෝකේ අන්තිම දවස.
ෆ්‍රෙඩ්රික් නීට්ෂේ වරක් කිව්වා, "දොස්තොයෙව්ස්කි කියන්නේ මනෝ විද්‍යාව ගැන මට යමක් ඉගැන්වූ එකම පුද්ගලයා" කියලා. මම හිතන්නේ දොස්තොයෙව්ස්කිගේ පොත් කියවපු හැමෝම නීට්ෂේට එකග වෙනවා ඇති.
මේ මාත් ඇතුළුව!
@ සාගර දියගම