SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරයේ යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා මානුෂීය ආධාර බෙදා දීම සම්බන්ධයෙන්

මේ වන විට අර්බුද රැසක් මතු වී තිබේ. යුද ගැටුම් ආරම්භයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කළ මානුෂීය ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලියට වරින් වර ඊශ්‍රායල හමුදාවෙන් බාධා එල්ල වූ අතර, පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා ගාසා තීරයට සියලු ආධාර ඇතුළු වීම ඊශ්‍රායලය විසින් තහනම් කරනු ලැබීමෙන් තත්ත්වය වඩාත් උත්සන්න විය.

 


ඊශ්‍රායලය එවැනි පියවරක් ගෙන ඇත්තේ ගාසා වැසියන් දරුණු ආහාර හිඟයකට මුහුණ පා සිටින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවා පිළිගෙන තිබියදීය. අනතුරුව අමෙරිකාවේ යෝජනාවක් මත ඊශ්‍රායලය විසින් ගාසා මානුෂීය පදනම නම් සංවිධානය පිහිටුවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කළ වැඩසටහනට විකල්පයක් ලෙසිනි. එහෙත් එය කිසිදු විනිවිදභාවයකින් තොර සමාගමක් විසින් පවත්වාගෙන යන වැඩසටහනක් බවටත් චෝදනා එල්ල වෙමින් පවතී. එය ගාසාහි ඊශ්‍රායලය විසින් ගෙනයන යුද්ධය සඳහා අවියක් ලෙස භාවිත කරන බවටත් චෝදනා නැඟී තිබේ.

 

 

hungri 2


මේ නව මානුෂීය ආධාර බෙදාහැරීමේ ජාලය මේ වන විට ගාසා තීරයේ ස්ථාන 3කදී ක්‍රියාත්මක වන අතර, එය මොරේජ් කොරිඩෝව, දකුණු ගාසා තීරයේ ආරක්ෂක මුරපොළක් සහ ගාසා නුවර උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරමින් පිහිටුවා ඇත. නව වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් පසු ගාසා තීරයට ලැබෙන අන්තර්ජාතික ආධාර මුළුමනින්ම වැළකී යෑම පලස්තීනුවන්ගේ දැඩි කෝපයට ද හේතු වී ඇත. මේ අතර ගාසා මානුෂීය පදනම ආරම්භ කර ඇත්තේ ඊශ්‍රායල හමුදාවේ සැබෑ ස්වරූපය වසන් කිරීමට බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති අතර, අන්තර්ජාතික මානුෂීය ආධාර බෙදාහරින සංවිධාන රැසක්ද ඊශ්‍රායල ක්‍රියාමාර්ගය හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත.

 


ගාසා මානුෂීය පදනම අමෙරිකාවේ ඩෙලවර් ප්‍රාන්තයේ සමාගම් කිහිපයක් ඇතුළත් සමාගම් සමූහයක ලිපිනයක් යටතේ ලියාපදිංචි කළ එකකි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් සති දෙකකට පසු ලියාපදිංචි කළ බව කියන ඒ පදනමට දැනටමත් අ.ඩො. මිලියන 150ක අරමුදල් ලැබී ඇතැයි ද පැවසේ. ඉන් වැඩි ප්‍රමාණයක් කුලී භටයන්ට සහ අමෙරිකාවේ පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට වැය කර ඇතැයිද, එම පදනම සඳහා අරමුදල් ලැබෙන ආකාරය ප්‍රකාශ කිරීම ඊශ්‍රායල නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතැයිද ‘දි ඉකොනොමිස්ට්’ සඟරාවේ පළ කළ ලිපියක දැක්වෙයි. එපමණක් නොව, ඊශ්‍රායලයේ මුදල් ඇමැති බෙසාලෙල් ස්මොට්රිච් පවා නව මානුෂීය ආධාර බෙදාහැරීමේ ජාලය පිළිබඳ දැනුවත්ව නොසිටි බවද එහි සඳහන් වේ.

 


මේ අතර ගාසා මානුෂීය පදනම සඳහා ඊශ්‍රායල රජය විසින්ම මුදල් යොදවන බව එරට හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම එරට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු වන ඇවිග්ඩොර් ලයිබර්මන් ප්‍රකාශ කර තිබේ. උග්‍ර ආහාර අර්බුදයකින් පීඩා විඳින පලස්තීන ජනතාව මේ නව වැඩසටහන මඟින් ක්‍රියාත්මක වන ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සහ තැතිගන්වනසුලු සිදුවීම් හේතුවෙන් අමෙරිකානු රජයේ ආධාර සැපයීමේ අපේක්ෂා බිඳවැටී ඇතැයි ‘දි ඉකොනොමින්ස්ට්’ සඟරාව පවසයි. බොස්ටන් නුවර කේන්ද්‍ර කරගත් උපදේශන සමාගමක් නව වැඩසටහන සඳහා මීට පෙර සැලසුමක් සකස් කළද, පසුව ඉන් ඉවත්ව වී ඇති අතර, මානුෂීය මූලධර්ම උල්ලංඝනය වන බවට විරෝධය පළ කරමින් ආධාර බෙදාහැරීමේ වැඩසටහනේ පළමු අධ්‍යක්ෂවරයාද පසුගියදා ඉල්ලා අස් වූ බව වාර්තා වේ. එහි නව ප්‍රධානියා ලෙස පත් වී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකු වන ජොනී මුවර් නමැති ආගමික දේශකයෙකි. “පසුගිය සතියක අප මිලියන 11ක ආහාර බෙදා දුන්නා.” නව මානුෂීය ආධාර බෙදාහැරීමේ ජාලය සම්බන්ධව සුභවාදි අදහස් පළ කරමින් මුවර් එසේ කීවේය. “මෙය අපේ කාලයේ වඩාත්ම සංකීර්ණ මානුෂීය මෙහෙයුමක්.” ඔහු එසේද ප්‍රකාශ කර තිබේ. ගාසා මානුෂීය පදනම ඊශ්‍රායලය විසින් මෙහෙයවන බවට එල්ල වන චෝදනා ඔහු තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සඳහා අරමුදල් ලැබෙන්නේ ඊශ්‍රායලයෙන් නොවන බව අවධාරණය කර තිබේ.


එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර බෙදාහැරීම දූෂිත බැවින් ඒ වෙනුවට නව මානුෂීය ආධාර බෙදාහැරීමේ ජාලයක් ආරම්භ කිරීමේ සංකල්පය ධවල මන්දිරයට අනුව සිදු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, “ගාසා තීරයේ ජනතාවට වෙනත් යන්ත්‍රණයක් ඔස්සේ ආධාර ලබාදෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබුණා,” යැයිද ඔහු ප්‍රකාශ කර තිබේ. ඛේදනීය ලෙස විනාශයට පත් යුද කලාපයක ආධාර බෙදාහැරීම ඉතා දුෂ්කර ක්‍රියාවලියකි. ගාසා මානුෂීය පදනමද ඒ ඉරණමට මුහුණ දී ඇති අතර, එහි ක්‍රියාකාරිත්වයද දුර්වල මට්ටමකට පත් වී තිබේ. ඊශ්‍රායල හමුදා රථපෙළක ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කරනු ලබන ඒ ආහාර තොග මධ්‍යස්ථාන තුළ ගබඩා කිරීමෙන් පසු ආරක්ෂා කරගැනීම සඳහා විදේශීය කුලී භටයන් යොදවා ඇති අතර, ආහාර ලබාගැනීමට දෛනිකව මධ්‍යස්ථාන අසළ එක්රොක් වන අවතැන්වූවන්ට වෙඩි ප්‍රහාරවලට මුහුණපෑමටද සිදුවීම කනගාටුදායක කරුණකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට එවැනි වෙඩි තැබීම්වලින් 200කට අධික පිරිසක් මිය ගොස් ඇති බවය. ගාසා මානුෂීය පදනමේ සේවකයන් පස්දෙනකුද වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවට පමණක් නොව, හමාස් සහ සෙසු සන්නද්ධ කණ්ඩායම් ඇතුළු සියලු පාර්ශ්වවලටද චෝදනා එල්ල වී ඇති අතර, මින් ඇතැම් වෙඩි තැබීම් සම්බන්ධයෙන් සිදු කළ ස්වාධීන විශ්ලේෂණ මඟින් ඍජුවම චෝදනා එල්ල වන්නේ ඊශ්‍රායල හමුදාවටය. මේ තත්ත්වය මත සහන සේවාව මුළුමනින්ම මර උගුලක් බවට පත් වී ඇතැයි පලස්තීනුවන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සියේ ප්‍රධානි පිලිප් ලැසාරිනි සඳහන් කර තිබේ.
ආහාර ලබාගැනීමට පැමිණෙන සිවිල් වැසියන් සඳහා දැඩි සීමා පැනවීමට සිදු වූයේ ගාසා තීරයේ ආහාර ප්‍රවාහනය පාලනය කිරීමට උත්සාහ දරන හමාස් සංවිධානය ඉන් වැළැක්වීමට බව කියමින් ඊශ්‍රායලය නව මානුෂිය ආහාර බෙදාහැරීමේ ජාලය වෙනුවෙන් පෙනී සිටින අතර, එවැනි පාලනයක් යුද්ධය ජය ගැනීමට ඉතා වැදගත් බවද අවධාරණය කර තිබේ. පසුගිය වසරේදී පමණක් හමාස් සංවිධානය ආධාර කොල්ලකෑමෙන් අ.ඩො. බිලියන 0.5 සිට බිලියන 1 දක්වා මුදලක් උපයාගත් බව ඊශ්‍රායලය කියා සිටියද මේ සංඛ්‍යාලේඛන තහවුරු කිරීමට නිවැරදි සාක්ෂි කිසිවක් නැත. වෙනත් තොරතුරු මාර්ග සඳහන් කර ඇත්තේ පසුගිය වසරේදි හමාස් සංවිධානයේ ආදායම ඩොලර් බිලියනයක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් විදේශාධාර මඟින් ලැබූ බවයි.

 


හමාස් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැපයුම් මාර්ගවලට බාධා කිරීමට උත්සාහ ගත් බවත්, ගාසා යුද්ධයේ ආරම්භයේදී එහි සන්නද්ධ සාමාජිකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගබඩා ගණනාවක් වැටලූ බවත් රාජ්‍යතාන්ත්‍රිකයෝ පවසති. පිටි සහ ටින් කළ ආහාර යුද්ධයට පෙර පැවැති මිල ගණන් මෙන් විසි ගුණයකට අලෙවි කිරීමෙන් ඔවුන් ආදායම් මාර්ග සරු කරගෙන ඇති අතර, පසුගිය වසරේ අප්‍රේලයේදී ගාසා තීරයේ බැංකු කොල්ලකෑමෙන් ඩොලර් මිලියන 100කට වඩා උපයාගෙන ඇතැයි ‘දි ඉකොනොමිස්ට්’ සඟරාවේ පළ වූ ලිපියෙහි දැක්වෙයි.

 


ගාසා මානුෂීය පදනම වැනි ආකෘතිමය වෙනසක් තුළින් වුවද අවභාවිතය තුරන් වී නැති අතර, ආහාර මධ්‍යස්ථාන වෙතින් ලබාගන්නා ආහාර සලාක නැවත අලෙවි කෙරේ. ඔවුන් යළි යළිත් ආහාර ලබාගැනීමට පැමිණීම වළක්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නැත. එපමණක් නොව, නව ක්‍රමවේදය සාමාන්‍ය ගාසා වැසියන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නැති බවද සඳහන් වේ. ආහාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් සැබැවින්ම ආහාර අවශ්‍යතාවන් සහිතවූවන්දැයි සහතික කරගැනීමටද නිශ්චිත වැඩපිළිවෙළක් නැත. අනෙක් අතට දැඩි ආහාර අවශ්‍යතාවකින් පෙළෙන පුද්ගලයන්ට අවදානම් සහිත යුද කලාපයක් හරහා බොහෝ දුර පිහිටි ආහාර මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමටද හැකියාවක් නැත.

 


එහෙත් කුසගින්න උග්‍ර වන විට පලස්තීනුවෝ ආහාර ලබාගැනීම සඳහා ඕනෑම දුරක් ගමන් කිරීමටද පසුබට නොවෙති. උතුරු ගාසා තීරයේ හිටපු ටැක්සි රියැදුරකු වූ අයිමාන්ද මුහුණ පෑවේ එවැනිම අත්දැකීමකටය. ඔහු ගාසා යුද්ධය හේතුවෙන් අවස්ථා 7කදීම අවතැන් වී සිටියේය. පසුගිය පළමුවැනිදා සරණාගත කඳවුරෙන් ඔහු ආහාර සොයා පිට වූයේ තවදුරටත් කුසගින්න දරාගත නොහැකි නිසාය. ඔහු සිය සොහොයුරා සමඟ සුන්බුන් අතරින් කි.මී. 5ක් දුර ගෙවමින් ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය වෙත ළඟා වූයේ අමෙරිකානු ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් එහි පිහිටුවා ඇති බවට ලද තොරතුරු මතය. රෆා නගරයේ ආහාර මධ්‍යස්ථානය අසල ආයුධ සන්නද්ධ රැකවලුන් රැඳී සිටි අතර, ඉන් ඇතැම්හු අමෙරිකානුවෝ වූහ. ආහාර තොග සඳහා ආරක්ෂාව සැපයූ ඇතැම්හු අරාබි බස කතා කළහ. එහෙත් එහි තිබූ ආහාර මලු ප්‍රමාණයට වඩා අධික කුසගින්න හේතුවෙන් දැඩි කෝපයට පත්ව සිටි පලස්තීනුවන්ගේ සංඛ්‍යාව අධික විය. පලස්තීනුවන් අතර නොසන්සුන්තාවට සහ කලබලයට එය හේතුවූ අතර, අවසානයේදී සිදු වූයේ ආරක්ෂාවට සිටි ආයුධ සන්නද්ධ රැකවලුන් විසින් ආහාර සොයා පැමිණි නිරායුධ පලස්තීනුවන්ට වෙඩි තැබීමය. ඇතැම් වාර්තාවලට අනුව මේ වෙඩි තැබීමෙන් පලස්තීනුවෝ 30 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඉන් අනතුරුව අයිමාන් සහ ඔහුගේ සොහොයුරු ආහාර මධ්‍යස්ථාන කරා යෑමෙන් වැළකී සිටියහ.


එක්සත් ජාතීන්ගේ ආහාර බෙදාහැරීමේ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකිනි. එවකට ගාසා තීරයේ මිලියන 1.1ක ජනතාවට ආහාර බෙදාහැරීම සඳහා මධ්‍යස්ථාන 400ක් ස්ථාපිත කර තිබූ අතර, ඒ කටයුතු සිදු වූයේ වසර 2007 සිට ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ පැහැදිලි සහයෝගිතාවෙනි. එහිදී ආහාර මලු නැවත නැවතත් අලෙවි කිරීම වැනි තත්ත්වයන් මතු වූවද, පුද්ගලයන් අතර සියලු ආහාර මලු බෙදා දෙනු ලැබුවේ නිශ්චිත ලේඛනගත ක්‍රමවේදයකට අනුවය. සිය ආහාර මලු ලබාගත හැකි දිනය හා ස්ථානය සියලු පවුල්වලට කෙටි පණිවිඩ මඟින් පූර්ව දැනුම්දීම් සිදු කර තිබිණි. ආබාධිත පුද්ගලයන් වෙත ආහාර මලු සැපයීමට විශේෂ බෙදාහැරීමේ සේවාවක් ක්‍රියාත්මක විය. ආහාර මෙන්ම ඖෂධ හා කූඩාරම්ද එලෙස බෙදාහරිනු ලැබිය.

 

hungri 3

මෙවැනි තත්ත්වයක් මත ගාසා මානුෂිය පදනමේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති අතර, එය රඳා පවතිනුයේ කරුණු දෙකක් මතය. පළමු කරුණ වන්නේ ආහාර මධ්‍යස්ථාන අසල තවදුරටත් ප්‍රචණ්ඩකාරි සිදුවීම් වර්ධනය වන්නේ නම් හෝ ගාසා වැසියන්ගේ සාගිනි නිවීමට අසමත් වුව හොත් ඉදිරි සති කිහිපය ඇතුළත එම වැඩසටහන බිඳවැටීමට ඇති අවදානමය. එමෙන්ම ඉදිරියේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යම් කිසි ආකාරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වීමක් මඟින් ඊශ්‍රායල හමුදාවට ගාසා තීරයෙන් ඉවත් වීමට සිදු වුව හොත් ගාසා මානුෂිය පදනමේ සුරක්ෂිතභාවය අහෝසි වී පලස්තීනුවන්ගේ ආහාර වැඩසටහන නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අතට පත් වීමට ඇති හැකියාවය.


දෙවැනි කරුණ වන්නේ අසීමිත බලයක් සහිතව ක්‍රියාත්මක ගාසා මානුෂීය පදනමට සිය ආධිපත්‍යය ගාසා තීරය පුරා ව්‍යාප්ත කිරීමට වැඩි අවස්ථාවක් උදා වී තිබීමය. එමඟින් ගාසා තීරයේ දිගුකාලීන පාලන මෙවලමක් බවට පත් වීමේ හැකියාවක්ද ඊට ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර බෙදා හැරීමේ පැරණි වැඩසටහන අවසන් වීම පැහැදිලිවම හමාස් සංවිධානය දුර්වල කිරීමට සමත් වී ඇති අතර, තවදුරටත් අරමුදල් නොලැබීමෙන් හමාස් සංවිධානයේ ක්‍රියාකාරිත්වයද අඩපණ වී තිබේ. එපමණක් නොව හමාස් රජයේ සේවකයන් පනස්දහසකගේ වැටුප්ද මේ වන විට නැවතී තිබේ. එවැනි සාධක මත ඊශ්‍රායලය මානුෂීය පදනම හා එක්ව ගාසා තීරයට ආහාර බෙදාහැරීම සඳහා තව මාර්ග රැසක් විවර කිරීමේ උත්සාහයක නිරත වනු ඇත.


මේ කරුණුවලට අමතරව ගාසා මානුෂීය පදනමේ දිගුකාලීනව පැවැත්ම අර්බුද රැසක් නිර්මාණය කිරීමේ පෙරනිමිතිද මේ වන විට පහළ වී තිබේ. ඔවුන් දැනටමත් හමුදා ක්‍රියාන්විතයෙන් ඔබ්බට ගොස් පලස්තීනුවන්ගේ ඉඩම් අත්පත් ගැනීම්, නැවත පදිංචි කිරීම් සහ ජනවාර්ගිකත්වය අනුව බෙදා වෙන් කිරීම් සිදු කරන අතර, එය දිගුකාලීන මෙවලමක් බවට පත් වනු ඇතැයි පලස්තීනුවන් තුළ බියක්ද මතු වී තිබේ. ගාසා මානුෂීය පදනමේ කාර්යභාරය පැසසුමට ලක් කරන ඊශ්‍රායලයේ මුදල් අමාත්‍ය බෙසාලල් ස්මොට්රිච් වැනි අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන් ගාසා තීරයේ යුදෙව් ජාතිකයන් නැවත පදිංචි කිරීමේ සැලසුම් ගැන ප්‍රසිද්ධියේම කතාබහ කරමින් සිටින අතර, ඊජිප්තු දේශසීමාව ආසන්නයේ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන පිහිටුවා පලස්තීනුවන් සඳහා වෙනම කලාපයක් නිර්මාණය කිරීම සම්බන්ධව අදහස් පළ කර තිබේ. මේ අතර ඊශ්‍රයාලය තවදුරටත් ගාසා තීරයේ ඉවත් වීමේ අත්පත්‍රිකා ගුවන් මඟින් පතිත කරමින් සිටින අතර, පලස්තීනුවන් මුහුදු තීරය දක්වා තල්ලු කරමින් සිටී. මේ වන විටත් ගාසා තීරයෙන් 19%ක් ඊශ්‍රායල මිලිටරිකරණයට ලක් වූ ප්‍රදේශ බවට හෝ පුද්ගලයන් 55,000ක් ඝාතනයට ලක් වූ ජනාවාසයෙන් තොර භූමි කලාපයක් බවට පත් වී ඇතැයි කියවේ. වසර දෙකකට ආසන්න කාලයක් පුරා ගාසා වැසියන් සටන් විරාමයේ බලාපොරොත්තුවේ ඇලී සිටින අතර, ඉන් වැඩි පිරිසකට දැන් අවශ්‍ය වී ඇත්තේ ඒ ප්‍රදේශයෙන් ඉවත් වීමටය. ඊශ්‍රායලය විසින් ඊජිප්තු දේශසීමා දොරටු විවෘත කරන්නේ නම් පලස්තීනුවන් 80%ක්ම ගාසා තීරය හැර යනු ඇතැයි උතුරු ගාසා තීරයේ හිටපු ටැක්සි රියැදුරකු වූ අයිමාන් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාවට ප්‍රකාශ කර තිබේ.

 

 

hungri 4

 

(‘The Economist’ ඇසුරෙනි)

@ ෆවුස් මොහොමඩ්

silumina

නවතම ලිපි