මහින්ද රාජපක්ෂ විසින් ඉරාන රජය හා එක් ව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන ගොවි පවුල් 15000 ක් පමණ මේ වන විට අවතැන් ව සිටී.
භූගත උමං කැනීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ ඇති වීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් ව සිටී.
එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් සෘජු ව අවතැන් වූ ජනතාවට ප්‍රමාණවත් වන්දි හිමි නොවීම, නැවත පදිංචි කිරීමේ අක්‍රමිකතා හේතුවෙන් හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් නොලැබීමෙන් ගැටළු බොහොමයකට එම ජනතාව මුහුණ දී සිටී.
මේ තත්ත්වය හේතුවෙන් වත්මන් ආණ්ඩුව උමාඔය ව්‍යාපෘතියෙන් නොවිසදුණු ගැටළු විසදීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ. එම අනුකමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරු පත් කර තිබේ. මෙම කැබිනට් අනු කමිටුව 2025 ජුනි මස 26 වන දින උමාඔය ව්‍යාපෘතියෙන් හානි කර බලපෑමට ලක් වූ ප්‍රදේශවල ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කළ අතර ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ ජනතාව ගේ අදහස් ලබා ගැනීමේ ජන හමුවක් ද එදින පැවැත් වින.
මේ අවස්ථාවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හා ඌව පළාත් ජනතා සැලැසුම් සංසදය එක් ව සහභාගී වෙමින් මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ව සිටින ජනතාව ගේ ගැටළු විසදීම සඳහා වන යෝජනා මාලාවක් ලිඛිත ව ඉදිරිපත් කරන ලදී.
ඊට අමතර ව ජනහමුව තුළ අප වෙත අදහස් ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාවේ දී කරුණු ගණනාවක් අනාවරණය කිරීමට හැකි විය.
එහි දී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කළේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ආකාරයට බලහත්කාරය හා ජනතාව ගේ අදහස් පිළිබඳ ව අවධානය යොමු නොකර සාවද්‍ය පරිසර බලපෑම් ඇඟයීම් වාර්තා මෙන් ම පටු දේශපාලන අරමුණු මත පදනම් ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය සම්පූර්ණයෙන් ම වෙනස් කළ යුතු බව ය.
මීට අමතර ව පහත යෝජනා මාලාව අප විසින් ඉදිරිපත් කරන ලදී,
- උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ හා නැවත පදිංචි කළ ජනතාව ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා එම ගැටළු සමාලෝචනයට ලක් කර සිදු වී ඇති සියලු අක්‍රමිකතා හා වන්දි ලබා දීමේ ගැටළුවලට සාධාරණය ඉටු කිරීමට කටයුතු කිරීම,
- සමස්ත ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම්, නිවාස හා වගා බිම් අහිමි වූ ජනතාවට වන්දි ගෙවීමේ දී සිදු වී ඇති දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ ව පුළුල් විමර්ශනයක් කිරීමට වන්දි සමාලෝචන කමිටුවක් පත් කර ප්‍රමුඛතා පදනම මත අවතැන් ජනතාවට නිවැරදි වන්දි පිරිනැමීමේ ක්‍රමවේදයක් ඇති කිරීම,
- ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව ගේ ඉඩම්වල අයිතිය සම්බන්ධ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දීම හා ඔවුන් ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා වන ඔප්පු ලබා දීම විධිමත් කිරීම,
- සමස්ත ව්‍යාපෘතියට අදාළ ව විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කර ඒ මගින් සකස් කරන පරිසර කළමනාකරණ සැලැසුමක් මගින් ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීම හා අලි - කළමනාකරණ සැලැසුමක් ක්‍රියාත්මක කිරීම,
- ව්‍යාපෘතිය හේතුවෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි ව විනාශයට ලක් වී ඇති වගා බිම් සියල්ල සඳහා තිරසර කෘෂිකර්ම ක්‍රමවේදය මත ගොඩනගන ව්‍යුහයක් ස්ථාපිත කිරීම. ඒ සඳහා පස හා ජලය සුරක්ෂිත කරන දීර්ඝකාලීන හා කෙටිකාලීන බෝග මත පදනම් වූ (කෘෂි වන වගාවේ හා පාරිසරික ගොවිතැනේ සංකල්ප මත) කෘෂිකාර්මික ක්‍රමවේදයක් හා ඒ මත ගොඩනගන ආර්ථික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම,
- තෝරාගත් ගම්මාන කිහිපයක ජල සංරක්ෂණය, ජීවන මාර්ග හා පරිසර පද්ධති ගොඩනැගිය හැකි වන ග්‍රාමීය ආර්ථික මොඩලයක් හඳුන්වා දීම,
- ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ සමස්ත භූමිය නැවත ගොඩනැගීම සඳහා භූමි කළමනාකරණ සැලැසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම. එහි දී ජල පෝෂක කළමනාකරණ සැලැසුමක් මගින් ජලය රදා ගැනීමේ ව්‍යුහය නැවත ස්ථාපිත කිරීමට උපායමාර්ග සකස් කර ක්‍රියාවේ යෙදවීම,
- ස්වාභාවික ජල පද්ධති මත පදනම් වූ වාරි ක්‍රමවේදයක් පිළිබඳ ව අධ්‍යයනය කර වගා හා පානීය ජලය අහිමි වූ ජනතාව ගේ නිදහස් ජල අයිතිය නැවත ලබා දීම,
ව්‍යාපෘතියේ දෙවන හා තෙවන අදියරයන් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් දැනට සිදු කර ඇති ව්‍යාපෘතිය පිළිබඳ ව පූර්ණ සමාලෝචනයක් සිදු කර ඒ මත පදනම් ව ඉදිරි අදියරයන් ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව තීරණය කිරීම, මෙන් ම ව්‍යාපෘතියට අදාළ සියලු ක්‍රියාමාර්ග සහ අනාගත සැලැසුම් තීරණය කිරීම හා අධීක්ෂණය කිරීමට අදාළ ව සියලු පාර්ශවකරුවන්ගෙන් සැදුම්ලත් නෛතික කොමිෂමක් පත් කිරීම. ඒ සඳහා රාජ්‍ය ආයතනවලට අමතර ව ගොවි සංවිධාන, බහුජන සංවිධානවල නියෝජනය සහතික කිරීම, යන යෝජනා අප විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනා පිළිබඳ ව මෙන් ම ජනතාව ඉදිරිපත් කළ සියලූ ම ඉල්ලීම්, අදහස් හා යෝජනා සඳහා වත්මන් රජය විසින් දක්වන ප්‍රතිචාර දෙස අප විමසිලිමත් ව බලා සිටීම හා එම ඉල්ලීම් දිනා ගැනීමට බලපෑම් කිරීම සිදු කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් මෙය ද තවත් එක් කැබිනට් අනුකමිටුවක් පමණක් වනු ඇත. එසේ නොවන තත්ත්වයට පත් කර ගැනීමේ වගකීම ඇත්තේ ජනතාව වන අප සතු ව ය.
අවසන් වශයෙන් අවධාරණය කළ යුතු වන්නේ උමාඔය ජනතා අරගලයේ ප්‍රධාන කොටස්කරුවකු වූ වත්මන් රජයට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් සිදු වූ විනාශය වැළැක්වීමට දිගුකාලීන, තිරසර මෙන් ම විකල්ප ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අත් නොහැරිය හැකි වගකීමක් ඇති බව ය.
@සජීව චාමිකර