තඹුත්තේගම කොලුවා විශාල කරදරයක් වී තිබේ. ඒ හොර -ගොල්ලට, මල්-පාරට, මද-මුලනට ය.
කෙසෙල්-වත්තේ ගැලවුණ පරඬැල් මෙන්ම පොලොං-නරුවේ පිදුරුවලටද මේ රිදුම දැනේ.
ඒ සාධාරණ ය.
තඹුත්තේගම කොලුවා ඇත්නම් කා නැත්නම් ලෙවකා තඹුත්තේගම ඉස්ටේසමේ කවුලුවෙන් එබී ප්ලැට්ෆෝම් ටිකට්ටුවක් ගෙන කෝච්චියේ ටොපි කඩල විකුනන්නේ නැතිව ජනපති පුටුවට පැමිණීම කෙසේ ඉවසන්නද.
අඩුගානේ මූ විස්ස විජ්ජාලෙට ගියා නම් කම් නැත. එසේ නම් මේ හාමුලාට සහ ලමාතැනීලාට නිදහස් අද්දියාපනයේ යහපත ගැන පොර ටෝක් දෙමින් ඉන්නට හැකිය.
එහෙත් තඹුත්තේගම කොලුවා එසේ නැත. ඌ කඩාගෙන ජනපති පුටුවට පැන්නේය. යැංකි ඩිකී මේ පුටුව හැදුවේ සිය පංතියටමය. දෙවරකදී පමණක් කෙසෙල්වත්තෙන් සහ පොලොන්නරුවෙන් ඊට ප්‍රහාර එල්ලවුවද ඔවුහුද එහි ආවෝ හාමුලාටත් වඩා හාමුවන්නටය.
එහෙවුකොට කෙසේ ඉවසන්නද.
තඹුත්තේගම කොලුවාට මෙවන් මානුභාවසම්පන්න පුටුවක් ඔරොත්තු දෙන්නේ නැත.
ඌ මිටිය,ජර්මානුවෝ ඌට වඩා උසය.
මාලනීට වාගේ වාසනාවන්ත තැනක නොව උගේ ලපය ඇත්තේ මූණේය.
ඔක්කොටමත් වඩා ඌට ඉංගිරිස් බැරි ය.
ඌට ඉන්නේ මායියෙක් මිස ආරියාවක් නොවේ.
ඌට ජනපති මැදුර කූඩැල්ලාට මෙට්ටය වගේය.
ජනාධිපති උත්තමයෙකු යනවා වගේ ඌට රත පෙරහැර ඔරොත්තු දෙන්නේද නැත.
අනික ඌට ජනපති කෙනෙක් වාගේ පොෂ් පිට වියදං කරන්න තේරෙන්නේ ද නැත.
ලියනවානම් උගේ නුසුදුසුකම් මහාවංසය තරමට ලිවිය හැකිය.
මූ නම් කෙසේවත් මේ පුටුවට හරියන්නේ නැත. එහෙයින් එළු බිජ්ජ වැටෙන තුරු පස්සෙන් ගිය නරියා වගේ මාසෙ, අවුරුද්ද දෙක මාරුවෙන තුරු මුගේ අඩුපාඩු ලිවිය යුතුය.
ඉතින් හාමුලාගේ මල්ටි බැරල් හමුවේ කෝප වෙන සමහරු මේ උත්තමයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරති.
මගේ නම් කම්පනාව ඒක තේරුමක් නැත කියාය. මන්ද කියනවානම් හාමුලා මේ කරන්නේ තඹුත්තේගම කොලුවා ට සේවයක් හින්දාය.
තඹුත්තේගම කොලුවා දෙකයි පනහට දමා ගහන විට ඉන් වැඩියෙන්ම රිදෙන්නේ රටේ බහුතර විඥානයටය. හාමුලා මේ කියන්නේ මඩ සෝදාගත් කල ගොවියා ආයෙම කුඹුරට සුදුසු බව කියන කාරණාව ජනයාට හොඳින් තේරෙයි. හාමුලා මේ කෙළින්නේ තමන්ට බව ඔවුන්ට තේරෙයි. ඒ නිසා හාමුලා තඹුත්තේගම කොලුවාට නෙළන වාරයක් පාසා ඔවුන් කොලුවාට වඩා සමීප වෙති. ඔවුන්ට ඒ අනන්නියවීම ලේසිය.
77දී අනුර හාමු වේදිකාවක ප්‍රේමදාසට කඩප්පුළි කතාවක් කීවේය. ඒ ප්‍රේමදාස කෙසෙල්වත්තේ ලැවරියා කොල්ලෙක් යනුවෙනි.
මිනිස්සු හාමුට පස්ස පෙන්නා ලැවරියා කොල්ලා බදාගත්තෝය. හාමු නින්දෙන්ම සදාකාලික අවලංගුවීමට වැටුනේය.
ප්‍රේමදාසද තමන් ශ්‍රේෂ්ඨ විය යුතු මොහොත වටහාගත්තේ නැත. ඔහු හාමුට රිටන් එක දුන්නේ වලවුවක අවජාතක පුතකු වීමට වඩා තමන්ට කෙසෙල්වත්තේ ලැවරියා කොල්ලා වීම හොඳබව කියමිනි.
එහෙත් ඔහුට රිදුනේය. ඒ රිදුම එළියට ආවේ මවුගම, පියගම, නැමි පනා, තිරික්කල සමග පරම්පරා සාහිත්‍යයක් සමගිනි. ජන විඥානය හොඳින් දැනසිටි ප්‍රේමදාස විහින් කෙලවාගත්තේය.
ඒ වරද්දාගැනීම හා තවත් රින ලකුණු සමගින් ප්‍රේමදාස පරිච්ඡේදය ආමර්වීදියෙන් අවසන් වූවේය.
තඹුත්තේගම කොලුවා දේසපාලනයේ ගාමිණී පොන්සේකා වගේ වී ඇත්තේ මේ වගේ පසුබිමකය. තඹුත්තේගම කොලුවාට ගැරහීම යනු මේ සමාජයේ අති බහුතරයකගේ කකුල් දෙකට පොල්ලෙන් ගැහීමකි.
ඉතිං තඹුත්තේගම කොලුවා ට ආදරය කරන අය කල යුත්තේ කමෝන් හාමු කමෝන් කමෝන් ලමාතැනී කමෝන් කියා ඒ අයට දහිරිය දීමය.
එවිට තඹුත්තේගම කොලුවා තඹුත්තේගම ළමා යෝධයාට පසු ඉතිහාස පොතේ ඉතිරිවනු ඇත.
තඹුත්තේගම කොලුවා සහ පිරිවර සැලකිලිමත් විය යුත්තේ කමිස බොත්තම ගැන නොව රටේ දේශපාලන, ආර්ථික සංස්කෘතික වාන් දොරටුවල යතුරු ගැනය. තමන් නියම තඹුත්තේගම කොලුවෙකු බව ඔහුට පෙන්විය හැක්කේ ඒ වාන් දොරටු නිසි ලෙස මෙහෙයවීමෙන් පමණි.
අපට නම් තඹුත්තේගම කොලුවා සමග වාදය ඇත්තේ එතනය.