මේ මොහොතේ අපේ ජීවිත ගෙවමින් තිබෙනුයේ කෙසේද? යථාර්ථයේ සිට ගනු වෙනුවට අපි විසඳුම කාලියක ට, රාවනාවෙකුට පවරමු.
මානව සබඳතාවන් හි සංකීර්ණ වියවුල් මැදහත් ඇසකින් ආපසු බලා අවබෝධ කොට ගෙන විසඳුම් සොයන ආස්ථානයකට නොගොස් 'යූටියුබ් වත්පොත් සංඟයා' නම් ඇරියස්කාර ඩිජිටල් චීවර ධාරියෙකුගේ දේශනාවක පිහිට අයදිමු. උන්ට ඇදහිලිවන්ත වෙමු. ඒ අතර ජිවිතයේ සබුද්ධික මානය ගිලිහී යමින් තිබේ.
එකී පසුබිම තුළ 'Paradise: Faith' සිනමාපටය ඔස්සේ මේ මොහොතේ ලාංකේය යථාවක් ස්පර්ශවීම නරඹන්නියකට මග හැර යා නොහැකි කරුණක් වනු ඇත. ඔස්ට්‍රියානු සිනමාකරුවකු වන,'අල්රිච් මාරියා සෙයිද්ල්' ගේ නිර්මාණයක් වුව ද සමහරවිට මෙය අපේ කාලයේ අසපු ඇදහිලිවන්ත බොදු විශාකාවන්ගේ කතාව විය හැකිය. ඔවුන් පිටට පෙන්වන දෙය නොව ඔවුන්ගේ අඳුරු මනස් කුටි තුළ අභ්‍යන්තරය විය හැකිය.
අල්පෝක්තිවාදී, වාර්තාකරණයට සමීප සරල සිනමා රීතියක් සමග සෙයිද්ල් අප හමුවට ගෙන එන 'Paradise: Faith' මරියමාතාවන්ගේ සුරුවමක් රැගෙන ගෙන් ගෙට ආගමික පණිවිඩය රැගෙන යන ස්ත්‍රියක වටා ගෙතෙන සිදුවීම් දාමයකි. බැතිබර මැදිවියේ ගැහැනියක ලෙස පෙනෙන ඇය සිය මනෝරාජ්‍ය තුළ දෙවියන් (ජේසුස්) හා පරිකල්පිත දිවියක වෙලෙද්දී පිටත සත්තාව කෙරේ එය කෙතරම් අසාර ද යන්න අපට කියනු වැනිය. එය හුදු ආගමික භක්තියකට පහර ගසන චිත්‍රපටයක් නොවේ. පෘෂ්ටිය වැස්මක් ලෙස දෙවියන් පිලිබඳ සංකල්පය උමතුකරණය කරමින් සැබෑව වසා ගන්නා, නැතිනම් ඉන් පලා යන ස්ව මුග්ධ භාවය පිළිබඳ ප්‍රකාශනයකි. එනමුත් දෙවියන් මියගොස් ඇතය යන නීට්ෂියානු අදහසද මතකයට නංවයි. මන්ද දෙවියා සම්මුඛ වන්නට පතන අපහට පළමුව මගහැරෙනු ඇත්තේ ළඟ හිඳින මිනිසාවයි.
'Paradise: Faith (2012)' යනු අල්රිච් මාරියා සෙයිද්ල් විසින් 'පාරාදීසය' නමින් නිර්මාණය කළ තුන් ඈඳුතු චිත්‍රපට පෙළක දෙවැන්න වන අතර පළමු වැන්න Paradise: Love (2012) ද, තෙවැන්න Paradise: Hope (2013) ද වශයෙන් තිරගත කෙරිණි. Paradise: Faith 69 වැනි වැනිස් සිනමා උලෙළේ Golden Lion සම්මානයට නිර්දේශ වූ අතර විශේෂ ජූරි සම්මානයකින් පිදුම් ලැබිණි. 26 වැනි යුරෝපා සිනමා සම්මාන උලෙළේ දී "හොඳම ශබ්ද නිර්මාණය" සඳහා වූ සම්මානය ලබා ගන්නේ ද එයයි.
@ විකුම් ජිතේන්ද්‍ර