SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නළු නිළියන්ට දේශපාලකයන්ට ඇඳුම් කරපු නිල්හාන් මාලිනීලා, සබීතලා, රවීන්ද්‍රලා, සනත්ලා අඳින හැටි හෙළිකරයි...

නන්දා මාලනියන්ටත්, මාලිනී ෆොන්සේකාටත් එක සේ ප්‍රේම කරපු නාඹර තරුණයෙක් මේ දෙදෙනාවම එක තැනකදී මුණගැසෙන්නට සිතාගෙන නුවර සිට කොළඹට ආවේය.

 

 

ඈතදීම තරුණයාගේ කනට ඇසුණේ "සත්‍යයේ ගීතය" ප්‍රසංගයේ තේමා ගීතයයි. සිදුවූ පුංචි ප්‍රමාදයට සිතින් දහස්වර පසුතැවෙමින් බැල්කනියේ අසුන්ගත් තරුණයා නන්දා මාලනියගේ හඬටත් ඉදිරි පෙළ අසුනක සරා සඳ සේ බබළමින් සිටි සිහින කුමරියගේ රූපයටත් එකසේ ඇලී සිටියේය. තරුණයාගේ එක අතක පින්තූර ඇලවූ සී.ආර්. පොතකි. දින පතා පුවත්පත්, සඟරාවල පළවූ මාලිනී ෆොන්සේකාගේ පින්තූර සීරු මාරුවට අලවා තිබුණු මේ පොත තරුණයා අත වූයේ බිඳෙන බඩුවක් සේ පරිස්සමටය. රෑ නින්දේදීත්, දහවලේදීත් එක විදියටම ඔළුවට එන මේ සුන්දරිය මුණගැසී වචනයක් හෝ කතාකළ යුතුයි යන දැඩි අදිටනින් ප්‍රසංගය අවසන් වනවාත් සමඟම තරුණයාද නැඟී සිටියේය. මාලනී ෆොන්සේකා එකල නවාතැන්ගෙන සිටියේ බම්බලපිටියේ නිවෙසකය. මාලිනිය නිවෙසට ඇතුළුවූවාට පසු හෙමින් සීරුවේ ඇයගේ නිවෙසේ පඩිපෙළ තරණය කරන්නට තරම් මේ තරුණයාට චිත්ත ධෛර්යය විය. උඩුමහලේ කාමරයක ජනෙල් පියනකින් මාලිනියගේ මුහුණ දුටු තරුණයා ඉතිරි මිනිත්තු කිහිපය තුළ සිය දීර්ඝකාලීන සිහිනය යථාර්ථයක් කරගත්තේය. එදවස දකින්න පවා පෙරුම් පිරූ මාලිනී ෆොන්සේකාට ඇඳුම් අන්දවන්නට තරම් වාසනාවන්ත වූ මේ තරුණයා අද දවසේ ලංකාවේ සිටින අති දක්‍ෂ ඇඳුම් නිර්මාණ ශිල්පීන් අතුරින් අයෙකි. ඔහු නිල්හාන් සෙනෙවිරත්නයි.

 

 

නිල්හා න්

 

නළුවෙක් වෙන්න හීන දුටු නිල්හාන්...

 

පුංචිම කොල්ලා සන්ධියේ සිට නිල්හාන්ට තිබුණේ නළුවකු වීමේ උන්මාදයයි. මේ උන්මාදයට වගකිවයුත්තා හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා බවද කිව යුතුය. නිල්හාන්ට තිබුණේ මාලිනී ෆොන්සේකා උමතුවකි. "උඩු සුළඟ" චිත්‍රපටය රූගත කරන කාලයේ චිත්‍රපට කණ්ඩායමට කෑම සපයා තිබුණේ නිල්හාන්ගේ පවුලට අයත් හෝටලයකිනි. ඒ දින කිහිපයේම කෑම බීම පිරිනැමීමේ කාර්යය බලෙන්ම භාරගත්තේ නිල්හාන්ය. ඒ මාලිනීය දැකීමේ ආසාව නිසාය. අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නා තරමටම මේ චිත්‍රපට උන්මාදය ප්‍රබල විය.

"සිනමාවට ආස වුණාට එහෙම ගිහිල්ල හම්බවෙලා ඒවාට සම්බන්ධ වෙන්න බැහැ. අද වගේ අපි ෆෝවර්ඩ් නැහැ. නළු නිළියෝ අධ්‍යක්‍ෂවරු හිටියේ අපිට අතපොවන දුරකින් නෙවෙයි. නළු නිළියන්ව දේවත්වයෙන් ඇදහුවේ. එයාලාව දකින්න ලැබුණෙත් කලාතුරකින්."

 

හීනේ සැබෑ නොවුණට වැරැදුණේ නෑ...

 

කොළඹට පැමිණි දිනක මෙත්තසේන නමැති ජනප්‍රිය ඡායාරූප ශිල්පියාට නිල්හාන්ව මුණගැසේ. ඔහු නිල්හාන් මෝස්තර නිරූපණයට සුදුසු බව පවසා ඊට ආරාධනා කළත් ආරාධනාවක් ලද පමණින් එක පිම්මේ එකඟ වීමට නිල්හාන් අදිමදි කළේය. කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා තිබුණු නිසා කොණ්ඩය වැවෙන තෙක් ඉවසන්නට මෙත්තසේනට සිදුවිය. කොණ්ඩය වැවුණාට පසු මෙත්තසේන සමඟ කළ රූගත කිරීම නිල්හාන්ගේ වෘත්තීය දිවියේ ඇරැඹුම විය.

"මගේ වෙලාවට ඊළඟ සතියේ මෙත්තසේනගේ ගෝලයෙක් මුණගැහෙනවා. ඔහු තරුණයා පත්තරේ ඡායාරූප ශිල්පී අනුරුද්ධ මැදවත්තේගෙදර. එයා මට කිව්වා තරුණයා පත්තරේට කවරයක් කරනවා ඒකට ඇඳුම් කරන්න කියලා. මේ ගමනේදී පූර්ණිමා අබේරත්න දැක්වූ සහයෝගයත් මතක් කරන්න ඕන.

 

හදාරලා නැති විෂයක පරතෙරට ගිය හැටි...

 

"ජීවිතේට මම ඇඳුම් මෝස්තර කලාව ඉගෙනගෙන නෑ. හැබැයි පුංචිකාලේ ඉඳලා අදහසක් තියෙන්න ඇති. තරුණයා පත්තරේ කවරෙට ඇඳුම් කරලා සතියක් ගියේ නෑ; මට ලක්බිම පත්තරේ රිද්ම අතිරේකයේ නීල් කරුණාරත්න කතා කළා. රිද්ම පළමුවෙනි කවරෙට හිටියේ උදේනි අල්විස් එක්ක තමාරා දිල්රුක්‍ෂි. එදා ඉඳලා මම මේ කාර්යය එකම විදියේ ජනප්‍රිය තලයක ඉඳන් කරගෙන ආවා. මම කොහෙන්වත් කෝස් කරලා ඉගෙනගෙන නෑ. මට මගේ දැනුම කාටවත් කියලා දෙන්නත් බෑ. ඒක හිතට දැනෙන දෙයක්. නළු නිළියන්ගේ දේහ විලාසය වගේම චරිත ස්වභාවයත් නිරීක්‍ෂණය කරලා තමයි මම ඇඳුම නිර්මාණය කරන්නේ..."

නිල්හාන් ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ ජනප්‍රියම ඇඳුම් නිර්මාණ ශිල්පියා බවට පත්වෙමින් සිටියේය. ඔහු අබා සහ ආසයි මං පියාඹන්න වැනි අතිශයින්ම වෙනස් චිත්‍රපටවලට එකම කාලයකදී ඇඳුම් නිර්මාණය කළේය. මේ වන විට නිල්හාන් සෙනෙවිරත්න කියන ඇඳුම් නිර්මාණ ශිල්පියා විවිධ ක්‍ෂේත්‍රවල සිටින ජනප්‍රිය චරිත හැඩගන්වා අවසන්ය. ඔවුන්ගේ විවාහ උත්සව පවා ඔහු අතින් හැඩගැන්වී අවසන්ය.

 

දැන් නිල්හාන් හරි ගණන්...

 

නමගිය ඇඳුම් නිර්මාණ ශිල්පියකු වෙද්දී නිල්හාන් පිළිබඳ බොහෝ කතා පැතිරිණි. බොහෝ අය කීවේ නිල්හාන් එක්ක වැඩ කරන්න බෑ එයාගේ හරි ගණන් කියාය.

"සිනමාවෙන් මම හම්බ කළේ නෑ. සිනමාවට මගෙන් වුණේ මෙහෙවරක් පමණයි. එහෙම හම්බ කළා නම් මම අද හෙලිකොප්ටර්වලින් යන්න ඕන. හැබැයි සිනමාවෙන් මට විශාල ගෞරවයක් සහ ආදරයක් ලැබුණා. කලා ක්‍ෂේත්‍රයේ හැමෝම වගේ මට හරි ආදරෙයි. මම ඔවුන් සමඟ ගනුදෙනු කරන්නේ මුදල් බලාගෙන නෙවෙයි. සමහරු කියනවා මම හරි ගණන් කියලා. ඒ ගැන මට කනගාටුවක් නෑ. මොකද ඔවුන් මගේ වැඩ හොඳ නෑ කිව්වේ නෑනේ. මම මේ වෘත්තියේ වටිනාකම හෑල්ලු කරන්න සූදානම් නෑ. ඒකයි ඒ කතා පැතිරෙන්න හේතුව. සමහරු කියනවා මම දැන් ෆිල්ම් කරන්නේ නෑ කියලා. නෑ.... මම ෆිල්ම් කරනවා. හැබැයි මම ලාබෙට ෆිල්ම් කරන්නේ නෑ.

 

ඕනම කෙනෙක්ව අන්දලා සතුටු කරන නිල්හාන්...

 

ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහගේ සිට නූතන පරපුරේ සිටින බොහෝ ජනප්‍රිය නළු නිළියන් නිල්හාන්ගේ ඇඳුම් මෝස්තරවලින් හැඩගැන්වී ඇත.

ජෝ අබේවික්‍රමට ඇඳුම් කරන්න කිව්වාම මම දන්නවා එයා අඳින පලඳින විදිය. රවීන්ද්‍ර රන්දෙණිය ඊට වෙනස්. ජැක්සන්ට තව විදියක්. අපි හරියට කලර්ස් මැච් කරලා ඇඳුම් නිර්මාණය නොකළොත් ඒක නළුවන්ගේ නිළියන්ගේ පෞරුෂයට හානියක්. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ටත් වැඩියි. අද වෙනකල් කිසි කෙනෙක් මගේ ඇඳුමක් ඇඳලා මූණ නරක් කරගෙන ඉඳලා නෑ.

 

 

අන්දවන්න පහසුම අය...

 

වැඩ කරන්න ගොඩාක්ම පහසු සබීතා අක්කා එක්ක තමයි. එයා මට ලොකු සපෝට් එකක් දෙනවා. හරිම හොඳ කෙනෙක්. මම මගේ අක්කා කෙනෙක්ට වගේ සබීතා අක්කට ආදරෙයි. ඒ වගේම පූජා උමාෂංකර් එක්කත් වැඩ කරන්න පහසුයි. ජැක්සන් අයියා එක්ක මම දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරනවා. මාලිනී අක්කා තමයි මම දකින්න කැමැත්තෙන් හිටපු ප්‍රියතම කෙනා. මේ අය විතරක් නෙවෙයි පොදුවේ ගත්තම හැමෝම වගේ මට ලොකු සහයෝගයක් දෙනවා. හැමෝටම මම හරි ආදරෙයි.

නන්දා මාලිනී, දයාන් විතාරණ, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි ගායක ගායිකාවන්ගේ සිට චමල් රාජපක්‍ෂ වැනි දේශපාලනඥයන් දක්වාම නිල්හාන්ගේ මෝස්තරයෙන් හැඩ ගැන්වී තිබීම විශේෂත්වයකි. ඔහුට මේ සියලුම පුද්ගලයන්ගේ ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් අව්‍යාජ විවේචනයක් ද විය.

 

අඳින පලඳින හැටි නිල්හාන්ට පෙනෙන හැටි...

 

"මට ඇඳුම් කරන්න බැරි වුණේ විජය කුමාරණතුංගට තමයි. ඔහුවත් ලස්සන කරන්න ලැබුණා නම් කියන ආසාව හිතේ තියෙනවා. මාලිනී අක්කා එක්ක වැඩ කරන එක ලේසි නෑ. පොඩි රැල්ලක් තිබුණත් පෙන්නනවා. හැබැයි මාලිනී අක්කා නිසා අහගෙන ඉන්න පුළුවන්."

අපේ නළු නිළියෝ අඳින පලඳින විදිය සම්බන්ධයෙන් නිල්හාන්ට ආකල්පයක් විය. ඒ අදහස් වඩාත් රසවත්ව මෙසේ පෙළගස්වන්නෙමු.

 

 

පූජා උමාෂංකර් - ඇඳුමක් අන්දලා හැඩ බලන්න ආසයි.

 

පූජාගේ බියුටි එකට මම හුඟක්ම කැමතියි. වැඩිපුර මහන්සි වෙන්න දෙයක් නෑ. පොඩි ටී ෂර්ට් කෑල්ලක් ඇන්දත් පූජා ලස්සනයි.

සබීතා - මම ඇඳුම් නිර්මාණය කරන්න හුඟාක්ම කැමති කෙනා සබීතා. ඇඳුමක් ඇන්දුවාම ආදරේ හිතෙන තරමටම හිත යන්නේ ඇයට. මම හරි ආදරෙයි. සබීතට මම එයාගෙම මල්ලි කෙනෙක් වගේ.

මාලිනී - අදටත් මම ආසම නිළිය තමයි මාලිනී. මගේ ජීවිතයේ පරමාදර්ශය වන්නෙත් ඇය. හරිම කැමැතියි මම එයා එක්ක වැඩ කරන්න. ඒ වගේම මාලිනී අක්කා ලස්සනට අඳිනවා.

යශෝධා - මම ආසයි යශෝධාට. එයාට තියෙන්නේ සිම්පල් රේන්ජ් එකේ ෆිගර් එකක්. යශෝධාගේ ආඩම්බරකම, හැමදේම හරි ගානට. සාරිය ඇන්දම ලස්සනම යශෝධට. ඒ වගේම යශෝධා තමයි හරිම පිළිවෙළට ලස්සනටම අඳින කෙනා. එයා විහිළුවක්වත් ඕනවට වඩා කරන්නේ නෑ. වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කරගත්ත නිළියක්.

ස්වර්ණා - මගේ ජීවිතේ පළමුවැනි වතාවට කෙනෙක් මාව ප්‍රතික්‍ෂේප කළා නම් ඒ තමයි ස්වර්ණා අක්කා. මම කතා කරපු ගමන් අපෝ ඔයා කවුද? මට ඕවට වෙලාව නෑ කිව්වා. හැබැයි ඊට පස්සේ ස්වර්ණා අක්කා මාත් එක්ක වැඩ කළා. මම ඒ පෙනුමට හරි කැමැතියි. කොණ්ඩේ කපලා හිටියත් ස්වර්ණා අක්කා ලස්සනයි. පෞරුෂයක් පේන්න අඳින පලඳින කෙනෙක්.

රංජන් - මම රංජන් අඳින විදියට පොඩ්ඩක්වත් ආස නෑ. එයාගේ ඇඳුම වෙනස් කළා නම් මිනිස්සු දැනට වඩා රංජන්ට කැමති වෙනවා. හැබැයි ගතිගුණ අතින් නම් රංජන් හරිම හොඳ කෙනෙක්.

සනත් - සනත් අයියා නම් අඳිනවා මදි. ඔහේ ඇඳගෙන එනවා. අපි කාලයක් පිස්සු වැටිලා හිටපු රූපයක් නේ. ඉන්දියාවේ නළුවෙක්ටත් වඩා ලස්සනයි. සනත් අයියා දැන් ඒ දේවල් අමතක කරලා.

රවීන්ද්‍ර - සිංහල සිනමාවේ ලස්සනටම අඳින්නේ රවීන්ද්‍ර අයියා. හරිම පිළිවෙලයි. හරිම ලස්සනයි. එයාගේ පෞරුෂය අඳින පලඳින විදියේ ඉඳලම තියෙනවා. වයස කීයද කියලා හිතාගන්නවත් බැරි තරම් රවීන්ද්‍ර අයියා ලස්සනයි.

ජැක්සන් - ජැක්සන් අයියා ඉන්නේ වෙනම රේන්ජ් එකක. එයාටයි තව දයාන් අයියාටයි වගේ කීපදෙනෙකුට විතරයි ගොඩක් වර්ණවත් විලාසිතා කරන්න පුළුවන්.

 

 

නිරෝෂා - ගායක ගායිකාවන් අතුරින් ලස්සනටම සහ පිළිවෙළටම අඳින්නේ නිරෝෂා විරාජිනී. ඉස්සර මම තමයි නිරෝෂාට ඇඳුම් කළේ. අපි මුලින්ම හමුවුණේ 1994දී. මම නිරෝෂාට ආදරෙයි. මගේ ජීවිතේ ප්‍රේමණීය හැඟීමක් ඉස්සෙල්ලාම ආවේ නිරෝෂා සම්බන්ධයෙන්. ඒක නිරෝෂත් දන්නවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලස්සනට අඳිනවා. හැබැයි මම එතුමාගේ ඇඳුමට ආස නෑ. මට දුන්නා නම් මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාව ඊට වඩා ලස්සන කරනවා.

 

 

ජනාධිපති ආර්යා ශිරන්ති මම හිතන්නේ ලස්සනටම ඔසරිය අඳින්නේ ඇය. ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉතාම වටිනා සහ ලස්සන ඔසරි අඳිනවා ඒ වගේම ඒ අඳින පිළිවෙළ හරිම නීට්.

රොෂාන් / හේමාල් - ලස්සනටම අඳින තරුණයෝ දෙන්නා තමයි රොෂාන් සහ හේමාල්. හේමාල්ට මම හරි ආසයි. දෙන්නම ලස්සනට අඳිනවා.

අනර්කලී - අනර්කලී ලස්සන විතරක් නෙවෙයි හොඳ බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා. කලිසම ලස්සනම අනර්කලීට. එයාගේ උසත් එක්ක බටහිර විලාසිතා හොඳින් ගැළපෙනවා.

කුසුම් රේණු - ඔසරිය ඇන්දම හරිම ලස්සනයි. කුසුම් අක්කා දවසක් වෙඩින් එකකට ඇවිත් හිටියා. මනමාලිට වඩා ලස්සනයි. පිළිවෙළටම ඔසරිය අඳින්නේ කුසුම් අක්කා.

 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා මම හරි කැමති පෞරුෂයක් තමයි චන්ද්‍රිකාට තිබුණේ. එයා කොණ්ඩේ කැපුවත් අඳින පලඳින විදිය නිසා ඒ ලස්සන වෙනස් වුණේ නෑ.

නන්දා මාලනී - මම හරිම ගරුකරන හරිම ආදරය කරන කෙනෙක්. හැබැයි නන්දා මාලනී මහත්මිය නීට් එකට ඔසරිය අඳින්නේ නම් නෑ. මම ඇයටත් ඇඳුම් කරනවා. නන්දා මාලනී වගේ කිසිම දේකට නම්මවාගන්න බැරි චරිතවලට මම හරි ආසයි.

 

නිල්හාන් ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂට සේම චමල් රාජපක්‍ෂ හා ශෂීන්ද්‍ර රාජපක්‍ෂටද ඇඳුම් නිර්මාණය කර තිබේ. දයාසිරි ජයසේකර, ශ්‍රී පති සූරිආරච්චි, ඩිලාන් පෙරේරා ඔහු අතින් හැඩවුණු දේශපාලනඥයන් අතුරින් කිහිපදෙනෙකි. ඔහුට අනුව පාර්ලිමේන්තුවේ ලස්සනටම අඳින දේශපාලනඥයා සුජීව සේනසිංහ.

 

නිල්හාන් මේ ගත කරන්නේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේය. ඔහු අතින් ඇඳුම් නිර්මාණය වූ නළු නිළි නාමලේඛනය මෙහි සඳහන් කිරීමට නොහැකි තරම් විශාලය. ඕනෑම උස මහත සිරුරක හැඩය තේරුම් ගන්නා නිල්හාන් සිය වෘත්තියට ඉහළම ගරුත්වයක් ලබාදෙමින් සිය ගමන නිරහංකාරව යන්නේය. ජැක්සන් ඇන්තනිගේ මාමණ්ඩියගේ (කුමාරි මුණසිංහගේ පියා) අවමංගල ඇඳුම නිර්මාණය කළ නිල්හාන් තම මඟ තවත් ඉසව්වකටද හැරෙව්වේය. නිර්මාණකරුවාට සීමා මායිම් නැත. නිල්හාන්ගේ වෘත්තීය ජීවිතය ඊට කදිම නිදසුනකි.

 

@වාසනා සුරංගිකා විතානගේ

Sudesh Karunathilake ගේ පිටුවෙන්  

marrikkar

නවතම ලිපි