SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ABBA

70 සහ 80 දසකයන්හි ලොව පුරා සංගීත උන්මාදයක් නිර්මාණය කළ ඇබා සංගීත කණ්ඩායම වසර 39ක දිගු නිහැඬියාවකින් පසු යළි කරළියට පැමිණීමේ සූදානමක් පවතී. නව සංගීත ප්‍රසංගයක් පිළිබඳ ඉඟියක් ලබා දෙමින් 2021 අගෝස්තු 26 දින ඇබා වොයේජ් නමින් නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබූ අතර එහි ඔවුන් අලුතින් පටිගත කළ ගීත කිහිපයක් අන්තර්ගත විය..

1982 පැවැති අවසන් සංගීත ප්‍රසංගයෙන් පසු විසිර ගිය ඇබා සංගීත කණ්ඩායම යළි කිසි දිනෙක තමන් එක්ව ගායනා නොකරන බවට අවස්ථා ගණනකදීම ප්‍රකාශ කර තිබිණි. ඔවුනට යළි එක්වන ලෙසත්, නව ගීත නිර්මාණය කරන ලෙසටත් ඉල්ලමින් දසක ගණනක් තිස්සේ ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටියද එය ඉටු කෙරැණේ නැත. ඔවුන් යළි එක්ව ප්‍රසිද්ධ වැඩසටහනකට සහභාගී වූයේ 34 වසරකට පසු 2016 වසරේදීය. ඒ ස්ටොක්හෝම්හි පැවැති &මමා මියා පාටි* නම් උත්සවයකදීය.. එහිදී ද වේ ඕල්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ඩූ සහ තැන්ක්යූ ෆො ද මියුසික් , ටයිම්ස් ඔෆ් ජෝයි ඇන්ඩ් ටයිම්ස් ඔෆ් සොරෝ වැනි ඔවුන්ගේ ගීත පසුබිමින් වාදනය වෙද්දී ඔවුන් සිවු දෙනා රසිකයන් ඉදිරියේ පෙනී සිටියහ. වසර 34කට පසුවද පෙර තිබූ රසික ප්‍රතිචාරය එලෙසම ඔවුනට හිමි විය. 2018 වසරේ ඔවුන් යළි එක්ව නව ගීත කීපයක් නිර්මාණය කරමින් සිටින බැව් ප්‍රචාරය කෙරිණි. එහෙත් එම ගීත මෙතෙක් කලඑළි දැක්කේ නැත.

 

abba 4

 

ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ප්‍රමෝදයට පත් කරමින් පත් කරමින් 2022 මැයි මාසයේ නව ප්‍රසංගයක් පැවැත්වීමට ඇබා සංගීත කණ්ඩායම සූදානම් වෙයි. එහෙත් මෙම ප්‍රසංගය සඳහා ඔවුන් සජීවී ලෙස සහභාගී වන්නේ නැත. ඔවුන් ගීත ගායනා කරනුයේ අවතාර (avatar form) ලෙසින් වන අතර එය හැඳින්වෙන්නේ &ඇබාවතාර්ස්* (abbatars) නොහොත් ‘හොලෝග්‍රෑම්‘ ප්‍රතිබිම්බ ලෙසිනි.

ඩිජිටල් පරිගණක තාක්ෂණය මඟින් ඇබා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනා 70 දසකයේ සිටි ස්වරෑපයෙන් මෙම හොලෝග්‍රෑම් ප්‍රතිබිම්බ නිර්මාණය කෙරෙනු ඇත. බ්‍රිතාන්‍යයේ සුප්‍රකට සංගීත කළමනාකරැවකු සයිමන් ෆුලර් 2016 ඔක්තෝම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇබා සංගීත කණ්ඩායම නව 'ඩිජිටල් විනෝදාත්මක අත්දැකීමක්' සඳහා යළි එක්වන බවකි. 2019 වසන්ත සමයේ මෙම ප්‍රසංගය ලොව පුරා පැවැත්වීමට තීරණය කර තිබුණද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එය ඇන හිටියේය. 2018 අප්‍රේල් මාසයේ ඇබා සංගීත කණ්ඩාමේ සාමාජිකයන් සිවු දෙනාද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්කියා සිටියේ විශේෂ රෑපවාහිනී වැඩ සටහනක් සඳහා I Still Have Faith in You, සහ Don't Shut Me Down නමින් නව ගීත දෙකක් පටිගත කර ඇති බවයි. එම ගීත දෙක ද ඉදිරි කාලයේ එළි දැක්වීමට නියමිත වන අතර තවත් ගීත තුනක් රසිකයන් වෙත දායාද කරන බව ඔවුන් පවසා තිබේ. “අපි සිවු දෙනා යළි චිත්‍රාගාරයේ එකට සිටීම අපූරැ අත්දැකීමක් වුණා. බොහෝ කාලයක් වෙන්ව සිටියද. තත්පර කිහිපයකින් ඒ සියල්ල සුපුරැදු තත්ත්වයට පත් වුණා. අපි විනෝද වුනා. ඔබත් විනෝද විය යුතුයි. අපේ නව ගීතවලින් එකක් නර්තනයටත් යොදාගත හැකි පොප් තනුවක්. අනෙක අදට වඩාත් ගැලපෙන කාලෝචිත ගීතයක්* යැයි ඔවුන් පවසා තිබිණි. ඇබා වොයේජ් ප්‍රසංගවලදී පැරණි ගීත සහ මෙම නව ගීතද ප්‍රේක්ෂකයන්ට ශ්‍රවණය කළ හැකි වනු ඇත.

 

abba 5

 

ඇබා සංගීත කණ්ඩායම නිර්මාණය වූයේ 1972දීය. ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ආරම්භ වූ මෙම පොප් කණ්ඩායමේ නම නිර්මාණය වූයේ එහි සාමාජිකයන් සිවුදෙනාගේ නම්වල මුලකුරුවලිනි. ඇග්නෙතා ෆොල්ට්ස්කොග්, බියොන් උල්වියස්, බෙනී ඇන්ඩර්සන් සහ ඇනිෆ්‍රිඩ් ලින්ග්ස්ටැඩ් යන සිවු දෙනා එහි සාමාජිකයෝ වූහ. 1974 දී ‘යුරෝවිෂන්‘ ගීත තරගාවලියේ දී ‘වෝටර්ලූ‘ ගීතය ගායනා කරමින් එම තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනූ පළමු ස්වීඩන් සංගීත කණ්ඩායම බවට ඔවුහු පත්වූහ. 1972 සහ 1982 අතර කාලයේ ලොව පුරා සියලු සංගීත දර්ශකවල ප්‍රථම ස්ථාන හිමිකරගත් ඔවුහු සංගීත ඉතිහාසය තුළ වැඩිම ආකර්ශණය හා ජනප්‍රියත්වය මෙන්ම ආර්ථික වශයෙන්ද වඩාත් සාර්ථකත්වයට පත් සංගීත කණ්ඩායම බවට පත්වූහ.

1970 කාලයේ බෙනී සහ බියොන් ඔවුන්ගේ පළමු ගීත ඇල්බමය ලයිකා නමින් එළි දැක්වීමට සූදානම්ව සිටියහ. මේ සිවු දෙනා එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ අදහස මුලින්ම ඇති වූයේ ඔවුන් 1970 සයිප්‍රස් දිවයිනේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවකය. සයිප්‍රස් දිවයිනේ රැඳී සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සොල්දාදුවන් පිරිසක් ඉදිරියේ ඔවුනට ගීත ගායනා කිරීමට අවස්ථාවක් සැලසුණු අතර 1971 සිට ඔවුන් සිවුදෙනා එක්ව නිර්මාණ කාර්යයේ යෙදුණාහ. ඒ වන විට බියොන් ඇන්ඩ් බෙනී නමින් නිකුත් කළ ලයිකා ගීත ඇල්බමය ජනප්‍රියත්වයට පත්ව තිබූ අතර ඇග්නෙතා හා. බියොන්ගේ විවාහය සිදුවූයේද මේ අතරය. පසුව බෙනී ඇනිෆ්‍රඩ් සමඟ විවාහ විය.

 

abba cover

පෝලා මියුසික් ආයතනයේ හිමිකරැ වූ ස්ටිග් ඇන්ඩර්සන්ගේ ඇරියුමින් "මිනිසුන්ට ආදරය අවශ්‍යයි" නමින් නව ගීතයක් 1972 දී නිකුත් වූ අතර එහි බෙනීගේ හා බියොන්ගේ පද රචනය සහ නව සංගීත සංයෝජනයත් ඇග්නෙතා සහ ඇනිෆ්‍රිඩ් ගේ ගායනයත් රසිකයන් අමන්දානන්දයට පත් කළේය. මෙම ගීතය ස්වීඩන් සංගීත ඇල්බමවල 17 වන ස්ථානයට පත් විය. 1973& රිං රිං නමැති ගීතය ඇතුළත් ඇල්බමය නිකුත් විය. එය යුරෝපයේ ඇතැම් රටවල හා දකුණු අප්‍රිකාවේ ජනප්‍රියත්වයට පත්විය. එහි නිෂ්පාදක ස්ටිග් ඇන්ඩර්සන්ට අවශ්‍ය වූයේ එක්සත් රාජධානියේ හා ඇමෙරිකාවේ ජනප්‍රියත්වය හිමිකරගත හැකි ගීත එළිදැක්වීමටය. වෝටර්ලූ ගීතය ගායනා කරමින් 1974 යුරෝවිෂන් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමෙන් පසු ඇබා සංගීත කණ්ඩායමට යුරෝපයේ සංචාරය කිරීමටත්, විවිධ රූපවාහිනී නාලිකාවල ගීත ගායනයටත් අවස්ථාව සැලසිනි. වෝටර්ලූ ගීතය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තේය.

abba 3

 

1976 මාර්තු මාසයේදී ඔවුන් &ග්‍රේටස්ට් හිට්ස්* නමින් ඇල්බමයක් නිකුත් කරන ලදී. එය එක්සත් රාජධානියේ අංක එකේ ඇල්බමය බවට පත් වූ අතර, පළමු වරට එක්සත් ජනපද ඇල්බම ලැයිස්තුවලටද ඇබාගේ ගීත එක්විය. ඇමෙරිකාවේ එහි පිටපත් මිලියනයකට වඩා අලෙවි විය. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ මෙක්සිකෝව ඇතුළු ලොව පුරා රටවල් දහතුනක අංක එකට පත් "ෆනැන්ඩෝ" නමැති ගීතය ද ඇතුළත් වූයේ එම ඇල්බමයේය. එම ඇල්බමය ලොව පුරා මිලියන 10 කට වඩා අලෙවි විය. ඉන්පසු ඔවුන් ගායනා කළ මනි මනි මනි, ඩාන්සිං ක්වීන්, නොවිං මී නොවිං යූ, වැනි ගීත ලොව පුරා උන්මාදයක් සේ පැතිර ගියේය. ඇබා ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ළඟාවී සිටියේය. ලොව පුරා රසිකයෝ ඔවුන්ගේ ගීත වැළඳ ගත්තේ ඒවායේ තිබූ අර්ථපූර්ණ පදමාලාව හා නැවුම් සංගීත නිර්මාණ හේතුවෙනි.

1972 – 82 කාලයේ වැඩිම තැටි අලෙවියක් සහිත සංගීත කණ්ඩායම වූයේ ඇබාය. තවමත් ඔවුන්ගේ ගීත ඇල්බම ලොව පුරා අලෙවි වේ. වර්තමානය වන විට ඔවුන්ගේ ගීත ඇල්බම මිලියන 400 ඉක්මවා අලෙවි වී තිබූ බවට වාර්තා විය. වෝටර්ලූ, එස්ඕඑස්, අයිඩූ අයි ඩූ අයි ඩූ, මමා මීයා, ෆනෑන්ඩෝ, ඩාන්සිං ක්වීන්, නොවිං මී, නොවිං යූ, නේම් ඔෆ් ද ගේම්, ටේක් අ චාන්ස් ඔන් මී, චිකිටීටා, විනර් ටේක්ස් ඕල්, සමර් නයිට් සිටි, අයි හෑව් අ ඩ්‍රීම්, හස්තා මන්යානා, නීනා ප්‍රිටි බැලරීනා, බැං අ බූමරැන්ග්, හනි හනි හනි, තැන්ක් යූ ෆෝ ද මියුසික් වැනි ගීත සියයකට අධික සංඛ්‍යාවක් ස්වීඩන්, ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බසින් ඔවුන් ගයනා කර තිබේ. එමෙන්ම ඔවුන් තම නිර්මාණ සඳහා සම්මාන රැසක් ද හිමිකරගෙන තිබේ.

 

Abba 1

1982 සංගීත කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසුවද මේ සිවුදෙනාගෙන් තිදෙනෙක් ඒකල වශයෙන් සංගීත ක්ෂේත්‍රෙයේ රැඳී සිටියහ. අධික කාර්යබහුලත්වය හා විවිධ මත ගැටුම් ඔවුන්ගේ විවාහ දිවියටද බලපෑම් එල්ල කළ අතර කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසු ඔවුන්ගේ විවාහ ජිවිතද දෙදරා ගියේය.

ගායනයෙන් පමණක් නොව නිළියක හා ගීත රචිකාවියක ලෙසද හැකියාව ප්‍රකට කළ ඇග්නෙතා 1983 දී සිදු වූ දරැණු බස් අනතුරකින් දිවි ගලවා ගැනීමට සමත් වූවාය. 1990 දී ඇය තෝමස් සොනන්ෆෙල්ඩ් සමඟ විවාහ වූවාය. 1994 දී ඇගේ මව දිවි නසා ගත් අතර එය ඇයට දරා ගත නොහැකි විය. ඉන් වසරකට පසු ඇගේ පියා මිය ගියේය. .ඉන්පසු ඇය ගත කළේ නිහඬ දිවියකි. බොහෝ කලක් යනතෙක් ඇය සංගීත ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටියාය.

 

abba 2

ඇගේ කලින් සැමියා වූ බියොන්, ලීනා කැලර්ස්ජෝ නමැති මාධ්‍යවේදිනියක හා විවාහ විය. මමා මියා චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයාද වූයේ ඔහුය. කලෙක ඔහුගේ මතකය අහිමි වූ අතර පසුව යථා තත්ත්වයට පත්විය. බෙනී ඇන්ඩර්සන් මෝර්නා නෝර්ලිට් සමඟ විවාහ වූ අතර බෙනි ඇන්ඩර්සන් ඔකෙස්ට්‍රා නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගියේය. පසු කාලයේ දැඩි මත්පැන් ලෝලියකු බවට පත්විය. වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු එම ඇබ්බැහියෙන් ගැලවීමට ඔහුට හැකි විය. ගීත රචිකාවක, ගායිකාවක මෙන්ම පරිසරවේදිනියක වූ ඇනිෆ්‍රිඩ් තම පෙම්වතා වූ හයින්රිච් රූසෝ කුමරු සමඟ දිවි ගෙවූ අතර ඔහුගේ මරණින් පසු සිය නව පෙම්වතා වන හෙන්රි ස්මිත් සමඟ සමඟ ස්විට්සර්ලන්තයේ ජීවත් වන්නීය. මේ වන විට ඇග්නෙතා 71 හැවිරිදිය. බියොන්ට 76කි. බෙනී 74 වැනි වියේ පසුවන අතර ඇනි‍ෆ්‍රිඩ් 75 හැවිරිදිය. මුළු ලොවේම ආදරයට පාත්‍රවූ ඇබා සංගීත කණ්ඩායම වෙන්වී වසර 40කට ආසන්න වුවද අද දවසේද ඔවුන්ගේ ගීතයක් ලොව කොහෝ හෝ ගුවන් විදුලියකින් හෝ රෑපවාහිනී නාලිකාවක විකාශය වන්නේය.