SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගිලන් රථ අද අපේ ජීවිත හා බොහෝ සමීපයි.

ඒත් අදට දශක කිහිපයකට කලින් ගිලන් රථයක් කියන්නේ අහඹු දසුනක්. කොටින්ම හැත්තෑව දශකයේ ගිලන් රථ තිබුණත්, දකින්නට තිබුණේ කලාතුරකින් බවයි එදා තරුණ තරුණියන්ව සිටි අය කියන්නේ.

කොහොම වුනත් සිනමා ශාලාවක චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී, ප්‍රේක්ෂකයින් වෙනුවෙන් චිත්‍රපට ශාලාව දොරකඩ ගිලන් රථයක් නවතා තැබුණු ප්‍රසිද්ධ කතාවක් හැත්තෑව දශකයේ අගභාගයේදී තිබුණා. ඒ කොළඹ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව ඉදිරිපිටයි. ප්‍රදර්ශනය කෙරුණේ ‘ද එක්සෝසිස්ට්’ චිත්‍රපටයයි. එය 1973දී ඇමෙරිකාවේ නිෂ්පාදිත චිත්‍රපටයක්. ලංකාවට අසූව දශකයට ඔන්න මෙන්න කියා තිබියදී ‘ද එක්සෝසිස්ට්’ ආවා.

ඇමෙරිකාවේත් සහ ලෝකයේ බොහෝ රටවලත් සිනමාහල්වල ‘ද එක්සෝසිස්ට්’ ප්‍රදර්ශනය වෙද්දී ඒ සිනමාහල් දොරටුවේ ගිලන් රථයක් හෝ රථ කීපයක් නවතා තැබුණා. සිනමාහල් හිමියෝ ඒ ගැන කියා තිබෙන්නේ මෙවැනි දෙයක්. ‘චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී නරඹන්නන් කිසියම් ආකාරයේ තිගැස්සීමකින් හෝ බියට පත්වීමෙන් හෝ හදිසි රෝගී තත්ත්වයකට පත්වන්නන්ට වහා ප්‍රතිචාර දැක්වීම සඳහා පෙර සූදානමක් ලෙස එය කළ බවයි. ලංකාවේ නම්, එදා මෙදාතුර ගිලන් රථයක් සිනමාශාලාවක් ඉදිරිපිට නවතා තැබුණු පළමු අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ. ලංකාවේ කොපමණක් අද්භුත කතා ඇතුළත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණත්, ප්‍රේක්ෂකයින් තුළ ගැඹුරු තිගැස්මක් ඇති කළ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක සිත් තුළ ‘ද එක්සෝසිස්ට්’ සනිටුහන්ව තිබෙනවා.

 

regan 0

 

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් වෙත මුදාහැරීමෙන් අනතුරුව, හෘද රෝග තිබෙන අයට චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටීමට නිෂ්පාදකයා කටයුතු කර තිබුණු බව ඇත්තක්. නැත්නම් ‘හදවත් රෝග ඇති අයට මෙම චිත්‍රපටය අනතුරු සහිතයි’ කියා ඔවුන් ප්‍රසිද්ධ කර තිබුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය අතරතුරේදී ලෝකයේ සමහර ප්‍රේක්ෂකයින්ගේ හදවත රෝගීවුණු බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙනවා. ඒවගේම මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි යන්න ප්‍රකාශ වී නොතිබුණත්, චිත්‍රපටය නැරඹීමට දරුවන් රැගෙන ඒමෙන් වැළකී සිටින්නේ නම් මැනවි යනුවෙන් කියා තිබුණා.

චිත්‍රපටයක් ආරම්භ කිරීමට මොහොතකට පෙරාතුව ශාලාව අඳුරු කරනවා. මේ ඇමෙරිකාවේ සිනමා ශාලාවල සිදුවීමක් කියන්නේ. චිත්‍රපටය නැරඹීමට තනිවම පැමිණ අසුන්ගෙන සිටින සමහරුන් අතුරෙන් බොහෝ අය විදුලි බල්බ නිවා ස්වල්ප වේලාවක් යද්දී චිත්‍රපට ශාලාවෙන් වහ වහා ඉවත්ව ගිය බවට සාක්ෂි තිබෙනවා. චිත්‍රපටය තනිවම බලන්න තමන්ට තිබුණු ධෛර්ය, චිත්‍රපටය ආරම්භ කිරීමට විදුලිය නිවා දැමීමෙන් පසුව ක්‍රමයෙන් බිඳ වැටුණු බව එම ඇමෙරිකාවනුවන් පසුව මාධ්‍ය වෙත පවසා තිබුණා. එවගේම මේ චිත්‍රපටය රාත්‍රී දර්ශනය හරිම ප්‍රසිද්ධයි. එහිදී චිත්‍රපටය අවසන් වෙද්දී රාත්‍රී දොළහමාර පමණ වෙනවා. ඇමෙරිකාවේ සිනමාළෝලීන් අතර ජනප්‍රිය කතාවක් වන්නේ රාත්‍රියේ මේ චිත්‍රපටය නරඹා කිසිවකු තනිවම ආපසු නවාතැන්වලට යන්නේ නැති බවයි. ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරත් එම අත්දැකීම තිබෙනවා. විශේෂයෙන්ම චිත්‍රපටයේ සිටින ප්‍රධාන චරිතය රේගන් කුඩා දරුවාගේ රූපය සහ දරුවාගේ හඬ ප්‍රේක්ෂකයින්ට බොහෝ සේ බලපා තිබෙන බව කියැවෙනවා.

 

regan 7

 

තවත් කාරණයක් තමයි, ලෝකයේ බොහෝ සිනමා ශාලාවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනයේ විවේකය ඇරඹෙද්දී සමහරුන් නැඟිට සිනමා ශාලාවෙන් ඉවත්ව ගොස් තිබීමයි. රාත්‍රී දර්ශනය නැරඹූ අය අතර මෙම සිදුවීම ප්‍රසිද්ධයි. ඒ ආකාරයට විවේක කාලයේදී සිනමා ශාලාවෙන් ඉවත්ව ගිය ඇමෙරිකාවුවන් පවසා තිබෙන්නේ විවේකය එළැඹෙන තෙක් තමන් නවගුණ වැල ගනිමින් බලා සිටි බවයි. චිත්‍රපටයේ ත්‍රාසය තමන්ට දරන්නට පුළුවන් සීමාවෙන් එපිට තිබුණු බව සීත ඍතුවේ හිම මත ඇවිදිමින්, දහඩිය පිසිමින් ඇතමුන් පවසා තිබෙනවා. සමහරුන් චිත්‍රපටය නරඹමින් සිටින අතරතුරේදී සිහිසුන්ව බිම ඇඳ වැටුණු බවටත් ඇමෙරිකාවෙන් වාර්තා තිබෙනවා. 

ලෝකයේත්, ලංකාවේත් ත්‍රාසය සහ භීතිය රැගත් චිත්‍රපට කොපමණක් ප්‍රදර්ශනය වුවත් ඒ කිසිවක් ‘ද එක්ස්සෝසිස්ට්’ චිත්‍රපටය අභිබවා නැති බවයි සමහරුන්ගේ මතය වන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රැකියුලා චිත්‍රපට බිය උපදවන බව ඇත්තයි. ඒත් ‘ද එක්සෝසිස්ට්’ චිත්‍රපටය ලෝකයේ ප්‍රදර්ශනය වූවායින් පසු  එය ඇති කළ භීතිය හෝ ත්‍රාසය පරයා ගිය වෙනත් චිත්‍රපටයක් නිෂ්පාදනය අසීරු වී තිබෙනවා. ‘ඔමෙන්’ කොටස් වශයෙන් චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය වුවත්, ඒවා කිසිවකට එක්ස්සෝසිස්ට් අභිබවා යාමට හැකිවුණේ නැහැ.

 

regan 5

 

එක්ස්සෝසිස්ට් ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව අද්භූත චිත්‍රපට රැල්ලක් ආවත්, ඒවා අතිශය ජනප්‍රිය වුවත්, එක්සෝසිස්ට් තැබූ වාර්තාව කඩන්නට ඒවා කිසිවක් සමත්ව නැහැ. අද්භූත චිත්‍රපට කෙරේ සිනමාලෝලීන්ගේ ඇල්ම වැඩිවීමටත්, ඒවා කෙරේ අවදිවුණු සිතින් බැලීමටත් ‘ද එක්ස්සෝසිස්ට්’ චිත්‍රපටය පදනම වුණු බව ඇමෙරිකානුවන් පවසා තිබෙනවා.

තත්ත්වය එසේ වුවත්, ‘ද එක්සෝසිස්ට්’ චිත්‍රපටය ප්‍රසිද්ධ වන්නේ ශාපලත් චිත්‍රපටයක් ලෙසයි. මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් අකාලයේ මරු තුරුලට ගොස් තිබෙනවා. මෙහි රූපගත කිරීමේ අතරතුරේදී එයට නන් අයුරින් සහභාගී වූ අය නොසිතූ විරූ ආකාරයේ අනතුරුවලට මුහුණදී තිබෙනවා. ඔවුන් පවසා තිබෙනවා නළු නිළියන්ට පමණක් නොවෙයි, චිත්‍රපටයට කාර්මික වශයෙන් සහාය දැක්වූ අත්දැකීම් බහුල වඩු කාර්මිකයෙකුගේ ඇඟිළි දෙකක් ඉවත් කිරීමට පවා සිදුවූ බවක්. 

 

regan 6

 

එපමණක් නොවෙයි, මේ චිත්‍රපටය රූපගතකිරීම් අතරතුරේදී බොහෝ අද්භූත සහගත දේවල් සිදුවුණු බවත් කියැවෙනවා. චිත්‍රපටයේ එක් තැනෙක එහි ප්‍රධාන චරිතය වන දොළොස් හැවිරිදි රේගන්ගේ නිවසේ දුරකතනය කිසිවකුගේ මැදිහත්වීමකින් තොරව එසවෙනවා. ඒවගේම මේ චිත්‍රපටයේ මේන් ලොකේෂන් එක වන රේගන්ගේ නිවස සම්පූර්ණයෙන්ම ගිණිබත් වෙනවා. කාර්ය මණ්ඩලය දකින්නේ එය අද්භුත සිද්ධියක් විදියටයි. කොහොම නමුත් මේ විවිධාකර හැලහැප්පීම් කරදර බාධක මැද චිත්‍රපටයේ වැඩ කටයුතු අවසාන කිරීමෙන් අනතුරුව චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කෙරෙනවා.

මහ වැසි කලින් දන්වා එවන්නේ නැති වුවත්, එදා මංගල දර්ශනය දවසේ ඇති වූ වැස්ස ගැන චිත්‍රපටයට සම්බන්ධ අය සැක පළ කරනවා. ඒ වැස්සත් සමඟ ඇති වුණු අකුණු වරුසාවෙන් ප්‍රදේශයේ විදුලි කුළුණු බිඳ වැටී විදුලිය විසන්ධි වුණු බව ඔවුන් සිහිකැඳවනවා. සිනමාපටය පසුපස රූගත කිරීම්වලදී සහ එයට සම්බන්ධ වුණු අය විවිධාකාරයේ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන් බවත් ඒවා අවසානයේ සමහරක් අත්දැකීම් මරණීය අත්දැකීම් බවට පත්වුණු බවත් ඔවුන් වරින් වර මතු කරමින් සිනමාලෝලීන්ට මතක් කර දෙනවා.

 

regan 8

 

ඇදහිය නොහැකි රූප රාමු, රංගනය සහ සංගීතයත්, ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ත්‍රාසය වගා කරන රේගන්ගේ හැසිරීමත් ඇත්තවශයෙන්ම අද්භූතයි තමයි. එපමණක් නොවෙයි එම රූප රාමු තුළ අභව්‍ය බවකුත් තිබෙනවා. රූප කෙරේ ප්‍රේක්ෂකයින් තුළ ඇති බව භීතිය නිසාම ඒ අභව්‍ය බව යටපත් වෙනවා. මෙම සිනමාපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව එය නිෂ්පාදනය කළ සමාගමට සමහර දර්ශන නිසා නඩු පැවරීමක් සිදුව තිබෙනවා. නිෂ්පාදකයා මෙම චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන දොළහක් පමණ මුදලක් වැය කරලා තිබෙනවා. ඩොලර් මිලියන හාරසිය හතළිහක් ආදායම් ලබමින් වාර්තා තබා ඇති බව කියැවෙනවා.

මෙතෙක් කරන ලද වඩාත්ම ත්‍රාසයට පත්වූ ‘ද එක්ස්සෝසිට්’ සත්‍ය කතාවක් මත පදනම් වුණු බවක් තමයි කියැවෙන්නේ. රේගන් නව යොවුන් දරුවාගේ ශරීරයට භූතාත්මයක් අවතීර්ණ වීමත් ඇගේ හැසිරීම සාමාන්‍ය මිනිස් තත්ත්වයෙන් මිදීමත් ක්‍රම ක්‍රමයෙන් සිදු වෙනවා. ඇගේ මව තම දියණියව රෝහල්ගත කිරීමත්, වෙදැදුරන් ලවා ඇයව පරීක්ෂා කරවීමට සිතීමත් පසුව සිදුවනවා. රේගන්ගේ වියරු හැසිරීම් සමඟම කාලයත් සමඟ ඇයගේ ශාරීරික සිදුවීම් සිදු වන්නට පටන් ගන්නවා. තත්ත්වය වේගයෙන් දරුණු වෙද්දී මවත් කල්පනා කරන්න පටන් ගන්නවා මේ දරුවාට අමනුෂ්‍ය බලපෑමක් තිබෙනවාද යන්න. ඇය කියන්නේ රේගන් තුළ යක්ෂයා වේගයෙන් ඉස්මතු වුණු බවයි. රේගන්ගේ මව වෙදදුරන්ගේ අකැමැත්ත හමුවේ වුවත් දියණිය සුවකර ගැන්ම සඳහා කතෝලික පූජකවරුන්ගේ උදව් ඉල්ලා දේවස්ථානය වෙත යනවා. වෙදදුරන් ඊට මුළුමනින්ම විරුද්ධ වෙනවා.

ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය තුළ විලියම් ෆ්‍රයිඩ්ක්ලින්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු ‘ද එක්ස්සෝසිස්ට්’ ලෝකයේ අතිශය ජනප්‍රිය ත්‍රාසජනක සිනමාපටයක් බව ස්ථීර වශයෙන්ම කිවහැකියි. මෙය දශක ගණනාවක් තිස්සේ අද්භූත චිත්‍රපට ගොන්නේ ‘න්මබර් වන්’ වීම ඊට සාක්ෂියක්.

විලියම් පීටර් බ්ලැටි නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඔහු විසින්ම 1971දී කළ නවකතාවක්. නවකතාවේ නමත් චිත්‍රපටයේ නමමයි. දොළොස් හැවරිදි රේගන් යක්ෂාවේශ වීම සහ කතෝලික ජූජකවරුන් දෙදෙනෙකු නිර්භයව මැදිහත් වී භූතවාදයකින් රේගන්ව බේරා ගැනීමට කරන උත්සාහය ත්‍රාසය යනු කුමක්දැයි යන්න ලෝකයට කියා දුන් පාඩමක්. කවුරුන් කෙසේ පැවසුවත් එදා සිනමා ශාලාව තුළ අඳුරේ මැවූ ඒ අපුරු මායාව  අදටත් ලොව පුරා රසිකයින් සිත් තුළ තිබෙනවායි කීම අතිශයෝක්තියක්නම් නෙවෙයි. එය හෙටටත් වලංගුයි. ගෙවුණු අගෝස්තුව මුලදී නෙට්ෆ්ලික්ස් හි ද ‘ද එක්ස්සෝසිස්ට්’ තිරගත කරන්නට තීන්දු කර තිබෙන්නේ එය සනාථ කරමිනුයි. එනිසාම නැවතත් ‘ද එක්සෝසිස්ට්’ සිනමාලෝලීන්ගේ අවධානය උදුරාගෙන තිබෙනවා.

 

@ පවිත්‍රා රූපසිංහ