පුරුෂාධිපත්‍යට ම ආවඩන සුළු වු "උතුම් ස්ත්‍රීන්" "පාපතර ස්ත්‍රීන්" මවමින් ස්ත්‍රී සංහතිය පිළිබඳ ව
පට්ටපල් බේගල් ඇද බාන්නට පටන්ගත් ලෝක සිනමා තිරයෙහි එම සංකල්ප දෙකට පිටින් වු කාන්තා නිරූපණයක් Emerald Fennellගේ "ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" තුළ දක්නට ලැබෙයි.
"ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" යනු බිහිසුණු ස්ත්‍රීවාදී සංකල්පයන් බහුල නිර්මාණයකි. පහර ගසන්නේ පුරුෂාධිපත්‍යට ය. චිත්‍රපටයේ පසුබිම් කාල අවකාශය නුතන ඇමරිකානු දේශයයි. චිත්‍රපටයේ අයෝමය භූමිකාව නියෝජනය කරන්නේ කැසෙන්ඩ්‍රා නමැති තරුණ යුවතියකි. ඈ රූමත් ය. සරාගී ය. චිත්‍රපටයේ මතුපිටින් ස්පර්ශ කළහොත් ඇයට පිරිමින් දෑහට පෙනෙන්නට බැරි ස්ත්‍රීවාදි බල උන්මාදයෙන් පිරුණකි. කැසෙන්ඩ්‍රාට මුළු මහත් පිරිමි සමාජය සමඟ විශාල ආරාවුලක් ඇත. එක පසෙකින් ඇය සාධාරණය ය. ගැහැණු නිදහස අත්විඳීම තුළ පිරිමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සැටි උපාහාසාත්මකව චිත්‍රපටයෙන් පෙන්වයි.
කැසෙන්ඩ්‍රාට මුළු මහත් පිරිමි සමාජයෙන් පළිගන්නට සාධාරණ හේතුවක් ඇත. එනම් ඇයගේ යෙහෙළිය අමානුෂික අන්දමට පිරිමි රොත්තක් සමූහ දුෂණය කර මරා දැමීම නිසාවෙනි. මුළු චිත්‍රපටය පුරාවටම කැසෙන්ඩ්‍රාගේ චරිතය ප්‍රධාන කේන්ද්‍රය බවට පත්වෙති. අවමානුෂිකරණයට ගොදුරු කර ඇති ස්ත්‍රීයගේ සිය විමුක්තිය සඳහා දියත් කරන අරගලය "ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" චිත්‍රපටය හරහා ඉදිරිපත් කරන මාදිලිය සුවිශේෂ ය.
කැසේන්ඩ්‍රා තුළින් ඉතිහාසයේ සැඟවුනු දුෂ්ට කාන්තාවන් පිරී ඇත. ඇගේ චරිතය මුළු මහත් ඉතිහාසය තුළ ස්ත්‍රිවාදි චරිත සංකලනයකි. වත්මනෙහි කාන්තා විමුක්තිය යටත් කර දමා ඇති පුරුෂාධිපත්‍යයේ කොන්දේසි සමඟ දැඩි සටනක් කරන්නට කැසේන්ඩ්‍රා වැනි ගැහැණුන්ට සිදුව ඇත. "ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" කියවාගත යුතු කේන්ද්‍රීය ලක්ෂ්‍යය වන්නේ එතැනයි.
චිත්‍රපටය විසින් යෝජනා කරන 'කැසේන්ඩ්‍රා' නම් ස්ත්‍රී රූපිකය තුළ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය සහ ඇය මුහුණ දෙන සමාජ ඛේදය අතර ඇති සංකීර්ණත්වය මෙම චිත්‍රපටය තුළින් විවර කරන කවුළුවකි. ධනවාදය නමැති බුවල්ලාගෙන් විහිදුණු එක් අණ්ඩක් වන විසිඑක්වෙනි සියවසේ රාත්‍රී සමාජ ශාලා සංස්කෘතිය තුළ ස්ත්‍රීය විසින් ගොදුරුවන අශ්ලීල ලිංගිකත්වය සහ පිරිමි වසඟය පිළිබඳ කථිකාවතක් චිත්‍රපටය ඉල්ලා සිටී.
චිත්‍රපටයේ කැසේන්ඩ්‍රාගේ භූමිකාව ගොඩනංවා තිබෙන ප්‍රති ස්ත්‍රීය සහ යක්ෂමය ස්වභාවය සහ හැසිරීම් යම් තරමකට යුක්තිසහගත කළ හැකි ආඛ්‍යානයමය තලයක චිත්‍රපටය පිහිටයි. "කැසෙන්ඩ්‍රා මිනීමරු ගැහැනියක් බවට පත්වුනේ ඇයගේ වරදින් නොවන නිසා ඇය කරන පුරුෂාධිපත්‍යට එරෙහි ඝාතන සාධාරණයි නේද? යන හෘද සාක්ෂියෙන් නැඟෙන පැනය සහ හැඟිම් මාත්‍රය පවා සංකීර්ණව ගත්විට පුරුෂෝත්තම දෘෂ්ටිවාදය තුළම නැඟෙන දෙබිඩි ප්‍රවාදයකි.
කැසේන්ඩ්‍රා ප්‍රථම වරට ගල්වන ස්ත්‍රීය රවටන ලිප්ස්ටික් තොල් ආලේපනය තුළ පුරුෂෝත්තම සමාජය විසින් ඉල්ලා සිටින යමක් තිබේ. එනම් ලිංගකත්වයේ වසඟකාරී වෙස්මුහුණයි. ස්‍ත්‍රියගේ සුදු කකුල , අඩක් නිරාවරණය වූ අඟ පසඟ දැක පමණින් පිරිමියාගේ ලිංගිකත්වය ඇවිස්සීමත්, එකී පුරුෂ සමාජයම විසින් ස්ත්‍රීය කෙළසන්නට දැරීමත් මේ පුරුෂාධිපත්‍යට නතුවු කතාන්තරයේ ස්වරූපයේ පැතිකඩයි. කැසෙන්ඩ්‍රා විසින් සිදු කරන්නේ මෙම දෘෂ්ටිවාදය වෙත ප්‍රබල අතුල පහරක් හෙළීමයි. යක්ෂණියක ලෙස අනන්‍ය කළ ස්ත්‍රිය සිය පැවැත්ම ගැඹුරු ලෙස රැඩිකල්වාදී ප්‍රවේශයක් ගනිමින් කාසියේ අනෙක් පැත්ත වූ පුරුෂාධිපත්‍යට නතු වු වහල් ස්ත්‍රී රූපය බිඳ දමයි.
විසිඑක්වෙනි සියවසේ ස්ත්‍රීය යනු නිශ්ක්‍රීය ඉඳිමක් ලෙස හඳුනාගැනීමට කැමති වන පුරුෂෝත්තම සමාජයට අභියෝග කළ හැකි ගැඹුරුම තැන වන්නේ ස්ත්‍රීය පිළිබඳ පුරුෂ ෆැන්ටසිය පුපුරුවා හරින ස්ථානයයි. කැසෙන්ඩ්‍රා සිය ප්‍රමෝදය හඹායෑම සහ ප්‍රේමය නමැති හුදු සබඳතාව වෙනුවෙන් යටත්වන්නට සුදානම් නැත. ඇය ගමන් කරන්නේ මුළු මහත් පුරුෂාධිපත්‍යට විසින් වෙළාගත් පීඩිත ස්ත්‍රීයකගේ ඛේදවාචකයක් , එකී ඛේදවාචකය විසින් ඉතිහාසයේ සඟවාලු පුරුෂෝත්තම සමාජයෙන් පළිගන්නට ය.
"ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" අහිංසක නැත. බෙහෙවින් සබුද්ධික ය. ප්‍රචණ්ඩ ය. "ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" පෙන්වන ස්ත්‍රී සිනමාව පක්ෂපාතී ය. නමුත් සාධාරණ ය. "ප්‍රොමිසින්ග් යන්ග් වුමන්" නරඹන පුරුෂෝත්තම සමාජයේ බහුතර පිරිමි ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ විළිය වසාගන්නට බලකරමින්ම , නිරායාසයෙන්ම කැසේන්ඩ්‍රාගේ බුද්ධිය ඉදිරියේ හුරේ දමන්නට අපට සිතෙයි.
@මලින්ත විතානගේ