SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සමහර නඩු විභාග හුදු නීති පොත්වල අකුරුවලට පමණක් සීමා නොවේ. ඒවා විටෙක තියුණු චෙස් ක්‍රීඩාවක් බඳුය;

තවත් විටෙක එය ජීවිතයත් මරණයත් අතර සටනකි. රුපියල් කෝටි 14ක මහජන මුදල් අවභාවිත කරමින්, ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති "ඉමියුනොග්ලොබියුලින්" නඩුව ඊයේ (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිගහැරුණේ එවන් නාට්‍යමය ස්වරූපයකිනි.

 

 

මෙම නඩු විභාගය හුදු සාක්ෂි මෙහෙයවීමක් පමණක් නොවේ. එය රටේ ප්‍රමුඛ පෙළේ නීතිවේදීන් සහ රජයේ අධිචෝදනාකාරී පාර්ශවය අතර සිදුවූ බුද්ධිමය සහ වාචික ගැටුමක ප්‍රදර්ශනාගාරයක් විය. විශේෂයෙන්ම, නඩුවේ සාක්ෂි විකෘති වීමේ අවදානම හඳුනාගත් විනිසුරු මඩුල්ල, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සියලු රහස් ගොනු "අගුළු ලා ආරක්ෂා කිරීමට" නියෝග කිරීමත් සමඟ අධිකරණ ශාලාව උණුසුම් විය.

 

 

එහෙත්, ඊයේ දිනයේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ නීතිමය සීමාවන් සහ වෘත්තීය ආචාරධර්ම පිළිබඳව දෙපාර්ශවයේ නීතිවේදීන් අතර ඇති වූ අභියෝගාත්මක සංවාද මාලාවයි.

 image 4dc2d322df

 

 

අධිකරණ ශාලාව දෙවනත් කළ තියුණු දෙබස්

 

නඩු විභාගයේ රිද්මය සහ එහි ඇති ගැඹුර වටහා ගැනීමට නම්, ඊයේ දිනයේ වාර්තා වූ මෙම වාග් ප්‍රහාරයන් දෙස හැරී බැලිය යුතුය:

සිද්ධිය 01:

සාක්ෂි සටහන් සහ නීතිඥ වගකීම

විත්තියේ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන පෙර සාක්ෂිකාරියකගේ සටහන් නොමැති බව පවසා හරස් ප්‍රශ්න ඇසීම නැවැත්වීමට උත්සාහ කළ මොහොතේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම එයට දැඩිව අභියෝග කළාය:

ලක්මිනී ගිරිහාගම (DSG):

"ස්වාමීනී, නීතිඥවරයෙකුගේ උතුම් කාර්යය විය යුත්තේ අධිකරණයට සහය වීමයි. ප්‍රථම කොට අධිකරණයට සහාය දක්වලා තමයි තම සේවාදායකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවැනි සංකීර්ණ නඩුවක සාක්ෂි සටහන් එදිනෙදා දීමට නොහැකි බව!"

 

සිද්ධිය 02:

"කෑලි මූට්ටු කිරීම" සහ නීතිමය සීමාව පැමිණිල්ල විසින් සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න අසන (Re-examination) ආකාරය පිළිබඳව විත්තියේ නීතිඥ අමිත ආරියරත්න දැඩි විරෝධයක් මතු කළේය:

නීතිඥ අමිත ආරියරත්න:

"එතුමිය මම අහපු ප්‍රශ්න වල අග, මුල, මැද එකතු කරලයි ප්‍රශ්න අහන්නේ. මම අහපු නැති ප්‍රශ්න එයා කෑලි මූට්ටු කරලයි නැවත ප්‍රශ්න ලෙස අහන්නේ. මගේ විරෝධතාව සටහන් කරන්න!"

ලක්මිනී ගිරිහාගම (DSG):

"මට විත්තියේ නීතිඥවරුන්ගේ උපදෙස් ඕන නැහැ. මම නැවත ප්‍රශ්න අහන්නේ ලේඛන උපයෝගී කරගෙනයි. ඕන කෙනෙකුට පුළුවන් ඒවා පරීක්ෂා කරන්න!"

 

සිද්ධිය 03:

දැනුම පිළිබඳ අභියෝගය වාදය උච්චතම අවස්ථාවට පැමිණියේ නීතිඥ අසේල සේරසිංහ ගේ මැදිහත් වීමත් සමඟය:

 

නීතිඥ අසේල සේරසිංහ:

"නැවත ප්‍රශ්න අසන සීමාවෙන් පැනලයි ඔබතුමිය ප්‍රශ්න අහන්නේ. ඔබතුමිය දන්නේ නැති වුණාට මම ඒ ගැන හොඳට දන්නවා!"

ලක්මිනී ගිරිහාගම (DSG):

"මම කැබලි අමුණලා නෑ. මට අහන්න ඕන දේයි මම අහන්නේ. ඔබතුමාලාට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ. මොන පනත යටතේද ඔබ විරුද්ධත්වය දක්වන්නේ?

 

 

ADB ණය ක්‍රමය: විත්තියේ තුරුම්පුව?

 

 Keheliya and Addl

 

 

මේ ඝෝෂාව මැද විත්තිය සියුම් නීතිමය කාරණයක් මතු කර ගත්තේය. ඒ, ආසියානු සංවර්ධන බැංකු (ADB) ණය ක්‍රමය යටතේ සිදුවූ ඖෂධ මිලදී ගැනීමයි. විත්තියේ උත්සාහය වූයේ, ADB ක්‍රමය යටතේ තිබූ විධිමත් ක්‍රියාවලිය පෙන්වා දෙමින්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේදී එම ක්‍රමවේදයන්ට පටහැනිව කටයුතු කිරීමට සිදු වූයේ "හදිසි අවස්ථාවක්" (Emergency) නිසා බවට සිහිපත් කිරීමට ය.

 

මීළඟ දිනයේ කුමක් සිදුවේවිද?

 

නඩු විභාගය අද (03) දක්වා කල් තැබිණි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිස හුදෙක් අත්සන් තැබූ පමණින් වරදකරුවන් වේද? නැතහොත් මේ පිටුපස සිටින සැබෑ මහමොළකරුවන් නීතියේ හිඩැස්වලින් රිංගා යාවිද?

 

මාධ්‍ය කැමරාවලට හසු නොවූ මෙම නීතිමය සංග්‍රාමය දෙස අපි ඉතා විමසිල්ලෙන් බලා සිටිමු. මන්ද, මෙය හුදෙක් නඩුවක් නොව, ඔබේත් මගේත් ජීවත් වීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවිනි.

 

අධිකරණය තුළ ඊයේ සිදුවූ මෙම උණුසුම් විවාදයන්, විත්තියේ තර්කයන් සහ පැමිණිල්ලේ ස්ථාවරය පිළිබඳ සම්පූර්ණ නිරීක්ෂණය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව පහතින් කියවන්න.

 

[02/02/2026]

නඩු වාර්තාව

 images 12

 

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට අදාල සියලුම ලේඛන අඩංගු ගොනු සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රී  පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (02) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කළේය.

 

තම අධිකරණය නැවත නියෝගයක් කලහොත් එකී ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ ලේඛන  අඩංගු ලිපිගොනු තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

 

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (2) එම විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස එවකට රාජකාරි කල වර්තමාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යුනූස් ලෙබ්බේ මොහොම්මදු නවවි මහතා දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

 

දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පැමිණිල්ලේ එම සාක්ෂිකරුගෙන් සිව්වන දිනටත් හරස් ප්‍රශ්න අසමින් එම සාක්ෂිකරු විසින් 2022 වසරේදී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා සාක්‍ෂිකරු විසින් සිදුකළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විමසා සිටියේය. එකී ණය ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමට අදාළව සිදුකළ මිල කැඳවීම්, එලෙස මිලදී ගැනීමට අපේක්‍ෂා කළ ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ විමසූ ජනාධිපති නීතීඥවරයා එකී ලේඛන සාක්ෂිකරු මගින් විත්තියේ ලේඛන ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමටද පියවර ගත්තේය. ඖෂධ මිලදී ගැනීමට අදාලව නිකුත් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 දෙවන සංශෝධන අත්පොත සාක්ෂිකරුට ඉදිරිපත් කොට ඒ පිළිබඳව දැනුවත් දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටි ජනාධිපති නීතිඥවරයා එකී අත් පොත විත්තියේ සාක්ෂියක් ලෙස සාක්ෂිකරු ලකුණු කිරීමටද පියවර ගත්තේය.  එමෙන්ම පෙර කී ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට පත්කළ ඇගයීම් කමිටු සාමාජිකයන් පිළිබඳව ද ජනාධිපති නීතිඥවරයා සාක්‍ෂිකරුගෙන් විමසා සිටි අතර මේ මොහොත වන විට එම කමිටු සාමාජිකයින්ගේ නම් තමාට පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකරු පැවසීය.

 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ;

මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට මට අවශ්‍යයි. නමුත් මොහුට පෙර පැමිණිල්ලේ දොළොස්වන සාක්ෂිකාරිය ලෙස මෙම අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂ්කා විමල ජීව මහත්මියගේ සාක්ෂිවල පිටපත් අපිට තවමත් ලැබී නැති නිසා එම හරස් ප්‍රශ්න ඇසීම මා අවසන් කරනවා. මගේ ඉල්ලීම පරිදි ඔබතුමාලාගේ ගරු අධිකරණය කැඳවූ මෙකී ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදනවලට අදාල ලේඛන සුරක්ෂිතව තබන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටිනවා.

 

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය;

ස්වාමීනී මේ නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට පෙර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වූවා. එතනදී පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු සියලු ලේඛන ලබාදීලා තියෙන්නේ එකී ලේඛන විත්තිය භාරයේ තිබූ නිසා ඔවුන්ට දැනුවත්භාවයක් තිබිය යුතුයි මෙම සාක්ෂිකරු ලබාදෙන්නේ කුමන කරුණු ගැනද කියලා. එහෙම වුණත් විත්තිය මෙම සාක්ෂිකරු ලබාදෙන සාක්ෂිවලට අදාළ ලේඛන කිසිවක් ඉල්ලා සිටියේ නැහැ. දහවන විත්තිකරු වෙනුවෙන් ප්‍රශ්නගත ඖෂධ 66ට අදාල ලේඛන සහිත ගොනු ඉල්ලා සිටියේ මේ සාක්ෂිකරුගේ සාක්කිය මේ අධිකරණය හමුවේ ආරම්භ කළාටත් පසුවයි. ගරු අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව පැය පහක කාලයක් ඇතුළත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නඩු ගොනු කීපයක් අධිකරණයට ගෙනත් දුන්නා. දොළොස් වන සාක්ෂිකාරියගේ සාක්‍ෂි සටහන් නෑ කියලා මෙම සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න අහන්න අමාරුයි කියලා විත්තියේ උගත් නීතිඥ මහත්තයා කියනවා. විත්තියට එහෙම විශේෂත්වයක් දක්වන්න ඕන නෑ. විත්තියටත් පැමිණිල්ලටත් දෙපැත්තටම සාධාරණ විය යුතුයි. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවැනි සංකීර්ණ නඩුවක සාක්ෂි සටහන් එදිනෙදා දීමට නොහැකි බව. කුමන පාර්ශ්වයක් නියෝජනය කළත් නීතිඥවරයෙකුගේ උතුම් කාර්යය විය යුත්තේ අධිකරණයට සහය වීමයි. ප්‍රථම කොට අධිකරණයට සහාය දක්වලා තමයි තම සේවාදායකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ.

 

අධිකරණය ;

දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පුරා දින හතරක්ම ලබාදී තිබෙනවා. දොළොස්වන පැමිණිල්ලේ සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නොහැකි බවට කරන ප්‍රකාශය මගින් පෙන්වා දෙන පරිදි විත්තියට අගතියක් සිදුවී නැති බව අධිකරණයට පෙනී යනවා. විත්තිය එකී ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙසින් බවයි අධිකරණයේ නිගමනය. එබැවින් එය පිළිගත නොහැකි ඉල්ලීමක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කරනවා. මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් සකස් කොට ඇති බවත් ඒවා විත්තියේ නීතිඥවරුන් ලබා ගැනීමට ඉල්ලීමක් කර නැති බවත් අධිකරණ රෙජිස්ටාර්වරිය කියනවා. විත්තියේ හරස් ප්‍රශ්න අහලා අවසන් වූ පසු පැමිණිල්ලේ නැවත ප්‍රශ්න අහන්නත් සැලකිය යුතු කාලයක් යනවා. අපරාධ නඩු විභාග සංග්‍රහයේ පනත යටතේ දිනපතා විභාග කරන නඩුවක සාක්ෂි සටහන් එදාම නිකුත් කරන්න බැහැ. දොළොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් රාජසිංහ ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ  කනිෂ්ඨ නීතිඥවරයා එම විත්තිකරු වෙනුවෙන් අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නොඇසන බව අධිකරණයට දැනුම් දුන්නේය. 

 

ඒ අනුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය 213 වන පැමිණිල්ලේ සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;

ඔබතුමා ලබා තිබෙන අධ්‍යාපන සුදුසුකම්, ඉගෙනගත් විද්‍යාලය, කරපු රැකියා, ප්‍රසම්පාදනය පිළිබඳව ඉන්දියාවෙන් ලබපු පුහුණුව හා ප්‍රසම්පාදනයට අදාළ විශේෂඥභාවය යනාදී සියලු තොරතුරු විත්තියේ නීතිඥවරුන් ඔබෙන් ඇසුවා නේද මහත්මයා.

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී.

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;

පැ 54 හා පැ 55  දරන ලේඛන ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා. දස වන චූදිතට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට කැබිනට් සන්දේශය හා ඊට අනුමැතිය ලබාදීමේ ලිපියක් ඉදිරිපත් කරමින් දසවන චූදිතට අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට අදාලව හයවන චූදිත වෙත ලැබුණ ලිපිත් ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා.

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;

රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසුව දසවන විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පුද්ගලිකව පත්කිරීමට අදාලවත් ඔබෙන් ඇසුවා.

 

සාක්ෂිකරු ;

එහෙමයි ස්වාමීනී. යම් අමාත්‍යාංශයක ස්ථිර තනතුරක් දැරූ එම විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුු ලෙස පුද්ගලිකව පත්කිරීම සිදු සිදුකරන්න පුළුවන්. අපේ අමාත්‍යාංශයේ තනතුරක් ඇති කරලා එයා විශ්‍රාම යනතුරු එම තනතුරට පුද්ගලිකව පත් කරන්න කියලයි  එමගින් අනුමැතිය දාලා තිබුණේ.

 

ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා තමා ප්‍රසම්පාදන කටයුතු සිදුකළත් ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය කාර්යාලය විසින් එකී ක්‍රියාවලිය අනුමත නොකිරීම නිසා එකී ඖෂධ මිලදී ගැනීමක් සිදු නොවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දීර්ඝ ලෙස නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය එම සාක්ෂිකරු වෙත විවිධ ලේඛන ඉදිරිපත් කරමින් නැවත ප්‍රශ්න නගන අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරු වෙත උත්තර සමග ඉදිරිපත් කරමින් හා විත්තිය නැගූ හරස් ප්‍රශ්න විකෘති කරමින් සාක්‍ෂිකරුගෙන් නැවත හරස් ප්‍රශ්න අසන බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන,  ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, අමිත ආරියරත්න, රහුල් රුවිහාර ජයතිලක, ඉසුරු ජයවර්ධන හා අසේල සේරසිංහ යන නීතිඥවරුන්  ඇතුළු අදහස් දැක්වූහ.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;

මට විත්තියේ නීතිඥවරුන්ගේ උපදෙස් ඕන නැහැ. මම නැවත ප්‍රශ්න අහන්නේ ලේඛන උපයෝගී කරගෙනයි ඕන කෙනෙකුට පුළුවන් ඒවා පරීක්ෂා කරන්න ඒවා අධිකරණයේ තියෙනවා.

 

නීතිඥ අමිත ආරියරත්න මහතා ;

මම අහපු ප්‍රශ්න අග, මුල, මැද එකතු කරලයි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමිය ප්‍රශ්න අහන්නේ. ඇය අදහස් කරන ප්‍රශ්නය මම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්නයක් ලෙස අහලා නෑ. එතුමිය කෑලි මූට්ටු කරලයි නැවත ප්‍රශ්න අහන්නේ.

 

අධිකරණය ;

හරස් ප්‍රශ්න නැවත අහන එක නෙමෙයි නැවත ප්‍රශ්න අහනවා කියන්නේ.

 

නීතිඥ අමිත ආරියරත්න මහතා ;

මම අහපු හරස් ප්‍රශ්න එයාට ඕන විදිහට එකතු කරලා නැවත ප්‍රශ්න ලෙස අහන්න බෑ. මගේ විරෝධතාවය සටහන් කර තබන්න.

 

අධිකරණය ; 

විත්තිකරුවන් වෙනුවෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවල සාමාජිකයන් ගැන හරස් ප්‍රශ්න අසා තිබෙනවා. 11 වන විත්තිකරු වෙනුවෙන් එවැනි ප්‍රශ්න අසා නැති වූවද එම නැවත ප්‍රශ්න කිරීම්වලට ඉඩ දෙනවා. ඔය ඔක්කොම ප්‍රශ්න එක ප්‍රශ්නයකින් අහන්න බෑ නේ.

 

නීතිඥ චමින්ද අතුකෝරළ මහතා ;

සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න නගන්න පුළුවන්. සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න අහන්න ඕනා. එහෙම නැත්නම් සාක්ෂි ආඥා පනත ඉවත් කරලා නැවත ප්‍රශ්න අහන්න ඕනා.

 

නීතිඥ අසේල සේරසිංහ මහතා ;

නැවත ප්‍රශ්න අසන සීමාවෙන් පැනලයි ඔබතුමිය ප්‍රශ්න අහන්නේ. ඔබතුමිය දන්නේ නැතුවට මම ඒ ගැන හොඳට දන්නවා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

මම කැබලි අමුණලා නෑ. මට අහන්න ඕන දේයි මම අහන්නේ. ඔබතුමාලාට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ. මොන පනත යටතේද විරුද්ධත්වය දක්වන්නේ ?

 

නීතිඥ රුවිහාර ජයතිලක ;

පනතේ නැතිබ නිසා තමයි මේ අහන්නේ.

 

වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (3) දක්වා කල් තැබිණි.

 

සටහන - අචලා

නවතම ලිපි